රජයට බිස්නස් බෑ කියා පිටරට රජයේ සමාගම්වලට මෙරට පොදු සේවාවන් විකුණපු! දැන් අර්බුදයටත් මුල පාදපු! සිනොපෙක් ඒජන්ත කම්පැණියක තනතුරකුත් ගත්ත! කංචන 2029ට!

හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර නොවැම්බර් 14 වැනිදා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් හේතුවෙන් නැවතත් ප්‍රවෘත්ති අතරට පැමිණ තිබෙනවා. ඔහු එම සටහනෙන් කියා තිබුණේ තමන් දේශපාලනයෙන් ඉවත් වී සිටින බවත්, නැවත දේශපාලනයට පැමිණීමේ කිසිදු අදහසක් හෝ උනන්දුවක් නොමැති බවත්. එහෙත් සියලුදෙනාට ඉතාම පැහැදිලිව සහ නිවැරදිව වැටහුණු පරිදි මේ පෝස්ට් එක කංචන විජේසේකර ජනාධිපතිවරණ අපේක්ෂකයෙකු වාගේ ඉහළ තැනකින් අනාගතයේ දිනක යළි දේශපාලනයට පිවිසීම සදහා පළමු පියවර. කංචන විජේසේකර නෙවෙයි වෙන කවුරුත් බලය අත්හරින්නේ නැහැ.

ඔහු දැන් මේ වෙලාවේ දේශපාලනයේ වේලෙන්න ලෑස්ති නෑ. කට්ට කන්න ලෑස්ති නෑ. ඒ වගේම සුලභ වෙන්න ලෑස්ති නෑ. දැන් දේශපාලනයේ ඉන්න අය කට්ට කෑමෙන් පසු 2029 ජනාධිපතිවරණය ළංවෙද්දී එකපාරම කඩාවදින්නයි ඔහුගේ සැලසුම. ඒත්, ඒක විතරක් මදි- දැන් ඉදන්ම කංචනව ඉල්ලන පිරිසකුත් ගොඩනගන්න වෙනවා. කැම්පේන් නොකර කැම්පේන් කරන්න වෙනවා.

නොවැම්බර් 14 ඔහුගේ මියගිය පියාගේ 84 වැනි උපන්දිනය. පියාගේ අභාවයෙන් පසුව එළඹුණු පළමු උපන්දිනය වෙනුවෙන් ඔහු තම පියා සිහිපත් කරනවා. එමෙන්ම 2024 නොවැම්බර් 14 පැවැති මහමැතිවරණයට තරග කර තමන් පරාජයට පත්වී වසර දෙකක් ගතවීමත් ඔහු සිහිපත් කරනවා. ඒත් ඒ දෙකම යළි සිහිපත් කිරීමට වඩා ඔහු දේශපාලනයට යළි නොපැමිණෙන බව කීමට වැඩි බරක් තබනවා.

දේශපාලනයෙන් ව්‍යාපාරික ක්ෂේත්‍රයට මාරුවීම ආරම්භ කර මාස 23ක් ගතවී ඇති බවත්, මුලදී අර්ධකාලීනව ආරම්භ කළ එම කටයුතු මේ වනවිට පූර්ණකාලීන වෘත්තියක් බවට පත්ව ඇති බවත් ඔහු කියනවා.

කාංචනට ඇති ඉල්ලුම සහ විපක්ෂයේ නායකත්ව අර්බුදය

අද ලංකාවේ විපක්ෂයේ නායකත්වය පිළිබඳ පැහැදිලි අර්බුදයක් තිබෙනවා.

සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා ලෙස කටයුතු කළත්, සමස්ත විපක්ෂයේ සියලු බලවේග එකතු කළ හැකි නායකත්වයක් ඔහුට ගොඩනඟාගැනීමට බැරිවෙලා. සමගි සන්ධානය කියා එකක් තිබුණත් ඒ නමට විතරයි. දක්ෂ දේශපාලන චරිතවලට අවස්ථා ලැබෙන්නෑ. සමහරු සමගි ජන බලවේගය අත්හැර ගිහින්. සමහරු අත්හැර නොගියාට ගියා හා සමානයි.

2026 නොවැම්බර් 13 වැනිදා ආරම්භ වූ 2027 අයවැය දෙවැනිවර කියවීමේ විවාදයේදී හර්ෂ ද සිල්වා පිළිතුරු කතාව නොකළ නිසා එයත් කතාබහට ලක් වුණා. සජිත් ප්‍රේමදාස පිළිතුරු කතාව කළා.

ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ නව ලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ගැන වාමාංශික ස්වරයක් ගනිමින් කතා කළා. සජිත් ප්‍රේමදාස වාමාංශික ආර්ථික විවේචනයක් ඉදිරිපත් කළාට ප්‍රශ්නයක් නෑ. එවැනි විවේචනයකට සංගත ආර්ථික ප්‍රතිපත්තිමය පදනමක් නැතිව බොරුවට වමට බර වුණාට වඩක් නෑ.

ලංකාවේ දේශපාලනයේ අපට නිතර දකින්න ලැබෙන දෙයක් තිබෙනවා. ආණ්ඩුවේ සිටින විට වෙළෙඳපොළට, පෞද්ගලිකකරණයට සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසිවලට එකඟ වන දේශපාලනඥයන් විපක්ෂයට ගිය පසු හදිසියේම වාමාංශිකයන් බවට පත්වෙනවා. නැවත ආණ්ඩු බලය ලැබුණොත් ඒ වාමාංශිකත්වය අතුරුදන් වෙනවා.

ඇත්තටම සජිත් වමට හැරෙන්නෑ. වමේ පහරනවා.

හර්ෂ ද සිල්වාගේ ආර්ථික ප්‍රවේශය සම්බන්ධයෙන් මා විරුද්ධ වුණත්, ඔහු අවම වශයෙන් තමන්ගේ ප්‍රතිපත්තිමය ස්ථාවරය කුමක්දැයි පැහැදිලිව කියන දේශපාලනඥයෙක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙළෙඳපොළ කේන්ද්‍රීය ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ ඔහුගේ අදහස්වල යම් අඛණ්ඩතාවක් දකින්න පුළුවන්.

නාමල් රාජපක්ෂගේ දේශපාලන අනාගතයත් ඔහු මුහුණ දී සිටින අධිකරණ ක්‍රියාමාර්ග හේතුවෙන් අවිනිශ්චිත වී තිබෙනවා. එම නඩුවල අවසාන ප්‍රතිඵලය තීරණය කළ යුත්තේ අධිකරණයයි. හැබැයි ඔහුට දැනටමත් අධිචෝදනා ගොනු කළ නඩු දෙකක් තියෙනවා. තව නඩුවක් ළග ළග එනවා. මේ නඩුවල තියෙන්නේ ඉතාම ප්‍රබල සාක්ෂි. ඒ නිසා ඔහු කාලයකට එළියට එන්නේ නැති බවක් අනුමාන කළ හැකියි.

දිලිත් ජයවීර, පාඨලී චම්පික රණවක ඇතුළු වෙනත් විපක්ෂ දේශපාලනඥයන් සිටියත්, ආණ්ඩුවට සැබෑ දේශපාලන අභියෝගයක් එල්ල කළ හැකි නායකත්වයක් ලෙස ඔවුන්ගෙන් කවරකු හෝ පිළිගැනීමට විපක්ෂයේ සියලු පාර්ශ්ව සූදානම් බවක් පෙනෙන්නේ නැහැ. මේ දෙන්නාටම තියෙන ප්‍රශ්නය අනෙක් ප්‍රධාන ප්‍රශ්න ඔවුන්ව පිළිගන්නෑ. දිලිත් නම් ඇත්තටම නායකත්වයට සුදුසු නෑ. චම්පික යම් දුරකට දැක්මක් තියෙන බව කිව හැකි නමුත්, ඔහුව නායකයා ලෙස භාරගන්න ගොඩක් අය ලෑස්ති නෑ.

මෙවැනි පසුබිමක තමයි කාංචන විජේසේකරගේ නම නැවතත් දේශපාලන සාකච්ඡාවට පැමිණෙන්නේ.

2024 මහමැතිවරණයෙන් ලැබුණු උත්තරය

කාංචන විජේසේකර තමන්ගේ සටහන තැබූ දිනය 2024 මහමැතිවරණයේ දෙවැනි සංවත්සරයයි. 2024 දි කංචන විජේසේකරව ජනතාව ගෙදර යැව්වා. මහජන ඡන්දයෙන් ජනතාව ගෙදර යැව්වා. හැබැයි 2020 මහමැතිවරණයේදී ඒ මාතර ජනතාවම සුනිල් හදුන්නෙත්තිවත් ගෙදර යැව්වානේ. ඒ නිසා ජනතාවට ආයෙමත් කංචනව පත් කරන්න අයිතියක් තියෙනවා. ඒක නෙවෙයි මෙතැන ප්‍රශ්නය. කංචනව වීරයෙක් කරන්න කලින් ඔහු කවුද කියලා බලන්න ඕනෑ. ඔහු එන්නේ ඇයිද කියලත් කල්පනා කරන්න ඕනෑ.

ජාතික ජන බලවේගය පාර්ලිමේන්තුවේ ආසන 225න් ආසන 159ක් දිනාගත්තා. එය තුනෙන් දෙකකට වැඩි බලයක්.

එකම ගැටලුව ජාතික ජන බලවේගයට ආසන 159ක් ලැබීම ප්‍රමාණාත්මකව අතිවිශාල ජයග්‍රහණයක් වුණත්, ඒ මන්ත්‍රීවරුන් 159 දෙනාගේ දේශපාලනික සහ පරිපාලනමය ගුණාත්මකභාවය ගැන අපට එකම ආකාරයෙන් සෑහීමකට පත්විය හැකිද? හැමෝම එක වගේ නෑ. මාතරම ගත්තාම උපුල් කුමරප්පෙරුම වගේ කෙනෙක්ව පරද්දලා ආපු සමහර ඉංග්‍රීසි ගුරුවරු ඉංග්‍රීසියෙන් කතා කරන්න ගිහින් ලැජ්ජාවට පත් වුණ හැටි මතක ඇති.

ප්‍රජාතන්ත්‍රවාදයක ආණ්ඩුවට ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි. බලයේ සිටින අය තමන්ගෙන් වැරදි සිදුවුවහොත් ඒවා ප්‍රශ්න කරන දේශපාලන බලයක් තිබෙන බව දැන සිටිය යුතුයි.

සජිත් දුර්වල විහිලුවක් වෙද්දී, නාමල් හිරේ යද්දී, මේ ආණ්ඩුවට කැමති නැති විපක්ෂයේ අය නායකත්වයක් හොයන නිසයි කංචන කියන නම මතු වෙන්නේ.

ඇත්තටම මැතිවරණයෙන් පසු කාංචන ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙන ඒමේ යෝජනාවකුත් ඉදිරිපත් වුණා. ඒ සම්බන්ධයෙන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ තුළ ප්‍රබල යෝජනා ඉදිරිපත් වුණා. අවසානයේ එම පෙරමුණේ ජාතික ලැයිස්තු ආසන දෙකම කුමන්ත්‍රණකාරී ලෙස රවී කරුණානායකට සහ ෆයිසර් මුස්තාෆාට හිමි වුණා.

කාංචනට පෞද්ගලික අංශයේ ලැබුණු අලුත් ජීවිතය

කංචන විජේසේකර මැක්ලරන්ස් සමූහය (McLarens Group) තුළ සමූහ අධ්‍යක්ෂවරයෙක්. ඔහු 2025දී එම සමූහයට එක් වූ බවත්, රාජ්‍ය ප්‍රතිපත්ති සැකසීම සහ බලශක්ති ක්ෂේත්‍රයේ ඔහු ලැබූ අත්දැකීම් සමූහයේ දිගුකාලීන ව්‍යාපාරික වර්ධනයට වැදගත් බවත් එම සමූහයේ වෙබ් අඩවිය සඳහන් කරනවා.

මැක්ලරන්ස් සමූහය නාවික ප්‍රවාහනය, වරාය සේවා, භාණ්ඩ ප්‍රවාහනය, ගබඩාකරණය, ඛනිජ තෙල්, බලශක්තිය, ලිහිසි තෙල්, කාර්මික නිෂ්පාදන, දේපළ ආයෝජන සහ සංචාරක ව්‍යාපාර ආදී ක්ෂේත්‍ර ගණනාවක ක්‍රියාත්මක වන සමාගම් සමූහයක්.

හෝටල් ටෝපාස් සහ හෝටල් ටුවර්මලයින් වැනි හෝටල්, මොබිල් ලිහිසි තෙල් සහ 3M නිෂ්පාදන බෙදාහැරීම වැනි ව්‍යාපාරත් මෙම සමූහයට සම්බන්ධයි.

නමුත් මගේ අවධානය යොමුවන්නේ එහි බලශක්ති ව්‍යාපාර වෙතයි.

Interocean Energy (Pvt) Ltd කියන්නේ මැක්ලරන්ස් සමූහයට අයත් සමාගමක්. එය නෞකාවලට ඉන්ධන සැපයීමේ ව්‍යාපාරයේ යෙදෙනවා. නෞකාවලට අවශ්‍ය ඉන්ධන ආනයනය කිරීම, ගබඩා කිරීම, වෙළෙඳාම සහ සැපයීම එහි ප්‍රධාන කාර්යයන් අතර තිබෙනවා.

කොළඹ, ගාල්ල, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය යන වරාය ආශ්‍රිතව මේ ව්‍යාපාරය ක්‍රියාත්මක වෙනවා. නෞකාවලට ඉන්ධන සපයන විශේෂ බාර්ජ් නෞකා සහ ගබඩා පහසුකම්ද එම ව්‍යාපාරයට සම්බන්ධයි.

ඊට අමතරව Interocean Marine Agencies වැනි සමාගම් හරහා ඛනිජ තෙල් පර්යන්ත සේවා, ඉංජිනේරු සහ නාවික කර්මාන්තයට අදාළ සේවා සපයනවා. මැක්බේ වැනි ව්‍යාපාර හරහා සූර්ය බලශක්ති පද්ධති හා පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයටත් සම්බන්ධ වෙනවා.

මැක්ලරන්ස් සමූහයට සම්බන්ධ Interocean Lubricants (Pvt) Ltd සමාගම 2012 සිට සිනොපෙක් සන්නාමයේ ලිහිසි තෙල් ශ්‍රී ලංකාවේ බෙදාහැරීමේ බලයලත් සමාගමක් ලෙස කටයුතු කරනවා. එම සමාගමට අනුව ලිහිසි තෙල් බෙදාහැරීම සඳහා දිවයින පුරා අලෙවි නියෝජිත ජාලයක්ද තිබෙනවා. ඒ අනුව සිනෝපෙක් එක්ක මැක්ලරන්ස් සම්බන්ධයත් අමතක කරන්න බෑ.

ශ්‍රී ලංකාවේ ඉන්ධන හා විදුලිබල ක්ෂේත්‍රය ප්‍රතිව්‍යුහගත කිරීමට දේශපාලන නායකත්වය දුන් අමාත්‍යවරයකු, තනතුර අහිමිවී කෙටි කාලයක් ඇතුළත එම ක්ෂේත්‍රයේම ප්‍රබල ව්‍යාපාරික සම්බන්ධතා සහිත සමූහයක අධ්‍යක්ෂවරයකු බවට පත්වීම අපි තේරුම් ගන්නේ කොහොමද? විශේෂයෙන් සිනෝපෙක් වගේ සමාගමකට ඉන්ධන පිරවුම්හල් වික්කාට පසු, සිනෝපෙක් එක්ක ගනුදෙනු කරන ලංකාවේ සමාගමක අධ්‍යක්ෂවරයෙක් වුණේ කොහොමද?

රාජ්‍ය ප්‍රතිපත්ති සකස් කළ පුද්ගලයන් පසුව එම ක්ෂේත්‍රයේම පෞද්ගලික ව්‍යාපාරවල ඉහළ තනතුරු දැරීම ජාත්‍යන්තරව සාකච්ඡා කරන දේශපාලන ආචාරධර්ම ගැටලුවක්. එය Revolving Door යනුවෙන් හඳුන්වනවා.

රාජ්‍ය බලය භාවිත කරමින් ලබාගත් දැනුම, ව්‍යාපාරික සම්බන්ධතා සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන්ට තිබුණු ප්‍රවේශය පසුව පෞද්ගලික ව්‍යාපාරවල ප්‍රයෝජනයට යොදාගත හැකිද? එවැනි අවදානම් වැළැක්වීමට තිබිය යුතු සීමා මොනවාද?

ඔහු අමාත්‍යවරයාව සිටි කාලයේ මැක්ලරන්ස් සමූහයට හෝ එහි අනුබද්ධ සමාගම්වලට රජය සමඟ තිබූ ගනුදෙනු මොනවාද? එම කාලයේ අලුතින් ලැබුණු බලපත්‍ර, කොන්ත්‍රාත් හෝ ව්‍යාපාරික පහසුකම් තිබුණාද? ඔහුගේ වර්තමාන තනතුරට සම්බන්ධ වගකීම් මොනවාද?

ඒ දේවල් කෙසේ වුණත්, කංචන මැක්ලරන්ස් එකට ගියේ ඔහුගේ දක්ෂ පරිපාලන හැකියාවකට වඩා ඔහු ඇමතිවරයාව කටයුතු කරමින් සම්බන්ධතා ගොඩනැගුණු නිසා බව ඕනෑ කෙනෙක්ට අනුමාන කළ හැකියි.

කාංචනගේ ලොකුම ජයග්‍රහණය ලෙස පෙන්වන ඉන්ධන QR ක්‍රමය

කාංචන විජේසේකරගේ දේශපාලන ප්‍රතිරූපය ගොඩනැඟීමට විශාල වශයෙන් බලපෑ සිදුවීම 2022 ඉන්ධන අර්බුදය.

තෙල් පෝලිම් තිබුණු කාලයක ඔහු විදුලිබල හා බලශක්ති අමාත්‍ය ධුරයට පත්වුණා. ඉන්ධන බෙදාහැරීම පාලනය කිරීමට QR කේත මත පදනම් වූ ජාතික ඉන්ධන බලපත්‍ර ක්‍රමය හඳුන්වා දුන්නා.

එම ක්‍රමය ඉන්ධන බෙදාහැරීම සංවිධානය කිරීමට වැදගත් දායකත්වයක් ලබාදුන් බව පිළිගත යුතුයි. ඒත් ඕක කාංචන විජේසේකර තනිව නිර්මාණය කළ තාක්ෂණික විසඳුමක් නොවෙයි.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය හෙවත් ICTA, අදාළ අමාත්‍යාංශය සහ පෞද්ගලික තාක්ෂණික හවුල්කරුවන්ගේ සහභාගිත්වයෙන් එම ක්‍රමය නිර්මාණය කර ක්‍රියාත්මක කළා. ඒකේ ක්‍රෙඩිට් එක නිසා කංචන වීරයෙක් වුණා.

ඉන්ධන වෙළෙඳපොළ විවෘත කළා. දැන් මොකද වෙලා තියෙන්නේ?

2022දී ඛනිජ තෙල් නිෂ්පාදන සම්බන්ධ නීතිය සංශෝධනය කිරීමෙන් පසු 2023 මාර්තු මාසයේදී විදේශීය සමාගම් තුනකට ශ්‍රී ලංකාවේ ඉන්ධන ආනයනය හා බෙදාහැරීම සඳහා බලපත්‍ර ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිවුණා.

ඒ සිනොපෙක්, ආර්එම් පාර්ක්ස් සහ යුනයිටඩ් පෙට්‍රෝලියම් යන සමාගම්වලටයි. ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සැපයුම් ජාලයට සම්බන්ධව තිබුණු පෞද්ගලික අලෙවි නියෝජිතයන් ක්‍රියාත්මක කළ ඉන්ධන පිරවුම්හල් 450ක්, සමාගමකට 150 බැගින් නව සමාගම්වලට පැවරීමට සැලසුම් කළා.

මේ ප්‍රතිපත්ති සාධාරණීකරණය කරපු අය කිව්වේ, රජයට ව්‍යාපාර කරන්න බැරි නිසා වික්කාලු.

ඔය විදියට රජයට බිස්නස් බෑ කියලා චීන රජයේ සමාගමකට පෙට්‍රල් ෂෙඩ් වික්කා. යකෝ! චීන රජය තමන්ගෙ රටේ විතරක් නෙවෙයි පිටරටවලත් ඉන්ධන ව්‍යාපාර කරනවා. කංචනට කොරගන්ඩ බෑ කියල වික්කා.

වික්කාට පස්සේ තරගකාරීත්වය කියල එකක් ඇවිල්ලා ලංකාවේ තෙල් මිල අඩු වෙනවලු. මාරයිලු. සුපිරිලු. කංචනව එදා නිර්භීත මාර කොල්ලා වගේ වර්ණනා කළා. අවුරුදු දෙකක් යද්දී ඉරාන යුද්ධය ආවා. ලෝකයේ තෙල් හියක් ආවා.

ඒක ආපු ගමන් පුද්ගලික සමාගම්වලට කංචනලා පුදපු ෂෙඩ්වලින් තෙල් ගැහුවේ නෑ. තෙල් ගෙනාවත් ප්‍රීමියම් තෙල් වර්ග මිස සාමාන්‍ය තෙල් වික්කේ නෑ.

2026 ඔක්තෝබර් 6 වැනිදා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක පාර්ලිමේන්තුවේදී පැහැදිලි කළේ ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගොස් තිබියදී දේශීය මිලට ඉන්ධන විකිණීමෙන් පාඩු ලබන බව පෞද්ගලික සැපයුම් සමාගම් ප්‍රකාශ කර ඇති බවයි.

ඒ හේතුවෙන් ඒවා වෙළෙඳපොළට නිකුත් කරන ඉන්ධන ප්‍රමාණය අඩුකර තිබුණා.

පෙබරවාරි මාසයට සාපේක්ෂව ඔක්තෝබර් මුලදී සිනොපෙක් සමාගමේ සාමාන්‍ය ඩීසල් සැපයුම 66%කින් අඩුවී තිබුණා. ආර්එම් පාර්ක්ස් සමාගමේ එම අඩුවීම 48%ක්. ලංකා IOC සමාගමේ අඩුවීම 45%ක්.

අමාත්‍යවරයා ඉදිරිපත් කළ දත්ත අනුව, ඩීසල් වෙළෙඳපොළේ රජයේ සැපයුම් දායකත්වය 54%ක පමණ මට්ටමේ සිට 82%ක් දක්වා ඉහළ ගියා. ඒ කියන්නේ අර්බුදයකදී සියලු වගකීම වැටුණේ රජයට.

පෞද්ගලික සමාගමක් තිබෙන්නේ ලාභ ලබාගැනීම සඳහායි. ඉන්දියාවේ සහ චීනයේ රජය සතු සමාගම් පවා ආවේ මෙහේ ලාභ ලබන්න මිසක්, අපේ ජනතාවට සේවය කරන්න නෙවෙයි. ඒ රටවල රජයේ සමාගම් පිටරටවලත් බිස්නස් කරලා, ලාභ හොයලා තමන්ගෙ ජනතාවට සේවය කරනවා ඇති. කොහොම නමුත්, පාඩු ලබමින් අඛණ්ඩව ඉන්ධන අලෙවි කිරීමට එම සමාගමේ හිමිකරුවන් ස්වේච්ඡාවෙන් එකඟ නොවන්නට පුළුවන්. එය පෞද්ගලික ව්‍යාපාරයක සාමාන්‍ය ආර්ථික ස්වභාවයයි.

ලාභයක් නැති වෙලාවට ඉන්ධන සැපයුම අඩු කිරීමට හැකි සමාගම් මත ජනතාවගේ අත්‍යවශ්‍ය ඉන්ධන සැපයුම රඳා පවතින ආකාරයේ වෙළෙඳපොළක් ගොඩනැඟුවේ කවුද?

එහිදී කාංචන විජේසේකරට තමන් අමාත්‍යවරයාව සිටියදී ගත් ප්‍රතිපත්තිමය තීරණවල වගකීමෙන් මිදෙන්න බැහැ.

විගණකාධිපතිවරයා පෙන්වා දුන් මුදල් හා වත්කම් සම්බන්ධ ගැටලු

කාංචන විජේසේකරගේ ප්‍රතිසංස්කරණ ගැන විමසීමේදී තවත් වැදගත් ලේඛනයක් තිබෙනවා.

ඒ, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සම්බන්ධයෙන් නිකුත් කළ 2024 වර්ෂයේ විගණකාධිපති වාර්තාවයි.

එහි 26 සිට 28 දක්වා පිටුවල පෞද්ගලික ඉන්ධන සමාගම්වලට පිරවුම්හල් සහ සංස්ථා වත්කම් පැවරීමේදී ඇති වූ පරිපාලන දුර්වලතා පෙන්වා දී තිබෙනවා.

විගණන නිරීක්ෂණයකට අනුව, සිනොපෙක් සමාගමට අදාළ කළ උපකරණ බදු කොන්දේසි ආර්එම් පාර්ක්ස් සහ යුනයිටඩ් පෙට්‍රෝලියම් සමාගම්වලටත් අදාළ කළේ නම් රුපියල් මිලියන 46.06ක අමතර ආදායමක් සංස්ථාවට උපයාගැනීමට හැකිව තිබුණා.

තවත් නිරීක්ෂණයකට අනුව, ආර්එම් පාර්ක්ස් සහ සිනොපෙක් ජාල වෙත මාරු කරන ලද අලෙවි නියෝජිතයන් 215 දෙනෙකුගෙන් සංස්ථාවට අයවිය යුතුව තිබූ රුපියල් මිලියන 64.32ක ශේෂයක් පැවරීමට පෙර අයකරගෙන තිබුණේ නැහැ.

රාජ්‍ය සංස්ථාව සතු වත්කම් 357කට අදාළව නිසි පරිදි වටිනාකම අයකරගැනීම හෝ ඒවා නැවත භාරගැනීම සිදු නොවීමත් විගණකාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.

මෙම ගිවිසුම්වලට අනුකූල නොවීම ගැන ස්වාධීන විමර්ශනයක් කළ යුතු බවටත් නිර්දේශ කර තිබෙනවා.

මේවා තිබියදීත් ඔහු ඉන්ධන ක්ෂේත්‍රය ඉතාම සාර්ථකව කළමනාකරණය කළ දේශපාලනඥයෙක් කියලා සරලව කියන්න පුළුවන්ද?

විදුලිබල මණ්ඩලය සමාගම් හයකට බෙදීම

කාංචන විජේසේකරගේ අමාත්‍ය ධුර කාලයේ සිදුකළ බරපතලම ප්‍රතිසංස්කරණයක් තමයි විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීම.

2024 ජූනි 6 වැනිදා පාර්ලිමේන්තුවේදී සම්මත කළ විදුලිබල පනත් කෙටුම්පත, අංක 36 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත බවට පත්වුණා.

මෙහි ප්‍රධාන අරමුණ වූයේ විදුලිය නිෂ්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම සහ පද්ධති මෙහෙයුම් වෙන වෙනම ආයතන යටතට ගෙන ඒමයි.

2025දී වත්මන් ආණ්ඩුව මෙම පනත සංශෝධනය කළා. ඉන් අනතුරුව 2026 මාර්තු 9 වැනිදා ලංකා විදුලිබල මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය අවසන් කර එහි කාර්යයන් සමාගම් හයකට පැවරුණා.

ඒ අනුව විදුලිය ජනනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම, ජාතික පද්ධතිය මෙහෙයවීම සහ අනෙකුත් කාර්යයන් වෙන වෙනම සමාගම් යටතට ගෙන ගියා.

මෙම සමාගම් ආරම්භයේදී රාජ්‍ය අයිතිය යටතේ පිහිටුවා තිබෙනවා. ඒත්, අනාගතයේ ඕනෑම වෙලාවක භාණ්ඩගාරයට කොටස් අයිතිය අත්හැරලා දාන්න පුලුවන්. මේ සමාගම්වල කොටස් පෞද්ගලිකකරණය කළ හැකියි.

විදුලිබල මණ්ඩලයේ දූෂණය තිබුණා. අකාර්යක්ෂමතාව තිබුණා. අධික පිරිවැය සහිත විදුලි මිලදීගැනීම් තිබුණා. ඒ සියල්ල නිවැරදි කළ යුතු බවට විවාදයක් නැහැ.

නමුත් ඒ දුර්වලතා නිවැරදි කිරීමේ ක්‍රමය ඒකාබද්ධ රාජ්‍ය ආයතනය කඩා වෙන් කිරීමද?

විදුලිබල මණ්ඩලයට අධික මිලට විදුලිය සැපයූ පෞද්ගලික විදුලි නිෂ්පාදකයන් ගැන අපට අමතක කළ නොහැකියි. ගල්අඟුරු සැපයුම් ගනුදෙනු, ඉන්ධන මිලදීගැනීම්, පෞද්ගලික විදුලි මිලදීගැනීමේ ගිවිසුම් වැනි තැන්වල තිබුණු ප්‍රශ්නත් විමසිය යුතුයි. මොකද විදුලිබල මණ්ඩලය පාඩු ලැබුවේ කොතැනද? එතැන මොකක්හරි පෞද්ගලික සමාගමක් සම්බන්ධ වෙලා අයුතු ලාභයක් හොයලා තියෙනවා. විදුලිබල මණ්ඩලයට කෙළෙව්වේ බලශක්ති ව්‍යාපාරයේ සිටින ව්‍යාපාරිකයන් සහ ඔවුන් එක්ක ඩීල් දාපු නිලධාරීන් සහ දේශපාලනඥයන්.

කංචනලා කළේ අන්තිමේ උංටම විදුලිබල මණ්ඩලය පුදලා දාන්න ගැලපෙන නීති හදපු එක.

විදුලිය යනු සාමාන්‍ය වෙළෙඳ භාණ්ඩයක් පමණක් නොවෙයි. එය ජනතාවගේ ජීවිතයේ අත්‍යවශ්‍ය සේවාවක්. කංචනට ඒක බිස්නස් එකක් විතරක් වුණා.

බලශක්තිය කියන්නේ ලාභ ලබන ව්‍යාපාරයක්ද, නැත්නම් මහජන සේවාවක්ද?

මෙම සාකච්ඡාවේ මට වැදගත්ම ප්‍රශ්නය මෙයයි.

බලශක්තිය ජනතාවගේ අත්‍යවශ්‍ය අවශ්‍යතාවක් නම්, එය සැපයීමේ අවසාන වගකීම පැවරිය යුත්තේ කාටද?

පෞද්ගලික සමාගම්වලට බලශක්ති ක්ෂේත්‍රයේ කිසිදු කාර්යභාරයක් නොතිබිය යුතුයි කියන එක මෙහිදී මගේ තර්කය නොවෙයි.

නමුත් මහජන සේවාවක් සැපයීමේදී ලාභය එකම නිර්ණායකය බවට පත්කළ නොහැකියි.

ජනතාවට දැරිය හැකි මිලකට ඉන්ධන සහ විදුලිය සැපයීම, අර්බුදකාරී කාලයකදීත් ඒවා අඛණ්ඩව ලබාදීම, සේවක අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ දිගුකාලීන බලශක්ති සුරක්ෂිතතාව පවත්වාගැනීම යන අරමුණු ලාභදායකත්වයට වඩා පුළුල් අරමුණුයි.

එවැනි සේවා වෙළෙඳපොළේ ලාභය මත පමණක් රඳා තැබීමෙන් ඇති විය හැකි අවදානම 2026 ඉන්ධන අර්බුදය මගින් පෙන්වා දී තිබෙනවා.

සෞඛ්‍යය, අධ්‍යාපනය සහ බලශක්තිය වැනි ක්ෂේත්‍රවල මහජන සේවා අරමුණු හා වාණිජ ලාභය අතර ගැටුම ලෝකයේ විවිධ රටවල දේශපාලන සාකච්ඡාවල ප්‍රධාන මාතෘකාවක් වී තිබෙන්නේ ඒ නිසයි.

රාජ්‍ය ආයතන කාර්යක්ෂම කළ යුතු බවට මගේ විරෝධයක් නැහැ. දූෂණය නැති කළ යුතු බවටත් විරෝධයක් නැහැ.

නමුත් ඒ සඳහා රාජ්‍යයට තිබෙන සේවා සැපයීමේ බලය හා වගකීම දුර්වල කර, ජනතාවගේ අත්‍යවශ්‍ය අවශ්‍යතා ව්‍යාපාරික ලාභය මත තීරණය වන ක්‍රමයක් ගොඩනැඟීම පිළිගන්න බැහැ. එහෙම වැඩකට මුල් වූ කංචනව නායකයෙක් විදියට පිළිගන්න කොහොමත් බැහැ.

ඒ කෙසේ වෙතත්, විපක්ෂයට වැලේ වැල් නැති නිසා, කොහොමත් විපක්ෂය දක්ෂිණාංශික නිසා කංචනව වීරයෙක් විදියට දකිනවා ඇති. ඒත් එහෙම දක්ෂිණාංශික කෝණයකින් බලනවා නම් මට හිතෙන්නේ හර්ෂ ද සිල්වා ඉද්දී කංචන දිහාට හැරෙන්න කිසිම හේතුවක් නෑ.

Author

1 Comment

Leave a Reply

Related Posts