2027 අයවැය යෝජනාවලිය මගින් සිය ඉල්ලීම් සඳහා විසඳුම් ලබා නොදීමට විරෝධය පළ කරමින්, රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව අද (20) දිනයේ දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව නියෝජනය කරන වෘත්තීය සමිති 20කට අයත් විධායක සේවාවන් 20ක වෘත්තිකයන් මෙම වෘත්තීය ක්‍රියාමාර්ගයට එක්ව සිටින බව එම කමිටුවේ සභාපති එච්. ඒ. එල්. උදයසිරි සඳහන් කර තිබේ.
මෙම වැඩවර්ජනය සඳහා ඉංජිනේරු සේවය, ආයුර්වේද වෛද්‍ය සේවය, මධ්‍යම පරිපාලන සේවය, විද්‍යාත්මක සේවය, මිනින්දෝරු සේවය, කාර්මික අධ්‍යාපන සේවය මෙන්ම සංඛ්‍යාලේඛන, කම්කරු සහ දුම්රිය ඇතුළු දෙපාර්තමේන්තු ගණනාවක විධායක නිලධාරීන් එක්ව සිටින බව පැවසේ.
වර්ජනයට හේතු වූ කරුණු පැහැදිලි කරමින් සභාපති එච්. ඒ. එල්. උදයසිරි මහතා මෙසේ ප්‍රකාශ කර තිබේ.
“ආණ්ඩුව විසින් තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයකට පමණක් දීමනා ඉහළ නැංවීමක් කර තිබෙනවා. ඒ හා සමාන්තර සේවාවන් 20කට අධික සංඛ්‍යාවක් මුළුමනින්ම නොසලකා හැර තිබෙනවා. පසුගිය කාලවල මෙම විධායක සේවාවන්ට බරපතළ වැටුප් විෂමතාවක් ඇති වුණා. එම විෂමතාව ඉවත් කරන බවට වත්මන් ආණ්ඩුව පොරොන්දු වී තිබුණත්, විෂමතා ඇති වීමට හේතු වූ වැටුප් වැඩි කිරීම් ලැබූ සේවාවන්ටම මෙවර අයවැයෙනුත් තවත් බරපතළ වැටුප් වැඩිවීමක් ලබා දී තිබෙනවා. මේ හරහා පැවති වැටුප් විෂමතාව තවදුරටත් උග්‍ර වී තිබෙනවා.”
රජය මෙවර අයවැයෙන් සිදු කර ඇති මෙම බරපතළ වරද, අයවැය කාරක සභා අවස්ථාවේදීම වහාම නිවැරදි කරන ලෙස බලකරමින් මෙම දීපව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව උදයසිරි මහතා වැඩිදුරටත් අවධාරණය කර තිබේ.
