වාහනයක් මිලදීගත් ආකාරය සහ එහි කල්බදු වාරික ගෙවීම සඳහා මුදල් උපයාගත් මූලාශ්‍ර තහවුරු කිරීමට අපොහොසත් වීම ඇතුළු චෝදනා සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ, කොටවිල පොලිසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනිය ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ලබන 20 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබේ.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ ප්‍රධාන පොලිස් පරීක්ෂක වරුණි බෝගහවත්ත ඇතුළු සැකකරුවන් සිව්දෙනෙකු පසුගිය 3 වෙනිදා මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. එහිදී, සැකකාරියගේ බැංකු ගිණුම් වෙත විශාල වශයෙන් මුදල් ලැබී ඇති බව විමර්ශන නිලධාරීන් අධිකරණයට පෙන්වා දී ඇත.
රුපියල් කෝටි එකහමාරකට ආසන්න වටිනාකමකින් යුත් බව සඳහන් වන මෙම Honda Vezel වර්ගයේ මෝටර් රථය ඇතුළු සැකකාරියගේ වාහනය ඉකුත් ඔක්තෝබර් 16 වැනිදා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් සිය භාරයට ගන්නා ලදී. මෙම විමර්ශනවලදී ඇයට අමතරව තවත් පුද්ගලයන් කිහිපදෙනෙකු සතුව තිබූ මෝටර් රථ සහ ලොරි රථ ඇතුළු වාහන කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබේ.
මාතර දිස්ත්‍රික් ග්‍රාමීය බැංකු සංගමය සහ මාතර විවිධ සේවා සමුපකාර සමිතිය සම්බන්ධයෙන් අනාවරණය වූ දැවැන්ත මූල්‍ය අක්‍රමිකතා රැසක් මෙම විමර්ශන සඳහා පාදක වී ඇත. එම ආයතනවල හිටපු සභාපති චමින්ද ගුණසේකර නම් පුද්ගලයාට එරෙහිව රුපියල් කෝටි 500කට අධික මුදලක් සම්බන්ධ මූල්‍ය වංචා චෝදනා එල්ල වී ඇති අතර, ඔහු 2026 අප්‍රේල් 10 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විමර්ශන වාර්තාවලට අනුව, සැකකාර ප්‍රධාන පොලිස් පරීක්ෂකවරියගේ මාසික වැටුප රුපියල් 140,000ක් පමණ වන නමුත්, ඇය පරිහරණය කළ මෝටර් රථයේ මාසික කල්බදු වාරිකය පමණක් රුපියල් 132,000ක් වී තිබේ.
