වෛරී ප්‍රහාර මැද ඉතිහාසය වෙනස් කළ අබ්දුල් එල්-සයීඩ්

එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ සෙනෙට් සභා මැතිවරණයෙන් රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂක මයික් රොජර්ස් පරාජය කරමින් ජයග්‍රහණය කළ අබ්දුල් එල්-සයීඩ්, එක්සත් ජනපද සෙනෙට් සභාවට තේරී පත්වූ පළමු මුස්ලිම්වරයා ලෙස ඉතිහාසයට එක්ව තිබේ.

ජාතික දේශපාලන බලවේගවල සහාය හිමි වූ ප්‍රතිවාදියෙකුට එරෙහිව මැතිවරණ ව්‍යාපාරය මෙහෙයවමින්, ආගමික අනන්‍යතාව ඉලක්ක කරගත් දැඩි විවේචන සහ වෛරී ප්‍රහාර මධ්‍යයේ ඔහු මෙම ජයග්‍රහණය අත්කරගෙන ඇත.

1984 ඔක්තෝබර් 31 වැනිදා එක්සත් ජනපදයේ මිචිගන් ප්‍රාන්තයේ රොචෙස්ටර් හිල්ස්හි උපත ලබා ඇති අබ්දුල් එල්-සයීඩ්, රාජ්‍ය පාසල්වලින් අධ්‍යාපනය ලබාගෙන තිබේ. උසස් පාසල් සමයේදී පාපන්දු, මල්ලවපොර සහ ලැක්‍රොස් යන ක්‍රීඩා කණ්ඩායම් තුනේම නායකත්වය දරා ඇති ඔහු, ඊජිප්තු සංක්‍රමණිකයෙකු වූ සිය පියා වන මොහොමඩ් සහ සුළු මව වන ජැකී යටතේ හැදී වැඩී ඇත.

මිචිගන් විශ්වවිද්‍යාලයෙන් ඉහළම ගෞරව සාමාර්ථයක් සහිතව ප්‍රථම උපාධිය ලබාගෙන ඇති ඔහු, එහි වුල්වරීන් පිරිමි ලැක්‍රොස් කණ්ඩායම ද නියෝජනය කර තිබේ. අනතුරුව ජාතික සෞඛ්‍ය ආයතනයේ (NIH) අරමුදල් සහිත ශිෂ්‍යත්වයක් යටතේ කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය උපාධියක් ලබාගෙන ඇති එල්-සයීඩ්, රෝඩ්ස් ශිෂ්‍යත්වලාභියෙකු ලෙස ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් දෙවැනි ආචාර්ය උපාධියක් ද සම්පූර්ණ කර තිබේ.

ඔහු මේ වන විට සිය බිරිඳ වන වෛද්‍ය සාරා ජුකාකු සහ දියණියන් දෙදෙනා සමඟ ඇන් ආබර්හි පදිංචිව සිටියි.

වෛද්‍ය වෘත්තියෙන් මහජන සේවයට

වෛද්‍යවරයෙකු ලෙස පුහුණුව ලබා තිබුණ ද, මහජන සෞඛ්‍යය පිරිහීමට බලපාන දේශපාලනික හා පද්ධතිමය ගැටලු හඳුනාගැනීමෙන් අනතුරුව එල්-සයීඩ් සිය අවධානය මහජන සේවය වෙත යොමු කර තිබේ.

ඩෙට්‍රොයිට් නගරය බංකොලොත්භාවයට පත්වීමෙන් පසු එහි සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යළි ගොඩනැගීමේ කටයුතු සඳහා ඔහු මූලිකත්වය ගෙන ඇත. එමෙන්ම, මිලියන 1.8ක ජනතාවකට සේවා සපයන වේන් ප්‍රාන්තයේ සෞඛ්‍ය, මානව හා ප්‍රවීණයන්ගේ සේවා දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස ද කටයුතු කර තිබේ.

ඔහුගේ මහජන සේවා කාලය තුළ ළමුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීම, පරිසර දූෂණයට වගකිව යුතු ප්‍රධාන ආයතනවලට එරෙහිව පියවර ගැනීම සහ ජීවිතාරක්ෂක නාලොක්සෝන් (Narcan) ඖෂධය සියලු දෙනාටම පහසුවෙන් ලබාගත හැකි පරිදි සැලසීම ඇතුළු වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇත.

එමෙන්ම, මිචිගන් ප්‍රාන්තයේ පුද්ගලයන් 300,000කට අයත් වෛද්‍ය ණය ඩොලර් මිලියන 700ක් දක්වා කපාහැරීමට අපේක්ෂිත වැඩසටහනක් ද ඔහුගේ මූලිකත්වයෙන් හඳුන්වා දී තිබේ.

සෞඛ්‍ය සේවා ප්‍රතිපත්ති සම්බන්ධයෙන් ද ඔහු සක්‍රීය දායකත්වයක් ලබාදී ඇත. Medicare for All: A Citizen’s Guide කෘතිය රචනා කර ඇති එල්-සයීඩ්, හිටපු ජනාධිපති ජෝ බයිඩන්ගේ 2020 සෞඛ්‍ය සේවා පිළිබඳ ඒකාබද්ධ කාර්ය සාධක බලකායේ සාමාජිකයෙකු ලෙස ද කටයුතු කර තිබේ. ඖෂධ මිල අඩු කිරීම ඉලක්ක කරගත් ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා ද ඔහු දායක වී ඇත.

මහජන සේවය වෙනුවෙන් දැක්වූ දායකත්වය අගයමින් මිචිගන් පරිසර සංරක්ෂණ ලීගය විසින් ඔහු ‘වසරේ රාජ්‍ය නිලධාරියා’ ලෙස නම් කර ඇති අතර, ක්‍රේන්ස් ඩෙට්‍රොයිට් බිස්නස් සඟරාවේ ‘වයස අවුරුදු 40ට අඩු විශිෂ්ටතම පුද්ගලයන් 40 දෙනා’ අතරට ද ඔහු ඇතුළත් කර තිබේ.

ජීවන වියදම අඩු කිරීම සහ ජනතාවගේ ආර්ථික ගැටලු මැතිවරණයේ ප්‍රධාන තේමාව කරගනී

එල්-සයීඩ් සිය සෙනෙට් සභා මැතිවරණ ව්‍යාපාරය ගොඩනඟා තිබුණේ සාමාන්‍ය ජනතාව මුහුණ දෙන ආර්ථික හා සමාජීය ගැටලු කේන්ද්‍ර කරගනිමිනි. ජීවන වියදම පහත හෙළීම, දේශපාලනයට මුදල්වලින් ඇති බලපෑම අවම කිරීම සහ රාජ්‍ය ආයතන බිලියනපතියන් වෙනුවට වැඩකරන ජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් සේවය කරන පද්ධතියක් බවට පත් කිරීම ඔහුගේ ප්‍රධාන අරමුණු අතර විය.

‘දේශපාලනයෙන් මුදල් ඉවත් කරමු, ජනතාවගේ සාක්කුවලට මුදල් එක් කරමු, සැමට මෙඩිකෙයා සෞඛ්‍ය සේවාවක් ලබාදෙමු’ යන අදහස ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ ප්‍රධාන සටන් පාඨය බවට පත්ව තිබිණි.

එහි මූලික අදහස වූයේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතය දිනෙන් දින මිල අධික වන අතර, මැතිවරණ ව්‍යාපාර සඳහා මුදල් වියදම් කරන පාර්ශ්වවල අවශ්‍යතාවලට පමණක් දේශපාලනඥයන් ප්‍රතිචාර දක්වන බවයි.

මැතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුර මිචිගන් ප්‍රාන්තයේ විවිධ ප්‍රදේශවල ජනතාව හමුවූ ඔහු, සෞඛ්‍ය සේවා, ජීවන වියදම සහ ප්‍රාදේශීය සංවර්ධන ගැටලු පිළිබඳව අවධානය යොමු කර තිබේ.

මිචිගන්හි ඉහළ අර්ධද්වීප ප්‍රදේශයේදී දරුවන් බිහිකිරීම සඳහා සැතපුම් සිය ගණනක් ගමන් කිරීමට සිදුවන මව්වරුන්ගේ ගැටලු පිළිබඳව ඔහු අවධානය යොමු කර ඇත. එමෙන්ම, සලයින් ප්‍රදේශයේදී ජනතාවගේ කැමැත්තකින් තොරව විශාල දත්ත මධ්‍යස්ථානයක් ඉදිකිරීම හේතුවෙන් කෘෂිකාර්මික භූමි විනාශ වීම පිළිබඳව කනස්සල්ලට පත්ව සිටි ප්‍රදේශවාසීන් හමුවී ඔවුන්ගේ ගැටලු පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.

මැතිවරණ ව්‍යාපාරයේදී සෞඛ්‍ය රක්ෂණයක් ලබාගැනීමේ දුෂ්කරතාවලට මුහුණ දෙන දරුවන් දෙදෙනෙකු සිටින මවකගේ ගැටලු සහ වැටුප් වර්ධනයක් නොමැතිව දිගු කලක් සේවය කරන මෝටර් රථ කර්මාන්තයේ සේවකයන්ගේ ආර්ථික දුෂ්කරතා ද ඔහුගේ අවධානයට ලක්ව තිබේ.

මුස්ලිම් අනන්‍යතාව ඉලක්ක කරගත් දේශපාලන ප්‍රහාර

එල්-සයීඩ්ගේ මැතිවරණ ව්‍යාපාරය අතරතුර වඩාත් කැපී පෙනුණු කරුණක් වූයේ ඔහුගේ මුස්ලිම් අනන්‍යතාව ඉලක්ක කරගනිමින් එල්ල වූ විවේචන සහ චෝදනාය.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මිචිගන් ප්‍රාන්තයට පැමිණි අවස්ථාවකදී එල්-සයීඩ් සම්බන්ධයෙන් අදහස් දක්වමින්, ඔහු එක්සත් ජනපද සෙනෙට් සභාවට පත්වීම වැළැක්වීමට තමන් පැමිණි බව ප්‍රකාශ කර තිබිණි. එහිදී ඔහු එල්-සයීඩ් මුස්ලිම් සහෝදරත්ව සංවිධානයට සම්බන්ධ ජිහාඩ්වාදියෙකු ලෙස හඳුන්වා තිබේ.

එමෙන්ම, උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් ද එල්-සයීඩ් විවේචනය කරමින් ඔහුට රට කෙරෙහි කෘතඥතාව පළ කරන ලෙස ප්‍රකාශ කර තිබිණි.

රිපබ්ලිකන් සෙනෙට් සභික ජෝන් කෙනඩි ද එල්-සයීඩ් ඔසාමා බින් ලාඩන්ගේ නම සහිත ජර්සියක් ඇඳ නිදාගන්නා පුද්ගලයෙකු ලෙස උපහාසයට ලක් කර තිබේ. එම අවස්ථාවේදී රොජර්ස් ද එම ප්‍රකාශවලට සිනාසෙමින් ප්‍රතිචාර දක්වා ඇත.

මීට අමතරව, රොජර්ස් පසුව එල්-සයීඩ් එක්සත් ජනපදයට සැප්තැම්බර් 11 ප්‍රහාරය එල්ල කළ බව ප්‍රකාශ කර ඇතැයි ද චෝදනා කර තිබේ. එල්-සයීඩ්ට ත්‍රස්තවාදී සම්බන්ධතා පවතින බවට ‘දත්ත’ මඟින් තහවුරු වන බව ද රොජර්ස් ප්‍රකාශ කර ඇත. කෙසේ වෙතත්, මෙම චෝදනා සනාථ කරන සාක්ෂි ඉදිරිපත් වී නොමැති අතර, එල්-සයීඩ් ඒවා ප්‍රතික්ෂේප කර තිබේ.

මෙම ප්‍රහාර හුදෙක් දේශපාලන විවේචනවලට සීමා නොවී, එක්සත් ජනපදයේ පළමු මුස්ලිම් සෙනෙට් සභිකයා බිහිවීම සම්බන්ධයෙන් ඇතැම් දේශපාලන කණ්ඩායම් තුළ පැවති විරෝධය ද පිළිබිඹු කර ඇත.

ඊශ්‍රායල ප්‍රතිපත්තිය සහ AIPAC සංවිධානයේ මැදිහත්වීම

එල්-සයීඩ්ගේ මැතිවරණ ව්‍යාපාරයේ තවත් ප්‍රධාන මාතෘකාවක් වූයේ එක්සත් ජනපදයේ ඊශ්‍රායල ප්‍රතිපත්තියයි.

ඊශ්‍රායලයට ලබාදෙන එක්සත් ජනපද හමුදා ආධාරවලට විරුද්ධත්වය පළ කර ඇති ඔහු, ගාසා තීරයේ ඊශ්‍රායල හමුදා ක්‍රියාමාර්ග ජන සංහාරයක් ලෙස ද හඳුන්වා තිබේ. මේ හේතුවෙන් ඔහුගේ ස්ථාවරයට විරුද්ධ වූ ඇතැම් යුදෙව් ඡන්දදායකයන්ගේ සහාය දිනාගැනීම රොජර්ස්ගේ මැතිවරණ ව්‍යාපාරයේ එක් ඉලක්කයක් වී තිබිණි.

ඊශ්‍රායලයට සහාය දක්වන ඇමරිකානු ඊශ්‍රායල මහජන කටයුතු කමිටුව (AIPAC) ද මැතිවරණ ව්‍යාපාරය තුළ කැපී පෙනෙන මැදිහත්වීමක් සිදු කර ඇත. ඔවුන් එල්-සයීඩ් පරාජය කිරීම සඳහා අවම වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 50ක් පමණ වැය කර ඇති බවද ඇතැම් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

AIPAC සංවිධානය හිටපු ඩිමොක්‍රටික් ප්‍රාථමික මැතිවරණ ප්‍රතිවාදිනිය වූ හේලි ස්ටීවන්ස්ගේ මැතිවරණ ව්‍යාපාරයට ද සහාය ලබාදී තිබේ. පසුව ස්ටීවන්ස් එල්-සයීඩ්ට එරෙහිව රොජර්ස්ට සහාය පළ කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ දැඩි අවධානයට ලක්විය.

මැතිවරණයට දින කිහිපයක් තිබියදී රොජර්ස්ට සහාය පළ කළ ස්ටීවන්ස්ගේ තීරණය ඩිමොක්‍රටික් පක්ෂය තුළ ද විවේචනයට ලක්ව තිබේ. එම තීරණයෙන් අනතුරුව ඇයගේ කාර්ය මණ්ඩල සාමාජිකයන් ඉල්ලා අස්වී ඇති අතර, පක්ෂය තුළින් ද ඇයට විරෝධය එල්ල වී ඇත.

එල්-සයීඩ්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ ජනප්‍රිය සමාජ මාධ්‍ය ප්‍රකාශකයෙකු වන හසන් පයිකර්ගේ සහාය ද කැපී පෙනිණි. තරුණ ප්‍රගතිශීලී ඡන්දදායකයන් අතර ජනප්‍රියත්වයක් හිමි පයිකර්ගේ ඇතැම් ප්‍රකාශ ද මතභේදයට තුඩුදී තිබිණි. විශේෂයෙන්ම සැප්තැම්බර් 11 ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහු කළ ප්‍රකාශ විවේචනයට ලක්විය.

එමෙන්ම, ඊශ්‍රායල විරෝධී දැන්වීමක් සම්බන්ධයෙන් ද මතභේදයක් ඇති වූ අතර, එය එල්-සයීඩ්ගේ මැතිවරණ ව්‍යාපාරය විසින් නොව හසන් පයිකර්ගේ මාමා වන සෙන්ක් උයිගර් විසින් ක්‍රියාත්මක කරන ලද දැන්වීමක් බව ද පසුව අවධානයට ලක්විය.

ජයග්‍රහණයෙන් පසු ප්‍රතිවාදීන්ට එල්ල කළ ප්‍රබල ප්‍රතිචාර

මැතිවරණ ජයග්‍රහණයෙන් අනතුරුව ඩෙට්‍රොයිට් නගරයේ පැවති ජයග්‍රාහී රැලියේදී එල්-සයීඩ් සිය ප්‍රතිවාදීන්ට දැඩි වචනවලින් ප්‍රතිචාර දක්වා තිබේ.

විශේෂයෙන්ම තමන්ට එරෙහිව වෛරී ප්‍රකාශ සහ අසත්‍ය චෝදනා එල්ල කළ මයික් රොජර්ස් අමතමින් ඔහු ප්‍රකාශ කර ඇත්තේ, විශ්‍රාම ජීවිතය සතුටින් ගත කරන ලෙසත්, මිචිගන් ප්‍රාන්තයට යළි පැමිණීමට අවශ්‍ය නොවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බවත්ය.

එමෙන්ම, ඔහියෝ ප්‍රාන්තයේ උපන් උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් අමතමින්, ජනවාරි මාසයේදී තමන් සෙනෙට් සභිකයෙකු ලෙස දිවුරුම් දීමේ අවස්ථාවට වැන්ස්ට ව්‍යවස්ථානුකූලව සම්බන්ධ වීමට සිදුවන බව සඳහන් කරමින් හාස්‍යය මුසු ප්‍රකාශයක් ද සිදු කර තිබේ.

එහිදී මිචිගන් විශ්වවිද්‍යාලයේ ‘වුල්වරීන්’ සහ ඔහියෝ ප්‍රාන්ත විශ්වවිද්‍යාලයේ ‘බකීස්’ යන ක්‍රීඩා අනන්‍යතා යොදාගනිමින්, ‘වුල්වරීන් එකයි, බකී බිංදුවයි’ යනුවෙන් ද ඔහු උපහාසාත්මකව ප්‍රකාශ කර ඇත.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අමතමින් ඔහු සඳහන් කර ඇත්තේ තම නම නිවැරදිව උච්චාරණය කිරීමට ජනාධිපතිවරයාට අපහසු වූ බව තමන් දන්නා නමුත්, ජනවාරි මාසයේදී දිවුරුම් දීමෙන් පසු තමන්ට ‘සෙනෙට් සභික’ යනුවෙන් ආමන්ත්‍රණය කළ හැකි බවයි.

එම ප්‍රකාශවලට ජයග්‍රාහී රැලියට සහභාගී වූ ජනතාවගෙන් උද්යෝගිමත් ප්‍රතිචාරයක් හිමිව තිබේ.

මුස්ලිම් අනන්‍යතාව පිළිබඳ ආඩම්බරයෙන් කළ ජයග්‍රාහී ප්‍රකාශය

ජයග්‍රාහී කතාවේදී එල්-සයීඩ් සිය මුස්ලිම් අනන්‍යතාව පිළිබඳව ද විශේෂයෙන් අදහස් දක්වා තිබේ.

“මගේ නම අබ්දුල්රහ්මාන් මොහොමඩ් එල්-සයීඩ්. මිචිගන් ප්‍රාන්තයේ ඔබගේ සෙනෙට් සභිකයා ලෙස මෙහි සිටීමට ලැබීම පිළිබඳව මම අතිශයින් ආඩම්බර වන අතර ගෞරවයට පත්ව සිටිමි” යනුවෙන් ඔහු සිය කතාව ආරම්භ කර ඇත.

මැතිවරණ ප්‍රතිඵලය පිළිබඳව කතා කරන සෑම අවස්ථාවකදීම තමන් ‘ඉන්ෂා අල්ලාහ්’ (දෙවියන්ගේ කැමැත්ත අනුව) යන වචනය භාවිත කළ බව සඳහන් කර ඇති ඔහු, ජයග්‍රහණයෙන් පසු එය ‘අල්හම්දුලිල්ලාහ්’ (සියලු ප්‍රශංසා දෙවියන්ට හිමි වේවා) යන ප්‍රකාශය බවට පත් කළ හැකි බව ද පවසා තිබේ.

එම ප්‍රකාශය ඔහුගේ ආගමික අනන්‍යතාව පිළිබඳ ආඩම්බරය මෙන්ම, මැතිවරණ ව්‍යාපාරය පුරා එල්ල වූ ආගමික පදනමේ ප්‍රහාරවලට ලබාදුන් ප්‍රබල ප්‍රතිචාරයක් ලෙස ද කැපී පෙනිණි.

ජයග්‍රාහී කතාවේදී AIPAC සංවිධානයට ද උපහාසාත්මකව ස්තුතිය පළ කර ඇති එල්-සයීඩ්, එම සංවිධානය දෙවරක් පරාජය කිරීමට අවස්ථාව ලබාදීම පිළිබඳව ස්තුතිවන්ත වන බව සඳහන් කර තිබේ.

තම නම සහ ආගමික විශ්වාසයන් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු අවධාරණය කර ඇත්තේ තමන්ගේ නම හෝ ආගමික විශ්වාසයන් නිසා ජනතාවට ඉන්ධන මිල දරාගැනීමට නොහැකි වී නැති බවයි. එමෙන්ම, ආහාර ද්‍රව්‍ය මිලදී ගැනීමේ අපහසුතා හෝ වෛද්‍යවරයෙකු හමුවීමට නොහැකි වීම සඳහා ද තම නම හෝ ආගම හේතුවක් නොවන බව ඔහු පෙන්වා දී තිබේ.

ජනතාවගේ දුක්ගැනවිලිවලට සවන් දීම දේශපාලනයේ මූලික වගකීමක්

එල්-සයීඩ්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ කැපී පෙනුණු තවත් ලක්ෂණයක් වූයේ සාමාන්‍ය ජනතාවගේ ගැටලුවලට සවන් දීම සඳහා ඔහු දැක්වූ අවධානයයි.

ඩෙට්‍රොයිට් නගරයේ කළු ජාතික ජනතාව බහුලව වෙසෙන ප්‍රදේශයක පැවති රැස්වීමකදී වෙඩි තැබීමකින් සිය දරුවා අහිමි වූ මවකගේ ශෝකය හමුවේ එල්-සයීඩ් සහ ඔහුගේ බිරිඳ සාරා ඇය වෙත ගොස් ඇයව වැළඳගෙන සැනසීමට කටයුතු කර තිබේ. එහිදී ඔහු වැඩි වශයෙන් කතා කිරීමට වඩා එම මවගේ වේදනාවට සවන් දීමට කාලය වෙන් කර තිබීම ද විශේෂත්වයකි.

ජයග්‍රාහී කතාවේදී ද ඔහුගේ ප්‍රධාන අවධානය යොමු වී තිබුණේ තමන්ට එරෙහිව එල්ල වූ වෛරී ප්‍රහාරවලින් ඔබ්බට ගොස් සාමාන්‍ය ජනතාවගේ ජීවිතවලට බලපාන ගැටලු පිළිබඳවය.

විශේෂයෙන්ම, තමන්ට එරෙහිව වර්ණය සහ ආගම පදනම් කරගනිමින් එල්ල වූ ප්‍රහාර නැරඹූ දරුවන්ට එම සිදුවීම් පැහැදිලි කරන්නේ කෙසේද යන්න පිළිබඳව දෙමාපියන්ට අදහස් ඉදිරිපත් කරමින් ඔහු සිය කතාව අවසන් කර තිබේ.

ඒ අනුව, අබ්දුල් එල්-සයීඩ්ගේ මැතිවරණ ජයග්‍රහණය එක් දේශපාලන තරගයක ජයග්‍රහණයකට පමණක් සීමා නොවී, එක්සත් ජනපද දේශපාලනය තුළ ආගමික විවිධත්වය, මුස්ලිම් ඇමරිකානුවන්ගේ නියෝජනය සහ සාමාන්‍ය ජනතාවගේ ආර්ථික හා සමාජීය අයිතිවාසිකම් පිළිබඳ සංවාදය යළිත් ඉදිරියට ගෙන ආ සිදුවීමක් බවට පත්ව තිබේ.

Author

Leave a Reply

Related Posts