අවිනිශ්චිතතාවයේ පුරාවිද්‍යාව – මහාචාර්ය සසංක පෙරේරා

(මහාචාර්ය සසංක පෙරේරා ද අයිලන්ඩ් වෙබ් අඩවියේ පළ කළ ලිපියක පරිවර්තනයකි)

මහාචාර්ය රාජ් සෝමදේවගේ චෙම්මනි භූමදාන ස්ථානය පිළිබඳ වාර්තාව වටා පැනනැඟී ඇති මතභේදය, මිනිස් අස්ථි කොටස් පිළිබඳ අර්ථකථනයට පමණක් සීමා නොවන, ඊට වඩා පුළුල් ප්‍රශ්න ගණනාවක් මතු කරයි. එය විද්‍යාත්මක නිපුණතාව, ආචාරධර්ම, අධිකරණ වෛද්‍ය වගවීම, ආයතනික වගකීම සහ ඉතිහාසයේ සිදුවූ විය හැකි සාහසික අපරාධ විමර්ශනය කිරීමේදී ශ්‍රී ලංකා රාජ්‍යයේ විශ්වසනීයත්වය පිළිබඳ ප්‍රශ්නයකි. පුරාවිද්‍යාව පිළිබඳ කිසිදු වෘත්තීය සම්බන්ධතාවක් නොමැති සම්පූර්ණ පිටස්තරයකු ලෙස මෙන්ම, මෙම හා ඒ ආශ්‍රිත කරුණු පිළිබඳ දීර්ඝ කාලයක් තිස්සේ කියවා, සිතා බලා ඇති පුද්ගලයකු ලෙසද, සෝමදේවගේ වාර්තාව පිළිබඳ මුල් විවේචනාත්මක අදහස් කියවූ අවස්ථාවේ මගේ සිතට නැඟුණේ මෙම අදහස්ය.

යාපනයේ චෙම්මනි ප්‍රදේශයෙන් මිනිස් ඇටසැකිලි සිය ගණනක් සොයාගැනීම, විද්‍යාත්මක විමර්ශනය, අධිකරණ වගවීම සහ දශක ගණනාවක් පැවති ගැටුම්කාරී කාලපරිච්ඡේදය තුළ අතුරුදන් වූ තම ඥාතීන් පිළිබඳ සත්‍යය සෙවීමට උත්සාහ කරන පවුල්වල අයිතිවාසිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවට තම කැපවීම ප්‍රදර්ශනය කිරීමට ලැබුණු වැදගත් අවස්ථාවක් විය යුතුව තිබුණි. එහෙත් ඒ වෙනුවට, මෑතකදී ඉදිරිපත් කරන ලද පුරාවිද්‍යා වාර්තාව අනවශ්‍ය මතභේදයක්, නීතිමය විරෝධතා සහ යළිත් උත්සන්න වූ දේශපාලන අවිශ්වාසයක් ඇති කර තිබේ.

‘Forensic Archaeological Excavation in Chemmani, Jaffna’ (2025/2026) යන මාතෘකාවෙන් ඉදිරිපත් කර ඇති මෙම වාර්තාව, තුන්වන අතුරු වාර්තාව ලෙස සැලකේ. එහි කතුවරුන් වන්නේ මහාචාර්ය රාජ් සෝමදේව සහ පුරාවිද්‍යාඥ අනුෂා වන්නිනායක ය. මෙම භූමියේ ඇති ලක්ෂණ රහසිගත සමූහ මිනීවළකට වඩා විධිමත් සුසාන භූමියකට වැඩි සමානකමක් දක්වන බව වාර්තාව යෝජනා කරයි. එමෙන්ම, වසංගතයක් හෝ ස්වාභාවික ව්‍යසනයක් හේතුවෙන් මෙම ස්ථානයේ මිනිස් සිරුරු විශාල වශයෙන් තැන්පත් වී තිබිය හැකි බවටද එය විකල්ප අදහසක් ඉදිරිපත් කරයි.

කෙසේ වෙතත්, භූමදාන පිළිබඳ නිශ්චිත නිගමනවලට එළඹීමට දැනට පවතින සාක්ෂි ප්‍රමාණවත් නොවන බව වාර්තාව විසින්ම පිළිගනු ලබයි. මෙම සීමාව ඉතා වැදගත්ය. යම් හැකියාවක් හෝ විකල්ප පැහැදිලි කිරීමක් ඉදිරිපත් කිරීම යනු එය තහවුරු වූ කරුණක් බවට පත්වීම නොවේ. විශේෂයෙන්ම පසුගිය වසර හතළිහ තුළ එම ප්‍රදේශයේ සිදුවූ තීරණාත්මක දේශපාලන සිදුවීම්, ස්වාභාවික ව්‍යසන හෝ වසංගත රෝග පිළිබඳ සාක්ෂි ප්‍රමාණවත් ලෙස සලකා බලා ඇති බවක් නොපෙනෙන අවස්ථාවක මෙය වඩාත් වැදගත් වේ. ඒ හා සමානව, නීතිවිරෝධී ඝාතන සිදුවූ බවට නිශ්චිත සාක්ෂි නොමැති වීමෙන් එවැනි ඝාතන සිදුවී නොමැති බව අදහස් නොවේ.

එබැවින් මෙම මතභේදය මූලික ප්‍රශ්නයක් මතු කරයි. එනම්, විද්‍යාත්මක, අධිකරණමය සහ මහජන විශ්වාසය දිනාගත හැකි නිගමනවලට එළඹීමටත්, භේදකාරී දේශපාලන ප්‍රකාශනවලින් වැළකී සිටීමටත් අවශ්‍ය අධිකරණ වෛද්‍ය විශේෂඥතාව, ක්‍රමවේදමය ස්වාධීනත්වය සහ ආයතනික ආරක්ෂණ විධිවිධාන සහිතව මෙම විමර්ශනය සංවිධානය කර තිබුණේද යන්නයි.

චෙම්මනිහි ඓතිහාසික බර

චෙම්මනි යනු සාමාන්‍ය පුරාවිද්‍යාත්මක ස්ථානයක් නොවේ. වැදගත් කරුණක් වන්නේ, චෙම්මනි සමූහ භූමදාන ස්ථානය පිහිටා ඇත්තේ, යාපනය නගරයට ආසන්නව පිහිටි, ප්‍රධාන වශයෙන් ආදාහන කටයුතු සඳහා භාවිත කළ පැරණි පොදු සුසාන භූමියක සහ ඒ අවට ප්‍රදේශයේ වීමයි. එය විධිමත් ලෙස සිංදුපති සුසාන භූමිය (Sindhubathi Cemetery) ලෙස හැඳින්වූ අතර, ඇතැම් අවස්ථාවල සිත්තූපත්තු සුසාන භූමිය (Siththupaththu Cemetery) ලෙසද හඳුන්වා ඇත. අධිකරණ අනුමැතිය යටතේ සිදුකළ අධිකරණ වෛද්‍ය කැණීම් සහ ඉන් අනතුරුව සිදුකළ ප්‍රධාන සොයාගැනීම් සිදුවූයේ මෙම පොදු සුසාන භූමියට වහාම යාබදව සහ එහි මායිම් ප්‍රදේශවලය. මහා පරිමාණයෙන් නැවත කැණීම් ආරම්භ කිරීමට හේතු වූ මුල් මිනිස් අස්ථි කොටස් සොයාගනු ලැබුවේද ඉදිකිරීම් සහ ප්‍රදේශයේ සංවර්ධන කටයුතු අතරතුර සිංදුපති සුසාන භූමිය තුළම සහ ඒ අවටිනි.

මීට අමතරව, මෙම ස්ථානයේ වැදගත්කම ශ්‍රී ලංකාවේ තවමත් විසඳී නොමැති බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්, නීති විරෝධී අධිකරණයෙන් පිටත ඝාතන පිළිබඳ චෝදනා සහ සිවිල් යුද්ධය හා බැඳුණු ප්‍රචණ්ඩත්වයේ ඉතිහාසයෙන් වෙන් කළ නොහැකිය. මෑත අතීතයේදී මෙම ප්‍රදේශයද එවැනි ප්‍රචණ්ඩ දේශපාලන ක්‍රියාකාරකම්වලට මුහුණ දී තිබීම මෙහිදී විශේෂයෙන් වැදගත් වේ.

විශේෂයෙන්ම 1996 වසරේ ක්‍රිෂාන්ති කුමාරස්වාමි නම් පාසල් සිසුවිය දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ හෙළිදරව් කිරීම්වලින් අනතුරුව, පැහැරගැනීම්, අතුරුදන් කිරීම් සහ රහසිගත භූමදාන පිළිබඳ චෝදනා හේතුවෙන් මෙම ප්‍රදේශය ජාත්‍යන්තර වශයෙන්ද කුප්‍රකට විය. 1999 වසරේ සිදුකළ විමර්ශන සහ මිනීවළවල් ගොඩගැනීම් මගින් මෙම ප්‍රදේශයේ රහසිගත සුසාන භූමි පැවතිය හැකි බවට මහජනතාව තුළ තිබූ සැකය තවදුරටත් තහවුරු විය.

2025 පෙබරවාරි මාසයේදී ඉදිකිරීම් කටයුතු අතරතුර සාමාන්‍ය සුසාන භූමි භාවිතයට අයත් නොවන බව පෙනුණු මිනිස් අස්ථි කොටස් සොයාගැනීමත් සමඟ මෙම ප්‍රශ්න යළිත් මතු විය. ඉන් අනතුරුව අධිකරණ අධීක්ෂණය යටතේ සිදුකළ විමර්ශන, පුරාවිද්‍යා නිලධාරීන්, අධිකරණ වෛද්‍ය නිලධාරීන්, පොලිස් විමර්ශකයන් සහ වෙනත් ආයතනික පාර්ශ්වයන් සම්බන්ධ වූ පුළුල් කැණීම් ක්‍රියාවලියක් බවට පත්විය.

2026 ඔක්තෝබර් මාසය වන විට ඇටසැකිලි 584ක් සහ පුරාවස්තු 170කට අධික සංඛ්‍යාවක් සොයාගෙන ඇති බව Sunday Times පුවත්පත වාර්තා කර තිබුණි. එම විමර්ශනය, ගැටුම්කාරී කාලපරිච්ඡේදයට සම්බන්ධ විය හැකි භූමදාන ස්ථානයකින් මිනිස් අස්ථි කොටස් සොයාගැනීම පිළිබඳ ශ්‍රී ලංකාවේ සිදුකර ඇති වඩාත්ම වැදගත් විමර්ශන ක්‍රියාවලියක් බවට පත්ව තිබේ.

මෙම ඓතිහාසික පසුබිම නිසා අලුතින් විමර්ශනයට ලක්වූ භූමියේ භූමදානය කර ඇති සියලුම පුද්ගලයන් නීතිවිරෝධී ලෙස ඝාතනය කරනු ලැබූවන් බව තහවුරු වන්නේ නැත. එමෙන්ම භූගෝලීය වශයෙන් එකිනෙකට ආසන්නව පිහිටීම පමණක් මත පදනම්ව විවිධ කාලවල සිදුවූ භූමදාන සිදුවීම් එකිනෙකට සම්බන්ධ කළ නොහැකිය. එහෙත් මෙම ඓතිහාසික පසුබිම හේතුවෙන් අතිශය දැඩි සහ විද්‍යාත්මක මට්ටමේ අධිකරණ වෛද්‍ය විමර්ශනයක් අත්‍යවශ්‍ය වේ. මෙහි අරමුණ විය යුත්තේ කලින් තීරණය කළ දේශපාලන ආඛ්‍යානයක් සනාථ කිරීම නොව, ස්වාධීනව තහවුරු කළ හැකි සාක්ෂි මගින් සැබවින්ම සිදුවූයේ කුමක්ද යන්න අනාවරණය කිරීමයි.

වාර්තාව ඇත්ත වශයෙන්ම තහවුරු කරන්නේ කුමක්ද?

සෝමදේවගේ වාර්තාවේ නිරීක්ෂණ කිහිපයක් ඉදිරිපත් කර ඇති අතර, ඒවා ඉතා සැලකිල්ලෙන් සලකා බැලිය යුතුය. ඒ අතර ළමුන්ගේ භූමදාන විශාල වශයෙන් හමුවීම, මළ සිරුරු සමඟ සම්බන්ධ පෞද්ගලික භාණ්ඩ සීමිත වශයෙන් හමුවීම, භූමදාන සැකැස්මේ වෙනස්කම්, 1990 දශකය දක්වා දිවෙන දින වකවානු සහිත කාසි හමුවීම සහ කැණීම් සිදුකළ ප්‍රදේශයෙන් පිටතද තවත් භූමදාන තිබිය හැකි බවට පවතින ඉඟි ඇතුළත් වේ.

න්‍යායාත්මක වශයෙන් සලකා බැලූ විට, වසංගතයක් හෝ ස්වාභාවික ව්‍යසනයක් පිළිබඳ උපකල්පනය ස්වභාවයෙන්ම අසාධාරණ හෝ පිළිගත නොහැකි අදහසක් නොවේ. ඉතිහාසය පුරා ලෝකයේ බොහෝ ප්‍රදේශවල වසංගත සහ ස්වාභාවික ව්‍යසන හේතුවෙන් මළ සිරුරු විශාල සංඛ්‍යාවක් එකම ස්ථානයක භූමදානය කර තිබේ. ඇතැම් සංස්කෘතීන්හි, විශේෂයෙන් දෙමළ හින්දු සමාජයේ, සාමාන්‍යයෙන් අනුගමනය කෙරෙන ආදාහන චාරිත්‍ර පවා එවැනි අවස්ථාවල අත්හිටුවීමට සිදුවී තිබිය හැකිය.

එහෙත් එවැනි පැහැදිලි කිරීමක් තහවුරු කිරීම සඳහා භූමදාන ඝනත්වය හෝ පෞද්ගලික භාණ්ඩ සාපේක්ෂව අඩුවෙන් හමුවීම වැනි කරුණු පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා සොයාගත් අස්ථි සහ ද්‍රව්‍යමය සාක්ෂි ඉක්මවා ගොස් එම ප්‍රදේශයේ සමාජ-දේශපාලන ඉතිහාසය මෙන්ම ස්වාභාවික ඉතිහාසයද විමර්ශනය කළ යුතුය.

නිදසුනක් වශයෙන්, මෙම උපකල්පනය බරපතළ ලෙස සලකා බැලීමට නම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු සොයාගත යුතුය.

  • එම ප්‍රදේශයේ සැලකිය යුතු වසංගත රෝග හෝ ස්වාභාවික ව්‍යසන සිදුවී තිබේද?
  • එවැනි සිදුවීම් සිදුවූයේ කුමන කාලවකවානුවලදීද?
  • ඒවා පිළිබඳ ස්වාධීන ඓතිහාසික ලේඛනගත සාක්ෂි තිබේද?
  • වසංගතයක් පිළිබඳ තර්ක කරන්නේ නම්, අස්ථි පරීක්ෂණ මගින් කිසියම් නිශ්චිත රෝගයකට අනුකූල රෝගී තත්ත්වයන් පිළිබඳ සාක්ෂි හඳුනාගෙන තිබේද?
  • මෙම අස්ථි විද්‍යාත්මකව නිශ්චිත කාලවකවානුවලට අයත් බවට දින නිර්ණය කර තිබේද?

මේ දක්වා මෙම ප්‍රශ්න කිසිවකටත් ප්‍රමාණවත් පිළිතුරු ලැබී නැත.

එසේම, කැණීම් කළ ප්‍රදේශ තුළ විධිමත් භූමදාන චාරිත්‍ර පැවති බවට වාර්තාව ඉදිරිපත් කරන යෝජනාවද, ඓතිහාසික සුසාන භූමි වාර්තා, සාම්ප්‍රදායික භූමදාන හා ආදාහන සංවිධාන ක්‍රම, ප්‍රදේශීය අවමංගල්‍ය සමිතිවල වාර්තා, භූස්තර විශ්ලේෂණ සහ මළ සිරුරුවලට සැලකූ ආකාරය පිළිබඳ සමාජ-සංස්කෘතික සාක්ෂි සමඟ සසඳා විමර්ශනය කළ යුතුය.

විශේෂයෙන්ම ‘Forensic Archaeological Excavation in Chemmani’ පිළිබඳ පළවී ඇති වාර්තා අනුව, අස්ථි කොටස් සඳහා විද්‍යාත්මක කාල නිර්ණය කිරීම සහ මරණයට හේතු තහවුරු කිරීම සඳහා වූ ක්‍රමානුකූල විශ්ලේෂණ තවමත් අවසන් කර නොමැති බව පෙනේ. එබැවින් ඉදිරිපත් කර ඇති විකල්ප පැහැදිලි කිරීම්, ඓතිහාසික කරුණු ලෙස සැලකීම වෙනුවට, දැඩි ලෙස උපකල්පන මට්ටමේ පමණක් තබාගත යුතුය.

කනගාටුවට කරුණක් වන්නේ, ඕනෑම සමාජයක සංවේදී තොරතුරු සහ සංවේදී සොයාගැනීම් බොහෝවිට ඵලදායී ලෙස විශ්ලේෂණය නොවීමයි. සෝමදේවගේ වාර්තාවේ යැයි කියැවෙන සොයාගැනීම් වටා ඇති වූ මහජන කැළඹීමෙන් පෙනී යන්නේ, කරුණු නිසි ලෙස තහවුරු කිරීමට පෙර සංවේදී සහ ආන්දෝලනාත්මක ප්‍රචාරණය මගින් සත්‍යය සෙවීමේ ක්‍රියාවලිය අඳුරු කළ හැකි බවයි.

සමූහ මිනීවළක් සහ නීතිවිරෝධී භූමදාන ස්ථානයක් අතර වෙනසද නිවැරදිව හඳුනාගත යුතුය. එකම ස්ථානයක මිනිස් අස්ථි කොටස් විශාල සංඛ්‍යාවක් හමුවීමෙන් පමණක් එය අපරාධයකට සම්බන්ධ බව තහවුරු නොවේ. අනෙක් අතට, විධිමත් භූමදාන ක්‍රමයක් පැවතීමෙන් නීතිවිරෝධී මරණ හෝ පසුව සිදුකළ සඟවා තැබීම් බැහැර වන්නේද නැත. එහෙත් මෙම කරුණු පැහැදිලි කළ යුතුය.

නිදසුනක් වශයෙන්, ප්‍රධාන වශයෙන් ආදාහන චාරිත්‍ර අනුගමනය කරන ප්‍රදේශයක වැඩිහිටි පුද්ගලයන්ගේ සිරුරු මෙතරම් විශාල සංඛ්‍යාවක් භූමදානය කර තිබෙන්නේ ඇයි? දෑත් බැඳ තිබූ බව කියැවෙන, වාඩි වී සිටින ඉරියව්වෙන් හමුවූ ඇටසැකිලි පිළිබඳ වාර්තා මෑතකදී ඉදිරිපත් කළ වාර්තාවට ඇතුළත් නොවූයේ ඇයි?

පුරාවිද්‍යාව යනු ස්වයංක්‍රීයව අධිකරණ පුරාවිද්‍යාව නොවේ

සෝමදේව යනු ශාස්ත්‍රීය ක්ෂේත්‍රය තුළ පිළිගැනීමක් ඇති පුරාවිද්‍යාඥයෙකි. එහෙත් පුරාවිද්‍යාව පිළිබඳ ඔහුගේ වෘත්තීය පිළිගැනීම පමණක්, අධිකරණ පුරාවිද්‍යාව පිළිබඳ විශේෂඥ නිපුණතාව ඔහු සතු බව තහවුරු කිරීමට ප්‍රමාණවත් නොවේ.

අධිකරණ පුරාවිද්‍යාව යනු පුරාවිද්‍යාත්මක ක්‍රමවේද, අධිකරණ මානව විද්‍යාව, අධිකරණ වෛද්‍ය විමර්ශන, අපරාධමය සාක්ෂි සහ අධිකරණ ක්‍රියාපටිපාටි යන ක්ෂේත්‍ර එකිනෙක සම්බන්ධ වන විශේෂිත විෂය ක්ෂේත්‍රයකි. එහි අරමුණ අතීත මානව ක්‍රියාකාරකම් ප්‍රතිනිර්මාණය කිරීම පමණක් නොව, අපරාධ වගකීම තහවුරු කිරීමට අදාළ විය හැකි කරුණු හඳුනාගැනීමද වේ.

අධිකරණ පුරාවිද්‍යා විමර්ශනයක් සඳහා මිනිස් සිරුරක් දිරාපත්වීමේ ක්‍රියාවලිය, අස්ථිවලට සිදුවූ තුවාල, භූමදාන ස්ථානවල සිදුවූ වෙනස්කම්, එකිනෙක මිශ්‍ර වූ අස්ථි කොටස්, සාක්ෂි ගොඩගැනීමේ ක්‍රමවේද සහ සාක්ෂි භාරකාරත්වයේ අඛණ්ඩතාව (Chain of Custody) පිළිබඳ විශේෂිත දැනුම අවශ්‍ය වේ.

එබැවින් මෙම කැණීම් කටයුතුවලට සම්බන්ධ පුද්ගලයන් අතර අධිකරණ පුරාවිද්‍යාව පිළිබඳ විශේෂඥ පුහුණුව සහිත අය සිටින්නේද යන්නත්, එවැනි සුදුසුකම් නොමැති අය කවුරුන්ද යන්නත් පැහැදිලිව වෙන්කර හඳුනාගැනීම වැදගත්ය. සෝමදේව හෝ ඔහුගේ කණ්ඩායම සතු නිශ්චිත අධිකරණ වෛද්‍ය පුහුණුව සහ අදාළ සිද්ධීන් සම්බන්ධ අත්දැකීම් පිළිබඳව කිසිදු නිශ්චිත තීන්දුවකට එළඹීමට පෙර ඒවා ස්වාධීනව තහවුරු කළ යුතුය. කෙසේ වෙතත්, මෙය සැලකිල්ලට ගත යුතු කරුණකි. මා දන්නා පරිදි ශ්‍රී ලංකාව තුළ වෘත්තීය මට්ටමේ අධිකරණ පුරාවිද්‍යා විශේෂඥතාවක් තවමත් ස්ථාපිත වී නොමැත.

එසේ වුවද, අප ඇසිය යුතු ප්‍රධාන ප්‍රශ්නය මෙයයි. මෙතරම් සංවේදී විමර්ශනයක්, විනිවිදභාවයෙන් තහවුරු කළ හැකි බහුවිෂය අධිකරණ වෛද්‍ය පුහුණුවක් සහ නායකත්ව ව්‍යුහයක් හෝ කණ්ඩායම් සංයුතියක් නොමැතිව, එක් පුරාවිද්‍යා විශේෂඥයකුගේ අර්ථකථන අධිකාරිය මත මෙතරම් රඳා පවතින තත්ත්වයකට පත්කළේ ඇයි?

මෙහි ප්‍රශ්නය වන්නේ සාම්ප්‍රදායික පුරාවිද්‍යාඥයකුට මෙවැනි කාර්යයකට දායක විය හැකිද යන්න නොවේ. එවැනි විශේෂඥතාවක් අත්‍යවශ්‍යය. ප්‍රශ්නය වන්නේ, අපරාධයක් සිදුවූ බවට සැක කෙරෙන ස්ථානයක සාක්ෂිමය අර්ථකථනය මෙහෙයවීමට සාම්ප්‍රදායික පුරාවිද්‍යාත්මක දැනුම පමණක් ප්‍රමාණවත්ද යන්නයි. ලෝකයේ වෙනත් රටවල සිදුකර ඇති අධිකරණ පුරාවිද්‍යා කැණීම් පිළිබඳ පුළුල් අත්දැකීම් සලකා බැලීමේදීද මෙම ප්‍රශ්නය ඉතා වැදගත් වේ.

එසේම, ශාස්ත්‍රීය අර්ථයෙන් පුරාවිද්‍යා ක්ෂේත්‍ර කටයුතු මෙහෙයවීම සහ සමස්ත අධිකරණ වෛද්‍ය විමර්ශනයක් මෙහෙයවීම අතරද වැදගත් වෙනසක් පවතී. නිල ලේඛනවලින් පෙනී යන්නේ චෙම්මනි විමර්ශනයට අධිකරණ වෛද්‍ය නිලධාරියකු, පොලිස් අපරාධ ස්ථාන විමර්ශන නිලධාරීන් සහ වෙනත් විශේෂඥයන් ද සම්බන්ධ වී ඇති බවයි. එබැවින් සමස්ත මෙහෙයුමම සෝමදේව විසින් පමණක් හෝ ඔහු සහ වන්නිනායක විසින් පමණක් සිදුකරන ලද කැණීමක් ලෙස හැඳින්වීම නිවැරදි නොවේ.

එමෙන්ම, මෙම විශේෂඥයන් සියලුදෙනාම දැනට පවතින වාර්තා තුන සකස් කිරීමට දායක වී ඇත්නම්, එම වාර්තාවලට ප්‍රධාන වශයෙන් සම්බන්ධ වූ සියලුම නිලධාරීන්ගේ අත්සන් ඇතුළත් වීම යෝග්‍ය විය යුතුය. එහෙත් එසේ සිදුවී ඇති බවක් නොපෙනේ.

ඒ අනුව, වඩාත් සාධාරණ හා තර්කානුකූල විවේචනය විය යුත්තේ අර්ථකථන බලය සීමිත පිරිසකට පවරා තිබීම, වාර්තා සකස් කළ කණ්ඩායමේ සංයුතිය සහ ස්වාධීන විශේෂඥ පරීක්ෂාව කොතෙක් දුරට සිදුවී ඇත්ද යන කරුණු පිළිබඳවයි.

කැණීම් කිරීම යනු විනාශ කිරීමකි: ක්‍රමවේදය වැදගත් වන්නේ ඇයි?

නූතන පුරාවිද්‍යාවේ මූලික සිද්ධාන්තයක් වන්නේ කැණීමේ ක්‍රියාවලිය මගින් අධ්‍යයනය කරන මුල් භෞතික සම්බන්ධතා අනිවාර්යයෙන්ම විනාශ වන බවයි. මෝර්ටිමර් වීලර් (Mortimer Wheeler) 1954දී ප්‍රකාශයට පත් කළ Archaeology from the Earth කෘතියෙන් මෙම ගැටලුව පැහැදිලි කර තිබේ. ඊට පෙර ෆ්ලින්ඩර්ස් පෙට්‍රි (Flinders Petrie) ක්‍රමානුකූල වාර්තාකරණයේ වැදගත්කම අවධාරණය කළේය. පසුව පිලිප් බාර්කර් (Philip Barker) කැණීම් ක්‍රියාවලිය මූලික වශයෙන් නැවත සිදුකළ නොහැකි කාර්යයක් බව පැහැදිලි කළේය.

පසෙහි ස්ථර ඉවත් කර අස්ථි කොටස් ගොඩගත් පසු, ඒවා පැවති මුල් අවකාශීය සම්බන්ධතා වෙනත් කැණීමක් මගින් සරලව නැවත ප්‍රතිනිර්මාණය කළ නොහැකිය. එබැවින් නිවැරදි භූස්තර ලේඛනගත කිරීම, සිතියම් සහ චිත්‍ර, ඡායාරූප, අවකාශීය සිතියම්ගත කිරීම, සාම්පල ලබාගැනීම සහ ගනු ලැබූ තීරණ ක්‍රමානුකූලව සටහන් කිරීම මගින් විද්‍යාත්මක වාර්තාව ආරක්ෂා කළ යුතුය.

ඉයන් හොඩර්ගේ (Ian Hodder) ‘interpretation at the trowel’s edge’ යන සංකල්පය අනුව මෙම ගැටලුව තවත් වැදගත් වේ. එනම්, කැණීම් සිදුකරන පුද්ගලයන් හුදෙක් මධ්‍යස්ථ කරුණු සොයාගැනීම පමණක් සිදු නොකරති. භූමදාන ස්ථානයක මායිමක්, කැළඹුණු පස් ස්ථරයක්, තැන්පතුවක් හෝ ඒ ආශ්‍රිත වස්තුවක් ලෙස හඳුනාගන්නේ කුමක්ද යන්න පිළිබඳ ඔවුන් ගන්නා තීරණ, ඉතිරි වන සාක්ෂි ප්‍රමාණයට සහ පසුව ඒවා අර්ථකථනය කරන ආකාරයට බලපායි.

පුරාවිද්‍යාවේ න්‍යායාත්මක හා ක්ෂේත්‍ර අත්දැකීම් තුළ ප්‍රසිද්ධ මෙම තර්ක මගින් පෙන්වා දෙන්නේ කැණීම් කටයුතු එක් ජ්‍යෙෂ්ඨ ශාස්ත්‍රඥයකුගේ අධිකාරිය වටා සංවිධානය වූ ක්‍රියාවලියක් නොව, විවිධ විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් සිදුවන සහයෝගී විද්‍යාත්මක කාර්යයක් විය යුතු බවයි.

චෙම්මනි වැනි අපරාධයක් සිදුවූ බවට සැක කෙරෙන සමූහ භූමදාන ස්ථානයකදී මෙවැනි දෝෂවල ප්‍රතිවිපාක විශේෂයෙන්ම බරපතළය. භූස්තර සම්බන්ධතා ප්‍රමාණවත් ලෙස ලේඛනගත නොකළහොත්, විවිධ කාලවල සිදුවූ භූමදාන වෙන්කර හඳුනාගැනීමට නොහැකි විය හැකිය. සාක්ෂි ගොඩගැනීමේ ක්‍රමවේද ප්‍රමාණවත් නොවීම නිසා තුවාල සහ ප්‍රචණ්ඩත්වය පිළිබඳ සාක්ෂි විනාශ විය හැකිය. පුද්ගලයන් සහ ඔවුන් සමඟ තිබූ වස්තූන් අතර සම්බන්ධතා නිසි ලෙස වාර්තා නොකළහොත්, අනන්‍යතාව හඳුනාගැනීම හෝ කාල නිර්ණය කිරීම දුර්වල විය හැකිය.

මේවා හුදෙක් ශාස්ත්‍රීය අඩුපාඩු නොවේ. චෙම්මනි වැනි ස්ථානයක සාක්ෂිමය වටිනාකම සදහටම අඩු කිරීමට හෝ විනාශ කිරීමට හේතු විය හැකි කරුණුය.

කෙසේ වෙතත්, චෙම්මනිහිදී මෙවැනි අසාර්ථකතා සැබවින්ම සිදුවූ බව නිගමනය කිරීමට ප්‍රමාණවත් තොරතුරු මහජනතාවට ලබාගත හැකි ආකාරයෙන් තවමත් ප්‍රකාශයට පත්කර නොමැත. එහෙත් එවැනි අවදානමක් පවතින බව පවා විනිවිදභාවයෙන් යුත් ක්‍රමවේද, ස්වාධීනව පරීක්ෂා කළ හැකි වාර්තා සහ විශේෂඥ අධීක්ෂණයේ අවශ්‍යතාව තවදුරටත් තහවුරු කරයි.

වාර්තාව බහුවිෂය විශේෂඥයන්ගේ සහභාගීත්වයෙන් සකස් නොකළේ ඇයි?

‘Forensic Archaeological Excavation in Chemmani’ නම් වාර්තාව තාක්ෂණික වශයෙන් එක් පුද්ගලයකු විසින් පමණක් සකස් කළ එකක් නොවේ. එහි සෝමදේව සමඟ අනුෂා වන්නිනායක ද සම කතුවරියක ලෙස හඳුනාගෙන තිබේ. එසේ වුවද, එහි කර්තෘත්වය මගින් මෙම වාර්තාවේ අර්ථකථන නිගමනවලට අදාළ සියලුම අධිකරණ වෛද්‍ය විශේෂඥතාවන් ඇතුළත් වී තිබේද යන වැදගත් ප්‍රශ්නය මතු වේ.

නීතිවිරෝධී මරණ සිදුවී තිබිය හැකි ස්ථානයක් සම්බන්ධ වාර්තාවක් තුළ අධිකරණ පුරාවිද්‍යාඥයන්, අධිකරණ මානව විද්‍යාඥයන්, අධිකරණ වෛද්‍ය නිලධාරීන්, අධිකරණ වෛද්‍ය රෝග විශේෂඥයන් සහ මිනිස් අනන්‍යතාව හඳුනාගැනීම පිළිබඳ විශේෂඥයන්ගේ ස්වාධීනව හඳුනාගත හැකි දායකත්වයන් ඒකාබද්ධ විය යුතුය.

යම් දුරකට රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවට සුදුසු රසායනාගාර විශේෂඥතාව ලබාදීමට හැකිව තිබුණි. අධිකරණ අමාත්‍යාංශයට අවශ්‍ය සම්පත් සහ ආයතනික සම්බන්ධීකරණය සැපයීමටද හැකිව තිබුණි. සුදුසුකම් සහිත එක්සත් ජාතීන්ගේ සංවිධානයට සම්බන්ධ විශේෂඥයන් ඇතුළු ජාත්‍යන්තර විශේෂඥයන්ට ස්වාධීන තාක්ෂණික සමාලෝචනයක් ලබාදීමටද හැකියාව තිබුණි.

කෙසේ වෙතත්, ආයතනික සහාය සහ විද්‍යාත්මක ස්වාධීනත්වය අතර වෙනස කිසිසේත්ම අහිමි නොවිය යුතුය. එහෙත් ප්‍රකාශයට පත්කර ඇති තොරතුරු අනුව, මෙවැනි විවිධ විශේෂඥ ක්ෂේත්‍රවල දායකත්වය කොතෙක් දුරට ලබාගෙන තිබේද යන්න පිළිබඳ පැහැදිලි බවක් නොමැත.

ඇත්ත වශයෙන්ම, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව 2025 සැප්තැම්බර් මාසයේ ඉදිරිපත් කළ කරුණු සොයාබැලීමේ වාර්තාව මගින්ද අධිකරණ වෛද්‍ය විශේෂඥයන් සහ තාක්ෂණික පහසුකම් හිඟය දැනටමත් හඳුනාගෙන තිබුණි. එමෙන්ම සමූහ මිනීවළවල් විමර්ශනය කිරීම සඳහා විධිමත් ලෙස සම්මත කරගත් සම්මත මෙහෙයුම් ක්‍රියාපටිපාටියක් (Standard Operating Procedure – SOP) නොතිබූ බවද එම වාර්තාව පෙන්වා දී තිබුණි.

මේවා ඉතා බරපතළ ආයතනික දුර්වලතාය. වත්මන් මතභේදයට බොහෝ කලකට පෙර සහ සැබෑ කැණීම් ආරම්භ කිරීමටත් පෙර විසඳිය යුතුව තිබූ ගැටලුය.

නිසි ලෙස සංවිධානය කළ බහුවිෂය විමර්ශනයක් තුළ සෑම කරුණක් සම්බන්ධයෙන්ම සියලු විශේෂඥයන් එකඟතාවකට පැමිණීම අත්‍යවශ්‍ය නොවේ. විශේෂඥයන් අතර මතභේද පවතින්නේ නම්, ඒවා පැහැදිලිව වාර්තා කළ යුතුය. එවැනි මතභේද විද්‍යාත්මක විශ්වසනීයත්වය දුර්වල කරනවා වෙනුවට, උපකල්පන පරීක්ෂාවට ලක්කිරීම තුළින් එය තවදුරටත් ශක්තිමත් කළ හැකිය.

දේශපාලන ප්‍රතිවිපාක සහ ආයතන කෙරෙහි විශ්වාසය බිඳවැටීමේ අවදානම

‘Forensic Archaeological Excavation in Chemmani’ වාර්තාවේ අර්ථකථන හේතුවෙන් ඇතිවී තිබෙන දේශපාලන ප්‍රතිවිපාක දැනටමත් දැකගත හැකිය.

ඔක්තෝබර් 26 වැනිදා Sunday Times පුවත්පතේ වාර්තාවකට අනුව, අතුරුදන් වූවන්ගේ පවුල් විසින් මෙම අතුරු වාර්තාවට එරෙහිව යාපනය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ අභියෝග කර තිබේ. සෙල්වම් අඩෛක්කලනාදන් සහ ගජේන්ද්‍රකුමාර් පොන්නම්බලම් ඇතුළු උතුරේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වාර්තාවේ නිගමන පිළිබඳ ප්‍රශ්න මතුකර ඇති අතර, ජාත්‍යන්තර මැදිහත්වීමක්ද ඉල්ලා තිබේ.

මෙම ප්‍රතිචාර හුදෙක් දේශපාලන අවස්ථාවාදයක් ලෙස බැහැර කළ නොහැකිය. එවැනි අවස්ථාවාදී ක්‍රියාකාරකම් සැමවිටම පවතින නමුත්, මෙම ප්‍රතිචාර පිටුපස අතුරුදන්වීම් සහ චෝදනා ලැබූ සාහසික අපරාධ පිළිබඳ විමර්ශනවලින් විශ්වසනීය පිළිතුරු ලබාදීමට රාජ්‍ය ආයතන නැවත නැවතත් අසමත් වූ ඉතිහාසයක්ද පවතී.

එසේම, දේශපාලන විරෝධතා විද්‍යාත්මක සාක්ෂිවලට ආදේශකයක් විය නොහැකිය. මතභේදයට තුඩුදුන් අධිකරණ වෛද්‍ය අර්ථකථනයකට නිසි ප්‍රතිචාරය විය යුත්තේ ස්වාධීන පරීක්ෂාවක් සිදුකිරීම මිස, වාර්තාව හෝ එහි විවේචකයන් ස්වයංක්‍රීයව නිවැරදි යැයි පිළිගැනීම නොවේ.

රජය සම්බන්ධයෙන් ගත් කල, මෙහි ප්‍රතිවිපාක බරපතළය. විමර්ශනයක් ප්‍රමාණවත් ස්වාධීනත්වයකින් තොර බවට මහජනතාව තුළ හැඟීමක් ඇතිවුවහොත්, චෝදනා එල්ල වී ඇති මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව රාජ්‍ය ආයතන අපක්ෂපාතීව විමර්ශනය කිරීමට අකමැති බවට දිගුකාලීනව පවතින සැකය තවදුරටත් ශක්තිමත් වනු ඇත.

සංහිඳියාව, වගවීම සහ ආයතනික ප්‍රතිසංස්කරණ පිළිබඳ තම කැපවීම මගින් විශ්වසනීයත්වයක් ගොඩනඟා ගැනීමට උත්සාහ කරන වත්මන් රජයට මෙය විශේෂයෙන්ම හානිකරය. එසේ වුවද, රජයේ ඇතැම් කොටස්වලද ශ්‍රී ලංකාවේ ලේ වැකි ඉතිහාසය නිර්මාණය කිරීමට දායක වූ පුද්ගලයන් සිටින බව නොසලකා හැරිය නොහැකිය.

විනිවිදභාවයෙන් යුත් ජාතික හා ජාත්‍යන්තර තාක්ෂණික සහභාගීත්වයක් සහිත බහුවිෂය විමර්ශනයක් මගින් දේශපාලන විවේචන සම්පූර්ණයෙන්ම ඉවත් කළ නොහැකි වුවද, විශේෂඥයන් සැබවින්ම ස්වාධීන නම් සහ ඔවුන්ගේ ක්‍රියාපටිපාටි පරීක්ෂාවට විවෘත නම්, ආයතනික මැදිහත්වීමක් පිළිබඳ චෝදනා පවත්වාගෙන යාම වඩාත් අපහසු වනු ඇත.

පවතින තත්ත්වය තුළ කළ යුතු නිවැරදිම දෙය වන්නේ, සෝමදේවගේ වාර්තාව මතභේදයට තුඩුදී ඇති නිසාම එය සම්පූර්ණයෙන්ම බැහැර කිරීම නොවේ. එමෙන්ම එහි තාවකාලික අර්ථකථන අවසන් සහ තහවුරු වූ ඉතිහාසමය නිගමන ලෙස රාජ්‍ය බලධාරීන් පිළිගැනීමද නොවේ.

ඒ වෙනුවට, යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට සහාය වන පරිදි ස්වාධීන බහුවිෂය අධිකරණ වෛද්‍ය සමාලෝචනයක් සිදුකිරීම සුදුසුය. එම සමාලෝචනය තුළ කැණීම් වාර්තා, අස්ථි සාක්ෂි, රසායනාගාර සොයාගැනීම්, ක්‍රමවේදමය උපකල්පන සහ විකල්ප පැහැදිලි කිරීම් විශ්වසනීය විද්‍යාත්මක පරාමිතීන්ට අනුව විමර්ශනය කළ යුතුය.

එමෙන්ම වසංගතයක් හෝ ස්වාභාවික ව්‍යසනයක් පිළිබඳ උපකල්පනය, නීතිවිරෝධී භූමදාන සිදුවීම්, විවිධ කාලවල සිදුවූ බහු භූමදාන සහ ඉතිහාසයට අනුකූල විය හැකි වෙනත් පැහැදිලි කිරීම් සමඟ සමාන විද්‍යාත්මක අවධානයකින් සලකා බැලිය යුතුය.

පුළුල් පාඩම

චෙම්මනි සිද්ධියෙන් අපට පෙනී යන්නේ පුද්ගලයකුගේ ශාස්ත්‍රීය කීර්තිය සහ සංකීර්ණ අධිකරණ වෛද්‍ය විමර්ශනයක් සඳහා අවශ්‍ය සාමූහික විශේෂඥතාව එකිනෙකට පටලවා ගැනීමේ අවදානමයි.

එමෙන්ම, මෙය ශ්‍රී ලංකාවේ පවතින පුළුල් ආයතනික ගැටලුවක්ද හෙළි කරයි. එනම්, ඉතා සංවේදී මහජන ප්‍රශ්නවලට පිළිතුරු සෙවීමේදී ශක්තිමත්, වගවිය හැකි සහ බහුවිෂය ආයතනික පද්ධති ගොඩනැඟීම වෙනුවට, මහජන ප්‍රසාදයක් දිනාගෙන සිටින ප්‍රසිද්ධ පුද්ගලයන් මත අධික ලෙස රඳා පැවතීමේ ප්‍රවණතාවයි.

විශ්වසනීයත්වය වැදගත් නම්, විද්‍යාත්මක අධිකාරිය ගොඩනැඟිය යුත්තේ පරීක්ෂා කළ හැකි ක්‍රමවේද, ස්වාධීනව තහවුරු කළ හැකි සොයාගැනීම් සහ පවතින සාක්ෂිවල ප්‍රමාණයට හා ස්වභාවයට සරිලන නිගමන මතය.

මෙම සන්දර්භය තුළ චෙම්මනි සිද්ධියෙන් ලැබෙන පාඩම පුරාවිද්‍යාවට පමණක් සීමා නොවේ. රාජ්‍යය විසින් මතභේදයට තුඩුදී ඇති ඓතිහාසික සිදුවීම් විමර්ශනය කරන සෑම අවස්ථාවකදීම, අවසානයේ ලැබෙන සොයාගැනීම් මෙන්ම විමර්ශන ක්‍රියාවලියේ විශ්වසනීයත්වයද එකසේ වැදගත් වේ.

චෙම්මනිහි මිනිස් අස්ථි කොටස් වසංගතයක ප්‍රතිඵලයක් බව විද්‍යාත්මකව තහවුරු කළ හැකි නම්, එම නිගමනය බරපතළ ලෙස සලකා බැලිය යුතුය. ඒ හා සමානව, නීතිවිරෝධී ඝාතන සිදුවූ බවට විශ්වසනීය සාක්ෂි අනාවරණය වන්නේ නම්, ඒ පිළිබඳ විමර්ශනය කර වගකිවයුත්තන් නීතිය හමුවට ගෙන ඒම අත්‍යවශ්‍ය වේ.

මෙම හැකියාවන් දෙකෙන් එකක්වත් කල්තියා වඩාත් නිවැරදි බවට හෝ සත්‍යය බවට පිළිගත යුතු නොවේ.

අවසානයේදී, සැබෑ ඛේදවාචකය වනු ඇත්තේ වැරදි අර්ථකථනයක් ජයගැනීම පමණක් නොවේ. ආපසු ලබාගත නොහැකි සාක්ෂි ප්‍රමාණවත් ලෙස විමර්ශනය නොකිරීම, වළක්වාගත හැකි ආයතනික දුර්වලතා හේතුවෙන් මහජන විශ්වාසය යළි ගොඩනැඟිය නොහැකි තරමට විනාශ වීම සහ රජයට අනවශ්‍ය මහජන සම්බන්ධතා අර්බුදයකට මුහුණදීමට සිදුවීමද එහි කොටසකි. එවැනි තත්ත්වයක් ශ්‍රී ලංකාවට දිගුකාලීන ජාත්‍යන්තර ප්‍රතිවිපාක ඇති කිරීමටද ඉඩ තිබේ.

Author

Leave a Reply

Related Posts