ජ්යෙෂ්ඨ මාධ්යවේදී ලසන්ත රුහුණගේ විසින් රචිත “රාජපක්ෂ සමාගම” සහ මාධ්යවේදී තරිඳු උඩුවරගෙදර හා එම්. එෆ්. එම්. ෆසීර් එක්ව රචනා කරන ලද “පාස්කු ප්රහාරයේ තොත්ත බබාලා” යන කෘති ද්විත්වය එළිදැක්වීම සැප්තැම්බර් 28 වනදා ශ්රී ලංකා පදනම් ආයතන පරිශ්රයේදී පැවැත්විණි. එහිදී ආරාධිත දේශනය සිදු කළ ආචාර්ය දිලීප විතාරණ, ලසන්ත රුහුණගේගේ මාධ්ය භාවිතය, රාජපක්ෂ සමාගම කෘතියේ අන්තර්ගතය සහ වත්මන් සමාජ-දේශපාලනික සන්දර්භය තුළ ගවේෂණාත්මක මාධ්යවේදයේ ඇති වැදගත්කම පිළිබඳව පුළුල් හා ගැඹුරු අදහස් රාශියක් ඉදිරිපත් කළේය.
තම අදහස් දැක්වීම අරඹමින් ආචාර්ය විතාරණ සඳහන් කළේ ලසන්ත රුහුණගේ නම් මාධ්යවේදියා තමා මුලින්ම දැනගත්තේ ‘රාවය’ පත්තරය හරහා බවයි. අනතුරුව වෙනත් පත්තර හරහාද ඔහුගේ ගවේෂණාත්මක ලිපි කියවීමට තමා දැඩි උනන්දුවකින් පසු වූ බවත්, ඒ සෑම පත්තරයක් අතට ගත් විටම තමා මුලින්ම කියවූ ලිපිය වූයේ ලසන්තගේ ලිපිය බවත් ඔහු සිහිපත් කළේය.
කොළඹ නගරය සහ නාගරික සංක්රමණික ජනතාව පිළිබඳ අධ්යයනය
ලසන්ත සමඟ ඇති වූ මූලිකම පෞද්ගලික සහ වෘත්තීය ඇසුර පිළිබඳව අදහස් දක්වමින් ඔහු මෙසේ පැවසීය.
ලසන්ත දැනගෙන හිටියට මම මුලින්ම ලසන්තව හම්බ වෙන්නේ අපි අධ්යනයක් කරා මේ මීට ටික කාලෙකට කලින්. ඒක කොළඹ නගරයයි, ඉන්දියාවේ මුම්බායි නගරයයි, පාකිස්තානයේ ලාහෝර් නගරයයි පිළිබඳ කරපු අධ්යනයක්. ඒ අධ්යනය ගැනත් මම පොඩි අදහසක් කියන්නම්. මොකද එතනත් ලසන්ත සම්බන්ධ වුණේ කොහොමද කියන එක මට එකට වඩා පැහැදිලි කරන්න පුළුවන්.
ඒ නගර තුනම අපේ කලාපයේ ප්රධාන නගර තුනක්. මේ නගරවල ගොඩනැගීම, ඒ කියන්නේ මේ නගර විශේෂයෙන්ම මේ යටත් විජිත යුගය තුළ ඒ නගර කාර්මීකරණයට භාජනය වෙනවා, දියුණු වෙනවා, විකාශනයට පත් වෙනවා. මේ නිසා මේ නගර ඔක්කොම වගේ ඒ රටවල විවිධ පැතිවලින් මිනිස්සු ඇදිලා ආවා. සංක්රමණික ජනතාවක් ආවා. අවුරුදු සිය ගාණක් තිස්සේ දැන් අපි කොළඹ ගත්තොත්, කොළඹ ගැන කතා කරොත් ඒ කොළඹ නගරයේ ඉන්න ප්රධානම ජනකාණ්ඩයක් තමයි ඔය වතු ආශ්රිතව ජීවත් වන අය. ඒ කාලේ මම හිතන්නේ වතු 1500ක් විතර තිබ්බා. දැන් ඒක ටිකක් අඩු වෙලා තියෙනවා. වතු ආශ්රිතව ඉන්න ඒ ජනතාව, ඒගොල්ලෝ ගැන තමයි අපේ අධ්යනයට අවධානය යොමු වුණේ.
කොළඹ කියන්නෙත් හරි ඉන්ට්රෙස්ටින් නගරයක්. ඒ කියන්නේ ඒ කොළඹ ජනතාවගෙන් 50%කට වැඩිය ඉන්නේ ඒ වරප්රසාදිත ජනතාව.
නමුත් මේගොල්ලෝ ජීවත් වෙන්නේ කොළඹ මුළු ඉඩ ප්රමාණයෙන් 9%ක වගේ ප්රදේශයක. හැබැයි මේකේදි සිද්ධ වුණ දෙයක් තමයි මේ විශේෂයෙන්ම මේ යුද්ධය අවසන් වීමත් එක්කම කොළඹ තියෙන ඉඩම් අයිති කරගන්න ලොකු ව්යාපෘතියක් ක්රියාත්මක වුණා. විශේෂයෙන් මේ රාජපක්ෂ සමය ඇතුළේ. මේගොල්ලෝ අයින් කරලා අර ඒ තියෙන ඒ කොමර්ෂල් වටිනාකමක් තියෙන, 50%ක ජනතාව හිටපු 9%ක ඉඩකනිනුත් ඒගොල්ලෝ අයින් කිරීමේ ව්යාපෘතියක් සිදු වුණා. එතකොට මේක ගැන අපේ අධ්යනයෙදි අපි කොළඹ කණ්ඩායම විදිහට මම හම්බ වුණ එක්කෙනෙක් තමයි ලසන්ත. ලසන්ත මේ ගැන දිගටම ලියලා තිබ්බා. මේ පොතෙත් තියෙනවා, කොළඹ ඉන්න ජනතාව ඉවත් කරන්න ගෙනාපු ඒ ව්යාපෘතිය ගැන ලසන්ත ලිපි පහක් විතර ලියලා තියෙනවා.
මට මතකයි ඉස්සෙල්ලම මම ලසන්ත හම්බ වුණේ කොළඹ කොටුවේදි… නෝට් පොතුකුත් අරගෙන තමයි ලසන්ත ඒක කතා කළේ.
ඊළඟට මේ ව්යාපෘතියේ කොටසක් විදිහට අපි එන්.පී.පී. එකේ කොළඹ ප්ලෑන් එකටත් මේ ජනතාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කරා. ඒ ජනතාව සුජාත අයිතියක් තියෙන මේ අපේ කොළඹ නගරයේ වර්ධනයට අවුරුදු සිය ගණනක සේවයක් කරපු අය, ඒගොල්ලන් ඉන්න ඒ පරිසර තත්ත්වය තව සංවර්ධනය කරලා, විවිධාකාර ප්රශ්න තියෙන තට්ටු නිවාසවලට යොමු කරන්නේ නැතුව, ඒගොල්ලන් ජීවත් වෙන 9%ක ඉඩේම ඒගොල්ලන්ගේ ජීවන තත්ත්වය දියුණු කරන්න අපි විවිධ අදහස් යෝජනා කරා. මට මතකයි, කොළඹ ප්ලෑන් එක හදන ඒ මීටිං ගණනම තිබ්බේ නියෝජ්ය කතානායකතුමාගේ ගෙදර.
අපි කණ්ඩායමක් රැස් වුණා. ඒක බොහොම ආස්වාදනීය ප්ලෑන් එකක්, ඒ කියන්නේ අපිටත් හිතන දැනුණු ප්ලෑන් එකක් අපි යෝජනා කරා. එතකොට ඒකෙදි ලසන්තගෙන් මම ගත්ත දේ තමයි, එයා ඒක ගැන ගොඩාක් ස්ටඩි කරලා තිබ්බා. ඒක ගැන එයාගේ තොරතුරු ගන්න එක මම කරපු වැඩක්. ඊළඟට ලසන්තයි මාත් ඉතින් මිත්රයෝ බවට පත් වුණා.
ලසන්ත රුහුණගේගේ මාධ්යවේදී මෙහෙවර සහ ගවේෂණාත්මක මාධ්යකරණයේ දේශපාලනය
ආචාර්ය දිලීප විතාරණ මහතා මෙහිදී සඳහන් කළ පරිදි, තමන් මෙම අදහස් දැක්වීම “රාජපක්ෂ සමාගම” කෘතිය පිළිබඳව පමණක් සීමා නොකර, ලසන්ත රුහුණගේගේ මාධ්යවේදී මෙහෙවර සහ සමස්ත ගවේෂණාත්මක මාධ්යකරණයේ දේශපාලන වැදගත්කම පුළුල් ලෙස සාකච්ඡා කිරීමට අපේක්ෂා කළේය. ඒ අනුව, ප්රධාන කොටස් කිහිපයක් යටතේ අදහස් දක්වමින්, මූලිකව “රාජපක්ෂ සමාගම” පොත ගැනත්, ඉන්පසු ලසන්තගේ මාධ්යකරණයේ ස්වභාවය ගැනත්, 2022 අරගලයේ ක්රියාදාමය ඇතුළේ ලසන්තගේ කාර්යභාරය කුමක්ද යන්න පිළිබඳවත් ඔහු පුළුල් කියවීමක් ඉදිරිපත් කළේය. අවසාන වශයෙන්, “ලංකාව තුළ ගවේෂණාත්මක මාධ්යකරණයේ සංස්කෘතියක් මීට වඩා ස්ථාවරව හා පුළුල්ව ඇති කිරීම” ඉදිරියේදී අප විසින් භාරගත යුතු අලුත් දේශපාලන ව්යාපෘතියක් (Political Project) ලෙස ඔහු දැඩිව යෝජනා කර සිටියේය.
එතකොට මම ඉස්සෙල්ලම කතා කරන්නම් මේ රාජපක්ෂ සමාගම පොත ගැන මගේ අදහස් කීපයක්. මේ පොතේ ඇත්තටම ලසන්ත දීර්ඝ කාලයක් ලියලා තියෙනවා. නමුත් 2006 ඉඳලා 2016 වගේ කාලයක් ඇතුළත රාජපක්ෂ පාලනයට අදාළව ලසන්ත විසින් කරනු ලැබූ ඒ ගවේෂණාත්මක මාධ්යකරණය තමයි මේ මේ පොතට ඇතුළත් වෙන්නේ.
මම කලිනුත් පොත බලලා තිබ්බා. මේ පාරත් මම බැලුවා. කොයි තරම් පරාසයක කරුණු ආවරණය වුණාද කියන එක ගැන අපි පොඩ්ඩක් අවධානය යොමු කරන එක හොඳයි. ලසන්තගේ මාධ්යකරණය ඇතුළේ, දැන් උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම ලසන්ත රාජපක්ෂ පාලනයට සම්බන්ධ, ආණ්ඩුවේ සහ රාජ්ය ව්යුහයේ ඉහළ සිට පහළට සිදුවන විවිධාකාර දූෂණ හා භීෂණ සම්බන්ධයෙන් කතා කරලා තිබ්බා. ඒකට රාජපක්ෂ පවුලත් අදාළයි, පවුලට සමීප දේශපාලඥයන් ගැනත් එයාගේ අවධානය යොමු වුණා. රාජ්ය ආයතන ව්යුහයත් කවර් වුණා. පළාත් සහ ප්රාදේශීය මට්ටම්වල ප්රශ්නත් කතා වුණා. ජනාධිපති අරමුදල ගැනත් කතා වුණා. පොලිසිය ගැනත් එයාගේ අදහස් පළ කරා. හමුදාව ගැන, ඇමති මණ්ඩලය ගැන, රාජ්ය අනුග්රහය ලැබූ LTTE නායකයන් ගැන, මෙන්න මේ ආකාරයේ විවිධාකාර මාතෘකා යටතේ ලසන්තගේ ගවේෂණාත්මක මාධ්යවේදීකරණය සිද්ධ වුණා.
එතකොට මම මේ කිව්වේ, අතිශය විශාල පරාසයක කරුණු ලසන්ත අවධාරණය කරා… මගේ කතාවේ ඉස්සරහට ඒ පොයින්ට් එක වැදගත් නිසා තමයි මම මෙතන ඒක සඳහන් කරන්නේ. මම මේක ගැන තව පොඩ්ඩක් විස්තර කරොත් මේ කොයි වගේ මාතෘකාද මේ මේ පොත ඇතුළේ කතා වෙන්නේ කියලා.
බලවත් දේශපාලන චරිත හා සම්බන්ධ දූෂණ, වංචා, මිනීමැරුම් ගැන විවිධාකාර ලිපි මේ පොත ඇතුළේ තියෙනවා. දූෂණයට මගපාදන නව ආයතන ගැන සොයා බැලීම් කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ලංකා ලොජිස්ටික්ස් ලිමිටඩ්. ආණ්ඩුවේ මැර බලය ගැන හෙළිදරව් කිරීම් කරලා තියෙනවා. රිය අනතුරු සහ බලය පාවිච්චි කොට ඒවායින් නිදහස් වීම ගැන කතා කරලා තියෙනවා. ආණ්ඩුවේ සම්බන්ධකම් ගැන සඳහන් කරමින් පුද්ගලයන් විසින් සිදු කරන මහා පරිමාණ ස්කෑම්ස් ගැන, ව්යාපාර ගැන කතා කරලා තියෙනවා. සොයාබැලීම් කරලා තියෙනවා. ප්රාදේශීය දේශපාලන බලවතුන්ගේ කප්පම් ගැනීම් ගැන සොයාබැලීම් කරලා තියෙනවා. පාලක පවුලේ අයට විශේෂ තනතුරු ලබාදීම හරහා සහ ඒ හරහා සිදුවන දූෂණ ක්රියා ගැන අවධානය යොමු කරලා තියෙනවා.
දේශපාලන ප්රොජෙක්ට්ස් ලෙස ක්රියාත්මක වූ ආණ්ඩුවේ ප්රධාන ව්යාපෘතිවල දූෂණ, වංචා හා අක්රමිකතා ගැන දීර්ඝව කතා කරලා තියෙනවා. උදාහරණයක් විදිහට ගත්තොත් තාරුණ්යයට හෙටක්, අපි වෙනුවෙන් අපි, දැයට කිරුළ, සිරිලිය සවිය, කාල්ටන් ස්පෝට්ස් නෙට්වර්ක්, දිවි නැගුම වගේ විවිධාකාර ව්යාපෘති ලසන්තගේ පරීක්ෂාවට භාජනය වෙලා තියෙනවා.
ඊළඟට දේශපාලන සංස්කෘතියේ දූෂිත ස්වභාවය උදාහරණ ඇසුරෙන් කතා කරලා තියෙනවා. පවුලට සේවය පිණිස රාජ්ය ආයතන යොදවා ගැනීම ගැන සැලකිල්ල යොමු කරලා තියෙනවා. සමාජයට හෙළිදරව් විය යුතු ප්රභූ සමාජයේ තොරතුරු ගැන කතා කරලා තියෙනවා. දේශපාලකයන්ගෙන් සතු මතභේදාත්මක වත්කම් ගැන අවධානය යොමු කරලා තියෙනවා. රාජ්ය දේපළ අවභාවිතය ගැන අවධානය යොමු කරලා තියෙනවා. යුද්ධයට මුවා වී කරන දූෂණය ගැන ලිපි පළ කරලා තියෙනවා. ආණ්ඩුවේ පරස්පර හැසිරීම්, එකක් කියා තව එකක් කිරීම ගැන ලිපි පළ කරලා තියෙනවා. මැතිවරණ පොරොන්දු ගැන කතා කරලා තියෙනවා. කොළඹ නගරයේ තුළ මහජනයා පළවා හරිමින් ව්යාපාරික ස්ථාන අත්පත් කරගනිමින් කළ ඉඩම් හා දේපළ කොල්ලය ගැන ලිපි ලියලා තියෙනවා.
ජනතා විරෝධී නගර සැලසුම් ගැන ලියලා තියෙනවා. දේශපාලන ප්රභූන්ට හා නිර්භූන්ට නීතිය දෙයාකාරයකින් ක්රියාත්මක වීම ගැන කියලා තියෙනවා. රජයේ මුදලින් ආරම්භ කළ පුද්ගලික සමාගම් හා ඒ හා බැඳුණු මූල්ය වංචා ගැන කතා කරලා තියෙනවා. සුදු වෑන් භීෂණයට අදාළ සිද්ධි, හිතවතුන්ට සහන හා වරදාන ලබාදීම්, අයවැය අසමතුලිතතාව බෙදීයාම, වෙන් කිරීම පවුල වටා සංකේන්ද්රණය වීම ගැන, ප්රධාන දේවාල වල බස්නායක ධූර නිලවරණවලට මැදිහත් වීම්, ඊ.පී.එෆ්. එක අවදානමට ලක් කිරීම්, පුරාණ විහාරස්ථානවල කරඬු පවුලට අත්පත් කර ගැනීම්, පාලක පවුලට සමීප නිලධාරී තන්ත්රයේ දූෂණ, අධිවේගී මාර්ග හා සම්බන්ධ මූල්ය අක්රමිකතා… මේක දිග ලැයිස්තුවක්. ඒ කියන්නේ ලසන්ත විසින් ගවේෂණාත්මක මාධ්යකරණයට භාජනය කරපු අතිශය විශාල පරාසයක කරුණු තියෙනවා.
“රාජපක්ෂ සමාගම” කෘතිය තුළ මූලික වශයෙන් ‘රාවය’ පත්තරයේ පළ වූ ලිපි එකතුවක් හරහා රාජපක්ෂ පාලන සමයේ සිදුවූ කරුණු ආවරණය වන බව ආචාර්ය විතාරණ පෙන්වා දෙයි. කෙසේ වෙතත්, ලසන්ත රුහුණගේ ‘රාවය’ පත්තරේ කාලයේ සිට අනෙකුත් පත්තර හරහා මෙන්ම වත්මන් වෙබ් මාධ්යකරණය දක්වා දිර්ඝ කාලයක් පුරා අතිශය විශාල ආවරණ ප්රමාණයක් සිදු කර ඇති බව ඔහු සඳහන් කරයි. වර්තමානයේ මෙම පොතෙන් ආවරණය වන්නේ රාජපක්ෂ පවුල පිළිබඳව පමණක් වුවද, යහපාලන ආණ්ඩුව, ගෝඨාභය පාලනය මෙන්ම වත්මන් එන්.පී.පී. ආණ්ඩුව සමය තුළද ඔහුගේ අවධානය යොමු වී ඇති බව ඔහු පෙන්වා දෙයි. සමස්ත ගවේෂණාත්මක මාධ්යවේදීන් සමඟ සංසන්දනය කර බැලීමේදී ලසන්ත යනු අතිශයින්ම සුවිශේෂී චරිතයක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කරයි.
එතකොට මේ ලසන්තගේ සුවිශේෂී බව මොකක්ද කියන එක මට වැදගත්. මේ අපි කියමුකෝ ගවේෂණාත්මක මාධ්යවේදීන් සියල්ල සංසන්දනය කරාම ලසන්ත සුවිශේෂී චරිතයක්. ඒ සුවිශේෂීභාවය මොකක්ද කියන එක ගැන අපි පොඩ්ඩක් හිතලා බැලුවොත් හොඳයි.
එකක් තමයි හඹා යාම. යම් තොරතුරක් ලැබුණම ඒ තොරතුරු පස්සේ පන්නනවා. ඒ කියන්නේ ඒක ඒක ගැන ප්ලෑන් එකක් ගහලා ඒ තොරතුර ඒකට අදාළ ඒ පරීක්ෂාව කරන්න දිගටම පස්සෙන් පන්නන එකක් තියෙනවා. අනිත් එක තමයි පිළිගත හැකි මූලාශ්ර ගණනාවකින් තමයි ලසන්ත තමන්ගේ ගවේෂණාත්මක මාධ්යකරණය කරන්නේ. එක මූලාශ්රයක් මත පමණක් තීන්දු වෙන්නේ නැහැ. මූලාශ්ර ගණනාවක් මත පදනම් වෙනවා.
ඊළඟට සවිස්තරාත්මක දත්ත එයා පාවිච්චි කරනවා. ඊළඟට තව විශේෂ ලක්ෂණයක් තමයි රයිට් ටු රිප්ලයි. මේ තියෙන සියලුම ලිපිවලින් අවධානයට භාජනය වන ඒ එකට ඉලක්ක වන චරිතයත්, එයා ඒ චරිතයේ මතයත් තමන්ගේ මාධ්යකරණය ඇතුළට ගෙනැවිල්ලා ඒකත් ඒ ලිපි ඇතුළෙම ඇතුළත් කරනවා.
ඊළඟට තවත් ලසන්තගේ ලක්ෂණයක් තමයි ෆලෝ අප්ස්. එක සිද්ධියක් එක ලිපියකින් අවසන් කරන්නේ නැහැ. ඒ සිද්ධිය දිගින් දිගටම පස්සෙන් පන්නන එකක් තියෙනවා. ඒ කියන්නේ ලිපි ගණනාවක් එනවා ඒ සම්බන්ධයෙන් තව තවත් විස්තර කරමින්.
ලසන්ත රුහුණගේ පරමාදර්ශී මාධ්යවේදියෙක්
අතීතයේ සිට වර්තමානය දක්වා ගවේෂණාත්මක මාධ්යවේදීන් පරම්පරා ගණනාවක් සිටියද, ලසන්ත රුහුණගේගේ ඇති ප්රධානතම සුවිශේෂත්වය වන්නේ ඔහු තොරතුරු ආවරණය කරන පරාසය අතිශයින්ම පුළුල් වීම බව ආචාර්ය විතාරණ පෙන්වා දෙයි. ඔහු විවිධාකාර ක්ෂේත්රයන්ට අදාළ කරුණු සැලකිල්ලට ගනිමින් ඒ ඔස්සේ හඹා යන අතරම, කිසිවිටෙකත් තෝරාගත් මාතෘකා හෝ පුද්ගලයන්ට පමණක් සීමා වී කටයුතු නොකරයි. යම් හෝඩුවාවක් ලැබුණු විට කිසිදු හේතුවක් මත එය සීමා නොකර ඊට අදාළ මූල හේතුව පස්සේ පන්නන ඔහු, තමන් තෝරාගන්නා මාතෘකාව හෝ දේශපාලන ව්යාපාරය කුමක්දැයි බලන්නේ නැත. කිසිදු පක්ෂග්රාහී බවක් හෝ ලැබැඳියාවක් නොමැතිව සමස්ත තොරතුරු අනාවරණය කිරීම ලසන්තගේ මාධ්යවේදී භාවිතාවේ කැපී පෙනෙන ලක්ෂණයකි.
ආචාර්ය විතාරණ පෙන්වා දෙන පරිදි, ලසන්ත රුහුණගේ යනු ගවේෂණාත්මක මාධ්යවේදීන්ගේ සියලු ගුණාංග මැනවින් රැකගත් පරමාදර්ශී මාධ්යවේදියෙකි. ඔහුගේ තවත් විශේෂිත ලක්ෂණයක් වන්නේ කිසිදු මුදලකට හෝ ද්රව්යමය වාසියකට මිලදී ගත නොහැකි ස්වාධීනත්වය සහ අනම්යශීලී බවයි. වෙනත් පුවත්පත්වලින් විශාල වැටුප් හා දීමනා සහිතව නව ආයතන ආරම්භ කිරීමට මෙන්ම විවිධ තනතුරු දැරීමට කොතරම් ඉහළ මට්ටමේ ආරාධනා සහ දීමනා ලැබුණද, තමන්ගේ වටිනාකම් අඛණ්ඩව නඩත්තු කරගැනීමේ දැඩි වුවමනාව මත ඔහු අවසානයේ තරිඳු ඇතුළු පිරිස සමඟ එක්වීමට කටයුතු කළ බව ඔහු වැඩිදුරටත් සිහිපත් කළේය.
ඒ වගේම තවත් ලක්ෂණයක් තමයි මේ බුද්ධිමත් නිර්භීත බව. නිර්භීත භාවය මම හිතන්නේ කැල්කියුලේටඩ් නිර්භීත භාවයක්. මෝඩ විදිහටම නිර්භීත වුණේ නැහැ. ගණනය කරලා නිර්භීත වෙන්න කොන්දේසි සැප වුණාම නිර්භීත වුණා. එතකොට මේ ඒ නිසා ලසන්තගේ මේ ගවේෂණාත්මක මාධ්යවේදීන් අතර මම දකින්නේ සුප්රසිද්ධ චරිතයක්, ඒක අයිකන් එකක්, ඒක අපි නිකන් මොඩල් මොඩල් එකක් විදිහට අපිට සලකන්න පුළුවන්.
අරගලය සහ අරගලය තුළ ලසන්තගේ භූමිකාව
2022 වසරේ සිදුවූ අරගලයේ පළමු අධියර තුළ මෙන්ම, වත්මන් දෙවන අධියර තුළ නීතිය ක්රියාත්මක වීම සම්බන්ධයෙන් අවශ්ය මූලික මැදිහත් වීම් සිදු කරමින් සමාජ කතිකාවක් ගොඩනැගීමට ලසන්ත රුහුණගේ විසින් ඉතා විශාල කාර්යභාරයක් ඉටු කර ඇති බව ආචාර්ය විතාරණ පෙන්වා දෙයි. එබැවින් එම අරගල ඉතිහාසය තුළ ලසන්තගේ භූමිකාව ඉතා වැදගත් වන බව ඔහු සඳහන් කරයි. තවද, අද වන විට ලසන්ත නියෝජනය කරන ක්ෂේත්රය තුළ නව පරම්පරාවේ ගවේෂණාත්මක මාධ්යවේදීන් රැසක් බිහිවී සිටීම අතිශයින් සතුටට කරුණක් බව ඔහු අදහස් දක්වමින් පෙන්වා දුන්නේය.
අරගලය මම දකින්නේ අධියර දෙකකින්. ඒ කියන්නේ ඒක එක ප්රොසෙස් එකක්, ඒක 2022 සිද්ධියක්ම නෙමෙයි. අරගලය මුල අධියර තමයි ඔය 2022 සිද්ධ වුණ ගෝල්ෆේස් අරගලය. ඒ අරගලය හරහා ඒ රාජපක්ෂ පවුල සහ ඒ ආණ්ඩුවම පලවා හැරීමෙන් අවසන් වුණ අරගලය තමයි අරගලයේ අධියර එක.
අධියර දෙක විදිහට මම දකින්නේ එන්.පී.පී. ආණ්ඩුවක් පත් වුණාට පස්සේ දැන් මේ සිද්ධ වෙමින් යන අධිකරණ ක්රියාවලිය. ඒක මම එහෙම අධියර එක සහ දෙක විදිහට නම් කරන්නේ හේතුව තමයි, අධියර එකේදී අපේ අරගලය ඇතුළේ ප්රධාන ඉල්ලීමක් තමයි ප්රධාන හඳුනාගැනීමක් තමයි, මේ නිදහස් වෙන්න පස්සේ තිබ්බ සියලුම පාලන තන්ත්රවල ලොකු වෙනසක් නැහැ. මේ දෙගොල්ලම එකයි. මේ දෙගොල්ලම දූෂිතයි. මේගොල්ලෝ මාරුවෙන් මාරුවට දූෂණය කළා කියන අදහස.
ඊළඟට අධියර දෙකේදී, ඒ කියන්නේ ඒ ගෙනාව සමාජගත වීමත් එක්ක සමාජයේ දේශපාලන රික්තයක් ඇති වුණා. ඒක තමයි ඉඩකඩ හැදුවේ එන්.පී.පී. එකට බලයට එන්න. එතකොට අධියර දෙකේදී සිද්ධ වුණේ අර අධියර එකේ තිබ්බ හොරු අල්ලමු, දූෂණය අවසන් කරමු, මේගොල්ලෝ සිරගත කරමු, ඒගොල්ලෝ හොරකම් කරපු ධනය ආපසු ලබා ගමු කියන සියලු සටන්පාට ඉටු කරන්න අවශ්ය අධිකරණ ක්රියාවලිය දැන් සිද්ධ වෙමින් පවතිනවා. ඒක තමයි මම දකින අරගලයේ අධියර දෙක.
එතකොට මේකේ ලසන්තගේ රෝල් එක අපි තීරණය කරගන්න නම්, අපි පොඩ්ඩක් මේ අරගලය කියන්නේ මොකක්ද කියලා පොඩ්ඩක් ඇනලයිස් කරගන්න ඕනේ. දැන් 2022 අරගලය හේතු තුනක් මත තමයි පැනනැගුණේ.
එයින් එක හේතුවක් මිස් වුණා නම් අරගලය ඇති වෙන්නේ නැහැ. මම කියන්නම් ඒ ඒ හේතු තුන මොකක්ද කියලා. එක හේතුවක් තමයි රට ආර්ථික වශයෙන් කඩා වැටීම. රට බංකොළොත් වීම. ඒක තමයි අරගලයට අවශ්ය ද්රව්යමය පසුබිම හැදුවේ. මැටීරියල් කන්ඩිෂන්ස් ටික හැදුවේ අරගලයේ ඒ ආව මේ රට බංකොළොත් වීම නිසා. ඒ නිසා තමයි මිනිසුන්ගේ ජීවිත අපහසු වෙලා, මිනිස්සු පාරට බහින්න සෙට් වෙලා ඒ ඒ ඒ විදිහට ඒ රටපුරා ව්යාප්ත වුණේ.
අරගලයේ තවත් ප්රධාන කොන්දේසියක් තමයි ගෝල්ෆේස් භූමිය. ඒ භූමිය තමයි ඒ ආර්ථික අර්බුදයත් එක්ක ඇති වෙච්ච ඒ ජනතා අසහනය සංවිධානාත්මකව මෙහෙය වූ තැන තමයි ගෝල්ෆේස් භූමිය.
හැබැයි මේකේ තව තියෙනවා තුන්වෙනි ප්රධාන අංගයක් අරගලය සිද්ධ වෙන්න. ඒක තමයි ඒ වෙනකොට රටපුරා ස්ථාපිත වෙලා තිබ්බ දූෂණය පිළිබඳ කතිකාව. එතනදි තමයි ලසන්තගේ රෝල් එක අපිට සලකනු කරන්න වෙන්නේ.
දැන් අපි කිව්වොත් එහෙම රට බංකොළොත් වීම සහ ගෝල්ෆේස් එක විතරක් රට බංකොළොත් වීම තිබ්බට, ඔය විදිහට ඔය සිද්ධ වුණ ක්රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ රාජපක්ෂ පාලනය පලවා හරිනකන් ගෝල්ෆේස් එක සහ දූෂණ කතිකාව තිබ්බේ නැත්තම්.
ගෝල්ෆේස් එක කළමනාකරණය කරන්න, ඒකට අවශ්ය සංවිධාන ව්යුහය හදන්නත් දූෂණ කතිකාව බලපෑවා. දූෂණ කතිකාව තමයි අරගලයට දිශාවක් අරන් දුන්නේ. අරගලය විසින් ගොඩනගන මහජන විරෝධය ස්ථානගත කරන්න, ෆෝකස් කරන්න දිශාවක් හදලා දුන්නේ දූෂණ කතිකාව. ඒ කියන්නේ මේ මෙච්චර කල් තිබ්බ රාජපක්ෂවල තියෙන දූෂණ ස්වභාවය.
ඒ නිසා අපිට නව පාලනයක් අවශ්යයි. ඒ ඒ එතකොට ඒක මේ දූෂණයෙන් තොර මෙච්චර කල් හොරකම් කරපු අයව හිරේ දානවා, ඒගොල්ලන්ගේ හොරා ගත්තු මුදල් ආපහු ගන්න ඕන, සහ ඒකේ වැරදිකරුවෝ කවුද කියන කතිකාව හැදුනේ, ඒකේ දිශාවක් හදලා දුන්නේ දූෂණ පිළිබඳ කතිකාව. ඒකේ අපි දන්නවා ලසන්ත ලොකු රෝල් එකක් කරා.
ලසන්තගේ හෙළිදරව් කිරීම්, ඒ අපි බැලුවොත් එහෙම ඒ කාලේ දිගටම ලියවෙච්ච ලිපි ලේඛනවල ඒ හෙළිදරව් කිරීම් තමයි ඊළඟට දේශපාලන ව්යාපාර ඒ ඒවා තවදුරටත් හදාරලා, ඊටත් වඩා ඉහළ මට්ටමකින් සමාජගත කරන්න මේ මැදිහත් වුණේ. එතකොට අරගලය පළමු අධියරයේදී ඒ සමාජ කතිකාව හැදීම වෙනුවෙන්, දූෂණ විරෝධී සමාජ කතිකාව හැදීම වෙනුවෙන් ලසන්තගේ ලොකු කාර්යභාරයක් සිද්ධ වුණා. ඊළඟට අපි දෙවන අධියර ගත්තොත්, දැන් අපි දන්නවා නඩු ගණනාවක් ක්රියාත්මක වෙමින් යනවා. අලුතිනුත් නඩු වැටෙනවා.
දැන් දැනටමත් ඇහමින් යන නඩුවල ලසන්ත විසින් මුලින්ම කරන හෙළිදරව් කිරීම් නිසා ඇතිවන නඩු ගණනාවක් තියෙනවා. අර තරිඳු කිව්වා වගේ සිරිලිය සවිය, ඊළඟට රනිල්ගේ විදේශ සංචාරය පිළිබඳ මුල්ම හෙළිදරව් කරේ ලසන්ත, ඊළඟට ක්රිෂ් ගනුදෙනුව ගැනත් එහෙමයි, ඊළඟට සී.එන්.ඇස්. ඇස්. නාලිකාව ගැනත් එහෙමයි, දැන් මේවා ඔක්කොම පටලැවිලා තියෙන්නේ.
එතකොට දැනට යන නඩු ගණනාවක මුල්ම බීජ හෙළිදරව් කිරීම් මගින් සමාජගත කළේ ලසන්ත. මම කියන්නේ ඉදිරියට එන්න නියමිත නඩුත් අතිශය විශාල ප්රමාණයක මූලික හෙළිදරව් කිරීම් ලසන්ත කරලා තියෙනවා.
අලුත් දේශපාලන ව්යාපෘතියක් (Project) අවශ්යයි
මගේ ඒ කියන්නේ මගේ යෝජනාව ඒක තමයි. ගවේෂණාත්මක ජන මාධ්යකරණය තමයි අපි කණ්ඩායමක අඩු ගානේ රටේ පොලිටිකල් ප්රොජෙක්ට් එක වෙන්න ඕනේ ඊළඟ එක. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ අපි ඔක්කොම ජනමාධ්යවේදීන් වෙනවා කියලා.
තොරතුරු පදනම් කරගත්, විචාරශීලි ගවේෂණාත්මක තොරතුරු සමාජගත කිරීම යනු වැදගත් දේශපාලන ව්යාපෘතියක් වන බැවින් එය අප විසින් ප්රවර්ධනය කළ යුතු බව ආචාර්ය විතාරණ අවධාරණය කරයි. ලසන්ත රුහුණගේ යනු රාජපක්ෂ පාලනය ගැන පමණක් ලියූවෙකු ලෙස නොසලකා, ඔහු විසින් දිගින් දිගටම ලියන ලද අනෙකුත් ලිපි එකතු ද ග්රන්ථ ලෙස මුද්රණය කළ යුතු බවට ඔහු යෝජනා කරයි.
එසේ මුද්රණය කිරීමේ ප්රධාන වටිනාකම් දෙකක් ඇති බව පෙන්වා දෙන ඔහු, පළමුවැන්න ලෙස ලසන්තගේ එම මාධ්ය වාර්තා සියල්ල නිවැරදිව විශ්ලේෂණය කළ විට එය ගවේෂණාත්මක ජනමාධ්යකරණය සඳහා භාවිත කළ හැකි අගනා අත්පොතක් (Textbook) වන බව සඳහන් කරයි. දෙවැන්න ලෙස, විශ්වවිද්යාල හෝ ශාස්ත්රීය මට්ටමින් යම් පාලන තන්ත්රයක් (Regime) තුළ සමාජය පැවති ආකාරය හා එහි ස්වභාවය පිළිබඳව, එනම් මහින්ද රාජපක්ෂ පාලනය, යහපාලන සමය මෙන්ම එන්.පී.පී. පාලන සමය තුළ සමාජය සහ පාලන යන්ත්රයේ ස්වභාවය කෙබඳුද යන්න පිළිබඳව අධ්යයනය කිරීමට එම ලිපි එකතු අතිශය වැදගත් ශාස්ත්රීය (Academic) වටිනාකමකින් යුතු දැනුම් මූලාශ්රයක් වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
ගවේෂණාත්මක මාධ්යකරණ පාසලක්
මාධ්යවේදී ෆාතිමා සුමෙයියා විසින් ලසන්ත සමඟ සිදු කරන ලද සම්මුඛ සාකච්ඡාව ඉතා දක්ෂ ලෙස කළ සාකච්ඡාවක් බව පෙන්වා දෙන ආචාර්ය දිලීප විතාරණ, ලසන්ත මීට වඩා සමාජගත විය යුතු බව අවධාරණය කරයි. ලසන්ත පිළිබඳ කරන වර්ණනාවකට වඩා, රට තුළ ගවේෂණාත්මක ජනමාධ්ය සංස්කෘතියක් ඇති කිරීමට එය සහයෝගයක් වන අයුරින් ඔහු පිළිබඳ වාර්තාමය වැඩසටහනක් (ඩොකියුමන්ට්රියක්) නිර්මාණය කළ හැකි නම් එය ඉතා අගනේය. එම සාකච්ඡාව තුළ ඊට අවශ්ය මූල බීජ අඩංගු වන බව ඔහු සඳහන් කරයි. තවද, ලසන්ත කේන්ද්ර කරගනිමින් ගවේෂණාත්මක ජනමාධ්යවේදය පිළිබඳ කෙරෙන සාකච්ඡාවට සහයෝගයක් ලෙස, ඉහළ ප්රමිතියෙන් යුත් විධිමත් ගවේෂණාත්මක මාධ්යකරණ පාසලක් වැනි ආයතනයක් ඇති කළ හැකි නම් එය ඉතා වැදගත් වන බව පවසමින් ආචාර්ය දිලීප විතාරණ මහතා සිය දේශනය අවසන් කරන ලදී.
