හැඳින්වීම
අධ්‍යාපනය යනු රටක මානව සම්පත නිර්මාණය කරන ප්‍රධාන වැඩබිම වන අතර, එහි ගුණාත්මකභාවය තීරණය වන්නේ ප්‍රධාන වශයෙන්ම ගුරු වෘත්තීයයේ ප්‍රමිතිය මතය. ශ්‍රී ලංකාවේ වත්මන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ, අධ්‍යාපනවේදී (Bachelor of Education) උපාධිය හොබවන ගුරු සේවා බඳවා ගැනීම් සම්බන්ධයෙන් ගෙන එන ලද නව ව්‍යවස්ථා සංශෝධනය මේ වන විට උත්ප්‍රාසාත්මක මාතෘකාවක් ලෙස කරළියට පැමිණ ඇත.
අග්‍රාමාත්‍යතුමිය හෙවත් අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමිය විසින් නිකුත් කරන ලද නිවේදනයකට අනුව, අධ්‍යාපනවේදී උපාධිය, එකම උපාධිය හදාරන පිරිසට සාධාරණත්වයෙන් සැලකීම සඳහා පෞද්ගලික අංශයේ හා රාජ්‍ය අංශයේ විශ්වවිද්‍යාලවල එම උපාධිය හිමි කරගත් සියලු දෙනා පද්ධතියට ග්‍රහණය කරගැනීමට අවශ්‍ය බව ප්‍රකාශයට පත් කර ඇත. වචනාර්ථයෙන් මෙවන් ප්‍රකාශන ආකර්ෂණීය වුවද එමගින් යථාර්ථවාදී ලෙසම අධ්‍යාපනයේ ගුණාත්මක බව සඳහා සාධාරණත්වය ඉටුවේද? එකී සම්පාදිත නව යෝජනා සක්‍රීය කරන ක්‍රියාපටි හා විධික්‍රම, එය ගොඩනැගී ඇති ව්‍යුහාත්මක පසුබිම සහ එයින් සිදුවිය හැකි අනාගත ප්‍රතිවිපාක සම්බන්ධයෙන් ගුරු වෘත්තීය සමිති කණ්ඩායම් හා අධ්‍යාපන විශේෂඥයන් මතු කරන ලද ගැටලු කිහිපයක් පිළිබඳව මෙම ලිපියෙන් විචාරාත්මකව සාකච්ඡා කිරීමට අදහස් කෙරේ.
ගුරු සේවා ආයතනික පසුබිම
සමකාලීන ගැටලුව නිසි ලෙස අවබෝධ කරගැනීමට නම් ශ්‍රී ලංකා ගුරු සේවයේ ආයතනික ඉතිහාසය විමසා බැලීම අත්‍යවශ්‍යය. 1979 වසරේදී පොදු සේවා කොමිෂන් සභාව යටතේ අධ්‍යාපන සේවා කමිටුව (Education Service Committee) පිහිටුවා ගුරු සේවයේ බඳවා ගැනීම්, යොදවා ගැනීම්, ස්ථාන මාරු හා විනය පාලනය සම්බන්ධ කළමනාකරණ කටයුතු පැවරුණි. 1985 වසරේදී ජාතික අධ්‍යාපන ආයතන පනත යටතේ විෂය මාලා සංවර්ධනය, ගුරුවරුන්ගේ වෘත්තීය සංවර්ධනය හා අධ්‍යාපන ක්ෂේත්‍රීය පර්යේෂණ කටයුතු එම ආයතනයට පැවරුණි. ඉන් අනතුරුව 1987 වසරේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා දහතුන්වන සංශෝධනයෙන් අධ්‍යාපන කළමනාකරණයේ සැලකිය යුතු බලතල පළාත් සභා වෙත විභේදනය වූ අතර, 1991 වසරේ ජාතික අධ්‍යාපන කොමිෂන් සභා පනතෙන් ප්‍රතිපත්ති සම්පාදන කටයුතු එම කොමිෂන් සභාවට භාර විය. එහි ප්‍රතිඵලය ලෙස මධ්‍යම රජයේ අධ්‍යාපන අමාත්‍යාංශයේ කාර්යභාරය ක්‍රමයෙන් විහිදී යාමක් සිදු විය. ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ (Service Minute) අවසන් වරට සම්පූර්ණ ව්‍යවස්ථාව ලෙස නිකුත් කරන ලද්දේ 2014 ඔක්තෝබර් 23 වන දින අතිවිශේෂ ගැසට් අංක 1885/38 යටතේ වන අතර, 2019 අප්‍රේල් 22 වන දින ගැසට් අංක 2120/2 යටතේ එයට පළමු සංශෝධනය එක් කරන ලදි. මෙම සමස්ත ආයතනික පසුබිම තුළ බලන විට, ගුරු සේවා ව්‍යවස්ථාවකට සංශෝධනයක් ගෙන ඒම සරල පරිපාලන කටයුත්තක් නොව, රටේ අධ්‍යාපන සංස්කෘතියටම බලපාන ව්‍යුහාත්මක මැදිහත්වීමක් බව පැහැදිලිය.
නව සංශෝධනය ක්‍රියාත්මක කළ ක්‍රියාපටිපාටිමය ගැටලුව
පෞද්ගලික අංශයේ අධ්‍යාපනවේදී උපාධිධාරීන් ආයතනික පද්ධතියට ග්‍රහණය කරගැනීම සඳහා ගුරු සේවා ව්‍යවස්ථාවට සංශෝධනයක් ගෙන ඒමට රජය කඩිනම්ව කටයුතු කර ඇති අතර, එය විධිමත් කිරීමේ අරමුණින් සිදු කරන ලද බව ප්‍රකාශයට පත් කර ඇත. එහෙත් ගුරු වෘත්තීය සමිති විසින් කාලාන්තරයක් පුරා දිගින් දිගටම ඉල්ලා සිටියේ ගුරු සේවා ව්‍යවස්ථාවට විධිමත් හා ගුණාත්මක අත්‍යවශ්‍ය සංශෝධන ගෙන එමින් ගුරු සේවයේ පවත්නා ප්‍රබල අර්බුධ විසඳීමටය. ගුරු සේවයේ මූලික අර්බුධ විසඳීම සඳහා ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒමට වසර ගණනාවක කාලයක් කල්මරමින් ගත කරන අතරතුර, පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා අධ්‍යාපනවේදී උපාධිය නියාමනය කිරීමේ අවශ්‍යතාව හා සමගාමීව මෙම සංශෝධනය ඉතා වේගවත්ව ගෙන එන ලදි. වඩාත් බරපතල කරුණ නම්, මෙය වෘත්තීය සමිති සමග කිසිදු සාකච්ඡාවකින් තොරව ගත් තීරණයක් වීමයි.
අග්‍රාමාත්‍යතුමිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් “ගුරුවරුන්ගේ හා විදුහල්පතිවරුන්ගේ සංගම්වල අදහස් හා යෝජනා ඉතා වැදගත්” බවත් සියලුම ගුරුවරුන් සමග දිස්ත්‍රික් මට්ටමින් සාකච්ඡා කිරීම අත්‍යවශ්‍ය බවත් ප්‍රකාශයට පත් කර තිබියදී, මෙම විශේෂිත සංශෝධනය ක්‍රියාවට නංවන ලද්දේ එවැනි සාකච්ඡා ක්‍රියාවලියකින් තොරව වීම සංකීර්ණ උභතෝකෝටිකයකි. ඊට අමතරව, පසුගිය ඔක්තෝබර් 2 වන දින ගුරු–විදුහල්පති වෘත්තීය සමිති සංධානයට සාකච්ඡාවක් ලබා දුන්නද, අදාල ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ ගැසට් නිවේදනය සැප්තැම්බර් මාසයේ 26 නිකුත් කර තිබීමෙන් පෙනී යන්නේ, සාකච්ඡාවට පූර්වයෙන් අමාත්‍යාංශය විසින් කලින් තීරණය කළ න්‍යාය පත්‍රයක් නීතියක් බවට පත්තළ උත්සාහයයි.
අධ්‍යාපනවේදී උපාධිය ආයතන අතර සංසන්දනය
වර්තමානයේ ශ්‍රී ලංකාවේ අධ්‍යාපනවේදී උපාධිය විධිමත්ව පවත්වාගෙන යන්නේ කොළඹ විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය, යාපනය විශ්වවිද්‍යාලය හා විවෘත විශ්වවිද්‍යාලය යන රාජ්‍ය ආයතන කිහිපයක් පමණි. රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන්නේ Z- අගය ඉතා ඉහළ මට්ටමක පවත්නා සිසුන් වන අතර, කොළඹ විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපීඨයට තේරුණු සිසුන් අතරින් පළමු වසරේ විභාගයේ උසස් ප්‍රතිඵල ලබාගන්නා සිසුන් පමණක් අධ්‍යාපනවේදී උපාධිය හැදෑරීමට එහි සුදුසුකම් ලබති. විවෘත විශ්වවිද්‍යාලයේදී උසස් පෙළ හෝ ඒ හා සමාන සුදුසුකම් ඇති අය, තෝරාගැනීමේ විභාගයකට සමත් වීමෙන් පසුව පමණක් එම උපාධියට සුදුසුකම් ලබයි. විවිධ විශ්වවිද්‍යාලවල ඒ සඳහා විවිධ නිර්ණායක පවතී.
එහෙත් පෞද්ගලික අංශයේ තත්ත්වය සම්පූර්ණයෙන්ම ගුණාත්මකව වෙනස්ය. උදාහරණයක් ලෙස SLIIT ආයතනය විසින් අධ්‍යාපනවේදී ගෞරව , ඉංග්‍රීසි, සාමාජීය විද්‍යා, ජීව විද්‍යා, භෞතික විද්‍යා (BEd (Hons) in English, Social Sciences, Biological Sciences, Physical Sciences )යන උපාධි පාඨමාලා පවත්වාගෙන යන අතර, එහි ඇතුළත් වීමේ මූලික සුදුසුකම ලෙස සඳහන් කර ඇත්තේ උසස් පෙළ හෝ ඒ හා සමාන සුදුසුකම් පමණි. එනම්, රාජ්‍ය විශ්වවිද්‍යාලවල Z-අගය, පළමු වසරේ විභාග ප්‍රතිඵල හෝ ඇතුළත් වීමේ විභාගය වැනි ඉහල ඉහළ ප්‍රමිති ගත තෝරාගැනීමේ යාන්ත්‍රණවලට මුහුණ දීමට සිදු වන සිසුන්ට, පෞද්ගලික අංශයේ මෙම උපාධියට ඇතුළත් වීම සුදුසුකම් සම්පාදනය සඳහා කිසිදු ප්‍රතිසම අධ්‍යාපනමය නිර්ණායකයක් අවශ්‍ය නොවේ. සිසුන්ගේ අධ්‍යාපන මට්ටම පිළිබඳ හැඳින්වීමක් හෝ සුදුසුකම් දැක්වීමක් සිදු නොකෙරේ.
මෙම ආයතන පෞද්ගලික ලාභ ඉපයීම මත පදනම් වූ ආයතන බැවින් වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් ආකර්ෂණය කරගැනීම සඳහා විවිධ ව්‍යාපෘති දියත් කිරිමේ යාන්ත්‍රණය මෙම උපාධිය තුළින් ප්‍රතිමුඛ වේ. මෙම උපාධිය පිරිනැමීමේදී අවසානයේ ගුරු පුහුණුව සුදුසුකම් ලත් උපදේශකවරයෙකු හෝ මණ්ඩලයක අධීක්ෂණය යටතේ සිදු කිරීමට නිර්ණායක දක්වා තිබුණද, වත්මන් වන විටත් පෞද්ගලික විශ්වවිද්‍යාල සම්බන්ධයෙන් නියාමනය කිරීමට ඇත්තේ වගන්ති පොත්වලට හා චක්‍රලේඛනවලට පමණක් සීමා වූ තත්ත්වයකි. එබැවින් එම ආයතනවල ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුවක් සහ ප්‍රශ්න රාශියක් පවත්නා බව පැහැදිලි රහසකි. අධ්‍යාපන වේදි උපාධිධාරීන් පෞද්ගලික විශ්ව විද්‍යාලවලින් සුලභ ලෙස ගුරු සේවයට අනුක්ත කර 2:2 ශ්‍රේණියට බඳවා ගැනීම ඉස්මතු වූයේ 2024 සිටය. අධ්‍යාපන අමාත්‍යාංශය හා පළාත් අධ්‍යාපන අමාත්‍යාංශවල ඉහළ තනතුරුවල කටයුතු කළ නිලධාරීන් විශ්‍රාම ගැනීමෙන් පසු මෙම ආයතනවල ඉහළ නිලතල ලබාගනිමින් ඊට නෛතික බලතල විධිමත් කිරීමට මැදිහත් වූ අතර මාස 10ක නියාමන කාලය එම කණ්ඩායම්වල ව්‍යාපෘතියකි.
ගුරු සේවා ශ්‍රේණි ව්‍යුහය හා විවිධ මාර්ගවලින් බඳවා ගැනීම්
ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව යටතේ ක්‍රියාත්මක වන ශ්‍රේණි ව්‍යුහය විශ්ලේෂණය කළ විට, උපාධි සුදුසුකම හා පුහුණුව අනුව සේවා වර්තමානයේම වෙනස්කම් පෙන්නුම් කරයි. ජාතික අධ්‍යාපන ආයතනයට අනුබද්ධ විද්‍යාපීඨවලට ඇතුළත් වීම සඳහා සිසුන්ට තරග විභාගයකට මුහුණ දීමට සිදු වන අතර, අනතුරුව වසර තුනක් ඩිප්ලෝමාවක් ලෙස අධ්‍යයනය කර, විවිධ අපහසුකම් මධ්‍යයේ අධ්‍යාපනය නිම කිරීමට සිදු වේ. විද්‍යාපීඨවල ගත කරන ජීවිතය ඉතා කටුක බව අපි දනිමු. මෙවැනි තත්ත්වයක් තුළ ඉගැන්වීම සඳහාම නිර්මිත ඩිප්ලෝමාවක් අධ්‍යයනය කළ සිසුන් ගුරු සේවයට ඇතුළත් වන්නේ 3:1(ආ) ශ්‍රේණියටය. එමෙන්ම වසර පහක අනිවාර්ය සේවා කාලයකින්ද යුක්ත වේ. සාමාන්‍ය උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගැනීමේදී පළාත් හා ජාතික පාසල් මට්ටමින් විවෘත තරග විභාග පවත්වන අතර, එම තරග විභාගයට මුහුණ දී සමත් වී, සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණවලට ද මුහුණ දී සමත් වන උපාධිධාරීන් ගුරු සේවයට බඳවා ගනුයේ 3:1(අ) ශ්‍රේණියටය. එම උපාධිධාරීන් ජාතික විශ්වවිද්‍යාලවලට ඇතුළත් වන්නේ උසස් පෙළ Z-ස්කෝර් අගය ඉතා ඉහළ මට්ටමක් ලබාගෙන වන අතර, වසර හතරක හෝ තුනක අධ්‍යයන කාලයකින් පසුව ඔවුන් උපාධිධාරින් බවට පත්වේ.
අනෙක් අතට, අධ්‍යාපනවේදී උපාධිධාරීන් සඳහා වෙනම බඳවා ගැනීම් ක්‍රමවේදයක් පවතී. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව මගින් පිළිගැනෙන විශ්වවිද්‍යාලයකින් හෝ උපාධි ප්‍රදාන ආයතනයකින් ලබාගත් අධ්‍යාපනවේදී උපාධියක් ලබා තිබීම යන සුදුසුකම් යටතේ ගුරු සේවා 2 වන පන්තියේ 2 වන ශ්‍රේණියට (Class 2, Grade II) සෘජුවම බඳවා ගැනේ. එවැනි අයට 3:2 හෝ 3:1 මාර්ගවලින් එන ගුරුවරුන් මුහුණ දෙන තරග විභාගය හෝ සම්මුඛ පරීක්ෂණය වැනි වැඩි අඩු වූ කිසිදු තරගකාරී තෝරාගැනීමේ අවස්ථාවකට මුහුණ දීමේ අවශ්‍යතාවයක් නොවීය. නව ගුරුසේවා ව්‍යවස්ථාව සම්පාදිත 2014 වර්ෂය වන විට අධ්‍යාපනවේදී උපාධිය ලබා දීම රාජ්‍ය විශ්ව විද්‍යාල මගින් පමණක් වූ බැවින් හා ඒවායේ පැවැති ගුණාත්මක තත්ත්වය අනුව මෙම අවස්ථාව ලබා දී තිබුණි. ඊට වඩා වැදගත් වන්නේ උසස්වීම් ව්‍යුහයයි: 2-II සිට 2-I ශ්‍රේණියට යාම සඳහා විද්‍යාපීඨ පුහුණු ගුරුවරුන්ට, ඩිප්ලෝමාධාරීන්ට හා සාමාන්‍ය උපාධිධාරීන්ට වසර නවයක් අවශ්‍ය වන අතර, අධ්‍යාපනවේදී උපාධිධාරීන්ට එය වසර හතකින් සම්පූර්ණ වේ.
ශ්‍රේණිමය අසාධාරණත්වයේ සමීප විශ්ලේෂණය
මෙම කරුණු සංයෝජනය කළ විට පැහැදිලි වන බරපතල ගණිතමය අසාධාරණයක් ඇත. විද්‍යාපීඨ ඩිප්ලෝමාධාරියෙකු තරග විභාගයකින් ඇතුළත් වී වසර තුනක් කටුක අධ්‍යයනයකින් පසු ගුරු සේවයට එන්නේ 3:1(ආ) ශ්‍රේණියටය. සාමාන්‍ය උපාධිධාරියෙකු ඉහළ Z-ස්කෝර් අගයක් ලබා විශ්වවිද්‍යාලයට ඇතුළත් වී, වසර හතරක හෝ තුනක අධ්‍යයනයෙන් පසු තරග විභාගය, සම්මුඛ හා ප්‍රායෝගික පරීක්ෂණ හරහා, 3:1(අ) ශ්‍රේණියට අනුයුක්ත කරයි. එහෙත් උසස් පෙළ සාමාන්‍ය සාමාර්ථයක් පමණක් ඇති ශිෂ්‍යයෙකුට, වත්මන් තත්ත්වය යටතේ ලක්ෂ හයක හෝ හතක පමණ මුදලක් වැය කර, පෞද්ගලික විශ්වවිද්‍යාලයක් හරහා අධ්‍යාපනවේදී උපාධිය ලබාගෙන, කිසිදු තරග විභාගයකට මුහුණ නොදී, ශ්‍රේණි ව්‍යුහයේ ඉහළම ස්ථරයක් වන 2:2 ශ්‍රේණියට සෘජුවම ඇතුළත් වීමේ හැකියාව පවතී. උසස්වීම්වලදී වසර අටක හෝ නවයක පමණ කාලීන වෙනසක් අනෙකුත් ගුරුවරු අතර ඇති වේ. එවැනි ශිෂ්‍යයෙකු විද්‍යාපීඨ ශිෂ්‍යයෙකුට වඩා අඩු වූ අත්දැකීම් හා අධ්‍යාපනමය අභියෝග මධ්‍යයෙන් ඉහළම ශ්‍රේණි ස්ථානයකට යාමේ හැකියාව ලැබෙන්නේ මුදල්මය සාධකය මත පමණක් වීම කෙතරම් වූ ඛේදවාචකයක්ද?
මෙම අසාධාරණ තත්ත්වය තුළ ශිෂ්‍යයන් අනිවාර්යයෙන් තේරුම් ගැනීමට පෙළඹෙන්නේ, රාජ්‍ය විශ්වවිද්‍යාල පද්ධතියට හෝ විද්‍යාපීඨ වලට ඇතුළත් වීමෙන් තොරව, ණය වී හෝ මුදල් ගෙවා අධ්‍යාපනවේදී උපාධිය පෞද්ගලික විශ්වවිද්‍යාල හරහා ලබා ගුරු සේවයට එළඹීම වඩා වාසිදායක හා පහසුම මාර්ගය බවයි. විද්‍යාපීඨ පද්ධතියේ බොහෝ ආයතන දුෂ්කර ප්‍රදේශවල පිහිටා ඇති අතර, එහි ශිෂ්‍යයන් පුහුණු වන්නේ දැඩි ආර්ථික හා භෞතික අපහසුකම් මධ්‍යයේය. එබැවින් ගුරු සේවයට ඇතුළත් වීමේ ආකර්ෂණය වෘත්තීය කැපවීමෙන් ඔබ්බට ගොස්, මුදල් හා බලය මත පදනම් වූ පහසු තෝරාගැනීමක් බවට පත්වන සන්ධර්භය මේ මගින් තවදුරටත් නිර්මාණය කරදෙයි.
අධ්‍යාපනයේ මානව සම්පත් පදනමට ඇති අනතුර
අධ්‍යාපනය යනු රටේ මානව සම්පත් නිර්මාණය කරන තෝතැන්න වන අතර, මෙලෙස එය ගුණාත්මකව හෑල්ලුවට ලක් කිරීම රටේ අනාගතයට ගැටලුවකි. ගුරුවරයා යනු උපාධිධාරීයෙකු පමණක් නොව, පාසල් ප්‍රජාව තුළ ළමා මනස හැඩගස්වන වෘත්තීය ප්‍රවීණයකු වන බැවින්, ඔහුගේ පුහුණුවේ ගුණාත්මකභාවය රටේ පරම්පරාවල අධ්‍යාපනමය ඉරණම තීරණය කරයි. අවශ්‍ය වන්නේ රටේ මානව සම්පත සංවර්ධනය කිරීම සඳහා ගුණාත්මක අතින් ඉහළ ප්‍රමිතියක් ලබාගැනීමෙන් මෙම පද්ධතියේ පැවැත්ම තහවුරු කිරීමයි. ගුණාත්මකභාවය පිළිබඳ සහතිකයක් ලබා දිය නොහැකි පෞද්ගලික අංශවල න්‍යාය පත්‍ර හරහා ගුරු සේවයට බඳවා ගැනීම් සිදු වුවහොත්, අධ්‍යාපන පද්ධතියේ බිඳ වැටීමක් සිදුවිය හැකි අනතුරක් පවතී. ශ්‍රී ලංකාවේ අධ්‍යාපන සංස්කෘතිය ඓතිහාසිකව ගොඩනගා ඇති ප්‍රවේශයේ සමානාත්මතාව හා උපාධියේ ගුණාත්මක වටිනාකම වටා ගොඩනැගී ඇති කීර්තිය තවත් පසෙකින් අහෝසි වේ.
යෝජිත ක්‍රියාමාර්ග: පියවරෙන් පියවර ව්‍යුහාත්මක විසඳුමක්
අපි යෝජනා කරනුයේ, කාලානුරූප ව්‍යුහාත්මක පියවර මාලාවක් තුළින් මෙම ගැටලුවට ස්ථාවර විසඳුමක් ලබා ගත යුතු බවයි.
පළමුවනුව, රජයට ඒ සඳහා සැබෑ අභිලාෂයක් පවතින විට, විද්‍යාපීඨ විශ්වවිද්‍යාල බවට පත් කර, ඒවා ඉහළ ප්‍රමිතියකින් යුතුව අධ්‍යාපන අමාත්‍යාංශයට පිළිගැනීමට කටයුතු කළ යුතුය. වත්මන් වන විටත් ජාතික අධ්‍යාපන ආයතනය විසින් පිරිනැමෙන උපාධි ,අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පිළිගනු ලබයි. එබැවින් ආයතනික පිළිගැනීමේ පදනම දැනටමත් පවත්නා බව පැහැදිලිය. මෙම විශ්වවිද්‍යාල තුළින් අධ්‍යාපනවේදී උපාධිධාරීන් බිහි කර, ඔවුන් 2:2 ශ්‍රේණියට සෘජුවම බඳවා ගැනීමේ වැඩපිළිවෙළක් ආරම්භ කළ යුතුය. විද්‍යාපීඨ ශිෂ්‍යයන් දැනට දරන අධ්‍යයන කාලය ප්‍රසාරණය කර වසර හතරක උපාධි කාලය ලෙස පිළිගෙන, ඔවුන්ගේ පුහුණුව උපාධි මට්ටමට ඔසවා තැබීමෙන්, වසර ගණනාවක් පුහුණුවෙන් පසු උපාධියක් ලබා ගැනීමට සිදු වන අනවශ්‍ය කාල නාස්තියද අවසන් කළ හැකිය.
දෙවනුව, තරග විභාගවලට මුහුණ දෙන සාමාන්‍ය උපාධිධාරීන් සඳහා, ගුරු සේවයට බඳවා ගැනීමෙන් පසු විධිමත් සහ කාර්යක්ෂම වසරක පුහුණු කාලසීමාවක් තුළ වෘත්තීය දක්ෂතා වැඩිදියුණු කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී, ඔවුන් ද 2:2 ශ්‍රේණියට ඍජුවම බඳවා ගැනීමට කටයුතු කළ යුතුය. මෙයින් සියලුම මාර්ගවලින් එන ගුරුවරුන් ශ්‍රේණිමය වශයෙන් සමාන මට්ටමකට ගෙන ඒමට හැකි වේ.
තෙවනුව, මෙම පියවර දෙක සක්‍රිය කිරීමෙන් අනතුරුව පමණක්, පෞද්ගලික විශ්වවිද්‍යාලවලට අධ්‍යාපනවේදී උපාධිය ලබා දීම සඳහා අවශ්‍ය කටයුතු කළ යුතුය. එම ආයතන විසින්ම ඔවුන්ගේ ආයතන නියාමනය සඳහා හඳුන්වා දී ඇති ක්‍රමවේදය, ගුණාත්මකභාවය පිළිබඳ වගකීමක් දැරිය නොහැකි තත්ත්වයක් ලෙස හඳුන්වා දිය හැකිය. ස්වයං-නියාමනය යනු උපාධි වෙළඳපොළක ක්‍රියාකාරීන්ට ඔවුන්ගේම ප්‍රමිති නියම කරගැනීමට ඉඩ දීමක් පමණි.
සිව්වනුව, පෞද්ගලික විශ්වවිද්‍යාල මගින් බිහි කරන අධ්‍යාපනවේදී උපාධිධාරීන් පිළිගැනීම සඳහා සභාවක් ස්ථාපිත කළ යුතුය. එම සභාව, අධ්‍යාපන පීඨ හෝ අධ්‍යාපන අධ්‍යයන අංශ පවතින විශ්වවිද්‍යාලවල පීඨාධිපතිවරුන් හෝ අංශාධිපතිවරුන්, ගුරු අධ්‍යාපනඥ සේවයේ නිලධාරීන් යන අයගෙන් සමන්විත උසස්, ශාස්ත්‍රීය, ස්වාධීන මණ්ඩලයක් ලෙස පත් කළ යුතුය. දැනට පවතින ගුරු පුහුණු මධ්‍යස්ථානවල සිටින්නා වූ අධ්‍යාපනවේදය සම්බන්ධ ව්‍යවහාරික හෝ නූතන හෝ දාර්ශනික හෝ අදහසක් නොමැති කථිකාචාර්යවරුන් ලෙස හඳුන්වන්නා වූ නිලධාරි යාන්ත්‍රණය වෙනුවට, අධ්‍යාපනය සම්බන්ධ කීර්තිමත් ශාස්ත්‍රීය මෙන්ම දාර්ශනික බුද්ධිමතුන් මේ සඳහා අනුයුක්ත කළ යුතුය. එම සභාවේ නියාමනය යටතේ පවත්වනු ලබන ප්‍රායෝගික හා ලිඛිත පරීක්ෂණයකට පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් පිටවන අධ්‍යාපනවේදී උපාධිධාරීන් යටත් කළ යුතු අතර, එම පරීක්ෂණයෙන් සුදුසුකම් ලත් පිරිස් තෝරාගැනීමෙන් අනතුරුව පමණක් ඔවුන් ගුරු සේවයට යොමු කළ යුතුය.
නිගමනය
අධ්‍යාපනවේදී උපාධිය හරහා ගුරු සේවයට ඇතුළත් වීමේ අවස්ථාව සියලු උපාධිධාරීන්ට විවෘත කිරීම සාධාරණත්වයේ අවශ්‍යතාවක් වුවද, එය ක්‍රියාත්මක විය යුත්තේ සුදුසුකම් පදනමින්, සියලු මාර්ගයන්ට එක හා සමාන තෝරාගැනීමේ යාන්ත්‍රණ යටතේය. අන්‍යෝන්‍ය සාකච්ඡාවෙන් තොර ව්‍යවස්ථා සංශෝධනයකින්, ඇතුළත් වීමේ නිර්ණායක නොමැති ආයතනවල උපාධිධාරීන් ශ්‍රේණි ව්‍යුහයේ ඉහළම ස්ථරයට සෘජුවම යොමු කිරීම, විද්‍යාපීඨ ශිෂ්‍යයන්ගේ හා තරග විභාග සමත් වූ උපාධිධාරීන්ගේ වසර ගණනාවක කැපවීම අවප්‍රමාණීකරණය කිරීමකි. විද්‍යාපීඨ උපාධිකරණය කිරීම, සාමාන්‍ය උපාධිධාරීන්ට පශ්චාත්-බඳවා ගැනීම් පුහුණුවක් සැපයීම, පෞද්ගලික අංශයේ ඇතුළත් වීමේ නිර්ණායක පදනම් කිරීම සහ ස්වාධීන ශාස්ත්‍රීය සභාවක් මගින් ප්‍රායෝගික හා ලිඛිත පරීක්ෂණයක් පැවැත්වීම යන පියවර තුන සමාන්තරව ක්‍රියාත්මක කළ විට පමණක්, සාධාරණ තත්ත්වයක් ගොඩනැගී, ගුණාත්මක අධ්‍යාපන පද්ධතියක් තහවුරු කළ හැකි බව අපගේ යෝජනාවයි.
තරංග ගොන්සාලුගේ
භාණ්ඩාගාරික, ලංකා ගුරු සංගමය

