ශානිට නෙවෙයි, මෙයාලා බලපෑම් කළේ මහේස්ත්‍රාත් නියෝගයට – නීතිපති දිලිත්, උදය, විමල් ඇතුළු අය ගැන කරුණු දක්වමින් කියයි

හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සුරේෂ් සලේ සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශ මඟින් අධිකරණයට අපහාස කර ඇති බවට චෝදනා කරමින්, හිටපු අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු හයදෙනෙකුට එරෙහිව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් අභියාචනාධිකරණයට යොමු කළ පැමිණිල්ල සම්බන්ධයෙන්, බැලූ බැල්මට නඩුවක් පවතින්නේද යන නියෝගය 2027 ජනවාරි 12 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට අභියාචනාධිකරණය තීරණය කළේය.

ඒ, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන්, විනිසුරුවරුන් වන චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ නොවැම්බර් 11, 12 සහ 13 යන දිනවල අදාළ පැමිණිල්ල සලකා බැලීමෙන් අනතුරුවය.

මෙම පැමිණිල්ලේ නම් සඳහන් අනෙක් තැනැත්තන් වන්නේ සුගීෂ්වර බණ්ඩාර, අසංක නවරත්න සහ මහින්ද පතිරණ යන පුද්ගලයන්ය.

මෙහිදී අදාළ පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥවරුන් වන මනෝහර ද සිල්වා, අලි සබ්‍රි, අනුර මැද්දෙගොඩ සහ නීතිඥ මෛත්‍රී ගුණරත්න යන මහත්වරුන් ඇතුළු නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම්වලට ප්‍රතිචාර දක්වමින් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා දීර්ඝ වශයෙන් කරුණු ඉදිරිපත් කළේය.

එහිදී ඔහුගේ ප්‍රධාන තර්කය වූයේ, අදාළ පුද්ගලයන් සිදු කළ බව කියන ප්‍රකාශ හුදෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ පොලිස් නිලධාරීන් විවේචනය කිරීම සඳහා සිදු කළ ප්‍රකාශ නොවන බවයි.

එම ප්‍රකාශ සිදු කර තිබුණේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය සුරේෂ් සලේ සම්බන්ධයෙන් වැදගත් නියෝග දෙකක් ලබාදීමට නියමිතව තිබූ අවස්ථාවලදී බවත්, ඒවා මඟින් අධිකරණයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බලපෑම් කිරීමට උත්සාහ ගෙන ඇති බවත් ඔහු තර්ක කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයක් නොවන බව සම්බන්ධයෙන් තමන්ට කිසිදු විවාදයක් නොමැති නමුත්, අධිකරණය ලබාදීමට නියමිත නියෝගවලට අයුතු බලපෑම් කිරීම සහ අධිකරණය කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිඳ දැමීමට උත්සාහ කිරීම වෙනම නෛතික තත්ත්වයක් බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සැකකරුවන්ගේ සුබසාධනය සහ වධහිංසාවෙන් ආරක්ෂා වීම තහවුරු කිරීම සඳහා මහේස්ත්‍රාත්වරයාට අධිකරණමය බලතල පැවරී ඇති බවත්, එම කාර්යභාරය හුදෙක් විධායක කාර්යයක් ලෙස හඳුන්වා දිය නොහැකි බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේය.

විත්තියේ නීතිඥවරුන් මතු කළ ප්‍රධාන කරුණු තුන

සිය කරුණු දැක්වීම ආරම්භ කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැවසුවේ, නොතීසි ලත් පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන්ගේ කරුණු දැක්වීම් තුළ ප්‍රධාන නෛතික ගැටලු තුනක් තමන් හඳුනාගත් බවයි.

පළමුවැන්න, මෙම පැමිණිල්ලේ නම් සඳහන් පුද්ගලයන් හයදෙනාට එරෙහිව ඇති චෝදනා එකිනෙකට වෙනස් බැවින්, ඒවා තනි තනිව සලකා බැලිය යුතු බවට ඉදිරිපත් වූ තර්කයයි.

දෙවැන්න, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ පොලිසිය අධිකරණයක් නොවන බවත්, එම ආයතනවල විමර්ශන කටයුතු යුක්තිය පසිඳලීමේ අධිකරණ කාර්යයට සමාන නොවන බවත්, එබැවින් පොලිසිය විවේචනය කිරීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලකිය නොහැකි බවත් යන තර්කයයි.

තුන්වැන්න, 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ 10(3) උපවගන්තිය අනුව, අදාළ යොමු කිරීම, මෝසම හෝ දිවුරුම් ප්‍රකාශය පරීක්ෂා කිරීමෙන් අනතුරුව බැලූ බැල්මට නඩුවක් පවතින බවට සෑහීමට පත් වුවහොත් පමණක් අධිකරණය ඉදිරි පියවර ගත යුතු බවට ඉදිරිපත් වූ තර්කයයි.

පනතේ 10(3) වගන්තිය අනුව අධිකරණය සෑහීමට පත් විය යුත්තේ කුමක් සම්බන්ධයෙන්ද?

අධිකරණයට අපහාස කිරීමේ පනතේ 10(3) උපවගන්තිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, මෙම නඩුවේ වත්මන් අදියර සහ චෝදනාව විභාග කර අවසාන තීරණයක් ගැනීමේ අදියර අතර පැහැදිලි වෙනසක් පවතින බව පෙන්වා දුන්නේය.

එම වගන්තිය අනුව, මුල් අවස්ථා අධිකරණයකින් යොමු කරන ලද වාර්තාවක් හෝ අදාළ මෝසමක් හෝ දිවුරුම් ප්‍රකාශයක් පරීක්ෂා කිරීමෙන් පසුව, බැලූ බැල්මට අධිකරණයට අපහාස කිරීමේ නඩුවක් පවතින බවට සෑහීමට පත්වීම අභියාචනාධිකරණය විසින් සිදු කළ යුතුය.

එවැනි නඩුවක් පවතින බවට සෑහීමට පත්වීමෙන් අනතුරුව අදාළ පුද්ගලයාට එරෙහිව චෝදනාවේ විස්තර ඇතුළත් රීතියක් නිකුත් කර, එය භාරදී, චෝදනාව විභාග කිරීම සඳහා දිනයක් නියම කළ හැකිය.

එහෙත් මෙම අවස්ථාවේ අධිකරණය සෑහීමට පත්විය යුතු කරුණු සහ පසුව චෝදනාව විභාග කරන අවස්ථාවේදී අවශ්‍ය වන සාක්ෂි හා කරුණු එකිනෙකට වෙනස් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේය.

ඒ අනුව මෙම අවස්ථාවේදී නඩුවේ සියලු චෝදනා අවසාන වශයෙන් ඔප්පු කර පෙන්වීම අවශ්‍ය නොවන බවත්, බැලූ බැල්මට නඩුවක් පවතින බව තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් කරුණු තිබේද යන්න සලකා බැලිය යුතු බවත් ඔහු තර්ක කළේය.

මහේස්ත්‍රාත්වරයා අභියාචනාධිකරණයට යොමු කළ වාර්තාව

මෙම නෛතික කරුණු පැහැදිලි කිරීමෙන් අනතුරුව ජනක බණ්ඩාර මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් අභියාචනාධිකරණයට යොමු කර ඇති වාර්තාවේ අන්තර්ගතය පිළිබඳව කරුණු දැක්වීය.

එම වාර්තාවේ පළමු ඡේදයේ මහේස්ත්‍රාත්වරයා තමන් හඳුන්වා දෙන බවත්, දෙවැනි ඡේදයේ අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට පාදක වූ නඩුවේ නිශ්චිත විස්තර සඳහන් වන බවත් ඔහු පැවසීය.

අදාළ නඩුව 2019 අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළ නඩුව බවත්, එම ප්‍රහාරයෙන් මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව සහ අනෙකුත් තොරතුරු ද එහි සඳහන් වන බවත් ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම එම විමර්ශනයට අදාළ නඩුවේ තුන්වැනි සැකකරු ලෙස හිටපු රාජ්‍ය බුද්ධි සේවා ප්‍රධානී සුරේෂ් සලේ නම් කර ඇති බව ද මහේස්ත්‍රාත්වරයාගේ වාර්තාවේ සඳහන් වන බව ඔහු පැවසීය.

එහි සිව්වැනි ඡේදය වෙත අවධානය යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, 2026 ජුනි 15 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරයා විසින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබූ බව සඳහන් කළේය.

එම පැමිණිල්ලට අදාළව පුද්ගලයන් හයදෙනෙකු විසින් සිදු කළ බව කියන ප්‍රකාශ උපුටා දක්වා තිබූ බවත්, එම ප්‍රකාශ අදාළ වාර්තාවේ අන්තර්ගත වන බවත් ඔහු පැවසීය.

2026 ජුනි 7 වැනිදා සිට මාධ්‍ය ඔස්සේ අසත්‍ය කරුණු ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ද එම වාර්තාවේ කරුණු සඳහන් වන බව ඔහු පැවසීය.

විශේෂයෙන් ජුනි 10 සහ ජුනි 27 යන දිනවල සිදු කළ බව කියන ප්‍රකාශවල කාලසීමාව පිළිබඳව ද ඔහු අධිකරණයේ අවධානය යොමු කළේය.

ජුනි 10 සහ ජූලි 1 නියෝගවලට පෙර සිදු කළ ප්‍රකාශ

සුරේෂ් සලේගේ වෛද්‍ය වාර්තා සහ රැඳවුම් තත්ත්වය සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඉල්ලීම්වලට අදාළ නියෝගයක් 2026 ජුනි 10 වැනිදා ලබාදීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා නියමිතව සිටි බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

එම නියෝගය අප්‍රේල් 22 සහ මැයි 20 යන දිනවල අධිකරණය හමුවේ මතු වූ කරුණු සහ ජුනි 4 වැනිදා ඉදිරිපත් වූ ඉල්ලීම් සමඟ සම්බන්ධ වූ බව ඔහු පැවසීය.

එම ඉල්ලීම් අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයෙන් සුරේෂ් සලේ ඉවත් කිරීම පිළිබඳ ඉල්ලීමක් ද තිබූ බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම සුරේෂ් සලේගේ සෞඛ්‍ය තත්ත්වය, ඔහු සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ වෛද්‍ය වාර්තා සහ වධහිංසා චෝදනා සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ ඉල්ලීම් ද සලකා බැලෙමින් තිබූ බව ඔහු පැවසීය.

එවැනි පසුබිමක ජුනි 7 වැනිදා සිට ප්‍රසිද්ධ ප්‍රකාශ සිදු කර තිබූ බවත්, අධිකරණය ලබාදීමට නියමිත නියෝගයට බලපෑම් ඇති කළ හැකි ආකාරයෙන් එම ප්‍රකාශ ඉදිරිපත් කර තිබූ බවත් ඔහු තර්ක කළේය.

ජුනි 10 වැනිදා වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට අධිකරණය නියෝග කිරීමෙන් පසුව ද, ජූලි 1 වැනිදා තවත් නියෝගයක් ලබාදීමට නියමිතව තිබියදී අදාළ අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ප්‍රකාශ සිදු කර තිබූ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

අදාළ පුද්ගලයන් අධිකරණයට පැමිණ කරුණු ඉදිරිපත් කිරීම වෙනුවට අධිකරණයෙන් බැහැරව ප්‍රසිද්ධියේ එම ප්‍රකාශ සිදු කර තිබූ බව ද ඔහු පැවසීය.

ඒ අනුව මෙහි කේන්ද්‍රීය කරුණ වන්නේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විවේචනය කළේද යන්න නොව, අධිකරණය ලබාදීමට නියමිතව තිබූ නියෝග දෙකට අයුතු බලපෑම් සිදු කළේද යන්න බව ඔහු අවධාරණය කළේය.

මහේස්ත්‍රාත්වරයාගේ වාර්තාවේ අටවැනි ඡේදය

මෙහිදී මහේස්ත්‍රාත්වරයාගේ යොමු කිරීමේ අටවැනි ඡේදය වෙත අවධානය යොමු කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, ජුනි 10 වැනිදා නියෝගය ලබාදීමට පෙර පුද්ගලයන් සිව්දෙනෙකුගේ ප්‍රකාශ සිදු වී තිබූ බව පැවසීය.

එහෙත් ජුනි 10 වැනිදා මහේස්ත්‍රාත්වරයා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් පත් කිරීමට නියෝග කිරීමෙන් අනතුරුව, එම වෛද්‍ය මණ්ඩලය සහ අදාළ නියෝගය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු අදහස් දක්වා තිබූ බව ඔහු සඳහන් කළේය.

එම ප්‍රකාශ සිදු කර තිබුණේ ජූලි 1 වැනිදා තවත් නියෝගයක් ලබාදීමට නියමිතව තිබියදී බව ඔහු පැවසීය.

මෙලෙස අධිකරණ නියෝග නිකුත් කිරීමට නියමිතව තිබූ කාලසීමාවන්හිදී සිදු කළ බව කියන ප්‍රකාශවලින් අධිකරණ ක්‍රියාවලියට බලපෑම් ඇති වී තිබේද යන්න සලකා බැලිය යුතු බව ඔහු තර්ක කළේය.

සංස්කරණය නොකළ වීඩියෝ දර්ශන කැඳවීම

2026 ජුනි 15 වැනිදා අදාළ ප්‍රකාශ සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව, එම ප්‍රකාශ ඇතුළත් වීඩියෝ දර්ශනවල සංස්කරණය නොකළ මුල් දර්ශන අදාළ මාධ්‍ය ආයතනවලින් ලබාගැනීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සඳහන් කළේය.

එමෙන්ම ෆේස්බුක් සමාජ මාධ්‍යයේ පළ වූ ප්‍රකාශයක් සම්බන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන අංශය මඟින් විස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස ද මහේස්ත්‍රාත්වරයා දැනුම් දී තිබූ බව ඔහු පැවසීය.

මෙම වීඩියෝ සහ අනෙකුත් තොරතුරු මහේස්ත්‍රාත්වරයා විසින් අධ්‍යයනය කර තිබූ බවත්, ඒවා අදාළ යොමු කිරීමට සහායක ලේඛන ලෙස අමුණා ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා පොලිසිය ඉදිරිපත් කළ වාර්තාව පමණක් පදනම් කරගෙන අභියාචනාධිකරණයට පැමිණිල්ල යොමු කර ඇති බවට එල්ල වූ චෝදනාව පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා විරෝධය පළ කළේය.

අලි සබ්‍රි සහ මෛත්‍රී ගුණරත්නගේ විරෝධය

මෙම අවස්ථාවේදී නැඟී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ කරුණු දැක්වීමට බාධා කරමින් ප්‍රශ්නයක් මතු කළේය.

මෙම නඩුවේදී නීතිපති දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරමින් සිටින්නේ මහේස්ත්‍රාත්වරයා ලබාදීමට නියමිතව තිබූ නියෝගවලට බලපෑම් කිරීම සම්බන්ධයෙන් වූ තර්කයක් බව ඔහු පෙන්වා දුන්නේය.

එහෙත් මෙම ක්‍රියාවලිය ආරම්භ වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහේස්ත්‍රාත්වරයා වෙත සිදු කළ කරුණු වාර්තා කිරීමක් මත බව ඔහු පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල් වාර්තාවල සඳහන් වන්නේ අධිකරණයේ නියෝගවලට බලපෑම් කිරීමක් නොව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට එරෙහිව සිදු කළ ප්‍රකාශ බව ඔහු තර්ක කළේය.

මෙම අවස්ථාවේදී නැඟී සිටි නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා ද කරුණු දක්වමින් පැවසුවේ ‘ශානිගේ වධකාගාරය’ යනුවෙන් සිදු කර තිබූ ප්‍රකාශය විධායකයේ කටයුතු සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් බවයි.

එය අධිකරණ නියෝගයක් සම්බන්ධයෙන් සිදු කළ මත දැක්වීමක් නොවන බව ද ඔහු පැවසීය.

සිරස, හිරු සහ දෙරණ වෙතින් වීඩියෝ කැඳවූ බවට කරුණු

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා මහේස්ත්‍රාත්වරයාගේ යොමු කිරීමේ 16 වැනි ඡේදය වෙත අවධානය යොමු කළේය.

එම ඡේදය අනුව සිරස, හිරු සහ දෙරණ ඇතුළු මාධ්‍ය ආයතනවලින් අදාළ වීඩියෝ දර්ශන කැඳවා තිබූ බව ඔහු පැවසීය.

මහේස්ත්‍රාත්වරයා එම දර්ශන සහ අදාළ තොරතුරු අධ්‍යයනය කර තිබූ බවත්, එම වීඩියෝ දර්ශන ඇතුළු ලේඛන යොමු කිරීමට අමුණා තිබෙන බව තමන් නිරීක්ෂණය කරන බවත් ඔහු සඳහන් කළේය.

එමෙන්ම මහේස්ත්‍රාත්වරයාගේ යොමු කිරීමේ 11 වැනි ඡේදයේ 2026 අගෝස්තු 5 වැනිදා අධිකරණයට වාර්තා වූ කරුණු පිළිබඳව ද සඳහන් වන බව ඔහු පැවසීය.

අදාළ වීඩියෝ දර්ශන සහ අනෙකුත් කරුණු අධ්‍යයනය කිරීමෙන් පසුව බැලූ බැල්මට අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් සාක්ෂි පවතින බවට මහේස්ත්‍රාත්වරයා නිගමනය කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේය.

ජූලි 1 වැනිදා ඉල්ලීම් හයක් සම්බන්ධයෙන් නියෝග ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබූ බවත්, එම නියෝගවලට බලපෑම් ඇති කරන ආකාරයෙන් අදාළ හයදෙනා ප්‍රකාශ සිදු කර ඇති බවත් මහේස්ත්‍රාත්වරයා සිය යොමු කිරීමේ සඳහන් කර තිබෙන බව ඔහු පැවසීය.

එමෙන්ම අදාළ අධිකරණ නියෝග සහ නඩු වාර්තා ද යොමු කිරීමට අමුණා ඇති බව ඔහු සඳහන් කළේය.

අධිකරණයට අපහාස කිරීමේ පනතේ අරමුණු

මෙහිදී 2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනතේ 2 වැනි වගන්තිය යටතේ සඳහන් අරමුණු සම්බන්ධයෙන් ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කරුණු දැක්වීය.

එම වගන්තිය අනුව පනතේ අරමුණු වන්නේ,

  1. අධිකරණයක, විනිශ්චය අධිකාරයක හෝ ආයතනයක ගෞරවය සහ අධිකාරී බලය ආරක්ෂා කිරීම.
  2. යථා පරිදි යුක්තිය පසිඳලීම ආරක්ෂා කිරීම.
  3. අධිකරණ විධානවලට අනුකූලව කටයුතු කිරීම තහවුරු කිරීම.
  4. අධිකරණයක, විනිශ්චය අධිකාරයක හෝ ආයතනයක කාර්යක්ෂමතාව සහ අපක්ෂපාතීත්වය ආරක්ෂා කිරීම සහ පවත්වාගෙන යෑම.
  5. අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, සාධාරණ විවේචනය සහ අධිකරණ විධානවලට අනුකූල වීම අතර සමතුලිතතාවක් පවත්වා ගැනීම.

මෙම අරමුණු සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයාගේ යොමු කිරීම සලකා බැලිය යුතු බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

එහිදී අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීම පමණක් නොව, යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට අයුතු බලපෑම් එල්ල වීම වැළැක්වීම ද පනතේ අරමුණක් බව ඔහු අවධාරණය කළේය.

පනතේ 3(1) වගන්තිය

එයින් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පනතේ 3(1) උපවගන්තිය උපුටා දැක්වීය.

එම උපවගන්තිය අනුව, වෙනත් ලිඛිත නීතියකින් සලසා ඇති විධිවිධානවලට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව, යම් තැනැත්තකු විසින් පහත සඳහන් අදහස්වලින් යුතුව යම් ක්‍රියාවක් සිදු කිරීම හෝ නොකර හැරීම අධිකරණයට අපහාස කිරීමේ වරදක් වේ.

ඒ අනුව,

3(1)(අ) – අධිකරණයක, විනිශ්චය අධිකාරයක හෝ ආයතනයක අධිකාරී බලය සහ යුක්තිය පසිඳලීම අගෞරවයට හෝ අවතක්සේරුවට ලක් කිරීමේ අදහසින් ක්‍රියා කිරීම.

3(1)(ආ) – විභාග වෙමින් පවතින නඩුවකට අදාළ අධිකරණ ක්‍රියාවලියට මැදිහත්වීමේ හෝ එම ක්‍රියාවලියට බරපතළ අගතියක් සිදු කිරීමේ අදහසින් ක්‍රියා කිරීම.

එමෙන්ම පනතේ 3(2)(ඇ) උපවගන්තිය යටතේ සාවද්‍ය කරුණක් ප්‍රකාශ කිරීම, අදහසක් පළ කිරීම හෝ ප්‍රසිද්ධ කිරීම මඟින් අධිකරණයේ අධිකාරී බලය හෝ ගෞරවය පහත හෙළීම, අධිකරණ ක්‍රියාවලියට බරපතළ අගතියක් සිදු කිරීම හෝ යුක්තිය පසිඳලීමට බාධා කිරීම සම්බන්ධයෙන් ද විධිවිධාන පවතින බව ඔහු පෙන්වා දුන්නේය.

පනතේ 3(2)(ඉ) උපවගන්තිය යටතේ අධිකරණයක්, විනිශ්චය අධිකාරයක්, ආයතනයක්, විනිසුරුවරයකු හෝ අධිකරණ නිලධාරියකු අවතක්සේරුවට ලක් කිරීමේ ක්‍රියාවන් සම්බන්ධයෙන් ද විධිවිධාන සඳහන් වේ.

එහිදී යුක්තිය පසිඳලීමට මැදිහත්වීමේ, අධිකරණය කෙරෙහි ජනතාව තුළ අතෘප්තියක් ඇති කිරීමේ හෝ යුක්තිය පසිඳලීම පිළිබඳ මහජන සැකයක් ඇති කිරීමේ චේතනාවෙන් සිදු කරන ක්‍රියාවන් ද අදාළ වන බව ඔහු පැවසීය.

මේ අනුව මහේස්ත්‍රාත්වරයාගේ යොමු කිරීමේ සඳහන් වන්නේ අධිකරණය කෙරෙහි ජනතාව තුළ සැකයක් ඇති කිරීම සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බලපෑම් කිරීම සම්බන්ධයෙන් වන කරුණු බව ඔහු අවධාරණය කළේය.

Virgina Perera නඩු තීන්දුව

මෙම නෛතික පසුබිම තුළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා ශ්‍රේෂ්ඨාධිකරණය විසින් 2025 ජූලි 23 වැනිදා ලබාදුන් Virgina Perera v. M.B.A. Systems (Pvt) Ltd., SC/CHC/APPEAL/18/2018 නඩු තීන්දුව උපුටා දැක්වීය.

එම තීන්දුව ලියා තිබුණේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා විසිනි.

එම විනිසුරු මඩුල්ලේ අනෙක් සාමාජිකයන් වූයේ පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන විනිසුරුවරුන්ය.

එම තීන්දුවේදී අධිකරණයට අපහාස කිරීමේ නීතියේ අරමුණ සම්බන්ධයෙන් වැදගත් මූලධර්මයක් ප්‍රකාශ කර තිබිණි.

එහි සඳහන් වූයේ අධිකරණයට අපහාස කිරීමේ බලය පවතින්නේ විනිසුරුවරුන්ගේ පෞද්ගලික ගෞරවය ආරක්ෂා කිරීම සඳහා නොවන බවයි.

එම බලයේ අරමුණ වන්නේ අධිකරණයේ අධිකාරී බලය ආරක්ෂා කිරීම, මහජනතාවගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ විශ්වාසනීයත්වය පවත්වා ගැනීමයි.

තීන්දුවේ සඳහන් පරිදි අධිකරණයට අපහාස කිරීමේ බලය යනු විනිසුරුවරයකුගේ පෞද්ගලික ගෞරවය තහවුරු කිරීමේ බලයක් (Vindication of Personal Dignity) නොවේ.

එමෙන්ම අධිකරණයට අපහාස කිරීම යනු අධිකරණයට එරෙහිව සිදු කරන වරදක් මිස පෞද්ගලික පාර්ශ්වයකට එරෙහිව සිදු කරන වරදක් නොවන බව ද එම තීන්දුවෙන් අවධාරණය කර තිබිණි.

මෙම නෛතික මූලධර්මය උපුටා දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ අදාළ පැමිණිල්ලේදී ආරක්ෂා කිරීමට අපේක්ෂා කරන්නේ විනිසුරුවරයකුගේ පෞද්ගලික ගෞරවය නොව, අධිකරණයේ අධිකාරී බලය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය බවයි.

අධිකරණයක් නිශ්චිතව නම් නොකර අපහාසයක් කළ හැකිද?

මෙහිදී අධිකරණයට අපහාස කිරීමේ වරදේ ස්වභාවය පිළිබඳව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කරුණු දැක්වීය.

යම් ප්‍රකාශයකින් විනිසුරුවරයකු හෝ අධිකරණයක් නිශ්චිතව නම් කර නොතිබුණ ද, එහි අන්තර්ගතය සහ සන්දර්භය අනුව යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට හානි සිදු කළ හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදී ඉන්දියාවේ Advocate-General, Andhra Pradesh v. V. Ramana Rao (AIR 1967 AP 299) නඩු තීන්දුව ඇතුළු අධිකරණයට අපහාස කිරීමේ නඩු සම්බන්ධයෙන් විකාශනය වී ඇති පොදු නෛතික මූලධර්ම වෙත ද ඔහු අවධානය යොමු කළේය.

එම නඩු තීන්දුවේදී ද උපුටා දක්වා ඇති බ්‍රිතාන්‍යයේ St. James’s Evening Post Case (1742) 2 Atk 469 නඩුවේදී හාර්ඩ්වික් සාමිවරයා (Lord Hardwicke) අධිකරණයට අපහාස කිරීමේ ආකාර තුනක් පිළිබඳව විස්තර කර තිබිණි.

එම ආකාර තුන වන්නේ,

  1. අධිකරණයම අවතක්සේරුවට ලක් කිරීම හෝ එහි අධිකාරී බලය පහත හෙළීම (Scandalising the Court).
  2. අධිකරණය ඉදිරියේ පවතින නඩුවක පාර්ශ්වකරුවන්ට අනිසි ලෙස පහර ගැසීම හෝ ඔවුන් සම්බන්ධයෙන් අගතියක් ඇති කිරීම.
  3. නඩුවක් විභාග කිරීමට පෙර එම නඩුවට සම්බන්ධ පාර්ශ්වයන් කෙරෙහි මහජනතාවගේ මතය අයුතු ලෙස බලපෑමට ලක් කිරීම යන කරුණුය.

එම නෛතික සංකල්ප අනුව අධිකරණයට අපහාස කිරීමේ වරද අධිකරණයක් හෝ විනිසුරුවරයකු නිශ්චිතව නම් කිරීමකට පමණක් සීමා නොවන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා තර්ක කළේය.

අධිකරණය පිළිබඳ මහජන විශ්වාසය බිඳ දැමීමට හෝ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට අයුතු බලපෑම් කිරීමට හැකි ප්‍රකාශ ද අදාළ නෛතික සංකල්පය යටතේ සලකා බැලිය හැකි බව ඔහු පැවසීය.

දිලිත් ජයවීර සහ මහින්ද පතිරණගේ ප්‍රකාශ

මෙහිදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා දිලිත් ජයවීර සහ මහින්ද පතිරණ යන මහත්වරුන් විසින් සිදු කළ බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවේ සඳහන් ප්‍රකාශ උපුටා දැක්වීය.

මහින්ද පතිරණ මහතාගේ ප්‍රකාශය

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාර්තාවේ නවවැනි පිටුවේ මහින්ද පතිරණ මහතා විසින් සිදු කළ බවට පහත ප්‍රකාශය සටහන් කර තිබේ.

“සලේ පරීක්ෂා කරන්න වෛද්‍ය මණ්ඩලය කියලා පත් කරලා තියෙන්නේ පට්ට JVP සෙට් එකක්. මෙතෙක්ම ජේවීපී ආණ්ඩුව කරන බොරු. ඔවුන්ට ස්වාධීන මණ්ඩලයකට දාලා මේ ගැන අදහස් ගන්න බැහැ.”

මෙම ප්‍රකාශය තුළින් වෛද්‍ය මණ්ඩලයේ ස්වාධීනත්වය සම්බන්ධයෙන් ප්‍රශ්න කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

දිලිත් ජයවීර මහතාගේ ප්‍රකාශය

එම වාර්තාවේ දිලිත් ජයවීර මහතා සහ මාධ්‍යවේදියකු අතර සිදු වූ බව කියන සංවාදයක් ද සටහන් කර තිබේ.

එම සංවාදයේදී දිලිත් ජයවීර මහතා,

“හැබැයි පැහැදිලි වෛද්‍ය වාර්තාවක් තියෙනවා. පැහැදිලි වෛද්‍ය වාර්තාවක් තියෙනවා.”

යනුවෙන් ප්‍රකාශ කර තිබූ බව වාර්තාවේ සඳහන් වේ.

ඊට ප්‍රතිචාර දක්වමින් මාධ්‍යවේදියා විමසා තිබුණේ,

“පැහැදිලි වෛද්‍ය වාර්තාවක් තියෙනවා කියලා ඔබ යෝජනා කරද්දී තවත් වෛද්‍ය වාර්තාවක් කැඳවන්න වර්තමාන මහේස්ත්‍රාත්වරයා තීරණය කරලා නේද?”

යනුවෙනි.

එහිදී දිලිත් ජයවීර මහතා,

“අන්න, අන්න ඒක තමයි ක්ලූව. මේ කියන්නේ මේ මේ බාල බාල වැඩ කියලා. දැන් වෛද්‍යවරයෙක් වෛද්‍ය වාර්තාවක් දුන්නට පස්සේ තවත් වෛද්‍යවරුන් පස්දෙනෙක් දාලා කමිටුවකින් ඒ කියන්නේ අර වෛද්‍යවරයා බොරු කිව්වා කියලා කියන්න හදන්නේ මේ. ඒ වෛද්‍යවරයා…”

යනුවෙන් ප්‍රතිචාර දක්වා තිබූ බව වාර්තාවේ සඳහන් වේ.

ඉන් අනතුරුව මාධ්‍යවේදියා,

“හැබැයි මේක මහේස්ත්‍රාත්වරයා යෝජනා කරන්නේ.”

යනුවෙන් ප්‍රකාශ කර තිබිණි.

ඊට දිලිත් ජයවීර මහතා,

“ඒක තමයි මං කියන්නේ, දැන්.”

යනුවෙන් ප්‍රතිචාර දක්වා තිබූ බව එම වාර්තාවේ සඳහන් වේ.

මෙම ප්‍රකාශයන් මඟින් මහේස්ත්‍රාත්වරයාගේ තීරණය සහ වෛද්‍ය මණ්ඩලය පත් කළ ක්‍රියාවලිය සෘජුව විවේචනයට ලක් කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම අනෙක් පුද්ගලයන් සිව්දෙනා විසින් ‘ශානිගේ වධකාගාරය’ යනුවෙන් ප්‍රකාශ කරමින්, මහේස්ත්‍රාත්වරයා අදාළ නියෝග ලබාදීමට පෙර අධිකරණ ක්‍රියාවලියට බලපෑම් කිරීමට උත්සාහ කළ බව ඔහු තර්ක කළේය.

එම ප්‍රකාශවල අන්තර්ගතය පමණක් නොව, ඒවා සිදු කළ අවස්ථාවේ අධිකරණය ඉදිරියේ පැවති නඩු කටයුතු ද සලකා බැලිය යුතු බව ඔහු අවධාරණය කළේය.

‘පොලිසියට අපහාස කළ බවක් මහේස්ත්‍රාත්වරයා කියන්නේ නැහැ’

දිලිත් ජයවීර සහ මහින්ද පතිරණ යන මහත්වරුන්ගේ ප්‍රකාශ උපුටා දැක්වීමෙන් අනතුරුව ජනක බණ්ඩාර මහතා පැවසුවේ මහේස්ත්‍රාත්වරයාගේ යොමු කිරීමේ අන්තර්ගතය සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන් වැරදි අර්ථකථනයක් ඉදිරිපත් කරන බවයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ ශානි අබේසේකර මහතාට අපහාස කළ නිසා අධිකරණයට අපහාසයක් සිදු වූ බව මහේස්ත්‍රාත්වරයා සිය යොමු කිරීමේ ප්‍රකාශ කර නොමැති බව ඔහු අවධාරණය කළේය.

එහි සඳහන් වන්නේ අදාළ ප්‍රකාශ මඟින් අධිකරණයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බාධාවක් හෝ අයුතු බලපෑමක් ඇති කර ඇති බවයි.

එම නිසා මෙය පොලිසිය විවේචනය කිරීම අධිකරණයට අපහාස කිරීමක් බවට ඉදිරිපත් කරන පැමිණිල්ලක් නොවන බව ඔහු පැවසීය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ පොලිසිය අධිකරණයක් නොවන බවට තමන් කිසිදු තර්කයක් නොකරන බවත්, ඒ සම්බන්ධයෙන් විත්තියේ නීතිඥවරුන් මතු කළ කරුණ පිළිබඳ විවාදයක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

මෙය මහේස්ත්‍රාත්වරයා විසින් නියෝග දෙකක් ලබාදීමට නියමිතව තිබියදී, අධිකරණයෙන් බැහැරව ප්‍රසිද්ධියේ සිදු කළ ප්‍රකාශ මඟින් එම නියෝගවලට අයුතු බලපෑමක් ඇති කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලක් බව ඔහු අවධාරණය කළේය.

අලි සබ්‍රි යළිත් විරෝධය පළ කරයි

මෙම අවස්ථාවේදී නැවත නැඟී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ කරුණු දැක්වීමට විරෝධය පළ කළේය.

තම සේවාදායකයා ඇතුළු පිරිස සූදානම්ව අධිකරණයට පැමිණියේ මෙවැනි චෝදනාවකට පිළිතුරු දීමට නොවන බව ඔහු පැවසීය.

මෙම නඩුව ආරම්භ වී ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ පැමිණිල්ලක් මත බවත්, එම පැමිණිල්ලේ අවධානය යොමු වී තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශ වෙත බවත් ඔහු තර්ක කළේය.

එහෙත් දැන් නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් ඉදිරිපත් කරන කරුණු දැක්වීම තුළින් එම පැමිණිල්ලට වෙනස් අර්ථකථනයක් ලබාදීමට උත්සාහ කරන බව ඔහු චෝදනා කළේය.

තම සේවාදායකයා මහේස්ත්‍රාත්වරයාට අපහාස කිරීමේ අදහසින් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව ද ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය.

එමෙන්ම මෙම අවස්ථාවේදී ඉදිරිපත් කරන නව අර්ථකථනයට ප්‍රතිචාර දැක්වීම සඳහා තමන් ඇතුළු නීතිඥවරුන්ට ප්‍රමාණවත් අවස්ථාවක් තිබිය යුතු බව ඔහුගේ කරුණු දැක්වීමේ පදනම විය.

‘අපි සියලු දෙනාම නව නෛතික කලාපයකට පිවිසෙමින් සිටිනවා’ – සභාපති විනිසුරු

මෙම අවස්ථාවේදී නීතිඥවරුන් සහ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල අතර අදාළ නෛතික කරුණු සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇති විය.

එහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා පෙන්වා දුන්නේ, මෙම නඩුව සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයා, නීතිඥවරුන් මෙන්ම අභියාචනාධිකරණය ද මීට පෙර ප්‍රමාණවත් ලෙස ගවේෂණය නොකළ නව නෛතික කලාපයකට පිවිසෙමින් සිටින බවයි.

2024 අංක 8 දරන අධිකරණයට අපහාස කිරීමේ පනතේ විධිවිධාන අර්ථකථනය කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව වැදගත් වන බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම මෙය පූර්වාදර්ශී නෛතික වැදගත්කමක් ඇති කළ හැකි නඩුවක් බව ද ඔහු සඳහන් කළේය.

ඒ අනුව සියලු පාර්ශ්වයන් ඉතා ප්‍රවේශමෙන් සහ කල්පනාකාරීව කටයුතු කළ යුතු බව සභාපති විනිසුරුවරයා අවධාරණය කළේය.

විශේෂයෙන්ම අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය සතු අධිකරණ බලප්‍රදේශයන්හි වෙනස්කම් පවතින බැවින්, අදාළ නෛතික විධිවිධාන අර්ථකථනය කිරීමේදී එම වෙනස්කම් ද සලකා බැලිය යුතු බව ඔහු පැවසීය.

2024 පනතේ විධිවිධාන අර්ථකථනය කිරීම සම්බන්ධයෙන් මෙම නඩුව සුවිශේෂී වැදගත්කමක් ලබාගත හැකි බව විනිසුරුවරයාගේ කරුණු දැක්වීමෙන් පැහැදිලි විය.

ඉන් අනතුරුව විනිසුරු මඩුල්ල නඩුවේ කටයුතු තාවකාලිකව කල් තැබූ අතර, එදිනම පසුව යළි පැමිණිල්ල සලකා බැලීමට ගනු ලැබීය.

අධිකරණයට අපහාස කිරීමේ නඩුවක පාර්ශ්වයන් කවුද?

නඩුව යළි කැඳවූ අවස්ථාවේදී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා නැවතත් Virgina Perera v. M.B.A. Systems (Pvt) Ltd. නඩු තීන්දුව උපුටා දැක්වීය.

එමෙන්ම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් D. N. Taneja v. Bhajan Lal, [1988] 3 SCR 888 නඩු තීන්දුව ද ඔහු අධිකරණයේ අවධානයට යොමු කළේය.

එම නඩු තීන්දුවේදී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කර තිබුණේ අධිකරණයට අපහාස කිරීමේ නඩුවක සැබෑ පාර්ශ්වයන් වන්නේ අධිකරණය සහ අධිකරණයට අපහාස කළ බවට චෝදනා එල්ල වී ඇති තැනැත්තා බවයි.

එම තීන්දුවේ ප්‍රකට ප්‍රකාශය මෙසේය.

“A contempt is a matter between the court and the alleged contemnor.”

එනම්, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් වූ නඩුවක් යනු අධිකරණය සහ අපහාස කළ බවට චෝදනා ලැබූ තැනැත්තා අතර පවතින නඩුවකි.

එම තීන්දුවේ වැඩිදුරටත් පැහැදිලි කර ඇත්තේ අධිකරණයට අපහාස කිරීමක් පිළිබඳ කරුණු අධිකරණයේ අවධානයට යොමු කරන පුද්ගලයකුගේ කාර්යභාරය, එවැනි වරදක් සිදු වී ඇති බවට පෙන්වා දෙන කරුණු අධිකරණය වෙත ඉදිරිපත් කිරීම බවයි.

එම පුද්ගලයාට අධිකරණයේ අවසරය මත ඉදිරි නඩු කටයුතුවලට සහාය දැක්විය හැකි නමුත්, එයින් ඔහු අධිකරණයට අපහාස කිරීමේ නඩුවේ ස්වාධීන පැමිණිලිකාර පාර්ශ්වයක් බවට පත් නොවන බව එහි සඳහන් වේ.

එම මූලධර්මය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මහින්ද සමයවර්ධන මහතා ද Virgina Perera තීන්දුවේදී උපුටා දක්වා තිබිණි.

එමෙන්ම එහිදී Om Prakash Jaiswal v. D. K. Mittal and Another, AIR 2000 SC 1136 නඩු තීන්දුව ද උපුටා දක්වමින්, අධිකරණයට අපහාස කිරීමක් පිළිබඳ තොරතුරු ඉදිරිපත් කරන පුද්ගලයාගේ කාර්යභාරය පැහැදිලි කර තිබිණි.

මෙම කරුණු උපුටා දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පෙන්වා දුන්නේ, මෙම නඩුවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදු කර ඇත්තේ අධිකරණයට අපහාස කිරීමක් පිළිබඳ කරුණු මහේස්ත්‍රාත්වරයාගේ අවධානයට යොමු කිරීම බවයි.

2022 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත් සංශෝධනය

එයින් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනතට, 2022 අංක 12 දරන සංශෝධන පනත මඟින් ඇතුළත් කරන ලද විධිවිධාන සම්බන්ධයෙන් කරුණු දැක්වීය.

එම සංශෝධන මඟින් රඳවා තබා ගැනීමේ නියෝගයක් යටතේ සිටින සැකකරුවකු සම්බන්ධයෙන් මහේස්ත්‍රාත්වරයාට අධිකරණමය බලතල කිහිපයක් පැවරී ඇති බව ඔහු පෙන්වා දුන්නේය.

9A වගන්තිය – රඳවා තැබීමේ නියෝගයේ පිටපත මහේස්ත්‍රාත්වරයාට ලබාදීම

මෙම වගන්තියේ පළමු උපවගන්තිය අනුව, 9 වැනි වගන්තිය යටතේ රඳවා තැබීමේ නියෝගයක් නිකුත් කළ විට අදාළ රැඳවුම් ස්ථානය භාර නිලධාරියා විසින් එම නියෝගයේ සහතික කළ පිටපතක් පැය 48ක් ඇතුළත අදාළ අධිකරණ බලප්‍රදේශයේ මහේස්ත්‍රාත්වරයා වෙත ලබාදිය යුතුය.

එම නියෝගය මහේස්ත්‍රාත්වරයා වෙත ලබාදීමේ අරමුණ වන්නේ 9B වගන්තිය යටතේ ඔහුට රැඳවුම් ස්ථානය නිරීක්ෂණය කිරීමට හැකිවීමයි.

9A(2) උපවගන්තිය අනුව, එවැනි රඳවා තැබීමක් පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවට ද දැනුම් දිය යුතුය.

එමඟින් මානව හිමිකම් කොමිෂන් සභාවේ බලයලත් නිලධාරීන්ට රැඳවුම් ස්ථානය නිරීක්ෂණය කිරීමේ නෛතික හැකියාව තහවුරු වේ.

9B වගන්තිය – මහේස්ත්‍රාත්වරයා රැඳවුම් ස්ථානය නිරීක්ෂණය කිරීම

9B(1) උපවගන්තිය අනුව, රඳවා තැබීමේ නියෝගයක සහතික කළ පිටපතක් ලැබී ඇති මහේස්ත්‍රාත්වරයකු විසින් අදාළ සැකකරු රඳවා සිටින කාලසීමාව තුළ අවම වශයෙන් මාසයකට වතාවක් රැඳවුම් ස්ථානය නිරීක්ෂණය කළ යුතුය.

එම නිරීක්ෂණයේ අරමුණ වන්නේ සැකකරු වධහිංසාවෙන් සහ වෙනත් කෲර, අමානුෂික හෝ අවමන් සහගත සැලකීම්වලින් ආරක්ෂා කර තිබේද යන්න තහවුරු කිරීමයි.

9B(2) උපවගන්තිය අනුව, මහේස්ත්‍රාත්වරයා අදාළ රැඳවුම් ස්ථානයට ගොස් සැකකරු පෞද්ගලිකව හමුවිය යුතුය.

එහිදී සැකකරුගේ සෞඛ්‍ය තත්ත්වය, සුබසාධනය සහ රඳවා තබා ඇති පරිසරය පරීක්ෂා කළ යුතු අතර, සැකකරු සිදු කරන පැමිණිලි සහ තමන්ගේ නිරීක්ෂණ සටහන් කරගත යුතුය.

9B(3) උපවගන්තිය – වධහිංසා පිළිබඳ සැකයක් ඇති අවස්ථාවක බලතල

සැකකරු වධහිංසාවට ලක් වී ඇති බවට මහේස්ත්‍රාත්වරයාට සැකයක් ඇති වුවහොත්, ඔහුට සැකකරු අධිකරණ වෛද්‍ය නිලධාරියකු වෙත යොමු කර වෛද්‍ය පරීක්ෂණයක් සිදු කිරීමට සහ වාර්තාවක් ලබාගැනීමට නියෝග කළ හැකිය.

එමෙන්ම සැකකරු රඳවා තබන ස්ථානය වෙනස් කිරීමට ද මහේස්ත්‍රාත්වරයාට නියෝග කළ හැකිය.

9B(4) උපවගන්තිය – ප්‍රතිකාර ලබාදීම

වෛද්‍ය පරීක්ෂණයෙන් සැකකරු වධහිංසාවට ලක් වී ඇති බව අනාවරණය වුවහොත්, ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට මහේස්ත්‍රාත්වරයා සුදුසු නියෝගයක් ලබාදිය යුතුය.

9B(5) උපවගන්තිය – වධහිංසා චෝදනාව පිළිබඳ අපරාධ විමර්ශනය

වධහිංසා චෝදනාව සම්බන්ධයෙන් අපරාධ විමර්ශනයක් ආරම්භ කරන ලෙස පොලිස්පතිවරයාට නියෝග කිරීමේ වගකීම ද මහේස්ත්‍රාත්වරයාට පැවරී තිබේ.

එම විමර්ශනයේ අරමුණ වන්නේ අවශ්‍ය අවස්ථාවක වධහිංසාව සිදු කළ බවට චෝදනා ලැබූ පුද්ගලයාට එරෙහිව නීතිපතිවරයාට අපරාධ නඩු පැවරීමට අවශ්‍ය කරුණු ලබාගැනීමයි.

‘මහේස්ත්‍රාත්වරයා විධායකයේ රබර් මුද්‍රාවක් නොවෙයි’

මෙම නෛතික විධිවිධාන උපුටා දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැවසුවේ මහේස්ත්‍රාත්වරයාට පැවරී ඇත්තේ හුදෙක් විධායකයේ කාර්යයක් නොවන බවයි.

මහේස්ත්‍රාත්වරයා රැඳවුම් ස්ථානය නිරීක්ෂණය කරන විට සැකකරු පෞද්ගලිකව හමුවීම, ඔහුගේ සුබසාධනය පරීක්ෂා කිරීම, පැමිණිලි සටහන් කරගැනීම, අවශ්‍ය අවස්ථාවලදී වෛද්‍ය පරීක්ෂණ සඳහා නියෝග කිරීම සහ රැඳවුම් ස්ථානය වෙනස් කිරීමට නියෝග කිරීම යන බලතල ක්‍රියාත්මක කරන බව ඔහු පෙන්වා දුන්නේය.

එමෙන්ම වධහිංසා චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරීමට නියෝග කිරීමේ බලය ද මහේස්ත්‍රාත්වරයාට පවතින බව ඔහු පැවසීය.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා හුදෙක් විධායකයේ තීරණ අනුමත කරන ‘රබර් මුද්‍රාවක්’ නොවන බව ඔහු අවධාරණය කළේය.

මෙවැනි බලතල ක්‍රියාත්මක කරන මහේස්ත්‍රාත්වරයකුගේ කාර්යභාරය හුදෙක් විධායක කාර්යයක් ලෙස හඳුන්වා දීම නිවැරදි නොවන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා තර්ක කළේය.

10(3) වගන්තිය යටතේ වෙනත් සාධක සලකා බැලිය හැකිද?

මෙහිදී නැවත අධිකරණයට අපහාස කිරීමේ පනතේ 10(3) උපවගන්තිය සම්බන්ධයෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා, එම වගන්තියේ සඳහන් වචන මඟින් අභියාචනාධිකරණය සතු සාක්ෂි සලකා බැලීමේ හැකියාව අනිවාර්යයෙන්ම යොමු කිරීම, මෝසම හෝ දිවුරුම් ප්‍රකාශය යන ලේඛනවලට පමණක් සීමා නොවන බව තර්ක කළේය.

එසේ අධිකරණයට වෙනත් කරුණු සලකා බැලීමට නොහැකි බවට අර්ථකථනය කළහොත්, නීතිඥවරුන්ට අධිකරණය හමුවේ කරුණු දැක්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් ද ප්‍රශ්නයක් මතු වන බව ඔහු පැවසීය.

එම අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ මෙම වගන්තියේ අර්ථකථනය සම්බන්ධයෙන් තමන් ද මීට පෙර ප්‍රමාණවත් ලෙස ගවේෂණය නොකළ නෛතික කලාපයක සිටින බවයි.

පනතේ 10(3) උපවගන්තියේ වචන අනුව, අභියාචනාධිකරණය අදාළ යොමු කිරීම, මෝසම හෝ දිවුරුම් ප්‍රකාශය පරීක්ෂා කිරීමෙන් පසු බැලූ බැල්මට නඩුවක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් සෑහීමට පත් විය යුතු බව විනිසුරුවරයා පෙන්වා දුන්නේය.

එම වගන්තියේ පාඨය අනුව අධිකරණය සලකා බැලිය යුතු ලේඛනවල විෂය පථය පිළිබඳ ප්‍රශ්නයක් මතු වන බව ද ඔහු සඳහන් කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැවසුවේ වීඩියෝ දර්ශන සහ වෙනත් මූලාශ්‍ර සලකා බැලීමෙන් අභියාචනාධිකරණය වළක්වන පැහැදිලි නෛතික පදනමක් තමන් හඳුනා නොගන්නා බවයි.

කෙසේ වෙතත්, එය තමන් ඉදිරිපත් කරන නෛතික අර්ථකථනය බව ඔහු පැහැදිලි කළේය.

‘ශානිගේ වධකාගාරය’ යන ප්‍රකාශය මහේස්ත්‍රාත්වරයාටත් අදාළ වනවාද?

එයින් අනතුරුව ‘ශානිගේ වධකාගාරය’ යන ප්‍රකාශය පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා කරුණු දැක්වීය.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටින සැකකරුවන්ගේ සුබසාධනය පරීක්ෂා කිරීම සඳහා අදාළ මහේස්ත්‍රාත්වරයාට රැඳවුම් ස්ථානය නිරීක්ෂණය කිරීමේ නෛතික වගකීමක් තිබෙන බව ඔහු සඳහන් කළේය.

එවැනි ස්ථානයක් ‘ශානිගේ වධකාගාරය’ ලෙස හඳුන්වා දීමේදී, එම රැඳවුම් ස්ථානය නිරීක්ෂණය කරමින් සැකකරුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමේ නෛතික වගකීමක් දරන මහේස්ත්‍රාත්වරයාගේ කාර්යභාරය ද ප්‍රශ්න කෙරෙන බව තමන්ට හැඟී යන බව ඔහු පැවසීය.

එම නිසා අදාළ ප්‍රකාශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පමණක් සීමා වූ විවේචනයක් ලෙස නොසැලකිය යුතු බව ඔහු තර්ක කළේය.

මෛත්‍රී ගුණරත්නගේ ප්‍රතිචාරය

මෙම අවස්ථාවේදී නැඟී සිටි නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා එම තර්කයට විරෝධය පළ කළේය.

මහේස්ත්‍රාත්වරයා රැඳවුම් ස්ථානයක් නිරීක්ෂණය කරන අවස්ථාවේදී වධහිංසා සිදු කරමින් සිටින බවක් සාධාරණ ලෙස අපේක්ෂා කළ නොහැකි බව ඔහු පැවසීය.

එමෙන්ම මහේස්ත්‍රාත්වරයකු රැඳවුම් ස්ථානයක් නිරීක්ෂණය කළ පමණින් එම ස්ථානයේ කිසිවිටෙකත් වධහිංසා සිදු නොවන බව නිගමනය කළ නොහැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

විශේෂයෙන්ම පුද්ගලයකු පොලිස් භාරයේ සිටින අවස්ථාවකදී, එම පුද්ගලයා බියට පත් විය හැකි බවත්, තමන් මුහුණ දෙන තත්ත්වයන් පිළිබඳව සම්පූර්ණ කරුණු හෙළි කිරීමට නොහැකි විය හැකි බවත් ඔහු පැවසීය.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණ කාර්යභාරය සහ අදාළ රැඳවුම් ස්ථානයේ වධහිංසා සිදු වීමේ හැකියාව එකිනෙකට සමාන කර සැලකිය නොහැකි බව ඔහුගේ තර්කය විය.

වෛද්‍ය වාර්තා සහ ශාරීරික හා මානසික වධහිංසා පිළිබඳ විවාදය

ඊට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැවසුවේ මෙම සිද්ධියට අදාළව කැඳවා ඇති වෛද්‍ය වාර්තාවල ශාරීරික වධහිංසාවක් සිදු වූ බවට කරුණු සඳහන් නොවන බවයි.

එහි සඳහන් වන්නේ සැකකරුගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් සිදු කළ ප්‍රකාශයක් බව ඔහු පෙන්වා දුන්නේය.

එහිදී විරුද්ධ පාර්ශ්වයේ නීතිඥවරුන් ඊට විරෝධය පළ කරමින් සඳහන් කළේ වධහිංසාව යනු වධහිංසාවම වන බවයි.

වධහිංසාව ශාරීරික හෝ මානසික වශයෙන් වෙන්කර එහි බරපතළකම අඩු කළ නොහැකි බව ඔවුන්ගේ කරුණු දැක්වීමේ පදනම විය.

ඉන් අනතුරුව යළි කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසුවේ සුරේෂ් සලේ වැනි පුද්ගලයකුට රඳවා තැබීම නුහුරු අත්දැකීමක් විය හැකි බැවින්, එවැනි තත්ත්වයක් තුළ මානසික පීඩාවක් ඇති විය හැකි බවයි.

එමෙන්ම රඳවා සිටින පුද්ගලයකුගේ ශරීරය පරීක්ෂා කිරීම, උපන් ලප, පච්ච සහ වෙනත් ශරීර සලකුණු හඳුනාගැනීම සාමාන්‍ය ක්‍රියාපටිපාටියක කොටසක් විය හැකි බව ඔහු පැවසීය.

‘අනෙක් රැඳවියන් ඉදිරියේ නිරුවත් කළා නම් එය ආත්මගෞරවයට හානියක් නොවේද?’ – සභාපති විනිසුරු

මෙම අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගෙන් ප්‍රශ්නයක් විමසා සිටියේය.

සැකකරුවකු අනෙකුත් රැඳවියන් ඉදිරියේ නිරුවත් කර පරීක්ෂාවට ලක් කර තිබුණේද යන්න ඔහු විමසීය.

එවැනි ආකාරයෙන් පුද්ගලයකු නිරුවත් කිරීමක් සිදු වී තිබුණේ නම්, එය එම පුද්ගලයාගේ ආත්මගෞරවයට හානියක් නොවන්නේද යන්න ද සභාපති විනිසුරුවරයා විමසා සිටියේය.

එහිදී ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ද කරුණු දැක්වීය.

සුරේෂ් සලේ අත්අඩංගුවට ගැනීමට බොහෝ කලකට පෙර සිටම, විශේෂයෙන් දෙමළ ජාතික රැඳවියන් පවා රඳවා තබාගැනීමේදී ශාරීරික සහ මානසික වධහිංසා ඇතුළු අමානුෂික සැලකීම්වලට ලක්ව ඇති බවට පැමිණිලි කර තිබෙන බව ඔහු සඳහන් කළේය.

එවැනි සිද්ධීන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමින් ද වාර්තා පළ වී ඇති බව ඔහු පැවසීය.

රඳවා සිටින පුද්ගලයකුගේ ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය අවම පහසුකම් ලබා දී තිබුණ ද, ප්‍රමාණවත් ආලෝකය, වාතාශ්‍රය සහ අනෙකුත් මානුෂීය පහසුකම් සීමා වී තිබිය හැකි බව ද ඔහු පෙන්වා දුන්නේය.

එවැනි තත්ත්වයන් පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීම හෝ විවේචනය කිරීම අධිකරණයට අපහාස කිරීමක් ලෙස සැලකිය හැකිද යන්න ජනාධිපති නීතිඥවරයා ප්‍රශ්න කළේය.

මෙම අවස්ථාවේදී නැඟී සිටි ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා ද කරුණු දක්වමින්, මානව ආත්මගෞරවය යනු විශ්වීය වශයෙන් පිළිගත් මූලධර්මයක් බව අවධාරණය කළේය.

‘මහේස්ත්‍රාත්වරයාත් එම ක්‍රියාවලියේ පාර්ශ්වකරුවෙක්’

මෙම සංවාදයෙන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා නැවත කරුණු දැක්වීය.

රඳවා තැබීමේ ක්‍රියාවලිය තුළ මහේස්ත්‍රාත්වරයාට පැවරී ඇති අධීක්ෂණ කාර්යභාරය සැලකිල්ලට ගැනීමේදී, අදාළ රැඳවුම් ස්ථානයේ තත්ත්වය සම්බන්ධයෙන් සිදු කරන ප්‍රකාශ මහේස්ත්‍රාත්වරයාගේ කාර්යභාරයට ද අදාළ වන බව ඔහු තර්ක කළේය.

එමෙන්ම මහේස්ත්‍රාත්වරයා සැකකරුවකු රඳවා තබාගැනීමේ කාලසීමාව තුළ නීතියෙන් පැවරී ඇති අධීක්ෂණ වගකීමක් දරන බව ඔහු පෙන්වා දුන්නේය.

එබැවින් රැඳවුම් ස්ථානයක් වධකාගාරයක් ලෙස හඳුන්වා දීමේදී එම ස්ථානය නිරීක්ෂණය කිරීමට නීතිමය වගකීමක් ඇති මහේස්ත්‍රාත්වරයාගේ කාර්යභාරය ද ප්‍රශ්න කෙරෙන බව තමන්ගේ මතය බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, විරුද්ධ පාර්ශ්වයේ නීතිඥවරුන් එම අර්ථකථනයට එකඟ නොවන බව සඳහන් කළහ.

ඒ අනුව මෙම කරුණ සම්බන්ධයෙන් අධිකරණය හමුවේ පැවතියේ මහේස්ත්‍රාත්වරයාගේ නීතිමය අධීක්ෂණ වගකීම සහ පොලිස් රැඳවුම් ස්ථානයක සිදු විය හැකි වධහිංසා සම්බන්ධයෙන් ඔහුට ආරෝපණය කළ හැකි වගකීම පිළිබඳ එකිනෙකට වෙනස් නෛතික ස්ථාවර දෙකකි.

Borrie and Lowe – විවේචනය සහ අපහාසය අතර වෙනස

ඉන් අනතුරුව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා Borrie and Lowe: The Law of Contempt නමැති ප්‍රකට නීති ග්‍රන්ථය උපුටා දැක්වීය.

එම කෘතියේ අටවැනි පරිච්ඡේදයේ සඳහන් අධිකරණය පිළිබඳ විවේචනය සහ අපහාසාත්මක ප්‍රහාර අතර වෙනස සම්බන්ධයෙන් ඔහු කරුණු ඉදිරිපත් කළේය.

විවේචනය කිරීම යනු අධිකරණයට අපහාස කිරීමක් නොවන නමුත්, විවේචනය කිරීමේ අයිතිය මඟින් අධිකරණයට එරෙහිව ද්වේෂ සහගතව හෝ අයුතු ලෙස ක්‍රියා කිරීමට අසීමිත නිදහසක් නොලැබෙන බව ඔහු පෙන්වා දුන්නේය.

මෙහිදී ඔහු 1936 දී ඇට්කින් සාමිවරයා විසින් ලබාදුන් Ambard v. Attorney-General for Trinidad and Tobago [1936] AC 322 නඩු තීන්දුව ද උපුටා දැක්වීය.

එම තීන්දුවේ සඳහන් ප්‍රකට ප්‍රකාශයක් වන්නේ,

“The path of criticism is a public way.”

යන්නයි.

එනම්, විවේචනය කිරීමේ මාර්ගය මහජනතාවට විවෘත මාර්ගයක් වන බවයි.

එම තීන්දුවේදී ඇට්කින් සාමිවරයා පෙන්වා දී තිබුණේ අධිකරණය සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පිළිබඳ සද්භාවයෙන් විවේචන ඉදිරිපත් කිරීමට මහජනතාවට අයිතියක් පවතින බවයි.

එහිදී වැරදි අදහස් දරන පුද්ගලයන්ට පවා සාධාරණ විවේචනයක් ඉදිරිපත් කිරීමට අවස්ථාව තිබිය යුතු බව ඔහු සඳහන් කර තිබිණි.

කෙසේ වෙතත්, එවැනි විවේචන සිදු කරන පුද්ගලයන් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ නිරත පුද්ගලයන්ට අසත් චේතනා ආරෝපණය කිරීමෙන් වැළකිය යුතු බවත්, ද්වේෂ සහගතව ක්‍රියා නොකළ යුතු බවත්, යුක්තිය පසිඳලීමට බාධා කිරීමට උත්සාහ නොකළ යුතු බවත් එම තීන්දුවෙන් පෙන්වා දී තිබිණි.

ඇට්කින් සාමිවරයාගේ තවත් ප්‍රකට ප්‍රකාශයක් වූයේ,

“Justice is not a cloistered virtue.”

යන්නයි.

යුක්තිය යනු මහජන විවේචනයෙන් වෙන්කර ආරක්ෂා කළ යුතු ගුණධර්මයක් නොවන බව එයින් අදහස් වේ.

එහෙත් අධිකරණය විවේචනය කිරීමට ඇති අයිතිය අධිකරණයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට අයුතු බලපෑම් කිරීමට අවසරයක් නොවන බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා මෙම මූලධර්මය ඇසුරෙන් තර්ක කළේය.

ඩෙනින් සාමිවරයාගේ Blackburn තීන්දුව

මෙහිදී ඩෙනින් සාමිවරයා විසින් ලබාදුන් R. v. Commissioner of Police of the Metropolis, Ex parte Blackburn (No. 2) [1968] 2 QB 150 නඩු තීන්දුව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා උපුටා දැක්වීය.

එම නඩුවේදී ඩෙනින් සාමිවරයා අවධාරණය කර තිබුණේ අධිකරණයට අපහාස කිරීමේ බලය විනිසුරුවරුන්ගේ පෞද්ගලික ගෞරවය ආරක්ෂා කිරීම සඳහා හෝ අධිකරණය විවේචනය කරන පුද්ගලයන් නිහඬ කිරීම සඳහා භාවිත නොකළ යුතු බවයි.

එමෙන්ම පාර්ලිමේන්තුව තුළ හෝ ඉන් පිටත, පුවත්පත්වල හෝ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ මහජන වැදගත්කමක් ඇති කරුණු සම්බන්ධයෙන් සාධාරණ විවේචන ඉදිරිපත් කිරීමට පුද්ගලයන්ට අයිතියක් පවතින බව ද ඔහු පෙන්වා දී තිබිණි.

එම විවේචන ඇතැම් විට දැඩි හා විවෘත විය හැකි බව ද ඩෙනින් සාමිවරයා පිළිගෙන තිබිණි.

කෙසේ වෙතත්, එවැනි විවේචන ඉදිරිපත් කරන පුද්ගලයන් මතක තබාගත යුතු කරුණක් ද ඔහු පෙන්වා දී තිබිණි.

එය නම්, තමන් දරන තනතුරේ ස්වභාවය අනුව විනිසුරුවරුන්ට මහජන විවේචනවලට ප්‍රසිද්ධියේ පිළිතුරු දීමට නොහැකි බවයි.

එම තීන්දුවේ අදාළ ප්‍රකාශය මෙසේය.

“We cannot enter into public controversy.”

එනම්, විනිසුරුවරුන්ට ප්‍රසිද්ධ විවාදවලට හෝ දේශපාලන විවාදවලට පිවිසීමට නොහැකි බවයි.

අධිකරණය පිළිබඳ විවේචනය කරන පුද්ගලයන් එම තත්ත්වය ද සැලකිල්ලට ගත යුතු බව ඩෙනින් සාමිවරයා පෙන්වා දී තිබිණි.

එමෙන්ම අධිකරණ තීන්දු වැරදි බවට ප්‍රකාශ කිරීමට මහජනතාවට අයිතියක් තිබුණ ද, එම අයිතිය අයුතු ලෙස භාවිත නොකළ යුතු බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අවධාරණය කළේය.

විවේචනය කිරීමේ අයිතිය යනු අපහාසාත්මකව හෝ ද්වේෂ සහගතව ක්‍රියා කිරීමට ලබාදුන් අවසරයක් නොවන බව ඔහු පැවසීය.

විවේචනයේදී සත්‍යවාදීව කටයුතු කිරීමේ වැදගත්කම ද ඔහු මෙහිදී අවධාරණය කළේය.

මෛත්‍රී ගුණරත්න නීතිපති දෙපාර්තමේන්තුවට ස්තුති කරයි

මෙම නෛතික කරුණු දැක්වීමෙන් අනතුරුව නැඟී සිටි නීතිඥ මෛත්‍රී ගුණරත්න මහතා, අධිකරණය සහ විධායකය විවේචනය කිරීමට ඇති අයිතිය පිළිබඳව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් ස්තුතිය පළ කළේය.

විවේචනය කිරීමේ අයිතිය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ද කරුණු ඉදිරිපත් කිරීම වැදගත් බව ඔහුගේ ප්‍රතිචාරයෙන් පැහැදිලි විය.

එම අවස්ථාවේදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා සඳහන් කළේ නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණයට අපහාස කිරීමේ නඩුවක සාමාන්‍ය පැමිණිලිකාර පාර්ශ්වයක් නොවන බවයි.

එම දෙපාර්තමේන්තුව මෙම නඩු කටයුත්තේදී අධිකරණයට සහාය දැක්වීම සඳහා පැමිණ සිටින බව ද ඔහු පෙන්වා දුන්නේය.

ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව ලබාදෙන සහාය සම්බන්ධයෙන් ස්තුතිවන්ත විය හැකි බව ද සභාපති විනිසුරුවරයා පැවසීය.

ඔහු පැවසුවේ, අධිකරණයේ තීන්දු සම්බන්ධයෙන් මහජනතාව අදහස් දැක්වීමේදී සහ මාධ්‍ය විසින් විවේචන සිදු කිරීමේදී යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ ස්වාධීනත්වය සහ ගෞරවය ද සැලකිල්ලට ගත යුතු බවයි.

සියලු දෙනාම විනිසුරුවරුන් ලෙස හෝ නීතිඥවරුන් ලෙස හැසිරෙමින්, අධිකරණය ලබාදෙන තීන්දු සම්බන්ධයෙන් තමන්ගේම විනිශ්චයන් ප්‍රකාශ කිරීමට පටන් ගතහොත් යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය පවත්වාගෙන යන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

‘යුක්තිය සාමකාමී පරිසරයක පසිඳලීමට හැකි විය යුතුයි’

යුක්තිය පසිඳලීම සාමකාමී පරිසරයක සහ බාහිර අයුතු බලපෑම්වලින් තොර පසුබිමක සිදු විය යුතු බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා අවධාරණය කළේය.

එම ක්‍රියාවලියේ පවිත්‍රතාව සහ ස්වාධීනත්වය ආරක්ෂා විය යුතු බව ඔහු පැවසීය.

එමෙන්ම මෙවැනි ප්‍රකාශවලින් අධිකරණයට සහ විනිසුරුවරුන්ට පමණක් නොව, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට සහාය දක්වන අනෙකුත් නිලධාරීන්ට ද බලපෑම් ඇති විය හැකි බව ඔහු පෙන්වා දුන්නේය.

තමන් නීතිමය තීරණයක් ගැනීමේදී හෝ අධිකරණය ඉදිරියේ කරුණු ඉදිරිපත් කිරීමේදී සියලු පාර්ශ්වයන් සතුටු කළ නොහැකි බව ඔහු පැවසීය.

යම් නඩු තීන්දුවකදී එක් පාර්ශ්වයක් සතුටු වීමත්, අනෙක් පාර්ශ්වයක් අසතුටට පත් වීමත් සාමාන්‍ය තත්ත්වයක් බව ඔහු පෙන්වා දුන්නේය.

එහෙත් එම තත්ත්වය අධිකරණයේ ස්වාධීනත්වයට සහ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට බලපෑම් එල්ල කිරීමට හේතුවක් කර නොගත යුතු බව ඔහු අවධාරණය කළේය.

‘අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයක් නොවන බවට විවාදයක් නැහැ’

සිය කරුණු දැක්වීම අවසන් කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ පොලිසිය අධිකරණයක් නොවන බව සම්බන්ධයෙන් තමන්ට කිසිදු සැකයක් නොමැති බවයි.

එමෙන්ම පොලිසිය අධිකරණයක් ලෙස සැලකිය යුතු බවට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විවේචනය කිරීම අධිකරණයට අපහාස කිරීමක් බවට තමන් තර්ක නොකරන බව ද ඔහු අවධාරණය කළේය.

මෙහිදී අභියාචනාධිකරණය සලකා බලමින් සිටින්නේ අදාළ ප්‍රකාශ මඟින් බැලූ බැල්මට අධිකරණයට අපහාස කිරීමේ වරදක් සිදු වී ඇති බවට කරුණු පවතින්නේද යන්න බව ඔහු පෙන්වා දුන්නේය.

අදාළ පුද්ගලයන් හයදෙනා විසින් සිදු කළ බව කියන ප්‍රකාශ, ඒවා සිදු කළ කාලසීමාව සහ මහේස්ත්‍රාත්වරයා ලබාදීමට නියමිතව තිබූ නියෝග සැලකිල්ලට ගැනීමේදී, අධිකරණයේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියට අයුතු බලපෑම් සිදු කර ඇති බවට බැලූ බැල්මට කරුණු පවතින බව ඔහු තර්ක කළේය.

ඒ අනුව මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් ඉදිරි නඩු කටයුතු පවත්වාගෙන යෑමට ප්‍රමාණවත් කරුණු පවතින බවට අභියාචනාධිකරණය සෑහීමට පත් විය යුතු බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතාගේ අවසන් ස්ථාවරය විය.

ලිඛිත දේශන දෙසැම්බර් 15 – නියෝගය ජනවාරි 12

අදාළ පාර්ශ්වයන්ගේ වාචික කරුණු දැක්වීම් අවසන් කිරීමෙන් අනතුරුව අභියාචනාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල විසින් නඩුව සම්බන්ධයෙන් ලිඛිත දේශන ඉදිරිපත් කිරීමට කාලය ලබා දෙන ලදී.

ඒ අනුව 2026 දෙසැම්බර් 15 වැනිදා වන විට අදාළ ලිඛිත දේශන ගොනු කරන ලෙස විනිසුරු මඩුල්ල පාර්ශ්වයන්ට නියම කළේය.

එමෙන්ම කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් යොමු කර ඇති අධිකරණයට අපහාස කිරීමේ පැමිණිල්ල සම්බන්ධයෙන් බැලූ බැල්මට නඩුවක් පවතින්නේද යන නියෝගය 2027 ජනවාරි 12 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට ද නියම කෙරිණි.

එහිදී ලබාදීමට නියමිතව ඇත්තේ අදාළ පුද්ගලයන් හයදෙනා අධිකරණයට අපහාස කිරීමේ වරදට වරදකරුවන්ද යන්න පිළිබඳ අවසාන තීන්දුවක් නොවේ.

පනතේ 10(3) උපවගන්තිය අනුව, අදාළ පැමිණිල්ල මත තවදුරටත් නඩු කටයුතු ඉදිරියට ගෙන යෑම සඳහා බැලූ බැල්මට නඩුවක් පවතින බවට අභියාචනාධිකරණය සෑහීමට පත්වන්නේද යන්න පිළිබඳ නියෝගය එදින ප්‍රකාශ කිරීමට නියමිතය.

එවැනි නඩුවක් පවතින බවට අධිකරණය සෑහීමට පත්වුවහොත්, අදාළ චෝදනා සම්බන්ධයෙන් පනතේ විධිවිධාන අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට හැකියාව පවතී.

මෙම නඩුවේදී 2024 අංක 8 දරන අධිකරණයට අපහාස කිරීමේ පනතේ විධිවිධාන අර්ථකථනය කිරීම සම්බන්ධයෙන් ඉදිරිපත් වූ නෛතික තර්ක හේතුවෙන්, අදාළ නියෝගය අධිකරණයට අපහාස කිරීමේ නීතිය, අධිකරණයේ ස්වාධීනත්වය සහ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අතර පවතින සම්බන්ධය සම්බන්ධයෙන් ද වැදගත් වනු ඇත.

Author

Leave a Reply

Related Posts