“කුසට සාගිනි හදට සෝගිනි, පැලවත්තට ලැම්බෝගිනි” – කබීර් හෂීම්

ශ්‍රී ලංකාවට වාහන ආනයනය යළි විවෘත කිරීමෙන් පසු වැඩිම අති සුඛෝපභෝගී වාහන ප්‍රමාණයක් මෙරටට ආනයනය කර ඇත්තේ 2025 සහ 2026 වසරවලදී බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසයි. අද (20) පාර්ලිමේන්තුවේ පැවැත්වෙන අයවැය දෙවන වර කියවීමේ විවාදයට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

ඔහු පෙන්වා දුන්නේ 2025 සහ 2026 වසර එකහමාරක පමණ කාලය තුළ අති සුඛෝපභෝගී වාහන 1,737ක් මෙරටට ආනයනය කර ඇති බවයි. එම වාහන සඳහා සාමාන්‍ය බදු සහන ලබාදී නොමැති බවට රජය ප්‍රකාශ කළද, නීතියේ පවතින හිඩැස් උපයෝගී කරගනිමින් සියයට 15ක පමණ බදු සහනයක් ලබාදී ඇති බවටද ඔහු චෝදනා කළේය.

එක් වාහනයක වටිනාකම රුපියල් කෝටි 35ත් 50ත් අතර මට්ටමක පවතින බව සඳහන් කළ කබීර් හෂීම් මහතා, Rolls-Royce Cullinan SUV, Rolls-Royce Phantom, Ferrari, Porsche සහ Lamborghini වැනි ලෝකයේ ඉහළම සුඛෝපභෝගී වාහන සන්නාමවලට අයත් රථ මෙලෙස මෙරටට ආනයනය කර ඇති බවද පැවසීය.

මෙම තත්ත්වය වත්මන් ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිපත්ති සහ ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ ඉදිරිපත් කළ දේශපාලන සටන් පාඨ අතර පවතින වෙනස පෙන්නුම් කරන බවද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය.

එහිදී ජනතා විමුක්ති පෙරමුණ අතීතයේ දේශපාලන වේදිකාවල නිතර භාවිත කළ “කුසට සාගිනි හදට සෝගිනි, ඉනට වැරහැලි කැබිලි එල්ලා, නැගිට පල්ලා නැගිට පල්ලා” යන සටන් පාඨය සිහිපත් කළ ඔහු, වත්මන් දේශපාලන තත්ත්වය හමුවේ එම සටන් පාඨය වෙනස් කරගැනීමට සිදුවනු ඇතැයි උපහාසාත්මකව ප්‍රකාශ කළේය.

“කුසට සාගිනි හදට සෝගිනි, පැලවත්තට Lamborghini, රටේ ජනතාවට බඩගිනි” යනුවෙන් එම සටන් පාඨය වෙනස් කළ යුතු බවද ඔහු පැවසීය.

වත්මන් ආණ්ඩුව බලයට පත්වීමට පෙර ජනතාව හමුවේ ඉදිරිපත් කළ දේශපාලන ප්‍රතිපත්ති සහ ආණ්ඩු බලය ලැබීමෙන් පසු ක්‍රියාත්මක වන ප්‍රතිපත්ති අතර පරස්පරතාවක් පවතින බව පෙන්වා දෙමින් කබීර් හෂීම් මෙම අදහස් පළ කළේය.

ශ්‍රී ලංකාවට වාහන ආනයනය විවෘත කළ පසු වැඩිම සුඛෝපභෝගී වාහන ප්‍රමාණයක් ආනයනය කර ඇත්තේ පසුගිය 2025 සහ 2026 වසර එක හමාර තුළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් පවසයි. අද (20) දින පාර්ලිමේන්තුවේ අය වැය දෙවන වර කියවීමේ විවාදයට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය. එසේම මෙම තත්ත්වය ජනතා විමුක්ති පෙරමුණේ පැරණි සටන් පාඨ වෙනස් වූ බවට වන හොඳ උදාහරණයක් බවද ඔහු පවසා සිටියේය.

වාහන ආනයනය විවෘත කෙරුවාට පසුව ලංකාවේ අවුරුදු එකහමාරක් දෙකක් ඇතුළ වැඩිම අති සුඛෝ සුපෝක භෝගී වාහන රථ ලංකාවට ආපු කාලය තමයි මාලිමාව ආණ්ඩුව කාලේ. 2025 2026 කාලේ.

අති සුඛෝපභෝගී වාහන 1737ක්, අල්ට්‍රා ලක්ෂරි වාහන ලංකාවට ඇවිල්ලා තියෙනවා. මේවා කොහොමද ඇවිල්ලා තියෙන්නේ? දැන් Vits කාර් එකට බදු සහන නෑ. හැබැයි මේවා නීතියේ හිඩැසක් හොයාගෙන 15%ක බදු සහන මේ වාහන වලට දීලා තියෙනවා. එක වාහනයක වටිනාකම රුපියල් ලක්ෂ 3500යි 5000යි දක්වා යනවා. මම අහලා නැති වාහන. Rolls-Royce Cullinan SUV කියන වර්ගය. ඊළඟට Rolls-Royce Phantom එක, Ferrari, ඊළඟට Porsche, ඊළඟට Lamborghini.

මේ Lamborghini කියනකොට මට මට මතක් වුණේ බිමල් රත්නායක මැතිතුමා දන්නවා ඇති ඒ දවස් වල ඔයාලා ජනප්‍රිය සටන් පාඨයක් කියනවා වේදිකාවල් වල. JVP එකෙන් නිතරම කියන ජනප්‍රිය සටන් පාට තමයි “කුසට සාගිනි හදට සෝගිනි, ඉනට වැරහැලි කැබිලි එල්ලා, නැගිට පල්ලා නැගිට පල්ලා” කියන සටන් පාට කිය කිය තමයි ගිය පාර ඡන්දෙ ගත්තේ. හැබැයි දැන් ඒක කියන්න බෑ.

දැන් ඒක සංශෝධනය කරලා කියන්න වෙනවා වෙන විදිහකට. ඒ කියන්නේ මෙහෙම “කුසට සාගිනි හදට සෝගිනි, පැලවත්තට Lamborghini, රටේ ජනතාවට බඩගිනි”. අන්න ඒක තමයි තමුන්නාන්සේලා දැන් ඉස්සරහට කියන්න වෙන සටන් පාට. මොකද තමුන්නාන්සේලා අනිත් පැත්ත ගහලා තියෙනවා.

Author

Leave a Reply

Related Posts