නකල්ස් සිද්ධිය මවක් විදිහට මටත් ලොකු කම්පනයක් – අනාරක්ෂිත දරුවන් රැකගන්න 2027 සිට අලුත් ප්‍රතිපත්තියක් ගේනවා – සරෝජා පෝල්රාජ්

නකල්ස් ප්‍රදේශයෙන් හමුවූ 15 හැවිරිදි බාලවයස්කාර දැරියගේ සහ අලුත උපන් බිළිඳාගේ ශාරීරික හා මානසික සෞඛ්‍යය මෙන්ම අනාගත යහපැවැත්ම තහවුරු කිරීම සඳහා රජයේ පාර්ශ්වයෙන් සිදු කළ යුතු සියලු මැදිහත්වීම් කඩිනමින් හා අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබාදී ඇති බවත් අනාරක්ෂිත භාවයට පත්වන දරුවන් වෙනුවෙන් එළඹෙන 2027 වසරේ සිට නව “විකල්ප රැකවරණ ප්‍රතිපත්තියක්” ක්‍රියාත්මක කිරීමට කටයුතු කරමින් සිටින බවත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසනවා .

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළා.

නකල්ස් ප්‍රදේශයෙන් වාර්තා වූ වයස අවුරුදු 15ක පමණ දැරියක අනාරක්ෂිත දරු ප්‍රසූතියකින් අනතුරුව බිළිඳෙකු සමඟ සොයාගැනීමේ සිදුවීම මවක් ලෙස තමන්ටද අතිශය කම්පනකාරී පුවතක් වූ බව අමාත්‍යවරිය එම නිවේදනයේ සඳහන් කර තිබෙනවා.

කෙසේ වෙතත් එම සිදුවීමට මුහුණ දුන් බාලවයස්කාර දියණියගේ සහ බිළිඳාගේ ජීවිත මේ වන විට ආරක්ෂිතව තිබීම සහනයට කරුණක් බව පෙන්වා දෙන ඇය, ඔවුන් දෙදෙනාගේම සෞඛ්‍යය හා අනාගත යහපැවැත්ම වෙනුවෙන් අදාළ අංශ වෙත මේ වන විටත් උපදෙස් ලබාදී ඇති බව අවධාරණය කළා.

මෙවැනි සමාජයීය ගැටලු සහ අනාරක්ෂිත තත්ත්වයන් දීර්ඝකාලීනව නිරීක්ෂණය කරමින් අනාරක්ෂිත භාවයට පත්වන දරුවන් වෙනුවෙන් විධිමත් විසඳුමක් ලෙස 2027 වසරේ සිට නව “විකල්ප රැකවරණ ප්‍රතිපත්තියක්” ක්‍රියාත්මක කිරීමට කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව ඇය පවසනවා.

ඒ සඳහා අවශ්‍ය අයවැය ප්‍රතිපාදන වෙන්කර ගැනීම ඇතුළු සියලු කටයුතුවල අමාත්‍යාංශය මේ වන විටත් නියැළෙමින් සිටින බව අමාත්‍යවරිය පැවසුවා.

වත්මන් සමාජයේ පවතින සංකීර්ණතා හේතුවෙන් දෙමව්පියන් සහ දරුවන් අතර පැවතිය යුතු අන්‍යොන්‍ය සම්බන්ධතාව සහ සන්නිවේදනය ක්‍රමයෙන් ගිලිහෙමින් පවතින බව හඳුනාගෙන ඇති බවත් ඒ හේතුවෙන් දරුවන්ට වඩාත් ආරක්ෂිත විය යුතු සමීපතම පරිසරය තුළම ඔවුන් අනාරක්ෂිත භාවයට පත්වීමේ ප්‍රවණතාවක් නිර්මාණය වී ඇති බවත් ඇය පෙන්වා දුන්නා.

කවර තත්ත්වයක් යටතේ වුවද තම දෙමව්පියන් ළඟ තමා සුරක්ෂිතය යන නොසැලෙන විශ්වාසය දරුවන් තුළ ගොඩනැගීමට දෙමව්පියන් උත්සාහ කළ යුතු බවත් පවුල තුළ විවෘත සංවාදයක් හා සුරක්ෂිත පරිසරයක් ඇති කිරීමෙන් මෙවැනි කම්පනකාරී සිදුවීම් බොහෝ දුරට අවම කර ගත හැකි බවත් අමාත්‍යවරිය සඳහන් කළා.

එමෙන්ම අවදානමට පත්වන්නන් සමඟ සෘජුව හා වක්‍රව කටයුතු කරන සියලු පාර්ශ්වයන් සහ රාජ්‍ය ආයතන තවදුරටත් ජනතාවට සමීප, පහසුවෙන් ප්‍රවේශ විය හැකි සහ විශ්වාසවන්ත ආයතන බවට පත්විය යුතුය යන පණිවිඩයද මෙම සිදුවීම තුළ ගැබ්ව ඇති බව ඇය පවසනවා.

දරුවන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් තහවුරු කිරීම සමස්ත සමාජයේම වගකීමක් වන බැවින් රටේ දරුවන් පිළිබඳව වඩාත් සංවේදීව හා අවධානයෙන් කටයුතු කරන ලෙස අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය සියලුම පුරවැසියන්ගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියා.

Author

Leave a Reply

Related Posts