ප්‍රංශයේ ජනතා නැගිටීමෙන් මැක්‍රොන් ආණ්ඩුව දැඩි අර්බුදයක! ඇමති ඉල්ලා අස්වෙන්න හදයි! 2,400ක් අත්අඩංගුවට!

ප්‍රංශය පුරා පැතිර ගිය දැවැන්ත ජනතා විරෝධතා සහ සතිඅන්තයේ ඇතිවූ ප්‍රචණ්ඩ ගැටුම් හේතුවෙන් ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ ආණ්ඩුව බරපතළ දේශපාලන අර්බුදයකට මුහුණ දී සිටී. විරෝධතා පාලනය කිරීමේදී ආරක්ෂක අංශ අසමත් වූ බව පිළිගනිමින් එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ලෝරන්ට් නුනෙස් ඉදිරිපත් කළ ඉල්ලා අස්වීම ජනාධිපති මැක්‍රොන් අද (19) ප්‍රතික්ෂේප කර තිබේ.

පසුගිය ඔක්තෝබර් 17 සෙනසුරාදා පැවැති රටපුරා විරෝධතාවලට පන්ලක්ෂ පනස්දහසත් අටලක්ෂයත් අතර පිරිසක් සහභාගි වූ බව වාර්තා වේ. අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සහභාගිත්වය 550,000ක් ලෙස ගණන් බලා ඇති අතර, CGT වෘත්තීය සමිති සම්මේලනය ඉදිරිපත් කළ සංඛ්‍යාව 800,000කි.

බොහෝ විරෝධතා සාමකාමීව පැවතියද පැරිස්, මාර්සෙයි, ලියොන් සහ ලිමෝජ් ඇතුළු නගර රැසක ප්‍රචණ්ඩ ගැටුම්, වෙළෙඳසල් කොල්ලකෑම් සහ ගිනි තැබීම් සිදුවිය. ලිමෝජ් නගරයේ ඓතිහාසික නගර ශාලාවට ගිනි තැබීමෙන් එහි වහලයේ කොටසක් කඩා වැටුණු අතර, මාර්සෙයි නගරයේ ද රාජ්‍ය ගොඩනැඟිලිවලට ප්‍රහාර එල්ල විය.

සෙනසුරාදා පමණක් පුද්ගලයන් 2,397ක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව ප්‍රංශ බලධාරීහු පවසති. පැරිස් කලාපයේ වාර්තා වූ අත්අඩංගුවට ගැනීම් සංඛ්‍යාව 855කි. ඉරිදා දිනයේදීත් පැරිසියේ ගැටුම් සහ කොල්ලකෑම් සිදුවූ අතර, එදින තවත් 108 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අධිකරණ අමාත්‍ය ජෙරල්ඩ් ඩර්මැනින් අද ප්‍රකාශ කළේ සතිඅන්තය තුළ පොලිස් භාරයේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් 2,331ක් වාර්තා වූ බවයි. එම පිරිසෙන් සියයට 70ක් පමණ වැඩිහිටියන් වන අතර සියයට 80කට වැඩි පිරිසකට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඔහු පැවසීය. මාර්සෙයි නගරයේ සැකකරුවන් 13 දෙනෙකු ඇතුළු දුසිම් ගණනක් දැනටමත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

පොලිසියේ අසමත්වීම ආණ්ඩුව පිළිගනී!

සෙනසුරාදා විරෝධතා පාලනය කිරීම සඳහා පොලිස් සහ ආරක්ෂක නිලධාරීන් 60,000ක් යොදවා තිබුණද ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීමට ඔවුන්ට නොහැකි විය.

අභ්‍යන්තර කටයුතු අමාත්‍ය නුනෙස් ප්‍රකාශ කළේ ඇතැම් නගරවල ප්‍රචණ්ඩ ක්‍රියා සිදුකළ පිරිස් පාලනය කිරීමට ආරක්ෂක බලකාය ප්‍රමාණවත් නොවූ බවයි. පොලිස් හා බුද්ධි අංශවල පූර්ව තක්සේරුවල අඩුපාඩු පැවති බව ද ඔහු පිළිගත්තේය.

මෙම අසමත්වීම්වල වගකීම භාරගනිමින් ඔහු ජනාධිපතිවරයාට ඉල්ලා අස්වීම ඉදිරිපත් කළ නමුත්, ආරක්ෂක අංශවල අණදීමේ අඛණ්ඩතාව පවත්වාගැනීම අවශ්‍ය බව පවසමින් මැක්‍රොන් එය ප්‍රතික්ෂේප කළේය.

කොල්ලකෑම් සහ ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීම සඳහා කඩිනමින් නව ක්‍රියාමාර්ග සකස් කරන ලෙස ද ජනාධිපතිවරයා නුනෙස්ට උපදෙස් දී තිබේ.

අධිකරණ අමාත්‍ය ඩර්මැනින් ද ආරක්ෂක අංශ අසමත් වූ බව පිළිගෙන ඇත. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු නොමැතිව සාර්ථක පොලිස් මෙහෙයුම් කළ නොහැකි බව ඔහු අවධාරණය කළේය.

මැක්‍රොන් ජාතිය අමතයි!

ඔක්තෝබර් 18 ඉරිදා රාත්‍රියේ ජාතිය ඇමතූ ජනාධිපති මැක්‍රොන් ප්‍රචණ්ඩ ක්‍රියා දැඩි ලෙස හෙළා දුටුවේය. අන්ත වාමාංශික සටන්කාමී කණ්ඩායම් සහ අපරාධකරුවන් මෙම ප්‍රචණ්ඩ ක්‍රියාවලට වගකිව යුතු බවට ඔහු චෝදනා කළේය.

එහෙත් සාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරන සාමකාමී විරෝධතාකරුවන් සහ දේපොළ විනාශ කළ පිරිස් එකම කණ්ඩායමක් ලෙස සැලකිය නොහැකි බවත් ජනාධිපතිවරයා පිළිගත්තේය.

වෘත්තීය සමිති, ශිෂ්‍ය සංවිධාන, දේශපාලන පක්ෂ සහ පළාත් පාලන නියෝජිතයන් සමඟ සාකච්ඡා පවත්වා ජනතා ඉල්ලීම්වලට විසඳුම් සෙවීමට අගමැති සෙබස්තියන් ලෙකෝර්නුට උපදෙස් දී තිබේ.

මේ අතර විනාශයට පත්වූ වෙළෙඳසල් සහ රාජ්‍ය දේපොළ සම්බන්ධයෙන් හදිසි ක්‍රියාමාර්ග ගැනීමට අගමැතිවරයා අද අන්තර් අමාත්‍යාංශ අර්බුද සාකච්ඡාවක් කැඳවා තිබේ. වෙළෙඳ සංගම්වල ඇස්තමේන්තු අනුව සෙනසුරාදා වෙළෙඳසල් 1,500ක් පමණ ප්‍රහාරවලට හෝ වෙනත් ප්‍රචණ්ඩ ක්‍රියාවලට ඉලක්ක වී ඇත.

තවමත් විරෝධතා අවසන් නැහැ!

ජනතා විරෝධතා ආරම්භ වූයේ සැප්තැම්බර් මාසයේ පාසල්වල ගුරු හිඟය, අධ්‍යාපන පහසුකම්වල පිරිහීම සහ අධ්‍යාපන ප්‍රතිපත්තිවලට එරෙහි ශිෂ්‍ය උද්ඝෝෂණවලිනි.

පසුව ජීවන වියදම, ඉන්ධන මිල, වැටුප් සහ විශ්‍රාම වැටුප් සම්බන්ධ ඉල්ලීම් මුල් කරගත් වෘත්තීය සමිති සහ 2018දී මැක්‍රොන් ආණ්ඩුව සෙලවූ කහ කබාකරුවන්ගේ ව්‍යාපාරය ද ඊට එක්විය.

වෘත්තීය සමිතිවල ප්‍රධාන චෝදනාව වන්නේ රජයේ අයවැය ප්‍රතිපත්ති මගින් ආර්ථික අර්බුදයේ බර කම්කරුවන්, විශ්‍රාමිකයන් සහ රාජ්‍ය සේවා මත පැටවීමට උත්සාහ කරන බවයි.

අද උදෑසනත් ලියොන් නගරය ආසන්නයේ ගොවීන් ට්‍රැක්ටර් විස්සක් පමණ යොදාගනිමින් A47 අධිවේගී මාර්ගයේ ගමනාගමනය අවහිර කර තිබේ.

කහ කබා සංවිධායකයන් මැක්‍රොන්ගේ ඉරිදා ප්‍රකාශය ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡාවක් ඉල්ලා තිබේ. විරෝධතා සහ ප්‍රවාහන අවහිර කිරීම් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ද ඔවුහු කැඳවා ඇත.

CGT, CFDT, FO, UNSA සහ FSU යන ප්‍රධාන වෘත්තීය සමිති පහ නොවැම්බර් 5 වැනිදා රටපුරා වැඩවර්ජන සහ උද්ඝෝෂණ පැවැත්වීමට දැනටමත් තීරණය කර තිබේ.

මේ අතර දේශපාලන අර්බුදය ප්‍රංශ ආර්ථිකයට ද බලපා ඇත. සඳුදා උදෑසන ප්‍රංශයේ වසර දහයක රාජ්‍ය බැඳුම්කර ඵලදා අනුපාතය සියයට 4.86ක් දක්වා ඉහළ ගිය අතර, පැරිස් කොටස් වෙළෙඳපොළේ CAC 40 දර්ශකය මුල් ගනුදෙනුවලදී සියයට 1.3කින් පහත වැටුණි.

2027 ජනාධිපතිවරණයට මාස හයක් පමණ තිබියදී ඇතිවූ මෙම අර්බුදය මැක්‍රොන්ගේ පාලනයට බරපතළ දේශපාලන පීඩනයක් එල්ල කර තිබේ.

එක් පැත්තකින් අධික ජීවන වියදම සහ රාජ්‍ය සේවා පිරිහීම සම්බන්ධයෙන් ජනතාව විසඳුම් ඉල්ලන අතර, අනෙක් පැත්තෙන් ප්‍රචණ්ඩ ක්‍රියා පාලනය කිරීමට ආණ්ඩුව අසමත් වීම සම්බන්ධයෙන් විපක්ෂය චෝදනා එල්ල කරයි.

ඒ අනුව ප්‍රංශ ආණ්ඩුව ඉදිරියේ දැන් ඇති ප්‍රශ්නය වී තිබෙන්නේ වීදිවල ප්‍රචණ්ඩත්වය මැඩපැවැත්වීම පමණක් නොව, රටපුරා පැතිරී ඇති ජනතා අතෘප්තියට දේශපාලන සහ ආර්ථික විසඳුමක් ලබාදෙන්නේ කෙසේද යන්නයි.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading