අගෝස්තු 24 වැනිදා පැවති කැබිනට් මණ්ඩල හමුවේ තීන්දු දැනුම් දීමේ මාධ්‍ය නිවේදනයට අනුව, මධ්‍යම අධිවේගී මාර්ගයේ I, III සහ IV කොටස් සඳහා නව සම්බන්ධක මාර්ග සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇත. මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතිය කොටස් හතරකින් නිම කිරීමට නියමිත අතර, එය බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත්වල පවතින මාර්ග ජාලය සමඟ සම්බන්ධ කිරීම මෙම නව ව්‍යාපෘතියේ අරමුණයි. මේ යටතේ අධිවේගී මාර්ගයේ පළමු (I) කොටස සඳහා කිලෝමීටර 117.68ක් දිගැති සම්බන්ධක මාර්ග 12ක් සංවර්ධනය කෙරෙනු ඇත.
එසේම, තෙවන (III) කොටස සඳහා කිලෝමීටර 83.98ක දිගින් යුත් මාර්ග 14ක් ද, සිව්වන (IV) කොටස වෙනුවෙන් කිලෝමීටර 81.36ක දිගකින් යුත් සම්බන්ධක මාර්ග 09ක් ද ඉදි කිරීමට සැලසුම් කර තිබේ. මෙම සමස්ත මාර්ග සංවර්ධන ව්‍යාපෘතිය 2026 සිට 2030 දක්වා වූ කාලසීමාව තුළදී ක්‍රියාත්මක කෙරෙනු ඇත. ඒ සඳහා ඇස්තමේන්තු කර ඇති තාවකාලික මුළු පිරිවැය රුපියල් බිලියන 104.9 කි. අධිවේගී මාර්ග සඳහා සම්බන්ධක මාර්ග (Connecting Roads)
අධිවේගී මාර්ගයක් කොතරම් වේගවත් වුවද, එයට ප්‍රවේශ වන ස්ථානවල (අන්තර්හුවමාරු) සහ ඉන් පිටවන ස්ථානවල විධිමත් ප්‍රාදේශීය මාර්ග ජාලයක් නොමැති නම් එහි සැබෑ ප්‍රතිලාභය ජනතාවට ලබා ගත නොහැක. මෙම සම්බන්ධක මාර්ග මඟින් අධිවේගී මාර්ගය සහ අදාළ පළාත්වල අභ්‍යන්තර මාර්ග අතර කාර්යක්ෂම සම්බන්ධතාවක් ගොඩනැගීමට අපේක්ෂා කරයි.
