දික්කසාද නඩුවක තීන්දුවක් කඩිනමින් ලබාදීම සඳහා රුපියල් 65,000ක අල්ලස් මුදලක් ලබාගත් බවට චෝදනා එල්ල වී ඇති කොළඹ උතුර කාති උසාවියේ විනිසුරුවරයා සහ ඔහුගේ බිරිඳ ලබන මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (නොවැම්බර් 19) නියෝග කර තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එස්. ඉසෙඩ්. එස්. රමීස් සහ ඔහුගේ බිරිඳ වන ෆාතිමා රමීස් යන මෙම සැකකරුවන් පිලිබඳ කරුණු දක්වමින් අල්ලස් කොමිසම සඳහන් කර ඇත්තේ, කාති උසාවියේ විභාග වෙමින් පැවති දික්කසාද නඩුවක තීන්දුව කඩිනමින් ලබාදීම සඳහා සැකකාර විනිසුරුවරයා විසින් අදාළ අල්ලස් මුදල ඉල්ලා ලබාගෙන ඇති බවයි.
එමෙන්ම, සැකකාර විනිසුරුවරයාගේ බිරිඳ එම අධිකරණයේ ලේකම්වරිය ලෙස කටයුතු කරමින් මෙම සිද්ධියට සම්බන්ධ වී ඇති බවද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.
තවද, රජයේ සේවකයෙකු ලෙස කටයුතු කරමින් දූෂණය නමැති වරද සිදුකිරීම සම්බන්ධයෙන් දූෂණ විරෝධී පනතේ 149 වැනි වගන්තිය ප්රකාරව පළමු සැකකරුට එරෙහිව අල්ලස් කොමසාරිස්වරයාගේ සහතිකයක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද කොමිසම සඳහන් කර තිබේ.
එම සහතිකය ඉදිරිපත් කරන අවස්ථාවේදී ඇප ලබාගැනීම සඳහා සුවිශේෂී කරුණු ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දී ඇති අල්ලස් කොමිසම, විමර්ශන කටයුතු මෙතෙක් අවසන් වී නොමැති බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.
