එයාර්බස් නඩුව අවසන්වනතුරු නාමල්ට ඇප නෑ

එයාර්බස් ගනුදෙනුව සම්බන්ධයෙන් ගොනුකර ඇති නඩුවට අදාළව අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ එම නඩුව අවසන්වනතුරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය අද (නොවැම්බර් 19) නියෝග කර තිබේ.

අදාළ නඩුව කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රියන්ත ලියනගේ, විනිසුරු තිලකරත්න බණ්ඩාර සහ විනිසුරු නුවන් ධම්මික බණ්ඩාර යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවනු ලැබ ඇත.

එහිදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් නාමල් රාජපක්ෂට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා පත්‍ර භාරදීමට කටයුතු කර තිබේ.

අනතුරුව විත්තිකාර නාමල් රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා ඔහුට ඇප ලබාදෙන ලෙස අධිකරණයෙන් ඉල්ලා ඇත.

කෙසේ වෙතත්, ඇප ලබාදීමට තරම් සුවිශේෂී කරුණු විත්තිය විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කර නොමැති බව පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර කරුණු දක්වමින් සඳහන් කර තිබේ.

දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල තවදුරටත් ඔහුව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර ඇත.

ඒ අනුව, අදාළ නඩුව දෙසැම්බර් 2 වැනිදා යළි කැඳවීමට නියම කර ඇත.

Author

Leave a Reply

Related Posts