ට්‍රම්ප් ඉවරයි… ඇමෙරිකාව වමට ද?

ඇමෙරිකානු දේශපාලනය තුළ දීර්ඝ කාලයක් තිස්සේ මුල්බැස තිබූ “සමාජවාදී භීතිකාව” සහ විවිධ බියගැන්වීම් පරාජය කරමින්, ඇමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීහු Democratic Socialists of America (DSA) සංවිධානය ඓතිහාසික ජයග්‍රහණ රැසක් අත්කර ගනිමින් සිටිති. ඉහළ යන ජීවන වියදම, දැරිය නොහැකි සෞඛ්‍ය පිරිවැය, නිවාස අර්බුදය සහ සූරාකෑම හමුවේ දැඩි ලෙස පීඩාවට පත්ව සිටින ඇමෙරිකානු වැඩකරන ජනතාව, ගුණාත්මක නිදහස් සෞඛ්‍ය සේවා, සුරක්ෂිත නිවාස, සහනදායී ළමා රැකවරණය, සාධාරණ වැටුප් වර්ධනයක් මෙන්ම ධනවතුන් සහ මහා පරිමාණ සමාගම් මත සාධාරණ ලෙස බදු පැනවීම වෙනුවෙන් හඬ අවදි කරමින් සිටිති. සම්ප්‍රදායික ද්විපක්ෂ දේශපාලන රටාව අභියෝගයට ලක්කරමින්, එසවී පෙනෙන මෙම වාමාංශික ප්‍රවණතාව, ඇමෙරිකානු එක්සත් ජනපදයේ අනාගත දේශපාලන ගමන්මඟ නැවත සකස් කරන තීරණාත්මක බලවේගයක් බවට පත්වේද යන්න පිළිබඳව ලොව පුරා සංවාදයක් මතුව තිබේ.

ඇමෙරිකාවේ සමාජවාදය ගැන බියගැන්වීම් යන්න දශක ගණනාවක් තිස්සේ එරට දක්ෂිණාංශික දේශපාලනයේ ප්‍රබල උපක්‍රමයක් විය. සමාජවාදීන් බලයට පැමිණියහොත් ඇමෙරිකාවේ සාම්ප්‍රදායික ජීවන රටාව විනාශ වනු ඇතැයි කියමින් ඡන්දදායකයන් බියගැන්වීම එම දේශපාලනයේ හුරුපුරුදු අංගයකි.

2026 නොවැම්බර් 3 වැනිදා පැවති ඇමෙරිකාවේ අතුරු මැතිවරණයට (මැදිකාලීන මැතිවරණය) පෙරද ඩොනල්ඩ් ට්‍රම්ප් එම උපක්‍රමය භාවිත කළේය. ඩිමොක්‍රටික් පක්ෂයේ අපේක්ෂකයන් සමාජවාදීන් බවත්, ඔවුන් සැබැවින්ම කොමියුනිස්ට්වාදීන් බවත්, කොංග්‍රසයේ බලය ඔවුන් අතට ගියහොත් ඇමෙරිකාව කොමියුනිස්ට් රටක් බවට පත්වනු ඇති බවත් ට්‍රම්ප් ප්‍රකාශ කළේය. එසේම සමාජවාදය යන වචනයට කොමියුනිස්ට්වාදය, ආගමික විරෝධය සහ ඇමෙරිකානු ජීවන රටාව විනාශ කිරීම වැනි අදහස් සම්බන්ධ කරමින් රිපබ්ලිකන් පක්ෂය සිය මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය ගෙන ගියේය.

එහෙත් මැතිවරණයෙන් පසුව තහවුරු වූයේ වෙනස් තත්ත්වයකි. ඩිමොක්‍රටික් පක්ෂය නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේත් සෙනෙට් සභාවේත් බහුතර බලය දිනාගත්තේය. ඊට අමතරව සමාජවාදී අපේක්ෂකයන් රැසක් කොංග්‍රසයට, ප්‍රාන්ත ව්‍යවස්ථාදායකයන්ට සහ ප්‍රාදේශීය පාලන ආයතනවලට තේරී පත්වූහ. විශේෂයෙන්ම ඇමෙරිකාවේ ප්‍රධාන සමාජවාදී සංවිධානය වන Democratic Socialists of America හෙවත් DSA සංවිධානයට මෙවර මැතිවරණයෙන් ඓතිහාසික ජයග්‍රහණ ලැබී තිබේ.

එහෙත් මෙයින් ඇමෙරිකාව සමාජවාදය තෝරාගෙන ඇති බව නිගමනය කළ හැකිද යන ප්‍රශ්නයට පිළිතුරු සෙවීමට නම් මැතිවරණයේ ප්‍රතිඵල පමණක් නොව ඡන්දදායකයන්ගේ ආර්ථික ඉල්ලීම්, වාමාංශික අපේක්ෂකයන්ගේ දේශපාලන වැඩපිළිවෙළ සහ සමාජවාදී සංවිධාන මෙම ජයග්‍රහණය අර්ථකථනය කරන ආකාරයද සලකා බැලිය යුතුය.

ඩීඑස්ඒ සංවිධානයට ඉතිහාසයේ විශාලතම ජයග්‍රහණයක්

නොවැම්බර් 4 වැනිදා DSA සංවිධානය විසින් “2026 මධ්‍යකාලීන මැතිවරණය – ඩීඑස්ඒ ඉතිහාසය වෙනස් කරයි” යන සිරස්තලයෙන් යුතුව නිකුත් කරන ලද නිල නිවේදනය ආරම්භයේදීම, ඇමෙරිකානු ඡන්දදායකයන් ට්‍රම්ප්ගේ පාලනයට එරෙහිව සමාජවාදයට තම සහයෝගය පළ කර ඇති බව ප්‍රකාශ කර තිබූ අතර, එය ඔවුන්ගේ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඉදිරිපත් කරන ලද විශේෂ දේශපාලන අර්ථකථනයක් ලෙස දැක්විය හැක.

ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන වැදගත්ය. ජාතික මට්ටමින් DSA සංවිධානය නිල වශයෙන් අනුමත කළ කොංග්‍රස් අපේක්ෂකයන් පස්දෙනාම ජයග්‍රහණය කර තිබේ. ඔවුන් වන්නේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ක්ලෙයාර් වැල්ඩෙස් සහ ඩාරියලිසා අවිලා ෂෙවාලියේ, කොලරාඩෝ ප්‍රාන්තයේ මෙලට් කිරෝස්, මිචිගන් ප්‍රාන්තයේ ඩොනවන් මැකිනි සහ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ක්‍රිස් රැබ් යන අපේක්ෂකයන්ය.

ඒ සඳහා ඔවුන් ඉදිරිපත් කරන සංඛ්‍යාලේඛන වැදගත්ය. ජාතික මට්ටමින් DSA සංවිධානය නිල වශයෙන් අනුමත කළ කොංග්‍රස් අපේක්ෂකයන් පස්දෙනාම ජයග්‍රහණය කර තිබේ. ඔවුන් වන්නේ නිව්යෝර්ක් ප්‍රාන්තයේ ක්ලෙයාර් වැල්ඩෙස් සහ ඩාරියලිසා අවිලා ෂෙවාලියේ, කොලරාඩෝ ප්‍රාන්තයේ මෙලට් කිරෝස්, මිචිගන් ප්‍රාන්තයේ ඩොනවන් මැකිනි සහ පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ක්‍රිස් රැබ් යන අපේක්ෂකයන්ය.

ඒ අනුව දැනට කොංග්‍රසයේ සිටින DSA සාමාජිකයන් වන ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝටෙස් සහ රෂීඩා ට්ලයිබ් දෙදෙනාද නැවත ජයග්‍රහණය කර ඇති අතර ඒ අනුව ජාතික මට්ටමින් DSA අනුමත කළ නව මන්ත්‍රීවරුන් පස්දෙනා සහ දැනට සිටින දෙදෙනා එකතු වූ විට සමාජවාදී මන්ත්‍රී කණ්ඩායම අවම වශයෙන් හත්දෙනෙකු දක්වා වර්ධනය වී තිබේ. එසේම ප්‍රාදේශීය මට්ටමේ අනුමැතිය ලැබූ සහ සංවිධානය සමඟ සමීප සම්බන්ධතා ඇති තවත් නියෝජිතයන් එක් කළ විට එම සංඛ්‍යාව වැඩි වනු ඇත.

එහෙත් මෙම සියලුදෙනා එකම වර්ගයේ සමාජවාදී අපේක්ෂකයන් ලෙස හැඳින්වීම නිවැරදි නොවේ. DSA සාමාජිකත්වය, සංවිධානයේ නිල අනුමැතිය සහ පුළුල් ප්‍රගතිශීලී දේශපාලන සහයෝගය එකිනෙකට වෙනස් සම්බන්ධතා වේ.

එම සංවිධානය විසින් නොවැම්බර් 4 නිකුත් කර ඇති නිවේදනය අනුව ප්‍රාන්ත 43ක පිහිටි ශාඛා 130කට වැඩි සංඛ්‍යාවක් මෙවර මැතිවරණයේදී ක්‍රියාකාරී වී තිබේ. අපේක්ෂකත්වයන් සහ ජනමත විමසීම් 300කට වැඩි ප්‍රමාණයකට සංවිධානය සම්බන්ධ වී ඇති අතර අවම වශයෙන් ජයග්‍රහණ 105ක් ලබාගැනීමට හැකිවනු ඇතැයි එය ඇස්තමේන්තු කර තිබුණි. මෙම සංඛ්‍යාවට පළාත් පාලන සහ ප්‍රාන්ත ජයග්‍රහණ මෙන්ම ප්‍රතිපත්ති සම්බන්ධ ජනමත විමසීම්ද ඇතුළත් වේ. එසේම සංවිධානයේ සාමාජික සංඛ්‍යාව 130,000 ඉක්මවා ඇති බවද එම නිවේදනයේ සඳහන් කළේය. DSA නිල ප්‍රකාශය, 2026 නොවැම්බර් 4 (https://www.dsausa.org/statements/2026-midterms-dsa-makes-history/)

මෙම ජයග්‍රහණ DSA සංවිධානයේ ඉතිහාසයට පමණක් සීමා නොවන බව පෙන්වා දෙන එහි නායකත්වය, මැතිවරණ රාත්‍රියේ සජීවී සාකච්ඡාවකට එක්වූ DSA ජාතික මැතිවරණ කොමිසමේ සාමාජික චන්ප්‍රීත් සිං ප්‍රකාශ කළ පරිදි සියවසකට වැඩි ඇමෙරිකානු සමාජවාදී මැතිවරණ ඉතිහාසය තුළ මෙවැනි අතිවිශාල සංඛ්‍යාත්මක ජයග්‍රහණයක් දැක නොමැති බව අවධාරණය කරමින් මැතිවරණ ප්‍රතිඵල පිළිබඳව සිය දැඩි උද්යෝගය පැහැදිලි කරයි.

මේ ජයග්‍රහණ පිටුපස සිටින සමාජවාදීන් කවුද?

ඇය 29 හැවිරිදි ඉතියෝපියානු සම්භවයක් ඇති Melat Kiros, කොලරාඩෝ ඩිමොක්‍රටික් පක්ෂ ප්‍රාථමික මැතිවරණයේදී වසර තිහක කාලයක් කොංග්‍රස් මණ්ඩලය නියෝජනය කළ ඩිමොක්‍රටික් නියෝජිත Diana DeGette පරාජයට පත් කළාය. ඩිමොක්‍රටික් පක්ෂයේ දිගුකාලීන නායකත්වයට අභියෝග කරමින් ඇය ඉදිරිපත් කළ ප්‍රතිපත්ති අතර සියලුදෙනාට සෞඛ්‍ය සේවා, සංක්‍රමණිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ඊශ්‍රායලයට ඇමෙරිකාව ලබාදෙන යුද ආධාරවලට විරුද්ධ වීම ප්‍රධාන විය.

නිව්යෝර්ක්හි ඩාරියලිසා අවිලා ෂෙවාලියේ පක්ෂ ප්‍රාථමික මැතිවරණයේදී ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රබලයෙකු වූ ඇඩ්‍රියානෝ එස්පායට් පරාජය කළාය. ඇය පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පැවැත්වූ විරෝධතාවලට සහභාගී වූ ක්‍රියාධරියකි. සොහ්රාන් මම්දානිගේ නගරාධිපති මැතිවරණ ව්‍යාපාරය සමඟද ඇය සම්බන්ධ වී සිටියාය.

මිචිගන් ප්‍රාන්තයේ ඩෙට්‍රොයිට් නගරය නියෝජනය කරමින් ඩොනොවන් මැකිනි, කොංග්‍රස් මණ්ඩලයට තේරී පත්වී ඇත. එසේම වාමාංශික දේශපාලනය නියෝජනය කළ ප්‍රාන්ත මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කිරීමෙන් අනතුරුව, පෙන්සිල්වේනියා ප්‍රාන්තයේ ක්‍රිස් රැබ් කොංග්‍රස් මණ්ඩලයට පැමිණ තිබේ.

මෙම ජයග්‍රහණවල විශේෂත්වයක් වන්නේ අපේක්ෂකයන් බොහෝදෙනෙකු තමන්ගේ සමාජවාදී ප්‍රතිපත්ති සඟවා නොගෙන මැතිවරණවලට ඉදිරිපත් වීමය. සමාගම්වලින් සහ ඊශ්‍රායල හිතවාදී බලපෑම් සංවිධානවලින් මැතිවරණ පරිත්‍යාග ලබා නොගැනීමද ඔවුන්ගේ ප්‍රචාරක ව්‍යාපාරවල වැදගත් අංගයක් විය.

එසේ වුවද මේ අපේක්ෂකයන් පස්දෙනා ජයගත්තේ ඩිමොක්‍රටික් පක්ෂයට ශක්තිමත් සහයෝගයක් ඇති මැතිවරණ දිස්ත්‍රික්කවල බව අවධානයට ගත යුතුය. එම නිසා ඔවුන්ගේ තීරණාත්මක ජයග්‍රහණ බොහොමයක් සිදුවූයේ නොවැම්බර් මැතිවරණයට පෙර පැවති ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රාථමික මැතිවරණවලදීය.

එහෙත්, ඩිමොක්‍රටික් පක්ෂයේ සාම්ප්‍රදායික මන්ත්‍රීවරුන් වෙනුවට සමාජවාදී අපේක්ෂකයන් තෝරා ගැනීමට එම පක්ෂයේ ඡන්දදායකයන්ගෙන් කොටසක් සූදානම්ව සිටි බව එයින් පැහැදිලි වන වැදගත් කරුණකි.

සමාජවාදය බියගන්වන්න ගිය ට්‍රම්ප්ට සිදු වූයේ කුමක්ද?

මෙවර මැතිවරණයට පෙර ට්‍රම්ප් සහ රිපබ්ලිකන් නායකයන්ගේ ප්‍රධාන ප්‍රචාරක තේමාවක් වූයේ සමාජවාදීන්ට එරෙහිවීමයි. සැප්තැම්බරයේ පැවති රිපබ්ලිකන් මධ්‍යකාලීන මැතිවරණ සමුළුවේදී ට්‍රම්ප් ප්‍රකාශ කළේ ඩිමොක්‍රටික් පක්ෂයේ සමාජවාදීන් සැබැවින්ම කොමියුනිස්ට්වාදීන් බවය. කොංග්‍රසයේ බලය ඔවුන්ට හිමිවුවහොත් ඇමෙරිකාව කොමියුනිස්ට් පාලනයකට යටත් වනු ඇතැයි එහිදී ඔහු අනතුරු ඇඟවීය.

නිව්යෝර්ක් නගරාධිපති සොහ්රාන් මම්දානිද මෙම ප්‍රහාරවල ප්‍රධාන ඉලක්කයක් වූ අතර රිපබ්ලිකන් සෙනෙට් සභික ටෙඩ් කෲස් ඔහුට උපහාසාත්මකව “කොම්රේඩ් මම්දානි” යනුවෙන් ආමන්ත්‍රණය කළේය. තවත් රිපබ්ලිකන් නායකයන් මම්දානි කොමියුනිස්ට්වාදියෙකු ලෙස හඳුන්වා තිබුණි.

ට්‍රම්ප්ගේ මෙවැනි ප්‍රකාශ පිළිබඳව කරුණු පරීක්ෂා කළ FactCheck.org ආයතනය පෙන්වා දුන්නේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදය සහ කොමියුනිස්ට්වාදය එකම දේශපාලන සංකල්පයක් නොවන බවය. එසේම ඇමෙරිකානු කොංග්‍රසයේ අපේක්ෂකයන් අතර සැබෑ DSA අපේක්ෂකයන් සිටියේ ඉතා සුළුතරයක් බවද එම ආයතනය අවධාරණය කළේය.

මේ අතර රිපබ්ලිකන් පක්ෂය සංක්‍රාන්ති ලිංගික පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳවද විශාල ප්‍රචාරක ව්‍යාපාරයක් දියත් කළේය. FactCheck.org නිරීක්ෂණයට අනුව සැප්තැම්බර් මාසයේ සිට, මැතිවරණයට පෙර කාලය තුළ ලිංගික සංක්‍රාන්තියට සම්බන්ධ වෛද්‍ය ක්‍රියාමාර්ග ගැන සඳහන් කරමින් විකාශනය කළ මැතිවරණ දැන්වීම් සඳහා ඩොලර් මිලියන 162ක් පමණ වැය වී තිබුණි. එම දැන්වීම් අතර ඇතැම් ප්‍රකාශ නොමඟ යවනසුලු බවද කරුණු පරීක්ෂකයන් හඳුනාගෙන තිබුණි.

නමුත් අවසානයේදී සමාජවාදය ගැන බියගැන්වීම් රිපබ්ලිකන් පක්ෂය ජයග්‍රහණය කරවීමට ප්‍රමාණවත් නොවූ අතර සමාජවාදීන් ලෙස ප්‍රසිද්ධියේ පෙනී සිටි අපේක්ෂකයන් පවා ජයග්‍රහණය කළහ.

එසේම මෙයින් ඡන්දදායකයන් සියලුදෙනා සමාජවාදී මතවාදය පිළිගත් බව ඔප්පු වන්නේ නොමැති නමුත් සමාජවාදී යන නාමය පමණක් යොදාගෙන අපේක්ෂකයෙකු පරාජය කිරීම සැමවිටම සාර්ථක නොවන බව මෙවර ප්‍රතිඵල පෙන්වා දෙයි.

ජනතාවට අවශ්‍ය වුණේ සමාජවාදයෙන් බේරෙන්නද, ජීවන වියදමෙන් බේරෙන්නද?

මෙවර මැතිවරණයේ තීරණාත්මකම සාධකය වූයේ මහජනතාවගේ ආර්ථික ඉල්ලීම්වල ස්වභාවයයි. 2024 ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් වෙත සහය පළ කළ බොහෝ ඡන්දදායකයන් ජීවන වියදම අඩුවනු ඇතැයි අපේක්ෂා කළද, 2026 වන විටත් ඔවුන්ට ඉහළ ගිය ඉන්ධන, ආහාර, නිවාස කුලී සහ සෞඛ්‍ය සේවා වියදම් හමුවේ දැඩි පීඩනයකට මුහුණ දීමට සිදුවිය.

ඇසෝසියේටඩ් ප්‍රෙස් ඡන්දදායක සමීක්ෂණයට අනුව, ඡන්දය ප්‍රකාශ කළ පිරිසෙන් 75% ක් පමණ ඇමෙරිකානු ආර්ථිකයේ පවතින අයහපත් තත්ත්වය පෙන්වා දී ඇති අතර, දස දෙනෙකුගෙන් අට දෙනෙකුම උද්ධමනය හමුවේ තම පවුලට දැඩි හෝ මධ්‍යම ප්‍රමාණයේ මූල්‍ය පීඩනයකට මුහුණ දීමට සිදුව ඇති බව ප්‍රකාශ කර ඇත. මෙය සාමාන්‍ය දේශපාලන අතෘප්තියකින් ඔබ්බට ගිය පුළුල් සමාජ-ආර්ථික ගැටලුවක තරම පැහැදිලි කරයි.

වැටුප් ලබන පුද්ගලයෙකුගේ ආදායම ස්ථාවරව පවතිද්දී භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම හේතුවෙන් ඔහුගේ සැබෑ වැටුපේ (මිලදී ගැනීමේ හැකියාවේ) අගය පහත වැටේ. මෙලෙස නිවාස කුලී, විදුලි බිල්පත්, සෞඛ්‍ය රක්ෂණ වාරික, ආහාර සහ දරුවන්ගේ නඩත්තු වියදම් එකදිගට ඉහළ යෑම නිසා සාමාන්‍ය ජනතාවට මාසිකව ඉතිරි කරගත හැකි මුදල් ප්‍රමාණයද සීඝ්‍රයෙන් අවම වේ.

මෙවැනි තත්ත්වයකදී වැඩකරන ජනතාවට සමාජවාදය පිළිබඳ න්‍යායික විවාදයකට වඩා තමන්ගේ ජීවිතය පවත්වාගෙන යාම පිළිබඳ ප්‍රායෝගික ප්‍රශ්න වැදගත් වීම තේරුම්ගත හැකිය. සමාජවාදී අපේක්ෂකයන්ගේ මැතිවරණ ව්‍යාපාර සාර්ථක වූ ඇතැම් ප්‍රදේශවලදී ඔවුන් මෙම ප්‍රශ්න සඳහා සෘජු විසඳුම් ඉදිරිපත් කිරීමට සමත් විය. ඒ අනුව, සෞඛ්‍ය සේවා සඳහා රජයේ පූර්ණ මූල්‍ය දායකත්වය ලබාදීම, නිවාස කුලී පාලනය කිරීම, ධනවතුන් මත පනවන බදු ප්‍රමාණය ඉහළ නැංවීම සහ දරුවන් රැකබලා ගැනීමේ වියදම් දැරීමට පවුල් වෙත රජයේ සහනාධාර ලබාදීම වැනි ප්‍රායෝගික යෝජනා රැසක් ඔවුන් විසින් ජනතාව හමුවේ තබන ලදී.

ජනතාවගේ ආර්ථික පීඩනය මත විමසුම්වලින් තහවුරු වන නමුත් සියලුම ඡන්දදායකයන් DSA ඉදිරිපත් කළ සෑම ප්‍රතිපත්තියකටම සහයෝගය දුන් බව එයින් ඔප්පු නොවේ. එහෙත් එම ආර්ථික පීඩනයට පිළිතුරු ලෙස වාමාංශික අපේක්ෂකයන් ඉදිරිපත් කළ සහන වැඩපිළිවෙළට සැලකිය යුතු ඡන්ද සහයෝගයක් ලැබුණු බව පෙනේ.

වැඩකරන ජනතාවට මොනවාද අවශ්‍ය? ඩීඑස්ඒ ඉදිරිපත් කළ සහන වැඩපිළිවෙළ

DSA සංවිධානය 2026 මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ වැඩපිළිවෙළ හැඳින්වූයේ “Workers Deserve More” හෙවත් “කම්කරුවන්ට මීට වඩා හිමිවිය යුතුයි” යන නමිනි. එහි මූලික අදහස වන්නේ වැඩකරන ජනතාවට ජීවත්වීමට ප්‍රමාණවත් වැටුපක් ලැබීම පමණක් නොව, සෞඛ්‍යය, අධ්‍යාපනය, නිවාස සහ විවේකය සඳහාද අයිතිවාසිකම් තිබිය යුතු බවය. ඒ අනුව, DSA ඉදිරිපත් කළ වැඩපිළිවෙළේ වැදගත් ප්‍රතිපත්ති කිහිපයක් තිබේ.

  • සියලුදෙනාට නොමිලේ සෞඛ්‍ය සේවාවක්

ඇමෙරිකාවේ දැනට පවතින පෞද්ගලික සෞඛ්‍ය රක්ෂණ ක්‍රමය තුළ අධික ප්‍රතිකාර වියදම් සහ ඖෂධ මිල සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි බරක් වී ඇති පසුබිමක, රෝගීන්ට කිසිදු මුදල් අය කිරීමකින් තොරව ප්‍රතිකාර ලබාගත හැකි “Medicare for All” ලෙස ජනප්‍රිය විශ්වීය සෞඛ්‍ය සේවාවක් ස්ථාපිත කරන ලෙස DSA සංවිධානය ඉල්ලා සිටී.

බර්නි සැන්ඩර්ස් විසින් වසර ගණනාවක් තිස්සේ ඉදිරිපත් කරන ලද මෙම ප්‍රතිපත්තිමය ඉල්ලීම, මෙවර මැතිවරණයට තරග කළ අපේක්ෂකයන් ගණනාවකගේම ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් බවට පත්විය.

  • නිවාස කුලී පාලනය සහ පොදු නිවාස

ඇමෙරිකාවේ ප්‍රධාන නගර රැසකම වර්තමානයේ පවතින උග්‍රම අර්බුදයක් වන්නේ නිවාසයක් මිලදී ගැනීම හෝ කුලියට ගැනීම සාමාන්‍ය ජනතාවට දැරිය නොහැකි මට්ටමකට පත්වීමයි. මෙම ගැටලුවට විසඳුම් ලෙස රජයේ සෘජු හිමිකාරීත්වය සහිත පොදු නිවාස (public housing) ඉදිකිරීම, නිවාස කුලී ඉහළ යෑම සීමා කරන පාලන නීති පැනවීම සහ කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් මෙන්ම නීතිමය ආරක්ෂාව තහවුරු කිරීම DSA සංවිධානය විසින් යෝජනා කරනු ලබයි.

  • දරුවන් රැකබලා ගැනීමේ වියදම අඩු කිරීම

දරුවන්ගේ දිවා සුරැකුම් මධ්‍යස්ථාන සඳහා වැයවන අධික පිරිවැය වැඩකරන පවුල්වලට දැරීමට සිදුව ඇති විශාල මූල්‍ය බරක් වන අතර, ඊට පිළියමක් ලෙස ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් පෙන්වා දෙන්නේ රජයේ සෘජු මූල්‍ය සහයෝගය යටතේ ක්‍රියාත්මක වන විශ්වීය ළමා රැකවරණ සේවාවන් (universal child care) හරහා එම වියදම් සැලකිය යුතු ලෙස අවම කළ යුතු බවයි.

කොංග්‍රසයේ ප්‍රගතිශීලී මන්ත්‍රී කණ්ඩායම ඉදිරිපත් කළ ආර්ථික සහන වැඩපිළිවෙළේ එක් යෝජනාවක් වූයේ ළමා රැකවරණය සඳහා පවුලකට වැයවන මුදල එම පවුලේ ආදායමෙන් 7%කට සීමා කිරීමය.

  • වැටුප්, වැඩ කරන පැය සහ නිවාඩු

DSA වැඩපිළිවෙළේ තවත් යෝජනාවක් වන්නේ වැටුප් සහ අනෙකුත් ප්‍රතිලාභ අඩු නොකර සතියේ වැඩ කරන කාලය පැය 32කට සීමා කිරීමයි. එමෙන්ම ජීවත්වීමට ප්‍රමාණවත් අවම වැටුපක්, වැටුප් සහිත පවුල් නිවාඩු සහ වෘත්තීය සමිතිවලට සංවිධානය වීමේ අයිතියද එහි ඇතුළත්ය.

  • නිදහස් අධ්‍යාපනය සහ ශිෂ්‍ය ණය අහෝසි කිරීම

පෙරපාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා නොමිලේ ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම සහ ශිෂ්‍ය ණය අහෝසි කිරීමද එම වැඩපිළිවෙළේ අංගයකි.

  • ධනවතුන්ට බදු පැනවීම

මෙම සියලු සහන සඳහා අවශ්‍ය මුදල් සොයාගැනීමේදී ඉහළම ධනවතුන් සහ විශාල සමාගම් මත වැඩි බදු පැනවීම, සමාගම්වල අධික ලාභ පාලනය කිරීම සහ අත්‍යවශ්‍ය සේවා මහජන පාලනය යටතට ගැනීම වැනි යෝජනා DSA ඉදිරිපත් කරයි.

එම සංවිධානයේ සමාජවාදී වැඩපිළිවෙළ මෙවැනි සුබසාධන ප්‍රතිසංස්කරණවලට පමණක් සීමා නොවේ. ප්‍රධාන කර්මාන්තවල පොදු අයිතිය, කම්කරුවන්ගේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය සහ ධනේශ්වර ක්‍රමය වෙනස් කිරීම එහි දිගුකාලීන අරමුණු අතර වේ.

සොහ්රාන් මම්දානි

2025 දී නිව්යෝර්ක් නගරාධිපති ධුරයට තේරී පත් වූ, DSA සංවිධානය හා සම්බන්ධ ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෙකු වන සොහ්රාන් මම්දානි, මෙවර මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු වාමාංශික විචාරකයන්ගේ වැඩි අවධානයට ලක්වූ චරිතයක් බවට පත්ව ඇත්තේ ජනතාවගේ ප්‍රශ්න වෙනස්ම ආකාරයකින් අර්ථකථනය කරමිනි.

පසුගිය කාලයේ ඇමෙරිකානු දේශපාලනයේ ප්‍රධාන තේමාවක් වූ, සාමාන්‍ය ජනතාවට දැරිය හැකි ජීවන පිරිවැයක් ඇති කිරීම පිළිබඳ අදහස සිය මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන තේමාව කරගත් ඔහු, නිව්යෝර්ක් නගරයේ නිවාස කුලී ස්ථාවර කිරීම, නොමිලේ බස් ප්‍රවාහනය ලබාදීම, පොදු ආහාර වෙළෙඳසල් ආරම්භ කිරීම සහ ළමා රැකවරණ සේවා පුළුල් කිරීම වැනි ප්‍රායෝගික යෝජනා රැසක් ඒ වෙනුවෙන් ජනතාව හමුවේ තැබීය.

මෙහි විශේෂත්වය වූයේ ජනතාවගේ දෛනික ජීවිතයේ ආර්ථික ප්‍රශ්න දේශපාලනයේ ප්‍රධාන කරුණ බවට පත් කිරීමයි.

Jacobin සඟරාවේ නොවැම්බර් 4 වැනිදා පළ වූ ලිපියකදී දේශපාලන ලේඛක කෝරි රොබින් පෙන්වා දෙන්නේ, 2024 ජනාධිපතිවරණයෙන් ට්‍රම්ප් ජයග්‍රහණය කිරීමෙන් පසුව විවිධ ජාතික සහ ආගමික පසුබිම්වලට අයත් නිව්යෝර්ක්හි වැඩකරන ජනතාව හමුවී ඔවුන් එම තීරණය ගැනීමට හේතු විමසා බැලූ මම්දානි, ට්‍රම්ප්ට ඡන්දය දුන් ඇතැම් පුද්ගලයන්ගේ සැබෑ ගැටලුව නිවැරදිව තේරුම් ගැනීමට සමත් වූ බවයි.

රොබින්ගේ තර්කය වන්නේ ට්‍රම්ප්ට ඡන්දය දුන් සියලුදෙනා දැඩි දක්ෂිණාංශික මතවාදයකින් පෙලඹුණු අය නොව, ඇතැම් පිරිස් එසේ ඡන්දය ලබාදී ඇත්තේ තම ආර්ථික ජීවිතය පිළිබඳව පැවැති දැඩි අතෘප්තිය හේතුවෙන් බවයි. මම්දානි එම ජනතා අතෘප්තිය සැබෑ දේශපාලන ප්‍රශ්නයක් ලෙස නිවැරදිව හඳුනාගෙන ඊට ප්‍රායෝගික පිළිතුරු සෙවීමට උත්සාහ කළ බව රොබින් වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඔහු සිය ලිපියේදී ටෙක්සාස්හි දීර්ඝ කාලයක් තිස්සේ රිපබ්ලිකන් පක්ෂයට ඡන්දය දුන් පුද්ගලයෙකුගේ ප්‍රකාශයක්ද උපුටා දක්වන අතර, එම ඡන්දදායකයා පෙන්වා දී ඇත්තේ වර්තමානයේ කිසිවක් මිලදී ගැනීමට තමන් සතු මුදල් ප්‍රමාණවත් නොවන බවත්, පරිසරයේ ජලය හා වාතය පවා අපිරිසිදු වී ඇති අතර අධ්‍යාපන ක්‍රමයද දැඩි ලෙස පිරිහීමට ලක්ව ඇති බවත්ය.

රොබින්ගේ විග්‍රහය අනුව ජීවන වියදම දැරිය හැකි තත්ත්වයක නොපැවතීම හුදෙක් මිල ගණන් පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. එය ජනතාවගේ සමස්ත ජීවන තත්ත්වය පිරිහීම පිළිබඳ අත්දැකීමකි. මම්දානිගේ දේශපාලනයේ වැදගත්කම ලෙස ඔහු හඳුනාගන්නේ එම අත්දැකීම ජනතාවට තේරුම්ගත හැකි දේශපාලන භාෂාවකට පරිවර්තනය කිරීමය.

මම්දානි මැතිවරණ රාත්‍රියේ පැවසුවේ මොකක්ද?

නොවැම්බර් 3 මැතිවරණ රාත්‍රියේ නිව්යෝර්ක් ඩිමොක්‍රටික් පක්ෂයේ රැස්වීමක් අමතමින් මම්දානි ප්‍රකාශ කළේ පක්ෂය යළි වැඩකරන ජනතාවට අයිති පක්ෂයක් බවට පත්කිරීමේ කටයුත්ත ආරම්භ කර ඇති බවය. එහිදී ඔහුගේ ප්‍රධාන අදහස වූයේ වැඩකරන ජනතාවගේ ප්‍රශ්න දේශපාලන සාකච්ඡාවේ අද්දරට තල්ලු කරනවා වෙනුවට ඒවා මධ්‍යයට ගෙන ආ යුතු බවයි.

ඔහු මැතිවරණ රාත්‍රියේ පැවසූ කතාවේ සිංහල පරිවර්තනය මෙසේ දැක්විය හැකිය.

“අපේ පක්ෂය වෙනස් කරමින් එය යළිත් වැඩකරන ජනතාවට අයිති පක්ෂයක් බවට පත්කිරීමේ කටයුත්ත අපි ආරම්භ කර තිබෙනවා.”

එමෙන්ම දේශපාලනයේදී කවුරුන් ඉදිරියෙන් සිටින්නේද, කවුරුන් පසුබසින්නේද යන්න ගැන පමණක් අවධානය යොමු කිරීමෙන් ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටපත් වන බවද ඔහු පැවසීය. මෙය මම්දානිගේ දේශපාලනයේ අඛණ්ඩව දක්නට ලැබෙන අදහසකි.

2026 ජූනි මාසයේ ABC ප්‍රවෘත්ති සේවය සමඟ කළ සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කළේ ඇමෙරිකාවේ ඕනෑම ප්‍රදේශයක ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදියෙකුට මැතිවරණයක් ජයගත හැකි බව තමන් විශ්වාස කරන බවය.

එහෙත් ඊට අවශ්‍ය වන්නේ ජනතාවගේ නිවාස කුලිය, ආහාර වියදම සහ ළමා රැකවරණ වියදම වැනි ප්‍රශ්නවලට සෘජු පිළිතුරු ලබාදෙන දේශපාලනයක් බව ඔහු පැහැදිලි කළේය. මැතිවරණ ප්‍රතිඵලයෙන් පසු NPR ප්‍රවෘත්ති සේවය සමඟ කළ සාකච්ඡාවේදීද ඔහු අවධාරණය කළේ අලුතින් තේරී පත්වූ සමාජවාදී නියෝජිතයන් ජනතාවට දේශපාලනයෙන් ප්‍රායෝගිකව ලැබිය හැක්කේ කුමක්ද යන්න පෙන්වා දිය යුතු බවයි.

බර්නි සැන්ඩර්ස්: දැන් නිදහසට කරුණු කියන්න බැහැ!

ඇමෙරිකාවේ නූතන සමාජවාදී දේශපාලනය පුළුල් කිරීමට විශාල බලපෑමක් කළ නායකයෙකු වන්නේ බර්නි සැන්ඩර්ස්ය. 2016 සහ 2020 ජනාධිපතිවරණවලදී ඔහු ඉදිරිපත් කළ ධනවතුන්ට බදු පැනවීම, විශ්වීය සෞඛ්‍ය සේවා, අවම වැටුප් ඉහළ නැංවීම සහ නොමිලේ උසස් අධ්‍යාපනය වැනි යෝජනා එවකට ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රධාන ධාරාවේ ඇතැම් නායකයන් විසින් අතිශය වාමාංශික අදහස් ලෙස හඳුන්වනු ලැබීය.

එහෙත් මේ වන විට එම ඉල්ලීම් ඇමෙරිකාවේ ප්‍රගතිශීලී දේශපාලන වැඩපිළිවෙළේ මූලික අංග බවට පත්ව ඇති අතර, මෙවර මැතිවරණ සමයේදී බර්නි සැන්ඩර්ස් විසින් මිචිගන් සහ මේන් ඇතුළු ප්‍රාන්ත කිහිපයකම ප්‍රගතිශීලී අපේක්ෂකයන් වෙනුවෙන් සක්‍රීය ප්‍රචාරක කටයුතුවල නිරත විය.

විශේෂයෙන්ම මිචිගන්හි අබ්දුල් එල්-සයෙඩ් වැනි අපේක්ෂකයන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ඔහු පෙනී සිටියේ වැඩකරන ජනතාවගේ සැබෑ ආර්ථික ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන දේශපාලන වෙනසක් රටට අත්‍යවශ්‍ය බව අවධාරණය කරමිනි. මේ හරහා නොවැම්බර් 4 වැනිදා මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමත් සමඟම සැන්ඩර්ස් විසින් ඉතා වැදගත් සහ තීරණාත්මක ප්‍රකාශයක් සිදු කරනු ලැබීය.

ඩිමොක්‍රටික් පක්ෂය කොංග්‍රසයේ සභා දෙකේම බලය ලබාගැනීමෙන් ට්‍රම්ප්ගේ පාලනය පිළිබඳ වගවීම තහවුරු කිරීමට අවස්ථාව ලැබී ඇති බව ඔහු සඳහන් කළේය. එහෙත් එපමණක් ප්‍රමාණවත් නොවන බවද ඔහු පැවසීය. ධනය සහ ආදායම අතර අතිවිශාල අසමානතාවක් පවතින අවස්ථාවක වැඩකරන පවුල් වෙනුවෙන් වඩාත් දැඩි ලෙස සටන් කළ යුතු බව අවධාරණය කළ සැන්ඩර්ස් සිය ප්‍රකාශය අවසන් කළේ,

“No more excuses” – “තවත් නිදහසට කරුණු බැහැ!” යනුවෙනි.

සැන්ඩර්ස්ගේ මෙම ප්‍රකාශය මැතිවරණ ජයග්‍රහණයෙන් පසු ඩිමොක්‍රටික් පක්ෂය හමුවේ පවතින සැබෑ අභියෝගය පැහැදිලි කරයි. මෙතෙක් රිපබ්ලිකන් පක්ෂයේ පාලනය නිසා ජනතාවට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට නොහැකි වූ බව පැවසූ ඩිමොක්‍රටික් නායකයන්ට 2027 ජනවාරියේදී කොංග්‍රස් මණ්ඩලයේ සභා දෙකේම බලය හිමි වීමට නියමිතය. කෙසේ වෙතත්, ජනාධිපති ට්‍රම්ප් සතු නිශේධ බලය සහ සෙනෙට් සභාවේ නීති සම්මත කිරීමේ සීමා තවදුරටත් පවතිනු ඇත. මෙවැනි වාතාවරණයක් තුළ සැන්ඩර්ස්ගේ දැඩි ඉල්ලීම වන්නේ ලැබුණු නව බලය ජනතාවගේ ජීවන තත්ත්වය සැබැවින්ම උසස් කිරීම වෙනුවෙන් යොදාගත යුතු බවයි.

මිචිගන්හි අබ්දුල් එල්-සයෙඩ්: පලස්තීනය වෙනුවෙන් කතාකර ජයගැනීම

මෙවර වාමාංශික දේශපාලන විග්‍රහයන්හි විශේෂ අවධානයට ලක්ව ඇති ජයග්‍රහණයක් වන්නේ මිචිගන්හි අබ්දුල් එල්-සයෙඩ් (Abdul El-Sayed) ලැබූ සෙනෙට් ජයග්‍රහණයයි. එල්-සයෙඩ් DSA සංවිධානයේ නිල අපේක්ෂකයෙකු නොවූවද, සියලුදෙනාට සෞඛ්‍ය සේවා ලබාදීම, ධනවතුන් මත බදු පැනවීම සහ පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීම වැනි ප්‍රගතිශීලී වාමාංශික ප්‍රතිපත්ති සමඟ ඔහු සමීපව කටයුතු කළේය.

විශේෂයෙන්ම ඊශ්‍රායලයට ඇමෙරිකාව ලබාදෙන හමුදා ආධාර විවේචනය කිරීම හේතුවෙන් ඔහුට එරෙහිව ඊශ්‍රායල හිතවාදී බලපෑම් සංවිධාන අධික මුදලක් වැය කළ අතර, ඩිමොක්‍රටික් පක්ෂයේ ප්‍රාථමික මැතිවරණයේදී ඔහුගෙන් පරාජයට පත් හේලි ස්ටීවන්ස් පවා අවසාන මැතිවරණයේදී රිපබ්ලිකන් අපේක්ෂක මයික් රොජර්ස්ට සහයෝගය පළ කළාය. මීට අමතරව ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රහාරවලදී එල්-සයෙඩ්ගේ මුස්ලිම් අනන්‍යතාවද දැඩි ලෙස ඉලක්ක විය.

එහෙත් එම සියලු අභියෝග හමුවේ එල්-සයෙඩ් විශිෂ්ට ජයග්‍රහණයක් අත්කර ගත්තේය. Jacobin සඟරාවේ බ්‍රැන්කෝ මාර්සෙටික් පෙන්වා දෙන්නේ, ඩිමොක්‍රටික් පක්ෂයේ වාමාංශික අපේක්ෂකයන් මැතිවරණවලදී පරාජය වන බවට පැවති මතවාදයට මෙම ජයග්‍රහණයෙන් දැඩි අභියෝගයක් එල්ල වී ඇති බවයි. එමෙන්ම ඊශ්‍රායලයේ ක්‍රියාකලාපය විවේචනය කිරීම ඇමෙරිකානු මැතිවරණයකදී අනිවාර්යයෙන්ම පරාජයට හේතු නොවන බවද මෙම ප්‍රතිඵලයෙන් මැනවින් තහවුරු වේ.

කෙසේ වෙතත් එල්-සයෙඩ්ගේ ජයග්‍රහණය පලස්තීන ප්‍රතිපත්තියට පමණක් අදාළ කළ නොහැකිය. මිචිගන්හි ජීවන වියදම, සෞඛ්‍ය සේවා සහ රිපබ්ලිකන් පාලනය සම්බන්ධ අතෘප්තියද මැතිවරණයේ වැදගත් සාධක විය.

වාමාංශිකයන්ගේ ජයග්‍රහණය ගැන Jacobin කියන්නේ මොකක්ද?

නොවැම්බර් 4 වැනිදා Jacobin සඟරාවට ලියමින් බ්‍රැන්කෝ මාර්සෙටික් සිය ලිපිය නම් කළේ “ඊයේ රාත්‍රියේ මැදිකාලීන මැතිවරණයෙන් වාමාංශිකයන්ට ජයගත හැකි බව ඔප්පු වුණා” යනුවෙනි.

ඔහුගේ ප්‍රධාන තර්කය වන්නේ ඩිමොක්‍රටික් පක්ෂයේ ඡන්දදායකයන් සමාජවාදී ප්‍රතිපත්තිවලට එකඟ වූවත් එම අපේක්ෂකයන් මැතිවරණවලදී පරාජය වනු ඇතැයි බිය වූ කාලය අවසන් වෙමින් තිබෙන බවය. මෙවර එල්-සයෙඩ්, ට්‍රෝයි ජැක්සන් සහ තවත් ප්‍රගතිශීලී අපේක්ෂකයන් ලබාගත් ජයග්‍රහණ ඔහු ඒ සඳහා උදාහරණ ලෙස ඉදිරිපත් කරයි.

ඔහු පෙන්වා දෙන්නේ සමාජවාදීන් සහ ප්‍රගතිශීලීන් දිගු කලක් තිස්සේ ඉදිරිපත් කළ ආර්ථික සහන පිළිබඳ අදහස් මේ වන විට ඩිමොක්‍රටික් පක්ෂයේ මධ්‍යස්ථ නායකයන්ගේ පවා ප්‍රචාරක භාෂාවට ඇතුළත් වී ඇති බවය. එයට හේතු වී ඇත්තේ මම්දානිගේ ජීවන වියදම් දේශපාලනය සහ සැන්ඩර්ස් හා ඇලෙක්සැන්ඩ්‍රියා ඔකාසියෝ-කෝටෙස් ඉදිරිපත් කළ ප්‍රකෝටිපතියන්ගේ දේශපාලන බලයට එරෙහි ප්‍රචාරය බව ඔහු තර්ක කරයි.

මෙම විග්‍රහය අනුව සමාජවාදීන්ගේ ජයග්‍රහණය ආසන කිහිපයකට පමණක් සීමා වී නැත. ඔවුන් ඇමෙරිකානු දේශපාලන සාකච්ඡාවේ ප්‍රධාන මාතෘකා වෙනස් කිරීමටද දායක වී තිබේ.

එහෙත්, සමාජවාදී ව්‍යාපාරයේ සියලු කණ්ඩායම් මෙම මැතිවරණ ප්‍රතිඵලය එකම ආකාරයකින් අර්ථකථනය නොකරන අතර, තවත් මාක්ස්වාදී කණ්ඩායමක් මෙය දකින්නේ වෙනස්ම කෝණයකින් ය. විශේෂයෙන්ම World Socialist Web Site වෙබ් අඩවිය වෙනුවෙන් නොවැම්බර් 4 වැනිදා ලිපියක් සපයන පැට්‍රික් මාටින් පෙන්වා දෙන්නේ, ට්‍රම්ප්ගේ පරාජය මගින් වැඩකරන පන්තිය තුළ ගොඩනැගෙමින් පවතින දැඩි විරෝධය පැහැදිලි වන නමුදු, ඩිමොක්‍රටික් පක්ෂය යනුද ධනේශ්වර දේශපාලන ක්‍රමයේම තවත් එක් පක්ෂයක් පමණක් බව අවධාරණය කළ යුතු බවයි.

ඔහුගේ තර්කය වන්නේ මහජනතාවගේ සැබෑ දේශපාලන අපේක්ෂා ඩිමොක්‍රටික් පක්ෂයේ සීමාසහිත ප්‍රතිපත්තිවලට වඩා බෙහෙවින් වාමාංශික විය හැකි වුවද, එම ජනතා අපේක්ෂාවන් සම්පූර්ණයෙන්ම ඉටු කිරීමට ඩිමොක්‍රටික් පක්ෂය සූදානම් බවට කිසිදු සහතිකයක් නොමැති බවයි. ඔහුගේ විග්‍රහයට අනුව ඇමෙරිකාවේ ප්‍රධාන පක්ෂ දෙකම මූල්‍ය ප්‍රාග්ධනයේ (financial capital) දැඩි බලපෑම යටතේ ක්‍රියාත්මක වන බැවින්, මැතිවරණයකින් කොංග්‍රස් මණ්ඩලයේ බලය මාරු වූ පමණින් ධනේශ්වර ආර්ථික ක්‍රමයේ පවතින මූලික බල සම්බන්ධතාවල වෙනසක් සිදු නොවේ.

මෙම අදහසට සමාන තවත් විග්‍රහයක් Left Voice වෙබ් අඩවියේ මැඩලින් ෆ්‍රීමන් විසින් ඉදිරිපත් කර තිබේ. ඇය පෙන්වා දෙන්නේ ට්‍රම්ප්ගේ පරාජය ඉරාන යුද්ධයට, සංක්‍රමණිකයන්ට එරෙහි මර්දනයට සහ ජනතා සුබසාධන කප්පාදුවලට එරෙහි සටනේ අවසානය නොවන බවය.

ඩිමොක්‍රටික් පක්ෂයට කොංග්‍රසයේ බලය ලැබීමෙන් පමණක් එම ප්‍රශ්න විසඳෙන්නේ නැති බවත්, ස්වාධීන කම්කරු පන්තික දේශපාලන සංවිධානයක් අවශ්‍ය බවත් ඇය අවධාරණය කරයි.

මෙහිදී DSA සංවිධානයේ මැතිවරණ උපායමාර්ගය පිළිබඳ වැදගත් විවාදයක් මතුවෙයි. DSA සංවිධානයේ අපේක්ෂකයන් බොහෝවිට මැතිවරණයට ඉදිරිපත් වන්නේ ඩිමොක්‍රටික් පක්ෂයේ ඡන්ද පත්‍රිකාව යටතේය.

එම ක්‍රමයෙන් සමාජවාදීන්ට තනතුරු දිනාගත හැකි බව මෙවර ප්‍රතිඵලයෙන් පෙනී ගියත්, එම තනතුරු භාවිත කරමින් ඩිමොක්‍රටික් පක්ෂයේ ආර්ථික හා විදේශ ප්‍රතිපත්ති කොතරම් දුරට වෙනස් කළ හැකිද යන්න තවමත් විවෘත ප්‍රශ්නයකි.

ඡන්ද ජයග්‍රහණය පමණක් ප්‍රමාණවත් නැහැ: People’s World ඉදිරිපත් කරන වැඩපිළිවෙළ

ඇමෙරිකානු වාමාංශික පුවත්පතක් වන People’s World වෙබ් අඩවියට ලියූ සී. ජේ. ඇට්කින්ස් මෙම මැතිවරණයෙන් පසුව අලුත් කොංග්‍රසය කළ යුත්තේ කුමක්දැයි විමසයි. ඔහු පවසන්නේ ඩිමොක්‍රටික් පක්ෂය ට්‍රම්ප් පිළිබඳ පරීක්ෂණ පවත්වමින් වසර දෙක ගත කළහොත් ජනතාවගේ ආර්ථික ඉල්ලීම් ඉටු නොවන බවය.

ජනතාව ලබන වැටුපෙන් විශාල කොටසක් නිවාස කුලී, ආහාර, ඖෂධ සහ ළමා රැකවරණ වියදම් සඳහා වැය කිරීමට සිදුව ඇති බව පෙන්වා දෙන ඔහු අවධාරණය කරන්නේ, කොංග්‍රස් මණ්ඩලයේ බලය හිමිවීමෙන් පසුව ජනතාව මුහුණ දෙන මෙම දෛනික ආර්ථික පීඩනය වහා අවම කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනය කිරීමට පියවර ගත යුතු බවයි.

එමෙන්ම කොංග්‍රසයේ ප්‍රගතිශීලී මන්ත්‍රී කණ්ඩායම ඉදිරිපත් කළ අතිකාල දීමනා වැඩි කිරීම, වැටුප් සහිත නිවාඩු, ළමා රැකවරණ සහන සහ සමාගම් අසාධාරණ ලෙස මිල ඉහළ දැමීම වැළැක්වීම වැනි යෝජනා ඔහු විශේෂයෙන් සඳහන් කරයි.

මිචිගන්හි අබ්දුල් එල්-සයෙඩ්ගේ මැතිවරණ ව්‍යාපාරයට එක්සත් මෝටර් රථ කම්කරු සංගමය ලබාදුන් සහයෝගයද ඔහු වැදගත් උදාහරණයක් ලෙස දක්වයි.

එම වාර්තාව අනුව එම සංගමයේ සාමාජිකයන් ඡන්දදායකයන්ගේ නිවාස ලක්ෂයකට වැඩි ප්‍රමාණයකට ගොස් මැතිවරණ ප්‍රචාරක කටයුතු කළ අතර දුරකථන ඇමතුම් ලක්ෂ පහක් පමණ ලබාදී තිබේ. එම සංඛ්‍යා People’s World වාර්තාව මත පදනම් වන නමුත් වෘත්තීය සමිතිවල සංවිධාන ශක්තිය මැතිවරණ ප්‍රතිඵලවලට බලපාන ආකාරය සාකච්ඡා කිරීමට ඒවා වැදගත්ය.

ඇට්කින්ස් අවධාරණය කරන්නේ මැතිවරණ ජයග්‍රහණයක් නීතිමය, ආර්ථික සහ සමාජ ප්‍රතිසංස්කරණවලට පරිවර්තනය කළ යුතු බවය.

තරුණ ජනතාව ඇමෙරිකාවේ වමට හැරෙමින් සිටිනවාද?

මෙවර මැතිවරණයේ දක්නට ලැබුණු තවත් තීරණාත්මක ප්‍රවණතාවක් වන්නේ තරුණ ඡන්දදායකයන්ගේ දේශපාලන ස්ථාවරයන්හි සිදු වූ කැපී පෙනෙන වෙනසයි. 2024 ජනාධිපතිවරණයේදී ට්‍රම්ප් වෙත සැලකිය යුතු තරුණ ඡන්ද සහයෝගයක් හිමි වූ නමුදු, 2026 මැදිකාලීන මැතිවරණයේදී එම තරුණ ඡන්දදායකයන්ගේ ආකර්ෂණය නැවතත් ඩිමොක්‍රටික් පක්ෂය දෙසට විශාල වශයෙන් යොමු වී ඇති බව නිරීක්ෂණය වේ.

ඇසෝසියේටඩ් ප්‍රෙස් ඡන්දදායක සමීක්ෂණයට අනුව වයස අවුරුදු 30ට අඩු ඡන්දදායකයන්ගෙන් දස දෙනෙකුගෙන් හත් දෙනෙකු පමණ නියෝජිත මන්ත්‍රී මණ්ඩල මැතිවරණයේදී ඩිමොක්‍රටික් අපේක්ෂකයන්ට ඡන්දය ලබාදී තිබේ.

එමෙන්ම NBC News මැතිවරණ දින සමීක්ෂණයක් උපුටා දක්වමින් People’s World වාර්තා කළේ වයස අවුරුදු 18ත් 29ත් අතර ඡන්දදායකයන්ගෙන් සියයට 33ක් තමන් ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදීන් ලෙස හඳුන්වා ඇති බවය.

මෙය තරුණ පරපුරේ දේශපාලන අනන්‍යතාව කෙරෙහි බලපාන වැදගත් සංඛ්‍යාලේඛනයක් වන නමුදු, එම සමීක්ෂණ ප්‍රතිඵලයෙන් ඇමෙරිකානු තරුණයන්ගෙන් තුනෙන් එකක්ම DSA සාමාජිකයන් වන බවක් හෝ ඔවුන් පූර්ණ සමාජවාදී වැඩපිළිවෙළක් වැළඳගෙන ඇති බවක් අදහස් නොවේ. මෙහිදී සැබවින්ම සිදුව ඇත්තේ, තරුණ පරපුර අතර වාමාංශික දේශපාලනය කෙරෙහි පවතින ආකර්ෂණයට සෘජුවම බලපාන පදනම්ගත ආර්ථික සාධක සලකා බැලීමයි.

ශිෂ්‍ය ණය, නිවාස කුලී, ස්ථිර රැකියා නොමැතිවීම, සෞඛ්‍ය සේවා වියදම් සහ අනාගතය පිළිබඳ ආර්ථික අවිනිශ්චිතතාව තරුණ ජනතාවගේ ජීවිතවල වැදගත් ප්‍රශ්න බවට පත්ව තිබේ.

එම තත්ත්වය තුළ පොදු සෞඛ්‍ය සේවා, නිවාස අයිතිය, ධනවතුන්ට බදු සහ රැකියා ආරක්ෂාව වැනි සමාජවාදී ප්‍රතිපත්ති සඳහා වැඩි අවධානයක් ලැබීම තේරුම්ගත හැකිය. එහෙත් තරුණ ඡන්දදායකයන්ගේ මෙම වෙනස ස්ථිර දේශපාලන නැඹුරුවක් වනු ඇතිද යන්න ඉදිරි මැතිවරණ සහ ඔවුන්ගේ සංවිධාන ක්‍රියාකාරිත්වය මත තවදුරටත් පරීක්ෂා කළ යුතුය.

සමාජවාදය කියන්නේ සහන පමණක්ද?

මෙවර මැතිවරණයේදී ජීවන වියදම සම්බන්ධයෙන් ජනතාවට සහන සැලසීම වාමාංශික දේශපාලනයේ ප්‍රධාන ප්‍රචාරක තේමාවක් බවට පත්වීමත් සමඟ තවත් වැදගත් න්‍යායික ප්‍රශ්නයක් කරලියට පැමිණේ. එනම්, සැබෑ සමාජවාදය යනු හුදෙක් සෞඛ්‍ය සේවා, නිවාස සහ ළමා රැකවරණය වැනි පොදු පහසුකම් වෙනුවෙන් රජය විසින් වැඩි මුදලක් ප්‍රතිපාදන ලෙස වෙන් කිරීම පමණක්ද, නැතහොත් ඊට එහා ගිය පද්ධතිමය වෙනසක්ද යන්නයි.

ඇමෙරිකාවේ සමාජවාදී ව්‍යාපාරය තුළද මෙම න්‍යායික ප්‍රශ්නය සම්බන්ධයෙන් විවිධ අදහස් හා සංවාද පවතී. බර්නි සැන්ඩර්ස් සහ සොහ්රාන් මම්දානි වැනි නායකයන් විසින් මහජනතාවට ක්ෂණිකව සහන සලසන ප්‍රායෝගික ප්‍රතිසංස්කරණ ඉදිරිපත් කරනු ලබන අතර, එවැනි සෙල්ෆෙයාර් ප්‍රතිපත්ති ධනේශ්වර ආර්ථික රාමුවක් තුළ වුවද යම් මට්ටමකට ක්‍රියාත්මක කිරීමේ හැකියාව පවතී. කෙසේ වෙතත්, DSA සංවිධානයේ සමස්ත දේශපාලන වැඩපිළිවෙළ හුදෙක් එවැනි කෙටිකාලීන සහනවලට පමණක් සීමා නොවී, ඊට වඩා පද්ධතිමය හා ව්‍යුහාත්මක වෙනසක් වෙනුවෙන් ඔබ්බට ගමන් කරයි.

එය ප්‍රධාන කර්මාන්ත සහ අත්‍යවශ්‍ය සේවා මහජන අයිතිය හා ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතට ගැනීම, කම්කරු පන්තියේ සංවිධාන ශක්තිය වර්ධනය කිරීම සහ ලාභය වෙනුවට මහජන අවශ්‍යතා මත ආර්ථිකය සංවිධානය කිරීම වැනි දීර්ඝකාලීන අරමුණු ඉදිරිපත් කරයි.

Left Voice සහ World Socialist Web Site වැනි විප්ලවවාදී සමාජවාදී ප්‍රවණතා තවදුරටත් අවධාරණය කරන්නේ ධනේශ්වර ආර්ථිකයේ බල සම්බන්ධතා වෙනස් නොකර සමාජවාදී දේශපාලනයේ අරමුණු සම්පූර්ණ කළ නොහැකි බවය.

ඒ අනුව, මෙවර මැතිවරණය වාමාංශිකයන් හමුවේ ප්‍රශ්න දෙකක් තබයි. එකක් වන්නේ වැඩකරන ජනතාවගේ ක්ෂණික ආර්ථික සහන ලබාගැනීමට මැතිවරණ බලය යොදාගන්නේ කෙසේද යන්නයි. අනෙක වන්නේ එම ප්‍රතිසංස්කරණ සඳහා ඇති සටන කම්කරු පන්තියේ දිගුකාලීන සංවිධාන ශක්තියක් සහ පුළුල් ආර්ථික වෙනසක් දක්වා ගෙන යන්නේ කෙසේද යන්නයි.

ඇමෙරිකාව වමටද?

මෙවර මැතිවරණ ප්‍රතිඵලයෙන් පැහැදිලිවම තහවුරු වන්නේ ට්‍රම්ප්ගේ දෙවැනි ධුර කාලයේ මුල් වසර දෙක තුළ පැවැති පාලනය පිළිබඳ ජනතාව තුළ වූ දැඩි අතෘප්තිය රිපබ්ලිකන් පක්ෂයට විශාල මැතිවරණ පරාජයක් අත්කර දී ඇති බවයි.

විශේෂයෙන්ම ඉහළ යන ජීවන වියදම, උද්ධමනය සහ ආර්ථික අසමානතාව ඡන්දදායකයන්ගේ තීරණ සඳහා සෘජුවම බලපා ඇති අතර, සමාජවාදී මතවාදයන්ට එරෙහිව එල්ල වූ නිරන්තර බියගැන්වීම් හා විවේචන මධ්‍යයේ වුවද, DSA සංවිධානයට කොංග්‍රස් මණ්ඩලය ඇතුළු විවිධ දේශපාලන මට්ටම්වල කැපී පෙනෙන ජයග්‍රහණ ගණනාවක් අත්පත් කරගැනීමට මෙවර හැකියාව ලැබී තිබේ.

මෙවර මැතිවරණයේදී නිවාස, සෞඛ්‍ය සේවා, ළමා රැකවරණය සහ කම්කරු අයිතිවාසිකම් වැනි ප්‍රගතිශීලී වාමාංශික ප්‍රතිපත්ති කෙරෙහි ජනතා අවධානය දැඩි ලෙස යොමු වූ අතර, ඊට අමතරව ඊශ්‍රායලයට ලබාදෙන හමුදා ආධාර සහ ඇමෙරිකාවේ විදේශීය යුධ අර්බුද පිළිබඳ ප්‍රශ්නයද මැතිවරණයේ තීරණාත්මක තේමාවන් බවට පත් විය.

කෙසේ වෙතත්, මෙම සමස්ත ප්‍රතිඵලයෙන් අදහස් වන්නේ ඇමෙරිකානු ජනතාවගෙන් බහුතරයක් පූර්ණ සමාජවාදී මතවාදය වැළඳගෙන ඇති බව නම් නොවේ.

ඩිමොක්‍රටික් පක්ෂයේ ජයග්‍රහණයට දක්ෂිණාංශික පාලනය පිළිබඳ අතෘප්තිය, සාම්ප්‍රදායික ඩිමොක්‍රටික් ඡන්දදායකයන්ගේ සහයෝගය සහ මධ්‍යස්ථ අපේක්ෂකයන්ගේ ජයග්‍රහණද දායක වී තිබේ.

ටෙක්සාස්හි ජේම්ස් ටැලරිකෝ වැනි අපේක්ෂකයන් ප්‍රකෝටිපතියන්ගේ දේශපාලන බලය විවේචනය කළද තමන් සමාජවාදීන් නොව ධනේශ්වර ආර්ථික ක්‍රමය පිළිගන්නා දේශපාලනඥයන් බව පැහැදිලි කර තිබේ.

ඒ නිසා මෙවර මැතිවරණයෙන් දැකිය හැක්කේ ඇමෙරිකානු දේශපාලනයේ සියලුම කොටස් එකවර වමට හැරීමක් නොව, එරට දේශපාලනය තුළ වාමාංශික සහ සමාජවාදී අදහස් සඳහා ඇති ඉඩකඩ පුළුල් වීමකි.

මෙම තත්ත්වයත් සමඟ ඇමෙරිකාවේ ප්‍රගතිශීලී දේශපාලන ගමන්මග හමුවේ නව අභියෝගයක් මතුව තිබේ. එනම්, මැතිවරණයකදී ජනප්‍රිය සමාජවාදී ප්‍රතිපත්ති ඉදිරිපත් කරමින් ඡන්ද ජයග්‍රහණ ලබාගත හැකි බව තහවුරු කිරීම එක් පියවරක් වන අතර, ලැබුණු බලය භාවිත කරමින් එම ප්‍රතිපත්ති සැබෑ ලෙසම භූමියේ ක්‍රියාත්මක කර ජනතාවගේ දෛනික ජීවන තත්ත්වය වෙනස් කර පෙන්වීම ඊටත් වඩා සංකීර්ණ වූද තීරණාත්මක වූද ඊළඟ අභියෝගය වීමයි.

ඩිමොක්‍රටික් පක්ෂය තුළ ක්‍රියාත්මක වන සමාජවාදී මන්ත්‍රීවරුන්ට මෙන්ම ඔවුන්ට සක්‍රීය සහයෝගය දක්වන වෘත්තීය සමිති සහ ප්‍රජා සංවිධානවලට ඉදිරි කාලයේදී සෘජුවම මුහුණ දීමට සිදුවන්නේ මෙම තීරණාත්මක අභියෝගයටයි.

බර්නි සැන්ඩර්ස් අවධාරණය කළ පරිදි, තවදුරටත් ආයතනික හෝ දේශපාලනික නිදහසට කරුණු ඉදිරිපත් කිරීම ප්‍රමාණවත් නොවන අතර, ඇමෙරිකාවේ වැඩකරන ජනතාව අද මුළුමනින්ම ඉල්ලා සිටින්නේ තමන්ට ගෞරවාන්විතව ජීවත් විය හැකි සැබෑ ආර්ථිකයක්, දැරිය හැකි නිවාස, විශ්වාසනීය සෞඛ්‍ය සේවා, ළමා රැකවරණය, සෑහීමකට පත්විය හැකි සාධාරණ වැටුපක් සහ ආර්ථික සුරක්ෂිතතාවකි. මෙවර මැතිවරණ ප්‍රතිඵල මෙන්ම DSA සංවිධානයේ වේගවත් වර්ධනය මගින් පැහැදිලිවම පෙන්නුම් කරන්නේ එම මූලික ජනතා ඉල්ලීම් පදනම් කරගනිමින් ඇමෙරිකානු සමාජවාදී දේශපාලනයේ නවතම ප්‍රබල බලවේගයක් වේගයෙන් ගොඩනැඟෙමින් පවතින බවයි.

එහෙත් එම ප්‍රවණතාව ඇමෙරිකාවේ දේශපාලන හා ආර්ථික බල සම්බන්ධතා ස්ථිරව වෙනස් කරන බලවේගයක් බවට පත්වේද යන්න තීරණය වන්නේ ඉදිරි කාලයේදීය.

එබැවින් “ඇමෙරිකාව වමටද?” යන ප්‍රශ්නයට 2026 මැතිවරණයෙන් ලැබෙන්නේ සරල ඔව් හෝ නැහැ යන පිළිතුරක් නොවේ. එයින් පැහැදිලි වන්නේ ඇමෙරිකානු දේශපාලනයේ වාමාංශික ප්‍රවණතාවක් වර්ධනය වීම සහ ඒ සමඟ ධනේශ්වර දේශපාලන ක්‍රමය තුළ එහි සීමාවන් පිළිබඳ නව විවාදයක් ආරම්භ වී තිබීමයි.

(මෙම ලිපිය 2026 නොවැම්බර් 5 වන විට නිකුත් කරන ලද මැතිවරණ ප්‍රතිඵල, DSA සංවිධානයේ නිල ප්‍රකාශ, සැන්ඩර්ස් සහ මම්දානිගේ ප්‍රකාශ සහ Jacobin, People’s World, Left Voice, World Socialist Web Site, NPR, AP හා FactCheck.org වාර්තා පදනම් කරගෙන ලියන ලද්දකි.)

Author

Leave a Reply

Related Posts