ඉන්දීය ආධාර නිවාස 920 කට ඔප්පු අහිමි වෙයි: වතු ජනතාවගේ ඉඩම් අයිතිය නීතිමය පැටලැවිල්ලකද?

(රාහුල් සමන්ත හෙට්ටිආරච්චි)

දශක ගණනාවක් තිස්සේ ලැයින් කාමරවල අතිශය දුෂ්කර හා අභියෝගාත්මක ජීවිතයක් ගත කළ ශ්‍රී ලංකාවේ වතුකරයේ ජනතාවට ස්ථිර හිසට සෙවණක් සහ භූමියේ අයිතිය ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක ඉන්දීය ආධාර නිවාස ව්‍යාපෘතිය (Indian Grant Housing Programme), වත්මන් වන විට බරපතල නීතිමය සහ පරිපාලනමය අර්බුදයකට මුහුණ දී සිටී.

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත ප්‍රකාරව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයෙන් (Ministry of Plantation and Community Infrastructure)  ලබාගත් නිල තොරතුරුවලට අනුව, ඉන්දීය ආධාර යටතේ ඉදි කර අවසන්  කරන ලද  නිවාසවල පදිංචි  පවුල් 920 කට නීතිමය ගැටලු හේතුවෙන් මෙතෙක් හිමිකම් ඔප්පු (Land Deeds/Titles) ලබාදීමට නොහැකිවී තිබෙන  බවට අනාවරණය වේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ හැටන්,මස්කෙලියේ පදිංචි පෙරුමාල් පොල්රාජ් (70) ද ඒ ආකාරයෙන්ම තම නිවසට හිමි කිසිදු අයිතිමය ලියවිල්ලක් හිමිව නැති වතු කම්කරුවෙකි. වසර ගණනාවක් ලයින් කාඹර තුළ  ජීවත්වූ ඔහුගේ ලයිම ගිනී ගැනීමට ලක්වීමේ ප්‍රතිපලක් ලෙස තමන්ට ලැබුණු නිවසට නිසි අයිතියක් තවමත් නොලැබීම ගැන ඔහු අදහස් දැක්වුයේ ඉතා කණගාටුවෙනි 

‘’ අපි හිටපු ලයිම ගිනි ගත්තා පස්සේ වසර කීපයකට පසු දැන් අපි මේ නිවාස අපිට ලැබුණා, අපිට ලබාදුන්නෙත් නිසි අයුරින් අවසන් කර නොතිබූ නිසි මාර්ග පහසුකම්වත් නැති නිවාස තාමත් එහෙමයි ඒ වගේම දැන් මෙහාට  ඇවිල්ලා අවුරුදු 09කට ආසන්නයි අද වන තුරු මා ඇතුළු කීපදෙනෙකුට තම කිසිදු අයිතිවාසිකම් ලියවිල්ලක් මේ ගෙදරට දීලා නෑ’’

ඔප්පු සැකසීමේ සහ බෙදාහැරීමේ මන්දගාමී පියවර

වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ   මගින්  ලබාදී ඇති RTI/2026/16 දරන නිල ලේඛනයට අනුව, ඉන්දීය ආධාර නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර (නිවාස 4,000) සහ දෙවන අදියර (නිවාස 10,000) යටතේ ඉදි කළ නිවාස අතුරින් නිවාස 4,151 ක් සඳහා ඔප්පු සකස් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවතිබේ. කෙසේ වෙතත්, එම අමාත්‍ය මණ්ඩල අනුමැතිය ක්‍රියාත්මක  කිරීමේ  ක්ෂේත්‍ර ප්‍රගතිය පවතින්නේ අතිශය මන්දගාමී මට්ටමක බව මෙම තොරතුරු මගින් අනාවරණය වන්නකි.

ඒ අකාරයෙන් ලබාදී ඇති නිල තොරතුරු හා දත්ත සාරාංශයට අනුව, අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලත් නිවාස 4,151 අතුරින් නීතිමය ගැටලු නොමැතිව දැනට හිමිකම් ඔප්පු සකස් කර ඇත්තේ නිවාස 1,021 ක් සඳහා පමණි. එයින් නිල වශයෙන් ප්‍රතිලාභීන් වෙත ප්‍රදානය කර ඇති හිමිකම් ඔප්පු සංඛ්‍යාව 747 ක් වන අතර, සකස් කර අවසන්ව ලබාදීමට නියමිත ඉතිරි ඔප්පු සංඛ්‍යාව 274 කි. මීට අමතරව දැනට ප්‍රතිලාභීන් 178 දෙනෙකු සඳහා ඔප්පු සකස් කරමින් පවතින අතර, ඔප්පු සැකසීමට අවශ්‍ය මානක පිඹුරු පත් (Survey Maps) සකස් කර  අවසන්  කර ඇත්තේ නිවාස 147 ක් සඳහා පමණි. මේ දක්වා සින්නක්කර පදනම මත ඔප්පු ලබා දී ඇති සමස්ත ප්‍රතිලාභීන් සංඛ්‍යාව 2,542 ක් වන අතර, විවිධ නීතිමය ගැටලු හේතුවෙන් ඔප්පු ලබා දීමට නොහැකි වී ඇති පවුල් සංඛ්‍යාව 920 ක් දක්වා ඉහළ ගොස් තිබේ.

ඉඩම් අයිතිය නීතිමය පැටලැවිල්ලක වැටුණේ කෙසේද?

ශ්‍රී ලංකාවේ ප්‍රාදේශීය වැවිලි සමාගම් (Regional Plantation Companies – RPCs) සතුව පවතින රාජ්‍ය වතු ඉඩම් අවුරුදු 53 සහ 99 දීර්ඝකාලීන බදු පදනම මත පාලනය වේ. නිවාස ව්‍යාපෘතිය යටතේ එක් නිවසක් සඳහා පර්චස් 10 බැගින් ඉඩම් වෙන්කිරීමේදී, එම ඉඩම් කැබලි නිල වශයෙන් රජය වෙත නැවත පවරාදීම සහ අදාළ සමාගම්වල නීතිමය එකඟතාව ලබාගැනීම අතිශය ප්‍රමාදකාරී ක්‍රියාවලියක් බවට පත්ව තිබේ.

අමාත්‍යාංශය තොරතුරු පනත යටතේ ලබාදුන් තොරතුරු අනුව  නිල වශයෙන් පිළිගෙන ඇත්තේ, එක් නිවසක් සඳහා පර්චස් 10 බැගින් ඉඩම් වෙන් කළද වැවිලි සමාගම් (RPC) මගින් එම ඉඩම් නිදහස් කිරීම ප්‍රමාද වන බවයි. මෙලෙස ඉඩම් නිදහස් නොකිරීම සහ නීතිමය හිමිකම් පැවරීම් අඩාල වීම හේතුවෙන් පවුල් 920 ක් තමන්ගේම නිවස තුළ “අනියම් පදිංචිකරුවන්” බවට පත්වීමේ බරපතල අවදානමකට මුහුණ දී සිටිති.

“වහලක් තිබුණද අයිතියක්  නැති” වතුකරයේ සමාජ-ආර්ථික ඛේදවාචකය

වතු ජනතාවට සින්නක්කර ඉඩම් හිමිකමක් නොමැති වීම හුදෙක් ලියවිල්ලක අඩුවක් පමණක් නොව, ඔවුන්ගේ පරම්පරාගත අයිතිවාසිකම් සහ සාමාජීය සාධාරණත්වය පිළිබඳ බරපතල ගැටලුවකි. හිමිකම් ඔප්පුවක් නොමැති වීම නිසා මෙම පවුල්වලට ප්‍රධාන ගැටලු කිහිපයකට මුහුණ දීමට සිදුවේ.

පළමුවෙන්ම, වාණිජ බැංකුවකින් ණයක් ලබාගැනීමට හෝ ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට අවශ්‍ය ඇපකරයක් ලෙස ඉඩම් ඔප්පුව තැබීමට නොහැකි වීම නිසා ඔවුන්ට මූල්‍ය පහසුකම් ලබාගැනීමට නොහැකි වී ඇත. දෙවනුව, දෙමාපියන්ගෙන් පසුව දරුවන්ට නිවසේ නීත්‍යානුකූල හිමිකම පැවරීමට නොහැකි වීමෙන් ඔවුන්ගේ පරම්පරාගත උරුමය අහිමි වීමේ අවදානමක් මතු වේ. තවද, වතුකරයේ බිහිවන නව ගම්මාන ප්‍රාදේශීය සභා බලප්‍රදේශ යටතට නිල වශයෙන් ඈඳාගැනීමේදී ඔප්පු නොමැතිකම බාධාවක් වන බැවින් ප්‍රාදේශීය පාලන ලියාපදිංචි අර්බුදයකටද මුහුණ දීමට සිදු වේ.

යටිතල පහසුකම් අර්බුදය සහ රාජ්‍ය ප්‍රතිපාදන ඌණ භාවිතය

හිමිකම් ඔප්පු අර්බුදයට අමතරව, ඉදිකර අවසන් කළ නිවාසවල මූලික යටිතල පහසුකම් සැපයීමට අපොහොසත් වීම නිසා නිවාස 21 ක් භාවිතයට ගැනීමට නොහැකිව වසා දමා ඇති බව තොරතුරු පනත යටතේ ලබාදුන්  වාර්තාවේ හෙළි වේ. විශේෂයෙන්ම ගාල්ල කලාපයේ වලහන්දූව වත්තේ ඉදිකළ නිවාස 12 ක් සඳහා පානීය ජල පහසුකම් නොමැති අතර, බෙන්තොට වත්තේ ඉදිකළ නිවාස 09 ක් සඳහා පානීය ජලය සහ විදුලිය පහසුකම් සැපයීමට මෙතෙක් පියවර ගෙන නොමැති බව එම තොරතුරු මගින් අනාවරණය වන්නකි.

එසේම, ශ්‍රී ලංකා රජය මගින් දෙවන අදියරේ නිවාස 10,000 සඳහා යටිතල පහසුකම් සැපයීමට 2022 සිට 2026 දක්වා වෙන්කළ රුපියල් මිලියන 2,270 ක (රුපියල් බිලියන 2.27) සමස්ත ප්‍රතිපාදනවලින් 2026 ජූනි වන විට වියදම් කර ඇත්තේ රුපියල් මිලියන 324.47 ක් පමණි. මෙය සියයට 8 සිට සියයට 34 දක්වා වූ අතිශය මන්දගාමී ප්‍රගතියක් වන අතර, මුදල් වෙන්කර තිබියදීත් වැඩ අවසන් නොකිරීම හේතුවෙන් ප්‍රදේශවාසීහු දැඩි පීඩාවට පත්ව සිටිති.මේ සම්බන්ධයෙන් වගකිවයුතු බලධාරීන්ගේ අවධානයටද ලක්විය යුත්තකි.

ව්‍යාපෘති ප්‍රගතිය සහ ඉදිරි මග

විශේෂයෙන්ම මෙම තොරතුරු අනුව ඉන්දීය රජයේ ආධාර යටතේ නිවාස 14,000 ක් ඉදිකිරීමට නියමිත අතර, පළමු අදියරේ නිවාස 4,000 සම්පූර්ණයෙන්ම නිම කර ඇත. කෙසේ වෙතත්, දෙවන අදියරේ නිවාස 10,000 න් දැනට සම්පූර්ණ කර ඇත්තේ නිවාස 522 ක් පමණි. දැනට ක්‍රියාත්මක 1,300 ක අදියරෙන් 2026 ජූනි 30 වන විට අවසන් කර ඇත්තේ නිවාස 280 කි (සමස්ත භෞතික ප්‍රගතිය සියයට 22 කි).

වතු ජනතාව ලැයින් කාමර සංස්කෘතියෙන්  මුදවා සැබෑ ඉඩම් හිමියන් බවට පත්කිරීමට නම් රජය විසින් හදිසි පියවර කිහිපයක් ගත යුතුව තිබේ. ප්‍රථමයෙන්, වැවිලි සමාගම් (RPCs) මගින් පර්චස් 10 ඉඩම් කඩිනමින් නිදහස් කරගැනීම සඳහා අමාත්‍යාංශ මට්ටමේ නීතිමය බලකායක් ලෙස විශේෂ ඉඩම් පවරාගැනීමේ කාර්ය සාධක බලකායක් පිහිටුවිය යුතුය. දෙවනුව, නීතිමය ගැටලු සහිත නිවාස 920 සහ ඉතිරි නිවාස සඳහා මිනුම් දෙපාර්තමේන්තුව හරහා මානක පිඹුරු පත් කඩිනමින් සැකසීමට මිනුම් කටයුතු ඉක්මන් කළ යුතුය.

තෙවනුව, ජලසම්පාදන මණ්ඩලය සහ විදුලිබල මණ්ඩලය සමඟ එක්ව ඉදිකර ඇති සියලුම නිවාස සඳහා වහාම ජලය සහ විදුලිය ලබාදෙමින් යටිතල පහසුකම් පද්ධතිය නිසි ලෙස සම්බන්ධීකරණය කළ යුතුය. එමෙන්ම ලංකාවේ ජනතාව වෙනුවෙන් විදේශ් ආධාර ලබාදෙමින් සිදුකරන මෙම ව්‍යාපෘති නිසි අයුරින් ක්‍රියාත්මක කරමින් ඒ වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් හා නීතිමය සහයෝගය ලබාදීම පවතින රජයක මෙන්ම එම රජයට වගකියනු ලබන රාජ්‍ය නිලධාරීන්ගේ වගකීමකි යුතුකමකි.

(තොරතුරු මූලාශ්‍රය: වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය මගින් 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ නිළලේඛන අංක RTI/2026/16 යටතේ  ලබාගන්නා ලදී.)

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading