කොළඹ ක්‍රෙස්කැට් නිවාස සංකීර්ණයේ තාවකාලිකව පදිංචිව සිටියදී බැල්කනියෙන් වැටී මියගිය ඕස්ටේලියානු ජාතික කලෙබ් ඩෙලානෝ ඇලෙක්සැන්ඩර්ගේ මරණය සම්බන්ධ විමර්ශන කොල්ලුපිටිය පොලීසියෙන් ඉවත්කර වෙනත් පොලිස් ස්ථානයකින් සිදුකරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන නියෝග කර ඇත.
කොළඹ දකුණ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් එම විමර්ශන භාරගෙන සිදුකරන ලෙස එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.
ඒ එම මරණය සම්බන්ධයෙන් අපරාධයක් සිදුවී ඇතිද යන්න පිළිබඳ විමර්ශනයක් පවත්වා අධිකරණයට වාර්තා කිරීම සඳහාය.
එම ඕස්ටේලියානු ජාතිකයාගේ මරණය සිදුවන අවස්ථාවේ කොල්ලුපිටිය පොලීසියේ නිලධාරීන් දෙදෙනෙකු එම ස්ථානයේ සිටීම හේතුවෙන් හා මරණයට පත්වූ ඕස්ටේලියානු ජාතිකයාගේ රුධිරය හා මුත්‍රා සාම්පල්වල ඊතයිල් ඇල්කොහොල් හෝ වෙනත් කිසිඳු ඖෂධයක් තිබූ බවට රස පරීක්ෂක වාර්තා අනුව අනාවරණය නොවීම හේතුවෙනි.
මරණයට පත්වූ ඕස්ටේලියානු ජාතිකයා කිසියම් මත්ද්‍රව්‍යයක් පානය කර සිටියේද යන්න සැක සහිත බව කොල්ලුපිටිය පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ සාක්ෂිකරුවන් කිහිප දෙනෙකු ප්‍රකාශ කර තිබුණි.
මරණයට පත්වූ ඕස්ටේලියානු ජාතිකයාගේ පවුලේ සාමාජිකයන් එම මරණය සැක සහිත බව ප්‍රකාශ කර තිබුණ අතර ඕස්ටේලියානු ජාතිකයා පදිංචිව සිටි නිවසේ දොරගුළු කඩා බලහත්කාරයෙන් පොලිස් නිලධාරියකු හා තවත් අයෙකු එහි ඇතුල් වී ඇති බවට චෝදනා කර තිබුණි.
තවද මරණය සිදුවීමට පෙර ඕස්ටේලියානු ජාතිකයා පදිංචිව සිටි ක්‍රෙස්කැට් නිවාස සංකීර්ණයේ නිවසේ බැල්කනියේ සිදුවීම් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වූ වීඩියෝවක්ද පවුලේ උදවිය අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
මෙම සිදුවීම සම්බන්ධයෙන් වන වැඩිදුර විභාගය නොවැම්බර් 12 වැනිදාට නියම කර තිබෙන අතර ඒ සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් නියෝගය ලබාදී ඇත්තේ 2026.08.06 වැනිදාය.
