දයා ගමගේ නිවාස බැංකුවෙන් අරන් පොලු තැබූ බිලියනයකට ආසන්න ණය ගැන කෝප් කමිටුවේදී යළි හෙළි වේ!

ශ්‍රී ලංකා නිවාස සංවර්ධන මූල්‍ය සංස්ථා බැංකුව හෙවත් HDFC බැංකුව විසින් දයා සමූහයට අනුබද්ධ සමාගම් දෙකකට ලබාදුන් ණය, බැංකුවේ විශාලතම අක්‍රීය ණය අතරට එක්ව ඇති ආකාරය පාර්ලිමේන්තුවේ කෝප් කමිටුව යටතේ ක්‍රියාත්මක අනුකමිටුවකදී යළි සාකච්ඡාවට ලක් වී තිබුණි.

රුපියල් මිලියන 974ක ණය ගැන එහිදී සාකච්ඡාවට ලක් වී තිබුණි.

අනුකමිටුවේ සභාපති අසිත නිරෝෂණ එගොඩ විතාන මන්ත්‍රීවරයාගේ ප්‍රශ්න කිරීම් හමුවේ HDFC නිලධාරීන් සඳහන් කළේ බිම්පුත් ෆිනෑන්ස් සමාගමෙන් අයවිය යුතු මුදල පොලිය සමඟ රුපියල් මිලියන 546ක් දක්වාත්, ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් සමාගමෙන් අයවිය යුතු මුදල රුපියල් මිලියන 328ක් දක්වාත් පවතින බවයි.

එම අනුකමිටුවේදී සාකච්ඡා කර තිබුණේ 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විගණකාධිපති වාර්තාව මත පදනම්වය.

එම වාර්තාවෙන් හෙළිවන්නේ ණය අයකර ගැනීමේ අර්බුදයක් පමණක් නොව, ණය අනුමත කිරීම, ඇප තක්සේරු කිරීම, අවදානම් සංඥා සැලකිල්ලට ගැනීම සහ පසු විපරම් කිරීම සම්බන්ධයෙන්ද බරපතළ ප්‍රශ්න මතුව ඇති බවයි.

HDFC බැංකුවේ අක්‍රීය ණය පසුබිම

විගණකාධිපති වාර්තාව අනුව 2024 දෙසැම්බර් 31 දිනට HDFC බැංකුවේ මුළු ණය සහ අත්තිකාරම්වල හිඟ ශේෂය රුපියල් මිලියන 43,226කි. එයින් තුන්වැනි අදියරේ හෙවත් Stage 3 ණය ශේෂය රුපියල් මිලියන 21,029ක් විය. එය 2023දී පැවති රුපියල් මිලියන 18,948ට සාපේක්ෂව රුපියල් මිලියන 2,081ක වැඩිවීමකි.

දළ ණය සහ අත්තිකාරම්වලට සාපේක්ෂව Stage 3 ණය අනුපාතය 2020දී සියයට 32.12ක් වූ අතර 2024 වනවිට එය සියයට 45.92 දක්වා ඉහළ ගොස් තිබිණි. එම ණය සඳහා 2024 අවසානයේ වෙන්කර තිබූ හානිකරණ ප්‍රතිපාදනය රුපියල් මිලියන 2,595කි.

මෙවැනි පුළුල් ණය ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුවක් මැද, බැංකුවේ ඉහළම අක්‍රීය ණය දහයේ ලැයිස්තුවේ මුල් ස්ථාන දෙකම දයා සමූහයට සම්බන්ධ සමාගම්වලට හිමිව තිබේ.

විගණකාධිපති වාර්තාව එය ඍජුව මෙසේ සඳහන් කරයි:

“මෙම ඉහළම අක්‍රීය ණය 10 හි මුළු හිඟ ශේෂයෙන් රු. මිලියන 795.9ක සැලකිය යුතු කොටසක් එකම සමූහයේ සමාගම් දෙකකට [දයා සමූහ (පුද්ගලික) සමාගම] සම්බන්ධ බව නිරීක්ෂණය විය.”

එම රුපියල් මිලියන 795.9 සමන්විත වූයේ ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් සමාගමේ රුපියල් මිලියන 337.8ක හිඟය, බිම්පුත් ෆිනෑන්ස් සමාගමේ ප්‍රධාන ණයේ රුපියල් මිලියන 397.3ක හිඟය සහ දෙවැනි ණයේ රුපියල් මිලියන 60.8ක හිඟයෙනි.

ඔලිම්පස් ණය: බිලියනයක තක්සේරුව සහ මිලියන 72ක තක්සේරුව

ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් පුද්ගලික සමාගම දයා සමූහයේ පරිපාලිත සමාගමක් බව විගණකාධිපති වාර්තාව සඳහන් කරයි. සමාගම කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහා ඉඩමක් උකස් කර රුපියල් මිලියන 350ක ණය පහසුකමක් ඉල්ලා තිබිණි.

2019 ජුනි 7 දින පැවති විශේෂ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී එම ණය අනුමත කර තිබේ. එහෙත් ඒ වනවිට බැංකුවේ අභ්‍යන්තර තක්සේරු වාර්තාව සම්පූර්ණ වී නොතිබූ බව විගණකාධිපති වාර්තාව පෙන්වා දෙයි.

අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී සඳහන් වූ කරුණ වාර්තාව ඍජුව මෙසේ උපුටා දක්වයි:

“තක්සේරු කිරීම සඳහා පස් ප්‍රමාණනය කළ නොහැකි බව අභ්‍යන්තර තක්සේරු නිලධාරියා වාර්තා කර තිබුණ අතර අභ්‍යන්තර තක්සේරු වාර්තාව තවමත් සම්පූර්ණ කරමින් පවතී.”

කෙසේ වෙතත් පෞද්ගලික තක්සේරු නිලධාරියකු, ඉඩමේ තිබූ පස්වලින් ලැබිය හැකි බවට ඇස්තමේන්තු කළ ආදායමද ඇතුළත් කර උකස් ඉඩමේ වටිනාකම රුපියල් බිලියනයක් ලෙස දක්වා තිබිණි. ණය අනුමැතියේදී සලකා තිබුණේ එම තක්සේරුවයි.

පසුව බැංකුවේ අභ්‍යන්තර තක්සේරු නිලධාරියා පස් ආදායම ඇතුළත් නොකර ඉඩමේ බලකර විකුණුම් වටිනාකම හෙවත් FSV රුපියල් මිලියන 72ක් ලෙස වාර්තා කළේය. උකස් වත්කම තක්සේරු කිරීමේදී අස්පෘශ්‍ය වත්කම් වටිනාකම ඇතුළත් නොකළ යුතු බවද ඔහු නිර්දේශ කර තිබිණි.

ඒ අනුව එකම දේපළ සම්බන්ධයෙන් ණය අනුමැතියට පදනම් වූ පෞද්ගලික තක්සේරුව රුපියල් බිලියනයක් වූ අතර බැංකුවේ අභ්‍යන්තර FSV තක්සේරුව රුපියල් මිලියන 72ක් විය. දෙක අතර පරතරය රුපියල් මිලියන 928කි.

මෙම පරතරය තිබියදීත් HDFC බැංකුව 2019 ජූලි 8 දින රුපියල් මිලියන 100ක් සහ 2019 ඔක්තෝබර් 28 දින තවත් රුපියල් මිලියන 150ක් ලෙස මුළු රුපියල් මිලියන 250ක් ඔලිම්පස් සමාගමට නිදහස් කර තිබිණි.

විගණකාධිපති වාර්තාව අනුව ණය ලබාදී මාස හයකට පසු, 2020 ජනවාරි 7 දින එය අක්‍රීය ණය කාණ්ඩයට මාරු කර තිබේ. ණය ලබාදීමේදී බැංකුව සමඟ ඇතිකරගත් විශේෂ ගිවිසුමේ කොන්දේසිවලට අනුකූල වීමටද ගනුදෙනුකරු අපොහොසත් වී තිබිණි.

බැංකුවට ගත් ඉඩමට ලැබුණු එකම ඉල්ලුම මිලියන 44යි

2020 නොවැම්බර් 30 දින පරාටේ බලතල ක්‍රියාත්මක කිරීම සඳහා HDFC අධ්‍යක්ෂ මණ්ඩලය යෝජනාවක් සම්මත කළේය. 2021 මාර්තු 24 දින පැවති ප්‍රසිද්ධ වෙන්දේසියේදී බැංකුව විසින් උකස් දේපළ අත්පත් කරගෙන තිබිණි.

පසුව 2021 ජුනි 22 සහ 2022 නොවැම්බර් 18 දිනවල දේපළ විකිණීම සඳහා පුවත්පත් දැන්වීම් පළ කළද, ලැබී තිබුණේ රුපියල් මිලියන 44කට දේපළ මිලදී ගැනීමට වූ එක් කැමැත්ත පළ කිරීමක් පමණි. ටෙන්ඩර් කමිටුව එම මිලට දේපළ විකිණීම ප්‍රතික්ෂේප කර තිබේ.

2024 දෙසැම්බර් 31 දිනට ඔලිම්පස් ණයේ මුළු හිඟය රුපියල් 337,817,367කි. එයට හිඟ ප්‍රාග්ධනය රුපියල් 249,717,321ක්, හිඟ පොලිය රුපියල් 51,893,845ක්, හිඟ අයිරා මුදල් රුපියල් 33,732,161ක් සහ ගාස්තු රුපියල් 2,474,039ක් ඇතුළත් විය.

කෝප් අනුකමිටුවේ නවතම සාකච්ඡාවේදී ඔලිම්පස් සමාගමෙන් අයවිය යුතු මුදල රුපියල් මිලියන 328ක් ලෙස සඳහන් විය. එය 2024 අවසානයේ විගණිත රුපියල් මිලියන 337.8ට වඩා අඩු අගයකි. අයකිරීමක්, ගිණුම් ගැළපීමක් හෝ ප්‍රතිගණනයක් සිදුවී තිබේදැයි කමිටු සංවාදයෙන් පැහැදිලි නොවීය.

බිම්පුත් ණය: අධ්‍යක්ෂවරුන් තිදෙනකුගේ විරෝධය නොසලකා අනුමැතිය

බිම්පුත් ෆිනෑන්ස් සමාගමද දයා සමූහයේ පරිපාලිත සමාගමක් ලෙස විගණකාධිපති වාර්තාව හඳුන්වයි. 2018 මැයි 9 දින පැවති HDFC අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමේදී රුපියල් මිලියන 350ක ණයක් අනුමත කර තිබිණි.

එම තීරණය ගැන විගණකාධිපති වාර්තාවේ සඳහන් වන්නේ මෙසේය:

“අධ්‍යක්ෂකවරුන් තිදෙනෙකුගේ විරුද්ධත්වය නොසලකා රුපියල් මිලියන 350ක ණය මුදලක් බිම්පුත් පුද්ගලික සමාගම වෙත අනුමත කරන ලදී.”

ඇප ලෙස රුපියල් මිලියන 525ක සක්‍රීය ණය කළඹක උකස් බැඳුම්කරයක් සහ දයා සමූහ පුද්ගලික සමාගමේ සමාගම් ඇපකරයක් පිළිගෙන තිබිණි. ණය ලබාදී තිබුණේ බිම්පුත් සමාගමේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සඳහාය.

2020 වර්ෂය තුළ එම ණය දෙවරක් නැවත සකස් කර තිබේ. එහෙත් 2022 ජුනි 29 දින එය අක්‍රීය ණයක් බවට මාරු කර තිබිණි.

මේ අතර HDFC බැංකුව 2021 නොවැම්බර් 19 දින බිම්පුත් සමාගමට තවත් රුපියල් 42,038,971ක ණයක් ලබාදී තිබේ. එම දෙවැනි ණයද 2022 ඔක්තෝබර් 28 දින සිට අක්‍රීය ණය කාණ්ඩයට මාරු කර තිබිණි.

ඒ අනුව මිලියන 350ක ප්‍රධාන ණය නැවත සකස් කරමින් තිබූ කාලයේම, එම සමාගමට තවත් මිලියන 42කට වැඩි ණයක් ලබාදුන්නේ කුමන අවදානම් ඇගයීමක් මතද යන ප්‍රශ්නය විගණන කරුණුවලින් මතුවෙයි.

පසුව දුර්වල ප්‍රාග්ධනීකරණය, ද්‍රවශීලතා අවදානම සහ වත්කම් ගුණාත්මකභාවයේ දැඩි පිරිහීම සැලකිල්ලට ගනිමින් බිම්පුත් සමාගමේ Fitch ශ්‍රේණිගත කිරීම “BB (lka)” සිට “CC (lka)” දක්වා පහළ දැමිණි. ශ්‍රී ලංකා මහ බැංකුව 2023 සැප්තැම්බර් 1 දින එහි මූල්‍ය ව්‍යාපාර බලපත්‍රය අවලංගු කළේය.

බිම්පුත් ණය දෙකේ 2024 හිඟය මිලියන 458.2යි

2024 දෙසැම්බර් 31 දිනට බිම්පුත් ප්‍රධාන ණයේ මුළු හිඟය රුපියල් 397,350,561කි. එයට රුපියල් 246,899,661ක ප්‍රාග්ධනය, රුපියල් 70,695,995ක හිඟ පොලිය, රුපියල් 75,754,539ක ප්‍රමාද ගාස්තු සහ රුපියල් 4,000,365ක අනෙකුත් ගාස්තු ඇතුළත් විය.

දෙවැනි ණයේ මුළු හිඟය රුපියල් 60,821,667කි. එයට රුපියල් 42,038,971ක ප්‍රාග්ධනය, රුපියල් 5,832,980ක හිඟ පොලිය, රුපියල් 12,949,666ක ප්‍රමාද ගාස්තු සහ රුපියල් 50ක අනෙකුත් ගාස්තු ඇතුළත් විය.

ඒ අනුව 2024 අවසානයේ බිම්පුත් සමාගමේ ණය දෙකෙන් HDFC බැංකුවට අයවිය යුතු මුළු මුදල රුපියල් 458,172,228කි.

කෝප් අනුකමිටුවේදී HDFC නිලධාරීන් සඳහන් කළේ මේ වනවිට පොලිය සමඟ බිම්පුත් හිඟය රුපියල් මිලියන 546ක් දක්වා වැඩිවී ඇති බවයි. සමාගම ඈවර කිරීමට අධිකරණ නියෝගයක් ලබාගෙන ඈවරකරුවකු පත්කර ඇති බවත්, දයා සමූහයෙන් ලබාදුන් සමාගම් ඇපකරය සම්බන්ධයෙන් නඩු පවරා ඇති බවත් ඔවුහු පැවසූහ.

විගණකාධිපති වාර්තාවේ සඳහන් පරිදි සමාගම ඈවර කිරීම සඳහා වෙනම නඩුවක් ගොනුකර තිබූ අතර 2025 පෙබරවාරි 14 දින ඈවර කිරීමේ නියෝගයක් නිකුත් කර තිබිණි. එම නියෝගයට එරෙහිව අභියාචනයක්ද ගොනුකර තිබේ.

සෙවණගල වන්දි මුදලකින් හිඟය අයකර ගැනීමේ සාකච්ඡා

කෝප් අනුකමිටුවේදී HDFC නිලධාරීන් තවත් සඳහන් කළේ දයා සමූහය බැංකුවට ලබාදී ඇති සමාගම් ඇපකරය සම්බන්ධයෙන් නඩු විභාගයක් පවතින බවයි.

එම නඩුව අතරතුර මුදල් අමාත්‍යාංශයෙන් දයා සමූහයට ගෙවීමට නියමිත මුදලක් තිබෙන බව දැනුම්දී ඇති බවත්, බැංකුව එම මුදල ලබාගැනීම සම්බන්ධයෙන් දයා සමූහයේ විරෝධයක් නොමැති බවත් නිලධාරියා පැවසීය. එම ගෙවීම සෙවණගල සීනි කර්මාන්තශාලාව පවරා ගැනීම වෙනුවෙන් අධිකරණ නියෝගයක් මත ලැබිය හැකි වන්දියක් බවද සාකච්ඡාවේදී සඳහන් විය.

අධිකරණ නියෝගයක් මත එවැනි ගෙවීමක් සිදුවන්නේ නම් HDFC හිඟය අයකර ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙස මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරමින් සිටින බව බැංකු නිලධාරීහු කමිටුවට දැනුම් දුන්හ.

විගණකාධිපතිවරයාගේ නිර්දේශ

ඔලිම්පස් සහ බිම්පුත් ණය සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා ඉදිරිපත් කරන නිර්දේශ තුනේ අවධානය යොමුවන්නේ ණය ලබාදීමට පෙර ගනුදෙනුකරු නිසි ලෙස ඇගයීම, ණය ලබාදුන් පසු දැඩි අධීක්ෂණයක් පවත්වා ගැනීම සහ හිඟ අයකර ගැනීම වේගවත් කිරීම වෙතය.

වාර්තාව ඍජුව නිර්දේශ කරන්නේ:

“ගනුදෙනුකරුවන්ගේ උද්‍යෝගය සහ ණය සුදුසුකම් තක්සේරු කිරීම් වැඩි දියුණු කිරීමෙන් බැංකුවේ චක්‍රලේඛ සහ මාර්ගෝපදේශවලට අනුකූලව සුදුසුකම් ලත් ගනුදෙනුකරුවන්ට ණය සහ අත්තිකාරම් ලබා දීමට අවශ්‍ය පියවර ගැනීම.”

එයට අමතරව,

“ඉදිරියේ දී ණය ගෙවීම් පැහැර හැරීම් අවම කිරීම සඳහා දැඩි අධීක්ෂණ සහ පසු විපරම් යාන්ත්‍රණ ක්‍රියාත්මක කිරීම”

සහ,

“ණය අයකර ගැනීම සඳහා වූ බැංකුවේ ප්‍රයත්නයන් වේගවත් කිරීම”

යන නිර්දේශද ඉදිරිපත් කර තිබේ.

ඔලිම්පස් ඉඩම පිළිබඳ රුපියල් බිලියනයක සහ රුපියල් මිලියන 72ක තක්සේරු දෙකක් තිබියදී ණය මුදල් නිදහස් කළේ කුමන පදනමක් මතද, බිම්පුත් ණයට විරුද්ධ වූ අධ්‍යක්ෂවරුන් තිදෙනා මතුකළ අවදානම් මොනවාද, පළමු ණය නැවත සකස් කරමින් තිබියදී එම සමාගමට දෙවැනි ණයක් ලබාදුන්නේ කෙසේද යන්නටත් පිළිතුරු අවශ්‍යය.

එසේම කෝප් කමිටුවේදී සඳහන් කළ මිලියන 546 සහ 328 අගයන් නිශ්චිත කුමන දිනයකට අදාළද, විගණිත අගයන් සමඟ ඒවා ගැළපෙන්නේ කෙසේද සහ මිලියන 974ක් ලෙස ප්‍රකාශ වූ එකතුවට අමතර මිලියන 100ක් ඇතුළත් වූයේ කෙසේද යන්න HDFC බැංකුව සහ කෝප් අනුකමිටුව පැහැදිලි කළ යුතුය.

මෙම සිද්ධියේ මූලික ප්‍රශ්නය ණය ගත් සමාගම් දෙක ගෙවීම් පැහැර හැරීම පමණක් නොවේ. බැංකුවේම තක්සේරු හා අවදානම් සංඥා මැද ණය අනුමත කළ ආකාරය, පසු විපරම් කළ ආකාරය සහ ඒ තීරණවලට වගකිව යුතු නිලධාරීන් හා අධ්‍යක්ෂවරුන් පිළිබඳ ආයතනික වගවීමද මෙහි මධ්‍යයේ තිබේ.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading