අයවැය විවාදයේ ආරම්භක කතාවෙන් හර්ෂව කැපුවේ සජිත් ද?

2027 වර්ෂය සඳහා වන අයවැය විවාදය ආරම්භ කිරීමේදී, විපක්ෂය වෙනුවෙන් පළමු කතාව සමගි ජන බලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සිදු කිරීම පාර්ලිමේන්තුව තුළ මෙන්ම සමාජය තුළ ද දැඩි කතා බහකට ලක්ව තිබේ.

සාම්ප්‍රදායිකව සමගි ජන බලවේගය වෙනුවෙන් අයවැය විවාදය ආරම්භ කරනු ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා වෙනුවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙවර එම ප්‍රවේශය ලබා ගැනීම සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියද සිය විවාද කතාවේදී අදහස් පළ කළාය. ආණ්ඩු පක්ෂය වෙනුවෙන් විවාදයට එක්වෙමින් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මිය පෙන්වා දුන්නේ මෙවර අයවැය විවාදයේදී විපක්ෂයේ ක්‍රියාපටිපාටියේ සුවිශේෂී වෙනසක් දක්නට ලැබෙන බවයි.

මේ වර්ෂයේ අයවැය ඉදිරිපත් වෙනකොට විපක්ෂයේ ප්‍රවේශයේ අපි සුවිශේෂී වෙනසක් දකිනවා. ගරු හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමනි අයවැය කතාවේ පළවෙනි කතාව කරන්නේ ඔබ. මට මතක විදිහට මම 2020 පාර්ලිමේන්තුවේ ඉන්න කාලයේ සිටම පළමු කතාව කළේ ඔබතුමා. ඒකට ඇහුම්කන් දෙන්න සූදානමින් තමයි අපි සියලු දෙනාම විපක්ෂයේ ඉන්නකොටත් ආණ්ඩු පැත්තේ ඉන්නකොටත් අපි සූදානම් වෙලා ඉන්නේ. අද වෙනසක් අපි දකිනවා. ඒ වෙනස ගැනත් අපි සතුටු වෙනවා ගරු කථානායකතුමනි. නමුත් හර්ෂ ද සිල්වා මන්ත්‍රීතුමාගේ කතාව අහන්නත් අපි ආසාවෙන් ඉන්නවා. මොකද එතකොට අපිට බලාගන්න පුළුවන් වෙනවා සජබේ න්‍යායේ වෙනසක් තියෙනවද නැද්ද එහෙම නැත්නම් මේ එකම ප්‍රතිපත්තිය තුළද ඉන්නේ කියන එකත් අපිට බලාගන්න පුළුවන් වෙනවා ගරු කථානායකතුමනි.

දෙරණ නාලිකාවේ වැඩසටහනකට එක්ව මෙම වෙනස පිළිබඳව අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා සඳහන් කළේ පසුගිය කාලය පුරාම විපක්ෂයේ ආරම්භක කතාව තමා විසින් සිදු කළ බවයි. කෙසේ වෙතත්, ජනාධිපතිවරයා විසින් අයවැය ඉදිරිපත් කළ බැවින්, විපක්ෂයේ පිළිතුරු කතාව විපක්ෂ නායකවරයා විසින්ම ආරම්භ කිරීම වඩාත් උචිත බවට පක්ෂ නායකත්වය තීරණය කළ බව ඔහු පැහැදිලි කළේය. එම පොදු තීරණයට පක්ෂයේ සියලු සාමාජිකයන් එකඟ වූ බවත්, විවාදයේ තෙවන දිනයේදී අදහස් දැක්වීමට අවස්ථාව ලැබීම නිසා අයවැය යෝජනා පිළිබඳව වඩාත් ගැඹුරින් අධ්‍යයනය කිරීමට තමාට අමතර කාලයක් ලැබුණු බවත් ඔහු වැඩිදුරටත් පැවසූවේය.

මම බලාපොරොත්තු වෙලා හිටියේ ඒ විදිහට කරන්න තමයි. නමුත් මේ නායකතුමාගේ තීරණයක් තිබුණා, ගරු ජනාධිපතිතුමා මේ කතාව මේ අයවැය කතාව කරපු නිසා ඔහු ඒ පිළිතුරු කතාව කරපු හොඳයි කියලා. ඉතින් ඒකට අපි සියලු දෙනාම එකඟ වුණා. ඒකේ කිසි ප්‍රශ්නයක් නැහැ.

ජනාධිපතිවරයා විසින් අයවැය ඉදිරිපත් කළ බැවින් විපක්ෂයේ පිළිතුරු කතාව විපක්ෂ නායකවරයා විසින්ම ආරම්භ කිරීමට තීරණය කළ බවට හර්ෂ ද සිල්වා සිදු කළ ප්‍රකාශය මාධ්‍යවේදියා විසින් නැවත ප්‍රශ්න කරමින් ප්‍රකාශ කර සිටියේ මීට පෙර වසර දෙකේදීත් අයවැය කතා ඉදිරිපත් කළේ ජනාධිපතිවරයා විසින්ම බවයි.

එම ප්‍රශ්නයට පිළිතුරු දෙමින් ආචාර්ය හර්ෂ ද සිල්වා කියා සිටියේ පක්ෂයක් ලෙස ඒ ඒ අවස්ථාවට උචිත තීරණ ගැනීමට සිදුවන බවයි. එය සාමූහික තීරණයක් බව ඔහු අවධාරණය කළේය.

කෙසේ වෙතත්, පාර්ලිමේන්තු සජීවී විකාශය අතරතුර හර්ෂ ද සිල්වා සිදු කළ ප්‍රකාශයක් මාධ්‍යවේදියා විසින් මෙහිදී උපුටා දක්වන ලදී. “මගේ කතාව දවස් තුනක් ප්‍රමාද වෙච්ච නිසා මට සති අන්තයෙත් තව ටිකක් බලාගන්න පුළුවන් වුණා” යනුවෙන් ඔහු පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය අනුව, ඔහු මෙවරත් ආරම්භක කතාව කිරීමේ බලාපොරොත්තුවෙන් සිට ඇති බව පැහැදිලි වන්නේ යැයි මාධ්‍යවේදියා පෙන්වා දුන්නේය.

ඊට ප්‍රතිචාර දක්වමින් හර්ෂ ද සිල්වා මහතා පැවසුවේ පසුගිය වසර පහක පමණ කාලය පුරා සාමාන්‍යයෙන් විවාදය ආරම්භ කළේ තමා බවත්, අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය ද පාර්ලිමේන්තුවේදී එම කරුණ ඉතා හොඳින් පැහැදිලි කළ බවත්ය.

පක්ෂයක් ලෙස යම් නිශ්චිත ස්ථාවරයක් ගැනීමට අවශ්‍ය වූ නිසා මෙම වෙනස සිදු කළ බවට හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළ අවස්ථාවේදී, වෙනදා පක්ෂයේ එම ආර්ථික ස්ථාවරය ගනු ලැබුවේ ඔහු විසින්ම නොවේදැයි මාධ්‍යවේදියා යළිත් ප්‍රශ්න කළේය.

එයට පිළිතුරු දුන් මන්ත්‍රීවරයා සඳහන් කළේ, “ඔව් කමක් නැහැ ඉතින්. ඒක මමම ගන්න ඕනේ කියලා එකක් නැහැනේ” යනුවෙනි.

Author

Leave a Reply

Related Posts