හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන දෙසැම්බර් 16 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (නොවැම්බර් 19) නියෝග කර ඇත.
2010 සිට 2014 දක්වා කාලසීමාව තුළ වෙළෙඳ අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ සතොස ආයතනයේ සේවකයින් ඔවුන්ගේ නීත්‍යානුකූල රාජකාරිවලින් ඉවත්කර දේශපාලන කටයුතුවල යෙදවීමෙන් රජයට පාඩුවක් සිදුකළ බවට චෝදනා කරමින් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු, සතොස ආයතනයේ හිටපු සභාපති එරාජ් ප්‍රනාන්දු සහ එහි හිටපු ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකු වන මොහොමඩ් සාකීර් යන පුද්ගලයන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.
කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් ඉදිරියේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේ ජොන්ස්ටන් ප්‍රනාන්දු අධිකරණය හමුවේ පෙනී සිට තිබේ.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ මෙහෙයවීම යටතේ අද දින සාක්ෂිකරුවන් කිහිපදෙනෙකු සාක්ෂි ලබාදීමෙන් අනතුරුව විනිසුරුවරයා මෙම නියෝග ලබා දී තිබේ.
