පාකිස්ථානයේ හිටපු අගමැති ප්‍රවීන ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන්ගේ තත්වය සම්බන්ධයෙන් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී පෙරේරා විසින් බාරදී ඇති කල් තැබීමේ යෝජනාව විවාදයට ගැනීම ආණ්ඩුව ප්‍රතික්ෂේප කර ඇත.
එම කල්තැබීමේ යෝජනාව හෙට දින විවාදයට ගැනීමට නියමිතව තිබුණද එය ආණ්ඩුව විනිස් ඉවත්කර ඇති බව අද (නොවැම්බර් 20) පාර්ලිමේන්තුව අමතමින් අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා පැවසීය.
එයට පිළිතුරු ලබාදෙමින් විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති අරූන් හේමචන්ද්‍රා පැවසුවේ පාකිස්ථානය හා ශ්‍රී ලංකාව අතර පවතින මිත්‍ර සබඳතා හේතුවෙන් එවන් යෝජනාවක් පාර්ලිමේන්තුවේ විවාදයක් වශයෙන් පැවැත්වීමට ආණ්ඩුව එකඟ නොවන බව හා කැමති නම් සිය කථා තුළදී මන්ත්‍රීවරයෙකුට ඉම්රාන් ඛාන් ගැන කථා අදහස් පළකල හැකි බවයි.
ඊට පිළිතුරු ලබාදෙමින් අජිත් පී පෙරේරා මන්ත්‍රීවරයා පැවසුවේ මීට පෙර පාර්ලිමේන්තුවේ පලස්තීනය, දකුණු අප්‍රිකාව වැනි රටවල් සම්බන්ධයෙන් පවා කල් තැබීමේ යෝජනා විවාදයට ගෙන ඇති බව හා එය පාර්ලිමේන්තු සම්ප්රදායක් බවයි. එම සම්ප්‍රදායට වත්මන් ආණ්ඩුව ඉඩ ලබාදී නොමැති බවයි.
මේ වනවිට සිරගතව සිටින ඉම්රාන් ඛාන් එරට අගවිනිසුරු ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්ට ලිපියක් යවමින් දන්වා ඇත්තේ ඔහු දැඩි අසනීප තත්යෙන් පසුවන බවත්, ඒ සඳහා නිසි ප්‍රතිකාර නොලැබෙන බවත්, ඔහුගේ නීතිඥවරුන්ට හා පවුලේ සාමාජිකයන්ට ඔහු හමුවීමට ලබාදුන් අවස්ථාවන් සීමා කර ඇති බවත් හා ඒ හේතුවෙන් ප්‍රතිකාර නොලැබී ඔහු මරණයට පත්විය හැකි බවත්ය.
