ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තර අර්බුදකාරී පක්ෂයක් – මැතිවරණ කොමිසම

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අභ්‍යන්තර අර්බුදකාරී පක්ෂයක් ලෙස හඳුනාගෙන ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසා තිබේ. එම පක්ෂයේ පවතින අභ්‍යන්තර අර්බුදකාරී තත්ත්වය සම්බන්ධයෙන් විමසීම සඳහා එහි පාර්ශ්ව කිහිපයක නියෝජිතයින් අද (06) දින මැතිවරණ කොමිෂන් සභාව හමුවට කැඳවා තිබුණි. මෙම සාකච්ඡාව සඳහා දයාසිරි ජයසේකර, නිමල් සිරිපාල ද සිල්වා, ලසන්ත අලගියවන්න සහ දුමින්ද දිසානායක යන මහත්වරුන් සහභාගී වී ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ වන විට අත් හිටුවා ඇති අතර අභ්‍යන්තර අර්බුද පවතින දේශපාලන පක්ෂයකට ඉදිරි මැතිවරණයකට නාමයෝජනා භාරදීමේ හැකියාවක් නොමැති බව මෙහිදී මැතිවරණ කොමිෂන් සභාව අවධාරණය කර තිබේ.

මැතිවරණයක් ප්‍රකාශයට පත් කර නාමයෝජනා කැඳවන අවස්ථාවක, අභ්‍යන්තර අර්බුද පවතින පක්ෂයක නියෝජිතයන් කොමිසම හමුවට කැඳවා අදාළ අර්බුද නිරාකරණය කරගැනීමට එකඟතාවයකට පැමිණිය යුතු බව කොමිසම සඳහන් කරයි. එසේ සාකච්ඡා මාර්ගයෙන් අර්බුදය විසඳා ගැනීමට අපොහොසත් වුවහොත්, අදාළ මැතිවරණය සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව එම පක්ෂයට අහිමි වන බවද කොමිෂන් සභාව පෙන්වා දෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සම්බන්ධයෙන්ද ඉදිරියේදී ක්‍රියා කරනුයේ මෙම පටිපාටියට අනුකූලව බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Author

Leave a Reply

Related Posts