වැඩ කරමු – රට හදමු, වැඩ කරන ජනතා බලය සුරකිමු යන තේමාවෙන් බලවේගයේ වෘත්තීය සමිති ජාතික සමුළුව අද
(නොවැම්බර් 07) පී.ඩී සිරිසේන ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. එහිදී අදහස් දැක්වූ අමාත්‍ය වසන්ත සමරසිංහ ශ්‍රී ලංකාවේ විශාලම අරමුදල් දෙකක් වන EPF සහ ETF අරමුදල් සඳහා NPP ආණ්ඩුව සිදු කිරීමට යන සංශෝධන පිළිබඳව අදහස් දැක්වූවා. එහිදී ඔහු පවසා සිටියේ මෙම අරමුදල් සංශෝධන සම්බන්ධයෙන් කලබල නොවන ලෙසත් ඔවුන් මේක හොඳට දැනගෙන කරන වැඩක් බවයි.
වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ, රජය විසින් සේවක අර්ථසාධක අරමුදල (EPF) රජයට ණය ලබාගන්නා අරමුදලක් ලෙස භාවිත කිරීම වෙනුවට, සේවකයාගේ අනාගත සුබසාධනය සහ වැඩි ප්රතිලාභ වෙනුවෙන් එය රූපාන්තරණය කිරීමට වෘත්තීය සමිති ව්‍යාපාරය තුළ සාකච්ඡා කර ඇති බවයි. නමුත් වෘත්තීය සමිති පවසා සිටින්නේ ඔවුන් සමඟ විධිමත් ලෙස මේ සම්බන්ධයෙන් කම්කරු අමත්‍යවරයා සාකච්ඡා කර නොමැති බවයි.
අතීතයේදී සේවක අර්ථසාධක අරමුදල් කොටස් වෙළඳපොළේ ආයෝජනය කරමින් සහ විවිධ බැඳුම්කර ජාවාරම් සඳහා යොදවමින් නාස්ති කිරීමට එරෙහිව වෘත්තීය සමිති නිරන්තරයෙන් සටන් කළ බව අමාත්‍යවරයා මෙහිදී සිහිපත් කළේය. එලෙස සිදු වූ මහා පරිමාණ කොල්ලකෑම් හා මංකොල්ලකෑම් හමුවේ අඛණ්ඩව අරගල කරමින්, ශ්‍රී ලංකා මහ බැංකුව වටලා අරමුදලේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී සිටීමට වෘත්තීය සමිති ව්‍යාපාරයට සිදු වූ බවත්, කටුනායකදී රොෂේන් චානක වැනි වෘත්තීය සමිති ක්‍රියාකාරීන් ජීවිත පූජා කළ ඒ අතීත බවත් මෙම අරමුදල් හිමිකරුවන්ගේ අයිතිවාසිකම් තවදුරටත් සුරක්ෂිත කිරීමට කටයුතු කරන බවත් ඔහු අවධාරණය කළේය.
ඒ මහා දැවැන්ත අරමුදල විවිධ අවස්ථාවල අපේ රටේ කොටස් වෙළඳපොළේ දාලා නාස්ති කරා. බැඳුම්කර වල දාලා ජාවාරම් කරා. අපි ශ්‍රී ලංකා මහ බැංකුව වට කරලා සමහර දේවල් නවත්වා ගත්තා. ඔබට මතකයි ඉතිහාසය ඇතුලේ අපි සටන් කරලා සේවක අර්ථසාධක අරමුදල බේරගත්තා. කටුනායක වෙඩි තියලා ඝාතනය කරා රොෂේන්. එහෙම කරපු ඉතිහාසය ඇතුලේ දැන් මේ කට්ටිය හිතන් ඉන්නවා සේවක අර්ථසාධක අරමුදල අපි අතහැරලා, ඒක ඒක නිකන් තව කාට හරි පාවිච්චි කරන්න, එහෙම නැත්නම් ආයෝජකයන්ට ඕන විදිහට යොදවන්න, කටයුතු කරන්න ඉඩ දෙනවා කියලා හිතන් ඉන්නවා.
මීට අමතරව, විශ්‍රාම ගිය පසු ලැබෙන පොලී මුදලට පමණක් සීමා නොවී, පෞද්ගලික අංශයේ සේවකයන්ට නිවසක් ලබාගැනීමේ සිහිනය සැබෑ කිරීම සඳහා මෙම අරමුදල් යොදවමින් දැවැන්ත නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට රජය අපේක්ෂා කරන බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය. එසේම, සේවකයන් වෙනුවෙන් නව රක්ෂණ ආවරණ හා වෛද්‍ය ආරක්ෂණ ක්‍රමවේද හඳුන්වා දීමට කටයුතු යොදන බව සඳහන් කළ හෙතෙම, රාජ්‍ය සේවකයන්ට මෙන්ම පෞද්ගලික අංශයේ සේවකයන් සඳහාද සේවක අර්ථසාධක අරමුදල ආරක්ෂා කරගනිමින් දායක විශ්‍රාම වැටුප් ක්‍රමයක් (contributory pension scheme) හඳුන්වා දීම වෙනුවෙන් මේ දිනවල විශේෂ සාකච්ඡා පවත්වමින් සිටින බවද වැඩිදුරටත් අවධාරණය කළේය.
මෙම අවස්ථාවට කම්කරු අමාත්‍යවරයා, නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ ඇතුළු වෘත්තීය සමිති නායකයෝ රැසක් එක්ව සිටියහ. වැඩ කරන ජනතාවගේ දහඩියෙන් ගොඩනගන ලද මෙම ආණ්ඩුව කිසිදු විටෙක සේවක අරමුදල් අවභාවිත කිරීමට ඉඩ නොදෙන බවත්, ඒවා තවදුරටත් ශක්තිමත් කර සේවක අයිතිවාසිකම් තහවුරු කරන බවත් අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
වැඩ කරන පන්තියට හිමි විශාලතම අරමුදල් දෙක; සේවක අර්ථසාධක අරමුදල, අනික සේවක භාරකාර අරමුදල 3%. සේවක අර්ථසාධක අරමුදල 20%. ලංකාවේ තියෙන විශාලම අරමුදල් වල එකක් බිලියන 6000කට වැඩි අරමුදලක් තියෙනවා. ඔබට මතකයි මේක පටන් ගත්ත දවසේ ඉඳන් කොල්ල කෑම් වලට, හොරා කෑම් වලට, මංකොල්ල කෑම් වලට ලක් වෙච්ච අරමුදලක්. අපි අඛණ්ඩව සටන් කළා. සියලු ආණ්ඩු මේකට විවිධ උපාය මාර්ග යොදලා මේකේ මුදල් එළියට ගන්න හදද්දී, අපි මේක කිව්වේ සේවකයාට වැඩි ප්රතිලාභ දෙන අරමුදලක් ලෙස මේක පාවිච්චි කරගන්න ඕනේ. දැන් මේක රජයට ණය ගන්න අරමුදලක් හැටියට පාවිච්චි කරනවා. හැබැයි රජයට ණය ගන්න අරමුදලක් වෙනුවට, සේවකයාට වැඩි ප්රතිලාභ දෙන අරමුදලක් හැටියට සේවක අර්ථසාධක අරමුදල කොහොමද පාවිච්චි කරන්නේ කියන සාකච්ඡාව අපි වෘත්තීය සමිති ව්‍යාපාරය ඇතුළේ තිබිච්ච සාකච්ඡාවක්. සේවක භාරකාර අරමුදලම අවුරුදු 5න් 5ට ගත්තට, සේවක අර්ථසාධක අරමුදල ගන්න වෙන්නේ අවුරුදු 50න් කාන්තාවන්ට, අවුරුදු 55න් පිරිමින්ට විශ්‍රාම ගියාට පස්සේ.
හැබැයි ඒක විශ්‍රාමයට විතරක් නෙමෙයි, ඒ මහා දැවැන්ත අරමුදල විවිධ අවස්ථාවල අපේ රටේ කොටස් වෙළඳපොළේ දාලා නාස්ති කරා. බැඳුම්කර වල දාලා ජාවාරම් කරා. අපි ශ්‍රී ලංකා මහ බැංකුව වට කරලා සමහර දේවල් නවත්වා ගත්තා. ඔබට මතකයි ඉතිහාසය ඇතුලේ අපි සටන් කරලා සේවක අර්ථසාධක අරමුදල බේරගත්තා. කටුනායක වෙඩි තියලා ඝාතනය කරා රොෂේන්. එහෙම කරපු ඉතිහාසය ඇතුලේ දැන් මේ කට්ටිය හිතන් ඉන්නවා සේවක අර්ථසාධක අරමුදල අපි අතහැරලා, ඒක නිකන් තව කාට හරි පාවිච්චි කරන්න, එහෙම නැත්නම් ආයෝජකයන්ට ඕන විදිහට යොදවන්න, කටයුතු කරන්න ඉඩ දෙනවා කියලා හිතන් ඉන්නවා.
ඒ නිසා මේක අපි හදපු ආණ්ඩුවක්, මේ ඉන්නේ අපේ කම්කරු ඇමති, මේ ඉන්නේ අපේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ හිටපු, නියෝජ්‍ය ඇමති මහින්ද ජයසිංහ සහෝදරයා, මේ ඉන්නේ අපේ ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ඇතුළු අපේ වෘත්තීය සමිති නායකයෝ. ඒ නිසා අපි හදපු ආණ්ඩුව තවදුරටත් අර්ථසාධක අරමුදල ආරක්ෂා කරලා, ශක්තිමත් කරලා, වැඩිපුර ප්රතිලාභ ලබා දෙන එකක් බවට පත් කරනවා මිස, ඒකෙතැනින් එහා කිසි කෙනෙකුට අවභාවිතා කරන්න ඉඩක් හම්බ වෙන්නේ නෑ.
අපේ අරමුණ තියෙන්නේ සේවක අර්ථසාධක අරමුදලේ තව ප්රතිලාභ ප්‍රමාණයක්, සේවකයන්ට ලබා දෙන්න. මොකද විශ්‍රාම ගියාට පස්සේ ඉතුරුව එකතු කරගෙන බැංකුවක දාලා පොලිය කීයක් හරි ගන්න විතරක් නෙමෙයි මේක ඕනේ. අපිට පුළුවන් දැවැන්ත නිවාස ව්‍යාපෘති වලට යන්න. පෞද්ගලික අංශයේ සේවකයාට නිවසක් ලබා ගැනීම වෙනුවෙන් වෙච්ච සාකච්ඡාවක් තියෙනවා. ඒ නිසා ඒ වෙනුවෙන් නිවාස ලබා ගැනීම වෙනුවෙන් මේක පාවිච්චි කරගන්න පුළුවන්. ඉන්ෂුරන්ස් එකක් වෙනුවෙන්, මෙඩිකල් නැත්නම් වෛද්‍ය ආරක්ෂණයක් වෙනුවෙන්, ඒ විතරක් නෙමෙයි අපි පෞද්ගලික අංශයේ සේවකයාගේ විශ්‍රාම වැටුප සම්බන්ධයෙන් වෙච්ච සාකච්ඡාවක් තියෙනවා.
අපි දන්නවා අපේ රටේ රාජ්‍ය සේවකයාට විශ්‍රාම වැටුප නැවත ස්ථාපිත කළා අපේ ආණ්ඩුව. ඒ නිසා රාජ්‍ය සේවකයාගේ විශ්‍රාම වැටුප් ස්ථාපිත කළා වගේම, පෞද්ගලික අංශයේ සේවකයාටත් ඕනේ විශ්‍රාම වැටුපක්. අපි මේ දිනවල සාකච්ඡා කරමින් තියෙනවා විවිධ ක්ෂේත්රවල වැඩ කරන සේවකයන්ගේ වෙනස්කම් ඇතුව කොහොමද යන්නේ කියලා. සමුපකාර ව්‍යාපාරයේත් ඉන්නවා 20,000කට වැඩි සේවකයෝ. ඒ අයටත් තියෙනවා විවිධ වූ විශ්‍රාම වැටුප්, නමුත් ඉතාම සොච්චම් මුදලක් ගන්න එකක් නිසා දායක විශ්‍රාම වැටුපක් හරහා පෞද්ගලික අංශයේ සේවකයාටත් විශ්‍රාම වැටුපක් ලබා දෙනවා නම්, සේවක අර්ථසාධක අරමුදලේ මුදලුත් ආරක්ෂා කර ගනිමින්, සේවකයාට විශ්‍රාම වැටුපක් ලබා ගැනීම සඳහා වන සාකච්ඡාවකත් අපි ඉන්නවා.
ඒ නිසා මේ රටේ වැඩ කරන පන්තියේ, ඒ වැඩ කරන පන්තියේ වුවමනාව මත බිහි කරපු ආණ්ඩුවක්, වැඩ කරන ජනතාව සටන් කරලා ගොඩනගපු ආණ්ඩුවක්, වැඩ කරලා වැඩ කරන ජනතාව ආරක්ෂා කරන ආණ්ඩුවක්, මේ රටේ අර සුන්බුන් වෙච්ච කල්ලි කියන්න උත්සාහ කරනවා, සේවක අර්ථසාධක අරමුදල අපේ, ඒකට අත තියන්න එපා කියලා. සේවක අර්ථසාධක අරමුදලේ අයිතිකරුවෝ තමයි මේ ඉන්නේ. ඒ නිසා අපි ඒක පාවිච්චි කරන්නේ වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් තවදුරටත් සහතික කරන්න, තහවුරු කරන්න, ලබා දෙන්න කියන කාරණය අපි ඒගොල්ලන්ට කියනවා.
ඒ නිසා කලබල වෙන්න එපා. මේක හොඳට දැනගෙන කරන වැඩක්. කරුවලේ අතපත ගාන්නේ නෑ අපි.
