ඉරානය මේ සතියේ මධ්‍යම ටෙහෙරානයේ එන්කෙලාබ් චතුරස්රයට (Enqelab Square) ඉහළින් දැවැන්ත ප්රචාරක පුවරුවක් සහ බැනර් ප්‍රදර්ශනය කළේය. නිල ඉරාන කවයන් තුළ ඩොනල්ඩ් ට්‍රම්ප් කෙරෙහි පවතින පෞද්ගලික වෛරයේ තරම තවදුරටත් ඉහළ නංවමින්, එම පුවරුවේ ඉංග්‍රීසි භාෂාවෙන් “අපි ට්‍රම්ප්ව මරා දමන්නෙමු” (We will kill Trump) යනුවෙන් ප්‍රතිඥා දී තිබුණි.
එම පෝස්ටරයෙන් එක්සත් ජනපද ජනාධිපතිවරයා හිස පහත් කරගෙන සිරකූඩුවක් තුළ සිටින අයුරු නිරූපණය කෙරේ. එක් අතකින් බලන කල, අඟහරුවාදා පැවති එක්සත් ජනපද අතුරු මැතිවරණ ප්‍රතිඵල සැලකිල්ලට ගැනීමේදී, ඉරානය සැබවින්ම ට්‍රම්ප්ව හෝ අවම වශයෙන් ඔහුගේ ජනාධිපති ධුරයේ දෙවන ධුර කාලය හෝ අවසන් කර දමා ඇත. ට්‍රම්ප් ලැබූ මෙම පසුබෑම වඩාත් තියුණු හා උත්ප්රාසාත්මක වන්නේ, ජිමී කාටර්ව දැඩි අර්බුදයකට හසු කළ 1979 වසරේ ටෙහෙරානයේ පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාලය අත්පත් කර ගැනීමේ සංවත්සරය ඉරාන නායකත්වය විසින් සමරනු ලබන දිනයේදීම එය සිදුවීම නිසාය. එය එක්සත් ජනපද ජනාධිපතිවරුන් එක් අයෙකුට වඩා වැඩි පිරිසකගේ අනාගත අපේක්ෂාවන් ඉරානය විසින් බිඳ දමා ඇති ආකාරය පිළිබඳ සිහිකැඳවීමකි.
ඉතා උනන්දුවෙන් නිරීක්ෂණය කරන ලද මෙම මැතිවරණ ප්‍රතිඵල ඉරානය තුළ සැලකිය යුතු මට්ටමේ ජයග්‍රාහී උද්දාමයක් ඇති කිරීම පුදුමයට කරුණක් නොවේ.
ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විද්වතෙකු වන එහ්සාන් මොවාහෙයිදියන් (Ehsan Movaheidian) කියා සිටියේ, “ඉරාන ඉස්ලාමීය ජනරජය ඇමරිකාව තුළ පාලන තන්ත්ර වෙනසක් සිදු කිරීමට සමත් වී තිබෙනවා. නුදුරේදීම යුරෝපයේද එයම සිදුවනු ඇති. ඉරානයේ බලය ඉදිරියේ හිස නමන්න,” යනුවෙනි.
පාර්ලිමේන්තුවේ ගතානුගතික මන්ත්‍රීවරයෙකු වන මෙයිසම් සොහුරියන් (Meisam Zohurian) පැවසුවේ, “එක්සත් ජනපද මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳ ඇති වී තිබෙන සතුටට එක් පක්ෂයක පැමිණීම හෝ තවත් පක්ෂයක නික්ම යාම සමඟ කිසිදු සම්බන්ධයක් නැහැ. මෙහි ඇති වැදගත්ම කරුණ වන්නේ ආක්රමණිකයා බිමටම ඇද වැටී අවමානයට පත්වීම සහ එම ප්‍රතිඵලය කෙරෙහි ඉරානය බලපෑමක් එල්ල කර තිබීමයි,” යනුවෙනි.
පාර්ලිමේන්තුවේ පළමු නියෝජ්‍ය කථානායක අලි නික්සාඩ් (Ali Nikzad) සඳහන් කළේ, “මෙම මැතිවරණ පරාජයන් යනු ඉරාන ජනතාව හමුවේ ට්‍රම්ප් ලැබූ පරාජයේ පසු කම්පන වේ,” යනුවෙනි.
කෙසේ වෙතත්, එක්සත් ජනපද ප්‍රතිපත්තියේ වෙනසක් අපේක්ෂා කරන ඕනෑම අයෙකු “බරපතල මුළාවක” සිටින බව ඉරානයේ උත්තරීතර නායකයා පැවසීය. “පක්ෂ හෝ කණ්ඩායම් වෙනස්වීම් හරහා මෙම ආධිපත්‍යවාදී ක්රමයේ හැසිරීම වෙනස් විය හැකි බවට අංශු මාත්‍රයක හෝ බලාපොරොත්තුවක් තවමත් තබාගෙන සිටින අය, හෝ එක්සත් ජනපදයට සහන ලබා දීමෙන් ඉරාන ජාතිය කෙරෙහි පවතින ඔවුන්ගේ සතුරුකම නැති කර ගත හැකි යැයි සිතන අය සිටින්නේ බරපතල මුළාවකය,” යනුවෙන් මොජ්තාබා කමේනි (Mojtaba Khamenei) ලියා තැබීය.
නමුත් දැන් මතුව ඇති ප්‍රධානතම ප්රශ්නය වන්නේ, මෙම දැවැන්ත දේශපාලන පෙරළිය සිය රාජ්‍යතාන්ත්‍රික උපායමාර්ගයන් නැවත සමාලෝචනය කිරීමට අවස්ථාවක් ලෙස දෙපාර්ශ්වයෙන් එක් පාර්ශ්වයක් හෝ සලකනු ඇත්ද යන්නයි. ඉරානයේ ප්‍රධාන සාකච්ඡාකරු වන මොහොමඩ් බගර් ගලිබාෆ් (Mohammad Bagher Ghalibaf), ඇමරිකානු ජනතාවගේ බුද්ධිමත් තීරණය පිළිගන්නා ලෙස ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටීමට ඉක්මන් විය. ඇමරිකාවේ ජනමතයට හිස නමන ලෙස ඔහු සමාජ මාධ්‍ය ඔස්සේ ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටියේ මෙසේය: “හෘද සාක්ෂියට අනුව වුවද, ජීවන වියදම හේතුවෙන් වුවද, ඇමරිකාව යුද්ධයට එපා කියා තිබෙනවා; අපි එම පණිවිඩය අනුමත කරනවා.”
(ගාඩියන් ලිපියක පරිවර්තනයකි. ඡායාරූපය – අඟහරුවාදා ටෙහෙරානයේ එන්ගෙලාබ් චතුරස්රයේ ප්‍රදර්ශනය කර ඇති ට්‍රම්ප් විරෝධී ප්රචාරක පුවරුවක් අසලින් ඉරාන වැසියන් ගමන් කරන අයුරු. – Abedin Taherkenareh/EPA)
