ගම්පහ මහේස්ත්රාත් බන්දුල ගුණරත්න වහාම ක්රියාත්මක වන පරිදි විනිසුරුවරුන් පුහුණු කිරීමේ ආයතනය වෙත ස්ථාන මාරු කර තිබේ.
අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්රසන්න අල්විස් විසින් අදාළ ස්ථාන මාරුව සම්බන්ධයෙන් වූ ලිපිය නිකුත් කර ඇති බව වාර්තා වේ.
අහිංසක රටවැසියන්ට එරෙහිව පදනම් විරහිත නඩු පැවරීමෙන් වළකින ලෙස මුළු රටම ආවරණය වන පරිදි චක්රලේඛයක් නිකුත් කරන ලෙස මහේස්ත්රාත්වරයා මීට පෙර පොලිස්පතිවරයාට නියෝග කර තිබුණි.
එම නියෝගය අනුව පොලිස්පතිවරයා කටයුතු නොකිරීම හේතුවෙන් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනා යටතේ ක්රියාමාර්ග ගන්නා ලෙස ඉල්ලා මහේස්ත්රාත්වරයා අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා වෙත ඉල්ලීමක්ද ඉදිරිපත් කර තිබිණි.
මේ අතර, මහේස්ත්රාත්වරයාගේ ස්ථාන මාරුව සම්බන්ධයෙන් අද (නොවැම්බර් 06) පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා ප්රශ්න කළේය.
ආණ්ඩුව නිරන්තරයෙන් නීතියට අත නොතබන බව ප්රකාශ කළද, පොලිස්පතිවරයාට එරෙහිව අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් සතියක් ඇතුළත ගම්පහ මහේස්ත්රාත්වරයා ස්ථාන මාරු කිරීම සිදුවූයේ කෙසේදැයි මන්ත්රීවරයා එහිදී ප්රශ්න කළේය.
එමෙන්ම, පොලිස්පතිවරයාට එරෙහිව අභියාචනාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම හේතුවෙන් මහේස්ත්රාත්වරයාට මෙම ස්ථාන මාරුව ලබාදී ඇති බවටද මන්ත්රීවරයා ප්රකාශ කළේය.
