කැලෑ රකින්නට කියලා ඔන්ලි ෆෑන්ස් එකට නිල් චිත්‍රපටි හදන කලාකාරිය!

කැලෑ කපන කම්කරුවන් පිරිසක් කැලෑවක් ඇතුළට යනවා. හැබැයි ඔවුන් මේ යන්නේ ගස් කපන්න නෙවෙයි. ඔවුන්ගේ අත්වල තියෙන්නෙත් ගස් කපන යන්ත්‍ර නෙවෙයි.

ඔවුන් පරිස්සමෙන් අරගෙන යන්නේ සත්තුන්ගේ හැඩයට හදපු ටෙඩි බෙයාර්ලා වාගේ ඇඳුම් ඇඳගත්ත මිනිස්සු පිරිසක්. ඒ ඇඳුම්වල දිග වලිග මඩේ ගෑවෙන්නේ නැති වෙන්නත් මේ කම්කරුවන් සැලකිලිමත් වෙනවා.

ඊට පස්සේ මේ පිරිස කැලෑව මැද ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝවක් රූගත කරනවා. හරියටම කිව්වොත් නිල් චිත්‍රපටි.

මේක අමුතු කතාවක් වුණත් ඇත්තටම සිද්ධ වුණු දෙයක්. ඔස්ට්‍රේලියාවේ ටැස්මේනියා ප්‍රාන්තයේ කැලෑවක් ඇතුළේ තමයි මේ රූගත කිරීම් කරලා තියෙන්නේ. නිල් චිත්‍රපටි සහ කැළෑ කම්කරුවන් පිරිසක් එක්ක ඔවුන් උත්සාහ කරන්නේ ටස්මේනියානු වනාන්තර ආරක්ෂා කරන්න බව කියනවා.

මේ අමුතු වැඩේ පිටුපස ඉන්නේ කිර්ෂා කේචෙලේ (Kirsha Kaechele) කියන ඇමෙරිකානු සම්භවයක් තියෙන කලාකාරිය.

ඇය කියන විදියට මේ වැඩේ අරමුණ කාමුක වීඩියෝ හදලා සල්ලි හම්බ කිරීම නෙවෙයි. ඒ සල්ලිවලින් අවුරුදු සිය ගණනක්, ඇතැම් විට දහස් ගණනක් පැරණි වනාන්තර කපා දැමීම වළක්වන එක. ඒ වෙනුවෙන් මේ ලිංගිකමය චිත්‍රපටි හදනවාලු.

මේ ව්‍යාපෘතියට දාලා තියෙන නම OnlyFerns!

මේ නම ඇතුළේ තියෙන්නෙත් චූටි උපහාසාත්මක හැඩයක්. නිල් චිත්‍රපටිවලට ජනප්‍රිය සංස්කෘතියේ තියෙන එක එක නම් වෙනස් කරලා දාන එක ගැන ඔබ කොහොමත් අහලා ඇති. ඔන්ලි ෆෑන්ස් කියන්නේ ලෝකයේ ප්‍රසිද්ධම වෙබ් අඩවියක්. අන්තර්ජාල ප්ලැට්ෆෝම් එකක්. ලංකාවේ සමහර අයට මෑතකදී මියා සී කියන ඔන්ලි ෆෑන්ස් තාරකාව ආපු නිසා මේ ප්ලැට්ෆෝම් එක ගැන අහන්න ලැබෙන්නත් ඇති. සමහර අය කොහොමත්  මේක දන්නවා ඇති.

ඒකේ යම් කෙනෙක්ට තමන්ගෙ ගිණුමක් හදලා සල්ලිවලට තමන් කැමති දේවල් පරිශීලකයන්ට විකුණන්න පුලුවන්. හැබැයි, ඔන්ලිෆෑන්ස් වෙබ් අඩවියේ වැඩිපුරම විකුණන්නේ වැඩිහිටියන්ට පමණක් වුණ ලිංගික ක්‍රියා.

සාමාන්‍යයෙන් ෆර්න්ස් කියන්නේ මීවන ශාකවලටනේ. කැලෑවල තියෙන ශාක වර්ගයකටනේ. ඒත්, ඔන්ලිෆෑන්ස් එකට දාපු වනාන්තරවලට සම්බන්ධ ලිංගික වීඩියෝ තියෙන නිසයි ඔන්ලිෆර්න්ස් කියලා මේ ව්‍යාපෘතියට නම දාලා තියෙන්නේ.

මේ වැඩේට මුල් වුණ කිර්ෂා කේචෙලේ කියන්නේ සාමාන්‍ය විදියේ චිත්‍ර අඳින, ප්‍රදර්ශන පවත්වන කලාකාරියක් විතරක් නෙවෙයි.

ඇය කලාව පාවිච්චි කරන්නේ සමාජයේ තියෙන මතභේදාත්මක ප්‍රශ්න ගැන මිනිස්සු කතා කරන්න පොලඹවන්න.

ඇගේ සැමියා තමයි ඩේවිඩ් වොල්ෂ් (David Walsh). ඔහු ටැස්මේනියාවේ හෝබාර්ට් නගරයේ පිහිටා තියෙන පැරණි කලා සහ නව කලා පිළිබද කෞතුකාගාරයේ නිර්මාතෘවරයා.

මේක සාම්ප්‍රදායික කලා කෞතුකාගාරයකට වඩා වෙනස්, සමාජයේ තියෙන ආගමික, ලිංගික, දේශපාලනික සහ සංස්කෘතික අදහස් අභියෝගයට ලක් කරන කලා නිර්මාණ ප්‍රදර්ශනය කරන ස්ථානයක්.

කිර්ෂා මීට කලින් කරපු වැඩක් තමයි Ladies Lounge කියන කලා නිර්මාණය.

ඒක කාන්තාවන්ට විතරක් ඇතුළු වෙන්න පුළුවන් සුඛෝපභෝගී විවේකාගාරයක්. පිරිමින්ට ඇතුළු වෙන්න අවසර නැහැ.

ඇය එහෙම කළේ ඉතිහාසය පුරා කාන්තාවන්ට විවිධ ස්ථානවලට ඇතුළු වීම තහනම් කිරීමත්, පිරිමින්ට ලැබුණු වරප්‍රසාද කාන්තාවන්ට නොලැබීමත් ප්‍රශ්න කරන්නලු.

හැබැයි පිරිමියෙක් මේකට එරෙහිව තමන්ට වෙනස්කොට සැලකීමක් සිදු වුණා කියලා නීතිමය පැමිණිල්ලක් කළා. 2024 අප්‍රේල් මාසයේදී ඇයට අවාසිදායක තීන්දුවක් ලැබුණත්, සැප්තැම්බර් මාසයේදී ටැස්මේනියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒ තීන්දුව අවලංගු කළා.

මම ඒ සිද්ධිය කිව්වේ, සමාජයක පිළිගන්න නීතිවලින්, සම්ප්‍රදායෙන් බැහැරවෙලා ටිකක් ආන්දෝලනාත්මක වැඩක් කරන එක කිර්ෂාට අලුත් දෙයක් නෙවෙයි. ඒ වගේම පිරිමි, ගැහැණු සම්බන්ධතා ගැන ටිකක් තදින් ප්‍රශ්න කරන එකත් එයාගේ වැඩක්.

ඒත් මෙදා පාර ඇය කරන වැඩේ ඇත්තටම ගැහැණු අයගේ පැත්තෙන් ගත්තොත් හරි දෙයක්ද? මේ ගැන ටිකක් ආන්දෝලනාත්මක විදියට හිතන්න වෙනවා.

කැළෑව රකින්න කියලා ලිංගික ක්‍රියා විකුණන එක හරි දෙයක්ද? ලිංගික චිත්‍රපටි හදලා කැලෑව රකින්න පුලුවන්ද? ලිංගිකත්වයයි, කලාවයි, පරිසර සංරක්ෂණයයි එකට ගලපන්න පුලුවන්ද?

මේ කැලෑවල තියෙන විශේෂත්වය මොකක්ද?

ටැස්මේනියාව කියන්නේ ඔස්ට්‍රේලියාවට දකුණෙන් පිහිටා තියෙන දූපත් ප්‍රාන්තයක්.

මේ ප්‍රදේශය ලෝකයේ ඉතිරි වෙලා තියෙන ඉතා වැදගත් පැරණි වනාන්තර පද්ධති කිහිපයකට නිවහනක්.

විශේෂයෙන්ම මෙහෙ තියෙන්නේ සෞම්‍ය දේශගුණික වැසි වනාන්තර. ඒවා ශ්‍රී ලංකාවේ සිංහරාජය වගේ නිවර්තන වැසි වනාන්තරවලට වඩා වෙනස්.

ටැස්මේනියාවේ ඇතැම් වනාන්තරවල මීටර් 70 සිට 100 දක්වා උසට වැඩෙන දැවැන්ත ගස් තියෙනවා. අවුරුදු 2,000කට වඩා පැරණි ගස් පවා මෙහි දකින්න පුළුවන්.

ටැස්මේනියානු වනගත ලෝක උරුම ප්‍රදේශය හෙක්ටයාර මිලියන 1.58කට වඩා විශාලයි. ඒ කියන්නේ ටැස්මේනියා දූපතෙන් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක්. එය 1982 දී යුනෙස්කෝ ලෝක උරුම ලැයිස්තුවට ඇතුළත් කළා.

කොහොම නමුත් මේ ටැස්මේනියාවේ සමහර වනාන්තරවල ගස් කපන්න ඉඩ ලැබෙනවා. දැවැන්ත දැව ව්‍යාපාරයක් ඒ ආශ්‍රිතව තියෙනවා.

ඔය අතරේ ටැස්මේනියාවේ ස්වදේශික ජනතාව වන පලාවා (Palawa) ජනතාවටත් මේ භූමිය එක්ක අවුරුදු දහස් ගණනක සංස්කෘතික සම්බන්ධයක් තියෙනවා. ඒ නිසා මේක ගස්වල වටිනාකම ගැන විතරක් තියෙන ගැටලුවක් නෙවෙයි. භූමිය, ස්වදේශික උරුමය සහ ඒ පිළිබඳ තීරණ ගැනීමේ අයිතිය සම්බන්ධ ප්‍රශ්නයකුත් මෙතැන තියෙනවා. මහා පරිමාණ ව්‍යාපාරිකයන් ඇවිල්ලා අර පාරම්පරික මිනිස්සුන්ගෙ අයිතිය නැති කරමින් ගස් කපනවා.

මේ ප්‍රශ්න නිසා ටැස්මේනියාවේ වනාන්තර කපා දැමීම සම්බන්ධ විශාල දේශපාලන ගැටුමක් අවුරුදු ගණනාවක් තිස්සේ තියෙනවා.

එක පැත්තකින් පරිසර සංවිධාන කියන්නේ පැරණි වනාන්තර කපා දැමීම නවත්වන්න ඕනෑ කියලා.

අනෙක් පැත්තෙන් දැව කර්මාන්තය පිටිපස්සේ ඉන්න අය කියන්නේ මේ කර්මාන්තයෙන් විශාල පිරිසක් ජීවත් වෙනවා කියලා.

ඒ කියන්නේ වනාන්තරවල ගස් කපන කම්කරුවන්, ලී මෝල්වල වැඩ කරන අය, ප්‍රවාහන කම්කරුවන් සහ මේ කර්මාන්තය ආශ්‍රිතව ජීවත් වන පවුල් මේ කර්මාන්තය ආශ්‍රිතව රැකියා කරලා ජීවත් වෙනවා. ඒ නිසා ඔවුන් කියන්නේ වනාන්තර කපන එක නැවැත්තුවොත් ඒ අයගේ රැකියා නැතිවේවි කියලයි.

2012 දී මේ ගැටුම සමනය කිරීම සඳහා ටැස්මේනියාවේ වනාන්තර සම්බන්ධ ගිවිසුමක් ඇති කරගෙන තිබුණා. එහෙත් ගැටුම අවසන් වුණේ නැහැ.

2024 දී වාර්තා වුණේ තවත් හෙක්ටයාර 39,000ක දේශීය වනාන්තර ප්‍රමාණයක් දැව කැපීම සඳහා ලබාදීමේ සැලසුම් ආණ්ඩුව ඉදිරිපත් කර ඇති බවයි. ඒවා සියල්ල ඒ වන විට කපා දැමූ බවක් එයින් කියැවෙන්නේ නැහැ. නමුත් වනාන්තර ආරක්ෂාව ගැන තර්ජනය දිගටම පවතින බව එයින් පැහැදිලි වෙනවා.

කිර්ෂාගේ විසඳුම මොකක්ද?

කිර්ෂා ඉදිරිපත් කරන්නේ වෙනස් අදහසක්.

ඇය කියන්නේ කැලෑ නොකපා ඉන්න කියලා කම්කරුවන්ට කියනවා නම්, ඔවුන්ට ජීවත් වෙන්න වෙනත් ආදායම් මාර්ගයක් හදා දෙන්න ඕනෑ කියලා.

ඒ වෙනුවෙන් ඇය යෝජනා කරන්නේ වනාන්තර කැපීමට යොදාගන්නා ශ්‍රමයම, වනාන්තර සංරක්ෂණයට යොදාගන්නා වැඩවලට යොමු කිරීම.

උදාහරණයක් විදියට පැරණි වනාන්තර ඇතුළේ සංචාරකයන්ට ගමන් කරන්න පුළුවන් ලී පාලම් සහ ගමන් මාර්ග හදන්න පුළුවන්. කලා නිර්මාණ ස්ථාපිත කරන්න පුළුවන්. ඒ වැඩ සඳහා දැව කර්මාන්තයේ කම්කරුවන් සහ ලී මෝල් යොදාගන්න පුළුවන්.

එතකොට ගස් කැපීමෙන් කම්කරුවන්ට ලැබෙන ආදායම වෙනුවට වනාන්තර ආරක්ෂා කරන වැඩවලින් ආදායමක් ලබාදීම තමයි අදහස.

මෙන්න මේ අදහස ක්‍රියාවට නැංවීම වෙනුවෙන් තමයි ඔවුන් ඔන්ලි ෆර්න්ස් කියන එක හදන්නේ.

කිර්ෂාගේ ව්‍යාපෘතිය යටතේ වැඩිහිටියන්ට පමණක් වන ලිංගිකමය වීඩියෝ 12ක් නිර්මාණය කරලා තියෙනවා.

ඒවායේ දර්ශනතල විදියට ටැස්මේනියාවේ වනාන්තර, ලී මෝල් සහ දැව කර්මාන්තය සම්බන්ධ පසුබිම් ඇතුළත් වෙනවා. රූගත කිරීම් සඳහා වැඩිහිටියන්ට පමණක් නිර්මාණවල රගපාන 20 දෙනෙකුට ආසන්න පිරිසක් සහභාගි වෙලා තියෙනවා.

ඒ අතර කෙලී පැන්තර් සහ බෙටී ග්‍රම්බල් වගේ ප්‍රසිද්ධ ශිල්පීන් ඉන්නවා.

මේ නිර්මාණවලදී කැලෑ කපන කම්කරුවන්ගේ චරිතත්, පරිසර ක්‍රියාකාරීන්ගේ චරිතත් චරිත විදියට යොදාගෙන තියෙනවා.

ඇතැම් දර්ශනවල සතුන්ගේ ඇඳුම් ඇඳගත් මිනිස්සු ඉන්නවා. තවත් දර්ශනවල දැව කර්මාන්තයේ කම්කරුවන්ගේ සහ පරිසර ක්‍රියාකාරීන්ගේ චරිත යොදාගෙන ඔවුන් අතර තියෙන බල සම්බන්ධතා ලිංගික උපහාසයක් විදියට නිරූපණය කරනවා. ඒ හැම ලිංගික ක්‍රියාවක් පිටිපස්සෙම කලාත්මක සැලසුමකුත් තියෙනවා.

මේ වීඩියෝ නිෂ්පාදනය කරන්න යන වියදම් MONA කෞතුකාගාරය සහ කිර්ෂා විසින් දරලා තියෙනවා. ඒ වෙනුවෙන් ශිල්පීන්ටත්, නිෂ්පාදන කණ්ඩායමටත් ගෙවීම් කරලා තියෙනවා.

OnlyFans හරහා මේ වීඩියෝ බලන අයගෙන් ලැබෙන මුදල් වනාන්තර ආරක්ෂාව සහ ඒ කටයුතුවලට සම්බන්ධ කම්කරුවන්ගේ ආදායම් සඳහා යොදාගැනීම තමයි සැලැස්ම.

ඇය කියන්නේ පරිසරවේදීන් සහ දැව කර්මාන්තයේ යෙදෙන කම්කරුවන් හැමදාම එකිනෙකා ගැන තරහින් බැලුවාය කියලා. ඒ කියන්නේ පරිසරවේදීන් නිසා රස්සාව නැතිවෙනවා කියලා කම්කරුවන් හිතනවාලු. කම්කරුවන් නිසා පරිසරය වැනසෙනවා කියලා පරිසරවේදීන් ඔවුන් එක්ක තරහලු. ඒ දෙගොල්ලගේ චරිත එකතු කරලා ලිංගික වීඩියෝ හදන එක මේ ගැටුම ගැන අමුතු කියැවීමක් හදා දෙනවාලු.

ව්‍යාපෘතියට කොච්චර මුදලක් ලැබෙයිද කියලා තවම දන්නේ නැහැ. ඉතින් මේ වැඩසටහනෙන් වනාන්තර කොපමණ ප්‍රමාණයක් ආරක්ෂා කරන්න පුළුවන් වෙයිද කියන එකත් තවම තහවුරු වෙලා නැහැ.

හැබැයි මේ ව්‍යාපෘතියට විරුද්ධ පිරිසක් ඉන්නවා.

කිර්ෂා 2023 දී ෆොරස්ට් කොංග්‍රස් කියලා එකමුතුවක් පටන් ගත්තා.

ඒකේ අරමුණ වුණේ පරිසරවේදීන්, විද්‍යාඥයන්, ටැස්මේනියාවේ ස්වදේශික ජනතාව සහ දැව කර්මාන්තයේ නියෝජිතයන් එකම සාකච්ඡාවකට ගෙන එන එක.

2026 ජූලි මාසයේදී මේ එකමුතුව පැරණි වනාන්තර කැපීම අවසන් කිරීමේ යෝජනාවක් ප්‍රකාශයට පත් කළා. පුද්ගලයන් සහ කණ්ඩායම් 30කට ආසන්න ප්‍රමාණයක් ඊට සහාය දුන්නා.

නමුත් මෙතැන තියෙන ප්‍රශ්නය වන්නේ ඔවුන් කියන්නේ සියලුම දේශීය වනාන්තර කැපීම නවත්වන්න නෙවෙයි කියන එක.

ඔවුන්ගේ ප්‍රමුඛ ඉල්ලීම වුණේ මීට පෙර කාර්මික ආකාරයෙන් කැපීම් සිදු නොවූ පැරණි වනාන්තර ආරක්ෂා කිරීමත්, වෙනත් දේශීය වනාන්තරවල වගකීම් සහිත දැව කර්මාන්තයක් පවත්වාගෙන යෑමත්.

ඒ අදහසට ප්‍රධාන පරිසර සංවිධාන කිහිපයක් විරුද්ධ වුණා.

ඔවුන් කියන්නේ මේ යෝජනාවෙන් ආරක්ෂා වෙන්නේ දැව කර්මාන්තය පැරණි වනාන්තර ලෙස හඳුන්වන සියයට 3ක් හෝ 4ක් පමණක් බවයි. ඉතිරි සියයට 96ක පමණ වනාන්තර ප්‍රමාණය තවදුරටත් දැව කැපීමේ තර්ජනයට නිරාවරණය වෙන්න පුළුවන් බව ඔවුන් තර්ක කරනවා. එයාලා කියන විදියට මේ පරිසර විනාශය අවසන් කිරීම කලා රංගනයක් නෙවෙයි. ඒක ඉතා බරපතළ අභියෝගයක්.

කිර්ෂා මේ ව්‍යාපෘතියෙන් පෙන්වන්න හදන්නේ මිනිස්සුන් ලිංගිකත්වය ගැන දක්වන ආකර්ෂණය පරිසරය වගේ වෙනත් සමාජ ප්‍රශ්න ගැන අවධානය යොමු කරවන්න යොදාගන්න පුළුවන් කියන එක. ඇත්තටම ඉතින් අපි ටස්මේනියාවේ වනාන්තර ගැන වීඩියෝවක් කළා නම් බලනවාට වඩා වැඩි පිරිසක් අපේ මේ කතාවට පවා අවධානය යොමු කරනවා ඇති. ගාඩියන් සගරාවේ ලිපියත් විශාල පිරිසක් බලනවා.

ඇය භාවිත කරන සරල අදහස තමයි ලිංගිකත්වය විකිණෙන දෙයක් බව. ලෝකයේ ගොඩක් අය තමන්ගේ දේශපාලන ඉල්ලීම්වලට අවධානය දිනාගැනීම සදහා කාන්තා නිරුවත වගේ දේවල් පාවිච්චි කරලා තියෙනවා.

කිර්ෂාගේ වැඩෙත් ඒ විදියේ අවධානය දිනාගැනීමේ උපක්‍රමයක්.

මේ කතාව දිහා බලද්දී වඩාත් වැදගත් වෙන්නේ ලිංගික වීඩියෝ ගැන ඇති වන ආන්දෝලනයට වඩා, පරිසරය ආරක්ෂා කරන එකේ වියදම දරන්නේ කවුද කියන ප්‍රශ්නය.

පරිසරය ආරක්ෂා කිරීමේ මූලික වගකීම පැවරෙන්න ඕනෑ අන්තර්ජාලයේ ලිංගික වීඩියෝ බලන පාරිභෝගිකයන්ටද?

නැත්නම් වනාන්තර සම්බන්ධ තීරණ ගන්න ආණ්ඩුවට, ඒවායෙන් ලාභ උපයන සමාගම්වලට සහ සමාජයේ සම්පත් බෙදාහරින ආර්ථික ක්‍රමයටද?

ස්වේච්ඡාවෙන් ලැබෙන මුදල් සහ ධනවතුන්ගේ පරිත්‍යාග මත වනාන්තර සංරක්ෂණයේ අනාගතය තීරණය වෙනවා නම් ඒකත් අනාරක්ෂිත තත්ත්වයක්.

ඒ වගේම ඔන්ලි ෆෑන්ස් වෙබ් අඩවියත් ගොඩක් ආන්දෝලනයට පත් වු තැනක්. මේවායේ වැඩකරන කාන්තාවන්ව හිංසාවට පත් වීම ගැනත් ගොඩක් කතා අපි අහලා තියෙනවා. මේ නිරුවත් කර්මාන්තය ගොඩක් අයගේ ජීවිත විනාස කරන හැටි අහලා තියෙනවා. අන්තිමේ ගත්තාම, යහපත් අරමුණක් වෙනුවෙන්ය කියලා ඔන්ලි ෆෑන්ස් වගේ තැනකට යද්දී ඒ ප්ලැට්ෆෝම් එක ප්‍රවර්ධනය කිරීමකුත් සිද්ධ වෙනවා.

ඒ වගේම මේ වගේ වෙබ් අඩවිවලට යන එක ගැන සදාචාරාත්මකව අවුලක් විදියට හිතන අයට දැන් පුලුවන් මම කාන්තා නිරුවතට කෑදර නිසා නෙවෙයි- වනාන්තර රැකගන්නවා වගේ උත්තරීතර අරමුණක් වෙනුවෙන් ඔන්ලිෆෑන්ස් යනවා කියලා තමන්ගේ වැඩේට සදාචාරමය ආරක්ෂාවක් ලබන්න.

කොහොමහරි මේ ව්‍යාපෘතිය ගැන අහපු ගමන් සමහරුන්ට හිනාවක් යන්න පුළුවන්. තවත් සමහරුන්ට ලිංගික වීඩියෝ නිසා විරෝධයක් ඇති වෙන්න පුළුවන්.

හැබැයි මෙතැන ඇත්තටම රසවත් දේශපාලන ප්‍රශ්නයක් තියෙනවා.

සාමාන්‍යයෙන් අපි හිතන්නේ පරිසරවේදීන් ඉන්නේ ගස් ආරක්ෂා කරන්න, දැව කර්මාන්තයේ කම්කරුවන් ඉන්නේ ගස් කපන්න කියලා.

කිර්ෂා උත්සාහ කරන්නේ මේ දෙපිරිස අතර තියෙන ඒ බෙදීම වෙනස් කරන්න.

කොහොම නමුත් මේ වැඩෙන් වැඩිම වාසිය ලබන්නේ ටැස්මේනියානු දැව කර්මාන්තයේ කම්කරුවන්ද? වනාන්තරවල ගස්වැල්ද? නැත්නම් ඔන්ලිෆෑන්ස් වෙබ් අඩවියද? රැඩිකල් කලාකාරියක් විදියට කිර්ජා වගේ කෙනෙක්ද? කියන එක අපි වෙනම කල්පනා කරන්න ඕනෑ දෙයක්

(- ෆාතිමා සුමෙයිහා)

Author

Leave a Reply

Related Posts