– ලසන්ත රුහුණගේ
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග ඇමති ලාල් කාන්තගේ නිවසේ පැවති පිංකමකට ජනාධිපති අනුර කුමාර දිසානායක හා අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය සහභාගි වූ ඡායාරූප අනාවරණය වීමත් සමඟ සමාජය තුළ ඒ සම්බන්ධයෙන් දැඩි කථාබහක් ඇතිවිය.
ඒ එම නිවසේ විශාලත්වය හා සුඛෝපභෝගී තත්වය නිසාත්, ඇමති ලාල් කාන්ත යනු ජනතා විමුක්ති පෙරමුණේ පූර්ණකාලීන සාමාජිකයකු වශයෙන් හඳුන්වා දී තිබීමත් නිසාය. එමෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට ඔවුන් තේරී පත්වූ විට පවා පාර්ලිමේන්තුවෙන් ලබාදෙන වැටුප් හා දීමනා පක්ෂ අරමුදලට බැරකරන බවට ඔවුන් කීමත්, මන්ත්‍රීවරුන් සඳහා ලබාදුන් තීරු බදු රහිත වාහන බලපත් පවා පක්ෂයට ලබාදුන් බව කීමත් නිසාය.
මෙම මහජන කථාබහට පිළිතුරු ලබාදීමක් වශයෙන් එම නිවස පිළිබඳ කථාබහ ඇතිවූ පසුගිය අප්‍රේල් මාසයේදී රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඇමති විජිත හේරත් එම නිවස පිළිබඳ විමසීමේදී ලබාදුන් පිළිතුරද වැදගත්ය. එහිදී ඇමති විජිත හේරත් පැවසුවේ ඇමති ලාල් කාන්ත ඔහුගේ පවුලේ උරුමයෙන් ලැබුන අනුරාධපුරේ දේපල විකුණා හා බිරිඳගේ නුවර පිහිටි දේපල විකුණා එම නිවස ඉදිකර ඇති බවයි.
එමෙන්ම එම දිනවලම යූ ටියුබ් නාලිකාවක සාකච්ඡාවක නියැලෙමින් චෝදනාවට ලක්වූ ඇමති ලාල් කාන්ත ඒ සම්බන්ධයෙන් ලබාදුන් පිළිතුර ද වැදගත්ය. එහිදී ඇමති ලාල් කාන්ත පැවසුවේ පර්චස් 6ක් හා 7ක් වශයෙන් මිලදී ගත් ඉඩම් කැබලි දෙකක එම නිවස ඉදිකල බවත්, 2024 අගභාගයේදී එම නිවසේ පදිංචියට ගිය බවත් හා ඒ සඳහා මුදල් උපයා ගත්තේ කාලයක් තිස්සේ භාවිතයට ගත නොහැකි තත්වයට පත්වී තිබූ මාතලේ හන්දිය ප්‍රදේශයේ නුවර පාරට ආසන්නව පිහිටි පවුලේ දේපල විකිණීමෙන් බවත් යන්නය.
ඇමති ලාල් කාන්ත එම සාකච්ඡාවේදී වැඩිදුරටත් අවධාරණය කළේ වසර 40කට ආසන්න දේශපාලන ජීවිතය තුළ ඔහු රැස්කරගත් වටිනාම වත්කම සබඳතා ජාලය බවත්, අවශ්‍ය නම් කෙටි කාලයක් තුළ විශ්වාශවන්ත හිතවතුන් 100 දෙනෙකුගෙන් රුපියල් ලක්ෂ 5 බැගින් වුවද පහසුවෙන් එකතු කළ හැකි බවත්ය.
එමෙන්ම සිය නිවස ඉදිකිරීම සඳහා කිසිදු රජයේ මුදලක්, බදු ගෙවන්නන්ගේ මුදලක් හෝ පක්ෂ අරමුදල් භාවිතා නොකළ බවද එහිදී ඔහු සහතික විය.
ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ පූර්ණ කාලීන දේශපාලන ක්‍රියාකාරිකයකු වශයෙන් කටයුතු කළ සමයේදී නිවසේ වියදම් බොහෝ දුරට දරනු ලැබුයේ බිරිඳගේ ආදායමෙන් බවත්, ඔහුගේ නිවසේ තිබූ පියානෝව මෑතක මිලදී ගත් සුඛෝපභෝගී භාණ්ඩයක් නොවන බවත්, එය අවුරුදු 15ක් පමණ පරණ එකක් බවත් හා එය දියණියගේ කුඩා කාලයේ සංගීත පාඩම් සඳහා භාවිතා කළ එකක් බවත්ය.
එම පිළිතුරු ලබාදීම් හා මහජන කථාබහේ සැකය තෝරා බේරා ගැනීම සඳහා අවධානය යොමුකළ යුතු එක් දෙයක් වන්නේ ඇමති ලාල් කාන්ත 2025 හා 2026 වර්ෂ සඳහා ලබාදුන් ඔහුගේ වත්කම් හා බැරකම් ප්රකාශයි.
2025 වත්කම් හා බැරකම් ප්‍රකාශය
කේ ඩී ලාල් කාන්ත 2025 දෙසැම්බර් 26 වන දින සහිතව නීතිඥ සුනිල් වටගල ඉදිරියේ දිවුරුම් දී අත්සන් කරන ලද සිය වත්කම් හා බැරකම් ප්‍රකාශයේ මූල්‍ය බැඳීම් හෙවත් ණය යටතේ සඳහන් කරන්නේ 2024.04.10 දින හා 2024.05.25 දින රුපියල් ලක්ෂ 20 බැගින් වූ පොරොන්දු නෝට්ටු මත ණය මුදල් ලබාගත් බවයි. එම ණය මුදල් පියවිය යුතු දිනයක් ගැන එහි සඳහන් නොකරයි.
එමෙන්ම 2025.05.26 දින නිවස ඉදිකිරීම වෙනුවෙන් රුපියල් එක්කෝටි පහලොස් ලක්ෂ අනූ දහස් හත්සිය අනූ හතක් ණයට ගත් බවත් එය 2026.02.26ට පෙර පියවිය යුතු බවත් සඳහන් කරයි.
එහි ඔහු සඳහන් කරන්නේ ඔහුට බැංකු ගිණුම් දෙකක් ඇති බව හා ඉන් එක් ගිණුමක රුපියල් 273,193.23ක් හා අනෙක් ගිණුමේ රුපියල් 196,880ක් ඇති බවයි. ආවරණය වන තැනැත්තන්ගෙන් එක් අයෙකුට බැංකු ගිණුම් දෙකක් ඇති බව සහ ඒවායේ රුපියල් 2,988,509.95ක් හා රුපියල් 76,993.04ක් ඇති බවයි. අනෙක් ආවරණය වන තැනැත්තාට බැංකු ගිණුම් තුනක් ඇති බව සහ ඒවායේ රුපියල් 19,303.50ක්, රුපියල් 12,2028.35ක් හා රුපියල් 107,858.32ක් ඇති බවයි.
ඔහුට විශ්‍රාම වැටුප ලෙස වර්ෂයකදී රුපියල් 771,400ක්, වැටුප ලෙස රුපියල් 738,918.16ක් හා දේපල බදු දීමෙන් රුපියල් 400,000ක් ලැබෙන බව සඳහන් කරයි. (කළු පසුබිමින් වසා තිබුණද) ඔහුගේ බිරිඳට විශ්‍රාම වැටුප ලෙස රුපියල් 424,582ක්, වර්තමාන රැකියාවෙන් රුපියල් 1,800,000ක් හා ස්ථාවර තැන්පතු ආදායම ලෙස රුපියල් 2,755,851.97ක් ලැබී ඇති බව සඳහන් කරයි.
එහි කලත්‍රයා හෙවත් බිරිඳට 2016 වර්ෂයේදී මිතුරෙකු ලබාදුන් මුදලින් මිලදී ගත් රුපියල් මිලියන 4.5ක් විටිනා මෝටර් රථයක් ඇති බව සඳහන් කරයි.
එහි ලාල් කාන්තට ඇති නිශ්චල දේපල සම්බන්ධයෙන් සඳහන් කරන්නේ පසු උරුමයෙන් ලැබුණ මිලියන 2.5ක වටිනාකමක් ඇති රූඩ් 2යි පර්චස් 7.26ක වර්ග අඩි 1500ක නේවාසික හා වාණිජ ගොඩනැගිල්ලක් ඇති බවයි.
එසේම ඔහුගේ ආවරණය වන තැනැත්තන් බිරිඳ හෝ දියණිය විය හැකි (එම තොරතුරු අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම කළු කර ඇත) අයට අයත් තෑගි ඔප්පු වලින් ලැබුණ දේපල තුනක් ගැන සඳහන් කරයි. එකක් පර්චස් 10ක් වන වර්ග අඩි 2500කින් යුතු නේවාසික ගොඩනැගිල්ලක් වන අතර එහි වටිනාකම රුපියල් මිලියන 6ක් පමණ වන බව සඳහන් කරයි. පර්චස් 20ක් වන වර්ග අඩි 750 කින් යුත් ස්ථීර ගොඩනැගිල්ලකින් හා ගෙවත්තකින් යුත් අනෙක් දේපල රුපියල් මිලියන 2.5ක් වටිනා බව සඳහන් කරයි. පර්චස් 14ක වර්ග අඩි 4500 කින් යුත් අනෙක් දේපල නේවාසික ගොඩනැගිල්ලක් බව හා එහි වටිනාකම රුපියල් මිලියන 56ක් බව සඳහන් කරයි.
චංචල දේපල සම්බන්ධයෙන් සඳහන් කරන්නේ ඔහුගේ ආවරණය වන තැනැත්තන් දෙදෙනෙකුට අයත් ආභරණ ඇති බවයි. එක් අයෙකුට මිලදී ගැනීමෙන් ගත් පවුම් 5ක ආභරණ ඇති අතර එහි වටිනාකම රුපියල් මිලියනයක් වන අතර පවුම් 3ක ආභරණවල වටිනාකම රුපියල් ලක්ෂ 6ක් වශයෙන් සඳහන් කරයි.
අනෙක් ආවරණය වන තැනැත්තාගේ මවගෙන් හා වරින් වර මිලදී ගත් ග්‍රෑම් 120ක රන් පවුම් ඇති අතර ඒවායේ වටිනාකම රුපියල් මිලියන 3ක් බව සඳහන් කරයි.
එක් ආවරණය වන තැනැත්තකුට (දියණිය විය හැකියි) බ්‍රවුන් ඉන්වෙස්ට්මන් හි 2022 දෙවරකට අත්පත්කරගත් කොටස් 348 හා 300 බැගින් තිබෙන අතර 2022 දී බ්ලූ ඩයමන්ඩ් ජුවලරි හි කොටස් 20,550ක්ද, හෙල ඇපරල් කොටස් 980ක්, ජැට් හෝල්ඩින්ග්ස් හි කොටස් 209ක්, සිලෝන් ලෑන්ඩ් ඇන්ඩ් ඉක්වටි කොටස් කොටස් 440ක්, ලංකා කෙඩ්ට් ඇන්ඩ් බිස්නස් ෆයිනෑන්ස් හි කොටස් 5450ක්, චෙව්රන් ලුබ්රිකන්ට් හි කොටස් 200ක්, එක්ස්පැක් කොරුගේටඩ් කාටූන් හි කොටස් 550ක්, රේණුකා හෝල්ඩින්ග් හි කොටස් 416ක්, ෂන්සයින්ස් හෝල්ඩින්ග්ස් හි කොටස් 320ක් තිබෙන බව සඳහන් කර ඇත.
ලාල් කාන්තට පවුලේ සමීපම සාමාජිකයකු නොවන පුද්ගලයකුගෙන් හෝ ආයතනයකින් රුපියල් 50,000 ඉක්මවා ලැබුණු සංචාරක ප්‍රතිපූරණ හෝ ත්‍යාග යටතේ සඳහන් කරන්නේ මූල්‍යමය වශයෙන් 2024.04.08 දින රුපියල් 200,000ක්, 2024.05.22 දින රුපියල් 150,000ක්, 2024.07.05 දින රුපියල් 100,000ක්, 2024.08.16 දින රුපියල් 50,000ක්, 2024.09.14 දින රුපියල් 100,000ක්, 2024.09.17 දින රුපියල් 100,000ක්, 2024.10.30 දින රුපියල් 100,000ක් හා 2024.11.08 දින රුපියල් 100,000ක් වශයෙන් ලැබී ඇති බවයි.
2026 වත්කම් හා බැරකම් ප්‍රකාශය
2026 වසරේ ඉදිරිපත් කර ඇති සිය වත්කම් හා බැරකම් ප්‍රකාශයේ ඇමති ලාල් කාන්ත සඳහන් කරන්නේ ඔහුගේ වාර්ෂික පාර්ලිමේන්තු වැටුප රුපියල් 1,582,875ක් බවයි. බිරිඳට මූලික රැකියාවෙන් වාර්ෂිකව රුපියල් 565,521.12ක් ලැබෙන බවයි. සිය දියණියට ප්‍රාථමික රැකියාවෙන් වාර්ෂිකව රුපියල් 1,906,605.31ක් ලැබෙන බවයි. එමෙන්ම සිය දියණියට කොටස් වෙළෙඳපොල ආයෝජන මගින් රුපියල් 2121.17ක් ලැබී ඇති බවයි. දියණියට කොටස් විකුණා රුපියල් 60748.14 ක් ලැබුණ බවයි. බිරිඳට වෘත්තීය සේවා මගින් රුපියල් 538,500ක් ලැබුන බවයි. දියණියට ආරාධිත දේශිකාවක් වශයෙන් රුපියල් 45,000ක් ලැබුන බවයි. ලාල් කාන්තට ලීසිං ආදායම වශයෙන් රුපියල් 960,000ක් ලැබුන බවයි. එසේම බිරිඳට පොළී ආදායම වශයෙන් රුපියල් 1,235,266.50ක් ලැබුන බවයි.
දේපල වශයෙන් සඳහන් කරන්නේ දියණියට 2012 වසරේදී මවගෙන් තෑගි වශයෙන් ලැබුන මහනුවර ගෙලිඔය ප්‍රදේශයේ පර්චස් 10.10ක හිස් ඉඩමක් ඇති බව හා එමෙන්ම ඇයට ලාල් කාන්තගෙන් තෑග්ගක් වශයෙන් 2023 වර්ෂයේදී ලැබුන කොළඹ කඩුවෙල පර්චස් 13.90 වර්ග අඩි 4500ක නිවසක් සහිත නේවාසික ඉඩමක් ඇති බව හා එහි ඔප්පුවේ සඳහන් වටිනාකම රුපියල් ලක්ෂ 80ක් බවයි.
එමෙන්ම ලාල් කාන්තට අනුරාධපුරයේ පර්චස් 97.26ක වර්ග අඩි 2671ක නේවාසික ගොඩනැගිල්ලක් සහිත 1986 දී උරුමයෙන් ලැබුන දේපලක් ඇති බවයි. දියණියට මවගෙන් 1998දී තෑග්ගක් වශයෙන් ලැබුන පර්චස් 10ක වර්ග අඩි 1600ක ගොඩනැගිල්ක් සහිත ඉඩමක් මහනුවර ගෙලිඔය ප්‍රදේශයේ ඇති බවයි. තවද දියණියට ප්‍රසන්න මීදෙනිය නැමැත්තෙකුගෙන් 2012 වසරේදී තෑගි වශයෙන් ලැබුන පර්චස් 7.20ක වර්ග අඩි 750ක දේපලක් මහනුවර ගෙලිඔය ප්‍රදේශයේ ඇති බවයි. එමෙන්ම බිරිඳට 2025 දී මිලදී ගත් ඔප්පුවේ සඳහන් වටිනාකම වන රුපියල් 5,650,000ක් වන පර්චස් 8.60ක හිස් ඉඩමක් කොළඹ කඩුවෙල ප්‍රදේශයේ ඇති බවයි.
බිරිඳට 2016 දී රුපියල් 3,150,000කට මිලදී ගත් වාහනයක් ඇති බව සඳහන් කර ඇති අතර එමෙන්ම බිරිඳට මිලදී ගත් ස්වර්ණාභරණ ඇති බව සඳහන් කර ඇතත් ඒවායේ ප්‍රමාණයන් හා වටිනාකම් සඳහන් කර නැත.
අත ඇති මුදල් සම්බන්ධයෙන් සඳහන් කරන්නේ ලාල් කාන්ත අත රුපියල් ලක්ෂ 3ක්, ඔහුගේ බිරිඳ අත රුපියල් 150,000ක් හා දියණිය අත රුපියල් 50,000ක් ඇති බවයි.
බිරිඳට සිංගර් ෆයිනෑන්ස් ලංකා පීඑල්සී හි ඉතිරි කිරීම් ගිණුමක් ඇති බවත් එහි ශේෂය රුපියල් 21,438.81ක් බව සඳහන් කරයි. දියණියට ලංකා බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමක් ඇති බව හා එහි ශේෂය රුපියල් 25,036.01ක් බව සඳහන් කරයි.
බිරිඳට සිංගර් ෆයිනෑන්ස් ලංකා පීඑල්සී හි ස්ථාවර තැන්පත් ගිණුමක් ඇති බව හා එහි ශේෂය රුපියල් ලක්ෂ 10ක් බවත්, බිරිඳට සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆයිනෑන්ස් පීඑල්සී හි ඉතිරි කිරීම් ගිණුමක් ඇති බව හා එහි ශේෂය රුපියල් 75,382.14ක් බවත්, එසේම බිරිඳට සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆයිනෑන්ස් පීඑල්සී හි ස්ථාවර තැන්පතු ගිණුමක් ඇති බව හා එහි ශේෂය වශයෙන් රුපියල් ලක්ෂ 15ක් ඇති බවත් සඳහන් කරයි.
ලාල් කාන්තට ලංකා බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමක් ඇති බව හා එහි ශේෂය රුපියල් 181,842.23ක් බවත් එමෙන්ම ඔහුට පෑන් ඒෂියා බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමක් ඇති බව හා එහි ශේෂය රුපියල් 3,075,285.67ක් බවත් සඳහන් කරයි.
දියණියට සම්පත් බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමක් ඇති බව හා එහි ශේෂය රුපියල් 470,625.45ක් වන බවත්, දියණියට පෑන් ඒෂියා බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමක් ඇති බව හා එහි ශේෂය රුපියල් 23,226.99ක් වන බවත් සඳහන් කරයි.
එමෙන්ම බිරිඳට පෑන් ඒෂියා බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමක් ඇති බව හා එහි ශේෂය රුපියල් රුපියල් 366,434.84ක් බවත්, බිරිඳට හැටන් නැෂනල් බැංකුවේ ඉතිරි කිරීමේ ගිණුමක් ඇති බව හා එහි ශේෂය රුපියල් 70,497.98ක් වන බවත් සඳහන් කරයි.
දියණියට බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් පීඑල්සී හි කොටස් 648ක්, බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී හි කොටස් 20,550ක්, හෙළ ඇපරල් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් 980ක්, ජැට් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් 209ක්, සිලෝන් ලෑන්ඩ් ඇන්ඩ් ඉක්වටි පීඑල්සී හි කොටස් 440ක්, ලංකා කෙඩිට් ඇන්ඩ් බිස්නස් ෆයිනෑන්ස් පීඑල්සී හි කොටස් 5450ක් හා එක්ස්-පැක් කොරුගේටඩ් කාටූන්ස් පීඑල්සී හි කොටස් 550ක් ඇති බව සඳහන් කරයි.
බිරිඳ යූනියන් ඇෂුවරන්ස් හි ජීවිත රක්ෂණ ආයෝජනයක් කර ඇති බවත්, එහි වාර්ෂික වාරික මුදල රුපියල් 94,468ක් බවත් එය 2037දී කල් පිරීමේදී රුපියල් 2,088,303.50ක් වන බවත් සඳහන් කරයි. දියණියට යූනියන් ඇෂුවරන්ස් හි ජීවිත රක්ෂණයක් කර ඇති බවත්, එහි වාර්ෂික වාරික මුදල රුපියල් 106,936ක් බවත් හා 2047දී එය කල් පිරීමේදී රුපියල් 13,564,967.79ක් බවත් සඳහන් කරයි.
ප්රකාශනයේ කාලයේදී ලාල් කාන්ත විසින් නිවාස ඉදිකිරීමක් සඳහා රුපියල් රුපියල් කෝටියක වියදමක් දැරූ බව සඳහන් කරයි. අමතරව නිවස ඉදිකිරීම සඳහා තවත් රුපියල් ලක්ෂ 16ක් වියදම් කළ බව සඳහන් කරයි. එමෙන්ම බිරිඳ ප්‍රකාශිත වර්ෂයේදී වත්කම් මිලදී ගැනීම සඳහා රුපියල් 5,650,000ක් වැයකළ බව සඳහන් කරයි.
බිරිඳ හැටන් නැෂනල් බැංකුවෙන් සිය විශ්‍රාම වැටුප ඇපය වශයෙන් තබා රුපියල් 986,280.59ක පෞද්ගලික ණයක් ලබාගත් බවද සඳහන් කරයි.
ලාල් කාන්ත 2024 වර්ෂයේදී නිරාල් කඩවතආරච්චි නැමැති අයකුගෙන් රුපියල් ලක්ෂ 40ක පෞද්ගලික ණයක් ලබාගත් බව සඳහන් කරන අතර එය කිසිඳු ගෙවීමකින් තොරව එසේම පවතින බව පෙන්නුම් කෙරේ.
වත්කම් ප්‍රකාශ දෙකේ පරස්පරතා
2025 දෙසැම්බර් වත්කම් ප්‍රකාශය අනුව ඔහු එම වසරේම ජුනි 15 දිනද වත්කම් හා බැරකම් ප්‍රකාශයක් ලබාදී ඇති අතර එසේ ප්‍රකාශ දෙකක් ලබාදුන්නේ ඇයිද යන්නද ප්‍රශ්නාර්ථයකි.
කෙසේ වෙතත් 2025 වත්කම් හා බැරකම් ප්‍රකාශයෙන් 2026 ප්‍රකාශයට එද්දී ඔහුට හා පවුලේ සාමාජිකයන්ට අයත් ඉඩම් සංඛ්‍යාව 4 සිට 5 දක්වා වැඩිවී ඇති අතර ඇමති විජිත හේරත් හා ඇමති ලාල් කාන්ත කියූ ලෙස කඩුවෙල නිවස ඉදිකිරීම සඳහා ඒවා විකුණා ඇති බවක් පෙන්නුම් කරන්නේ නැත. එමෙන්ම නිවස ඉදිකිරීමට ණය ලබාගත් බව සඳහන් කිරීමෙන්ද ඇමති විජිත හේරත්ගේ හා ඇමති ලාල් කාන්තගේ ඒ සම්බන්ධයෙන් කළ ප්‍රකාශ අභියෝගයට ලක්කරයි.
එමෙන්ම 2025 වත්කම් හා බැරකම් ප්‍රකාශයේ ඔහුට හා ආවරණය වන තැනැත්තන්ට ඇති බැංකු ගිණුම් සංඛ්‍යාව 7ක් ලෙස සඳහන් කළද 2026 ප්‍රකාශයට එනවිට ඔහුට සහ පවුලේ සාමාජිකයන්ට බැංකු හා මූල්‍ය ආයතනවල ස්ථාවර හා ඉතිරි කිරීමේ ගිණුම් 11ක් ඇති බව සඳහන් කරයි.
එහෙත් ඇමති ලාල් කාන්ත ඔහුගේ 2025 දෙසැම්බර් මාසයේ ලබාදුන් වත්කම් හා බැරකම් ප්‍රකාශයේ සඳහන් කළ නිවස ඉදිකිරීම වෙනුවෙන් 2025.05.26 දින රුපියල් එක්කෝටි පහලොස් ලක්ෂ අනූ දහස් හත්සිය අනූ හතක් ණයට ගත් බවට හා එය 2026.02.26ට පෙර පියවිය යුතු බවට වන ප්‍රකාශය 2026 වසරේ ලබාදුන් වත්කම් හා බැරකම් ප්‍රකාශයේ සඳහන් කර නැත. ඔහු 2025 වත්කම් හා බැරකම් ප්‍රකාශයෙන් ණය වශයෙන් 2026 වත්කම් හා බැරකම් ප්‍රකාශයට රැගෙන එන්නේ රුපියල් ලක්ෂ 40ක් වන පොරොන්දු නෝට්ටු මත ගත් ණය මුදල පමණී.
එසේ වුවද වියදම් වශයෙන් 2026 වත්කම් හා බැරකම් ප්‍රකාශයේ ඔහු සඳහන් කරන්නේ නිවස ඉදිකිරීම වෙනුවෙන් රුපියල් කෝටියක මුදලක් වැයකළ බවයි.
ඒ අනුව එළඹිය හැකි නිගමනය වන්නේ ගියවර ඔහුගේ ප්‍රකාශයෙන් කියන ලද දිනය වන මෙම වසරේ පෙබරවාරි 26 දින වනවිට ඔහු එම රුපියල් කෝටියකට අධික ණය මුදල ගෙවා ඇති බවයි.
එහිදී පැන නඟින ප්රශ්නය වන්නේ එවන් අති විශාල ණය මුදලක් ගෙවා දැමීම සඳහා ඔහුට මුදල් ලැබුනේ කෙසේද යන්නයි. මන්ද ඔහු, ඔහුගේ බිරිඳ හෝ දියණිය සතුව එතරම් මුදලක් ඉතිරි කිරීම් හෝ ස්ථාවර තැන්පතු ලෙස හෝ නොමැති බැවිනි. එමෙන්ම එම ණය මුදල පියවීම සඳහා වෙනත් පුද්ගලයකුගෙන් හෝ ආයතනයකින් ණය මුදලක් ලබාගත් බවක් 2026 වත්කම් හා බැරකම් ප්‍රකාශයේ සඳහන් නොකරන බැවිනි. තවද කිසිවකු ත්‍යාගයක් ලෙස හෝ එවන් මුදලක් ඔහුට ලබාදුන් බවක් සඳහන් නොකරන බැවිනි.
මේ පරස්පරතා ගැන ඇමති විජිත හේරත් හා ලාල් කාන්ත දැන් කියන්නේ කුමක්ද?
