සම්පත් මනම්පේරිට එරෙහි නඩුවේ විත්තිකරුවන් දෙදෙනෙකු නිදහස් – මනම්පේරි ඇතුළු දෙදෙනෙකුට තවදුරටත් නඩු

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කරමින් සිටියදී තවත් පොලිස් නිලධාරීන් පිරිසක් සමඟ එක්ව නාරාහේන්පිට මංසන්ධිය ආසන්නයේදී ද්‍රවිඩ ව්‍යාපාරිකයෙකු බියගන්වා සහල් පිරවූ ලොරියක්, මුදල් සහ ජංගම දුරකථනයක් කොල්ලකෑමේ සිද්ධිය සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමු සහ දෙවන විත්තිකරුවන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය අද (නොවැම්බර් 13) නියෝග කර ඇත.

කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා ඉදිරියේ අද පස්වරුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කෙරිණි.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200(1) වගන්තිය යටතේ විත්තිකරුවන් විසින් විත්තිවාචකය කැඳවීමකින් තොරව තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉදිරිපත් කළ ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව අධිකරණය මෙම තීරණයට එළඹ තිබේ.

එහිදී විනිසුරුවරයා පෙන්වා දී ඇත්තේ පළමු සහ දෙවන විත්තිකරුවන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීම සඳහා ප්‍රමාණවත් සාක්ෂි පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නොමැති බවයි.

ඒ අනුව, නඩුවේ පළමු විත්තිකරු වන ඉන්දික දළදාවත්ත සහ දෙවන විත්තිකරු වන බන්දුල ජයසිංහ යන අය මෙලෙස නිදොස් කොට නිදහස් කර තිබේ.

කෙසේ වෙතත්, නඩුවේ තුන්වන විත්තිකරු වන සම්පත් මනම්පේරී සහ සිව්වන විත්තිකරු වන නිරංජන් පෙරේරා යන අයට එරෙහි නඩුව තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යාමට අධිකරණය තීරණය කර ඇත.

එම විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කිරීමට තරම් ප්‍රමාණවත් පදනමක් නොමැති බව තීරණය කර ඇති විනිසුරුවරයා, ඔවුන්ගේ විත්තිවාචකය කැඳවීමට නියෝග කර තිබේ.

එහිදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සඳහන් කර ඇත්තේ විත්තිකරුවන් වෙනුවෙන් සාක්ෂිකරුවන් කැඳවීමට අපේක්ෂා කරන බවයි.

ඒ අනුව, එම සාක්ෂිකරුවන්ගේ ලැයිස්තුව සතියක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද විනිසුරුවරයා නියෝග කර තිබේ.

Author

Leave a Reply

Related Posts