කොල්ලෙක් කෙල්ලෙක් එක්ක පැනලා යනවා. කට්ටියට හොරෙන් කැලෑවක ජීවත් වෙනවා. තමන් ආදරය කරන කෙල්ලට කන්න බොන්න ගෙනත් දෙනවා. අන්තිමේදී ඒ දෙන්නාට දරුවකුත් ලැබෙනවා.
මේ වගේ කතාවක් චිත්‍රපටයක තිබුණොත් ඒක රොමෑන්තික ආදර කතාවක් විදිහට සමහරුන්ට පෙනෙන්න පුළුවන්. ඒක නවකතාවක තිබුණොත් ඒක මාර රොමෑන්ටික් නවකතාවක් වෙන්නත් පුලුවන්.
හැබැයි මේ කතාවේ කෙල්ලට වයස අවුරුදු 15යි. කොල්ලාට 23යි. ඒ කියන්නේ මේ කතාවේ ඉන්නේ නීතියෙන් තවමත් දරුවකු ලෙස සලකන දැරියක් සහ වැඩිහිටි පිරිමියෙක්. ඒ නිසා මේක කොහෙත්ම වර්ණනා කරන්න පුලුවන් කතාවක් නෙවෙයි.
දැරියට දරුවකුත් ලැබිලා. ඒ දරු ප්‍රසූතිය සිදු වූ බව කියන්නේ කැලෑව මැද ගල් ගුහාවක. වෛද්‍යවරයකුගේ හෝ පුහුණු සෞඛ්‍ය සේවකයකුගේ සහායක් නැතුව.
මේක ආදර කතාවක් නෙවෙයි. ඒත් දුක හිතෙන දේ තමයි සමහර ෆේස්බුක් පේජ්වලට මේක ආදර කතාවක්. මේකෙ කොල්ලා මාර රොමෑන්ටික් පෙම්වතෙක්. ඒ නිසා අපට මේ සිදුවීම ගැන ටිකක් කතා කරන්න සිද්ධ වෙනවා.
අපි මේ සිදුවීම ඇසුරෙන් ළමා ආරක්ෂාව, ලිංගික අපයෝජනය සහ දරුවන්ගේ ජීවිත අවදානමට දැමීම ගැන කතා කරමු.
ඇත්තටම මේ සිදුවීම වර්ණනා කරපු “අපේ රට” කියන ෆේස්බුක් පිටුව වගේ අය මේවා අයින් කරගන්න ඕනෑ කියලා මම හිතන්නේ. එහෙම නැතිනම් ඒක ඉවත් කරවන්න යම් කිසි වගකිවයුතු කෙනෙක් මැදිහත් වෙන්න ඕනෑ බව මම හිතනවා. අඩු තරමේ ජාතික ළමාරක්ෂක අධිකාරි වගේ ආයතයනයක් ඒකට මැදිහත් වෙන්න වේවි.
ඇත්තටම මේ පෝස්ට් දැක්කාම දුකක් නෙවෙයි, ලොකු බයක් දැනෙනවා.
පොලිසියට දැරිය හමු වුණේ කොහොමද?
2026 නොවැම්බර් 14 වැනිදා පළ වූ පුවත් වාර්තාවලට අනුව, නකල්ස් කඳුකරය ආසන්නයේ උඩුදුම්බර පොලිස් බලප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි දැරියක් මාස පහකට පමණ පෙර අතුරුදන්ව තිබෙනවා.
දැරියගේ පවුලේ සාමාජිකයන් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව උඩුදුම්බර පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
මෙහිදී පොලිසියේ අවධානය යොමු වී ඇත්තේ ප්‍රදේශයේ වෙළෙඳසැලකින් නිතර ආහාර ද්‍රව්‍ය මිලදී ගන්නා තරුණයකු ගැනයි. එක් පුද්ගලයකුට සාමාන්‍යයෙන් අවශ්‍ය ප්‍රමාණයට වඩා වැඩි හාල් සහ අනෙකුත් ආහාර ද්‍රව්‍ය ඔහු රැගෙන යන බව පොලිසියට නිරීක්ෂණය වී තිබෙනවා.
පොලිස් නිලධාරීන් මේ තරුණයා පසුපස ගමන් කිරීමෙන් අනතුරුව ජනාවාසවලින් ඈත්ව පිහිටි කැලෑබද ප්‍රදේශයක ගල් ගුහාවක් සොයාගෙන තිබෙනවා.
ඒ ගල් ගුහාව ඉටි රෙදිවලින් ආවරණය කර තිබූ බවයි වාර්තා වෙන්නේ.
එතැන සිටින්නේ අතුරුදන්ව සිටි අවුරුදු 15ක දැරියයි. ඇය සමඟ මාස දෙකක් වයසැති බිළිඳියකුත් සිට තිබෙනවා.
පසුව කරන ලද ප්‍රශ්න කිරීම් අනුව දැරිය දරුවා බිහිකර තිබෙන්නේත් මේ ගල් ගුහාව තුළදීම බව වාර්තා වෙනවා.
දරු ප්‍රසූතියෙන් පසු බිළිඳියගේ පෙකණිවැල කපා තිබෙන්නේ කිතුල් කර්මාන්තයේදී භාවිත කරන තියුණු ආයුධයකින් බවත් හෙළි වී තිබෙනවා.
මවට සහ දරුවාට කැලෑවෙන් සොයාගත් බව කියන අත්බෙහෙත් භාවිත කළ බවත්, කිතුල් පැණි සෑදීමට භාවිත කරන තාච්චියක දරුවා නෑවූ බවත් සැකකාර තරුණයා පොලිසියට ප්‍රකාශ කර තිබෙන බව මාධ්‍ය වාර්තා කරනවා.
දැරිය සහ බිළිඳිය වෛද්‍ය ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට යොමු කර තිබෙනවා.
බිළිඳියගේ පියා බව කියන 23 හැවිරිදි තරුණයාත්, ඔහුට සහාය වූ බවට සැකකරන ඥාතියකුත් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන් තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු නොවැම්බර් 20 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වෙනවා.
අවුරුදු 15ක දැරියකට ලිංගික සම්බන්ධයකට නීතිමය කැමැත්ත දෙන්න පුළුවන්ද?
මුලින්ම මෙයට අදාල නෛතික තත්වය ගැන අවබෝධ කරගන්න ඕනේ.
ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 363 වැනි වගන්තිය අනුව, අවුරුදු 16ට අඩු දැරියක සමඟ ලිංගික සංසර්ගයේ යෙදීම, ඇය ඊට කැමැත්ත පළ කළත් නැතත්, නීතියෙන් ස්ත්‍රී දූෂණය ලෙස සැලකෙන තත්ත්වයක්.
මෙයට ඉංග්‍රීසියෙන් කියන්නේ Statutory Rape කියලා. සිංහලෙන් ව්‍යවස්ථාපිත දූෂණය. ඒ අනුව බාල වයස්කාර ළමයෙක්ට අදාලව කැමැත්තෙන් වුණත්, බලෙන් වුණත් ලිංගික ක්‍රියාවක් කළා නම් ඒක දූෂණය පමණයි. කතා දෙකක් නෑ.
මොකද වැඩිහිටියන්ගේ සහ ළමයින්ගේ තීරණ ගැනීමේ හැකියාව, ජීවිත අත්දැකීම්, ආර්ථික ස්වාධීනත්වය සහ සම්බන්ධතාවක් තුළ බලය පාවිච්චි කිරීමේ හැකියාව එක සමාන නැහැ.
වයස අවුරුදු 15ක දැරියකට ආදරය පිළිබඳ හැඟීම් ඇතිවෙන්න පුළුවන්. ඇය කෙනකුට ආදරය කරන බව කියන්නත් පුළුවන්. එහෙත් එවැනි හැඟීමක් ප්‍රකාශ කිරීම සහ වැඩිහිටියකු සමඟ ලිංගික සම්බන්ධයකට නීතියෙන් වලංගු කැමැත්ත ලබාදීම කියන්නේ එකම දෙයක් නෙවෙයි.
මේ සිද්ධියේ සැකකරු වයස අවුරුදු 23ක වැඩිහිටියෙක්.
දණ්ඩ නීති සංග්‍රහයේ 364(2) වගන්තිය අනුව, වයස අවුරුදු 18ට අඩු තැනැත්තියක දූෂණය කිරීම සම්බන්ධයෙන් වරදකරු වන පුද්ගලයකුට වසර 10 සිට 20 දක්වා බරපතළ වැඩ සහිත සිරදඬුවමක්, දඩයක් සහ වන්දි ගෙවීමේ නියෝගයක් නිකුත් කළ හැකියි.
මෙහිදී සැකකාර තරුණයාට එරෙහි නිශ්චිත චෝදනා, ඒවාට අදාළ සාක්ෂි සහ ඔහු වරදකරුද නැද්ද යන්න අධිකරණ ක්‍රියාවලියෙන් තීරණය විය යුතුයි.
අන්න ඒ පසුබිමේ, මේ කතාව ආදර කතාවක් ලෙස අර්ථකථනය කරමින් ළමා ආරක්ෂාව පිළිබඳ නීතිය නොසලකා හැරීම සාධාරණීකරණය කරන්න බැහැ.
දැරිය කැමැත්තෙන් ගල් ගුහාවට ගියා නම්?
මම කලින් කීවේ දැරියට අදාල දූෂණය පිළිබද චෝදනාව පමණයි. මේ 23 හැවිරිදි පුද්ගලයා තවත් වරදක් කරලා තියෙනවා.
දණ්ඩ නීති සංග්‍රහයේ 352 වැනි වගන්තිය අනුව, වයස අවුරුදු 16ට අඩු දැරියක නීත්‍යනුකූල භාරකරුවකුගේ භාරයෙන් ඔහුගේ හෝ ඇයගේ අවසරයකින් තොරව රැගෙන යාම හෝ රවටා හෝ පොලඹවා රැගෙන යාම, අදාළ නීතිමය කොන්දේසි සම්පූර්ණ වන්නේ නම්, නීත්‍යනුකූල භාරකාරත්වයෙන් පැහැරගෙන යාමක් විය හැකියි.
354 වැනි වගන්තිය යටතේ එවැනි වරදකට වසර හතක් දක්වා සිරදඬුවම් නියම කළ හැකියි.
ඇත්තටම මේ තරුණයා මේ දැරිය එක්ක සම්බන්ධයක් මත වැරදීමකින් හෝ දරුවෙකු බිහි වුණා නම් අඩුම තරමේ එතැනින් එහාට මේ වරද තවත් සිදු නොවනු පිණිස දැරියව රෝහලට ඉදිරිපත් කරන්න තිබුණා. වරද පිළිගන්න තිබුණා. එයට අදාලව දඩුවමක් නියම වෙනවා. ඒකට කරන්න දෙයක් නෑ. ඒත් අඩු තරමේ ළමයාටත්, මේ දැරියටත් ඇත්තටම ආදරය කරනවා නම් මේ දැරියව ගල් ගුහාවකට අරන් යන්නේ නෑ. එහෙනම් තමන්ගේ වරද පිළිඅරන්, තමන්ට හිමි දඩුවම ලබන අතරේම දැරියව ආරක්ෂිත භාරයකට පත් කරන්න තිබුණා.
ගල් ගුහාවක දරුවකු බිහිකිරීම වීරකමක්ද?
එහෙම නොකරපු නිසා මේක තවත් භයංකර තැනකට යනවා. දැරියගේ ගැබ්ගැනීම, දරු ප්‍රසූතිය සහ දරුවාගේ සෞඛ්‍ය ආරක්ෂාව සම්පූර්ණයෙන් අනතුරේ වැටෙනවා.
වයස අවුරුදු 15ක දැරියක් ගැබ්ගැනීමම විශේෂ සෞඛ්‍ය අවදානමක් ඇති තත්ත්වයක්.
ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව, අවුරුදු 10 සිට 19 දක්වා වයසේ මව්වරුන් අවුරුදු 20 සිට 24 දක්වා මව්වරුන්ට වඩා ගර්භණීභාවය හා දරු ප්‍රසූතිය ආශ්රිත බරපතළ සංකූලතාවලට මුහුණදීමේ වැඩි අවදානමක් දරනවා.
ඒ අතර ගැබ්ගැනීම සම්බන්ධ බරපතළ රුධිර පීඩන සංකූලතා, දරු ප්‍රසූතියෙන් පසු ආසාදන සහ වෙනත් බරපතළ සෞඛ්‍ය ගැටලු තිබෙනවා.
මෙවැනි මව්වරුන්ගේ දරුවන්ටත් අඩු උපත් බරක් තිබීම, නොමේරූ දරු උපත් සහ වෙනත් සංකූලතා ඇතිවීමේ අවදානම වැඩියි.
ඒ නිසා ගැබිනි දැරියකට සාමාන්‍ය ගැබිනි කාන්තාවකටත් වඩා ප්‍රවේශම් සහගත වෛද්‍ය අධීක්ෂණයක් අවශ්‍ය විය හැකියි.
ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පවුල් සෞඛ්‍ය සේවිකාවන්ගේ සිට රෝහල් දක්වා ගර්භණී මව්වරුන් වෙනුවෙන් සේවා පද්ධතියක් තිබෙනවා.
ගර්භණී සමයේ සෞඛ්‍ය පරීක්ෂණ, රුධිර පීඩන පරීක්ෂාව, පෝෂණ තත්ත්වය පරීක්ෂා කිරීම, කලලයේ වර්ධනය නිරීක්ෂණය කිරීම සහ ආරක්ෂිත දරු ප්‍රසූතියක් සැලසුම් කිරීම මේ සේවාවල අරමුණු අතර තිබෙනවා.
නමුත් මේ සිදුවීමේදී දරු ප්‍රසූතිය සිදු වූ බව වාර්තා වෙන්නේ ගල් ගුහාවක. වෛද්‍ය සහායක් නොමැතිව.
දරුවාගේ පෙකණිවැල කපා තිබෙන බව කියන්නේ කිතුල් කර්මාන්තයේ භාවිත කරන ආයුධයකින්.
එම ආයුධය විෂබීජහරණය කළ එකක්ද නැද්ද කියලා අප දන්නේ නැහැ. නමුත් එවැනි උපකරණයක් භාවිත කිරීමේදී ආසාදන අවදානමක් ඇතිවිය හැකියි.
ඒ වගේම දරුවා උපදින අවස්ථාවේ හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇති වුණා නම්? මවට අධික රුධිර වහනයක් සිදු වුණා නම්? වැදෑමහ සම්පූර්ණයෙන් පිට නොවුණා නම්? මේ සියල්ල ජීවිත අවදානමට පත් කළ හැකි තත්ත්වයන්.
ඒ නිසා කිතුල් පිහියකින් පෙකණිවැල කපා දරුවාගේ ජීවිතය බේරාගත් බව කියමින් තරුණයා අගය කරන එකේ විශාල ගැටලුවක් තිබෙනවා. ඇත්තටම මේ තරුණයා කරලා තියෙන්නේ නොදන්නාකමකින් හෝ වෙන හේතුවකට, තවත් මේ දැරියව අමාරුවේ දැමීමක්.
ආරක්ෂිත වෛද්‍ය සේවාවක් නොමැති තැනක දරුවකු උපත ලැබීමෙන් පසු ඔහු ජීවත් වීම දැන් අපට සතුටට කරුණක්. හැබැයි ඒක නොවුණා නම් අදටත් මේ ගැහැණු ළමයා අතුරුදන් වෙන්න තිබුණා. මොකද, මේ සැකකාර තරුණයා ඒ සිරුර හංගලා දාන්න ඉඩ තිබුණා.
අගය කරනවා නම් අගය කරන්න ඕනෑ අර අමන තරුණයා නෙවෙයි, අගය කරන්න ඕනෑ ඒ දැරියට තිබුණ දරාගැනීමේ ශක්තිය.
දරුවාට ආහාර ගෙනත් දුන්නා කියලා නියම පිරිමියෙක් වෙනවාද?
මේ සිදුවීමේදී පොලිසියට තරුණයා ගැන සැක ඇති වී තිබෙන්නේ ඔහු නිතරම වැඩිපුර කඩෙන් බඩු ගත්ත නිසා බව කියනවා.
අන්න ඒ විදියට කන්න දුන්න නිසා සමාජ මාධ්‍යයේ ඇතැමුන් මේ තරුණයා තමන් සමඟ සිටි දැරියත් බිළිඳියත් රැකබලාගත් බව කියමින් අගය කරනවා.
නමුත් තමන් සමඟ ජීවත් වන කෙනකුට කෑම ගෙනත් දීම අසාමාන්‍ය වීරත්වයක් නෙවෙයි. කෙනෙක්ව හංගලා, කූඩු කරලා, හිර කරලා, සමාජයෙන් ඈත් කරලා තියාගෙන ඉන්න අතරේ කන්න දෙනවා කියන්නේ හපන්කමක්ද?
ආහාර සැපයීමෙන් පමණක් කෙනකුගේ සෞඛ්‍යය, ආරක්ෂාව, අධ්‍යාපනය සහ නිදහස සහතික වෙනවාද? ඒ ළමයාට තියෙන අයිතිවාසිකම් සහතික කරන්න පුලුවන්ද? එක පැත්තකින් අවුරුදු 15ක දැරියගේ අයිතිවාසිකම්. එයාටත් අධ්‍යාපනය ඇතුළු අයිතිවාසිකම් තියෙනවා. අනෙක් පැත්තෙන් අලුත ඉපදුණ දරුවා.
මෙහිදී ළමයින්ට හිංසා කිරීමේ වරදත් අදාළ විය හැකිද?
ශ්‍රී ලංකාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 308A වගන්තිය ළමයින්ට කෲර ලෙස සැලකීම සම්බන්ධයෙන් වැදගත් නීතියක්.
මෙම වගන්තිය අනුව වයස අවුරුදු 18ට අඩු ළමයකු භාරව සිටින හෝ රැකබලාගන්නා පුද්ගලයකු, එම ළමයාගේ සෞඛ්‍යයට හානියක් හෝ දුක් වේදනාවක් ඇතිවීමට ඉඩ තිබෙන ආකාරයෙන් හිතාමතාම නොසලකා හැරීම හෝ අයහපත් ලෙස සැලකීම, අදාළ කොන්දේසි සම්පූර්ණ වන්නේ නම්, අපරාධයක් විය හැකියි.
එවැනි වරදකට වරදකරු වුවහොත් වසර දෙකේ සිට දහය දක්වා සිරදඬුවම් නියම කළ හැකියි. පෙනෙන විදියට මේ තරුණයාට ඒ වරදත් අදාල වෙන්න ඉඩ තියෙනවා.
විශේෂයෙන්ම මේ සිද්ධියේ ළමයින් දෙදෙනකු ගැන කතා කරන බව අමතක කරන්න බැහැ.
එක් අයෙක් අවුරුදු 15ක දැරියක්. අනෙක් කෙනා මාස දෙකක බිළිඳියක්. මේ දෙන්නාටම අදාල වැරදි ස්ථාපනය වෙනවා.
මම කියන්නේ මේකයි. මේ ඔක්කොම වැරදි සලකා බැලුවාම, මේ තරුණයා ගැබ්ගත් දැරියව හරි අධිකාරියකට බාර දුන්නා නම් අවුරුදු දහයක් පහළවක් අතරතුර යහපත් කල්කිරියාවකුත් එක්ක සිරගෙදරින් එළියට ඇවිල්ලා අර ළමයා ගැන හොයලා බලන්න හරි තිබුණා. මම කියන්නේ ෆිල්ම් එකක පිටපතක් මම ලිව්වා නම් ලියන්නේ එහෙම. නොදන්නාකම නිසා හරි මොකක්හරි හේතුවක් නිසා 15 හැවිරිදි දැරියක් ගැබ් ගැනීමට ලක් වුණාය කියමු. වැඩිහිටි තරුණයෙක් විදියට ඔහුට වගකීමක් ඇතිව කරන්න තිබුණේ ඒක.
ඒත්, ඇත්තටම ඔහු කළේ එක අපරාධයක් යටගහන්න තව තවත් අපරාධ කරපු එක. තමන් කරපු වරද හංගන්න තවත් ජීවිත දෙකක් අමාරුවේ දාපු එක. ඒ නිසා මේක කවදාවත් චිත්‍රපටියකට එන්න ඕනෑ වීරකමක් නෙවෙයි.
දැරියගේ පසුබිම මොකක්ද?
මේ දැරියගේ පවුල් පසුබිම, ඇය මුහුණ දුන් ගැටලු සහ ඇය මෙම තරුණයා සමඟ සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය ආකාරය දැනට එළියට ඇවිල්ලා නෑ. මේ දැරියට තමන්ගේම ගැටලු තිබෙන්න ඇති. ඇය පවුල තුළ ප්‍රශ්නවලට මුහුණ දුන්නා විය හැකියි. ආර්ථික ප්‍රශ්න වගේම තව ප්‍රශ්න ඇති.
සමහර වෙලාවට බාල වයස්කාර දැරියන් තමන්ගේ ගෙදරින් ප්‍රේම සම්බන්ධයක් හදාගෙන පැනලා යන්නේ එයාට තමන්ගේ පවුල් පසුබිම ඇතුළේ ළමයෙක් විදියට ජීවත් වෙන්න බැරි නිසා. විශේෂයෙන්ම ඒ දරුවන්ට තමන්ගේ ආර්ථික ප්‍රශ්නත් එක්ක ළමා කාලයක් ගත කරන්න බැරිවෙනවා. අධ්‍යාපනය අහිමි වෙනවා. වැඩිහිටියන්ගේ සොයාබැලීමයි රැකවරණයයි නැති වෙනවා. ආර්ථික පීඩනයත් එක්ක ඔවුන්ගේ ජීවිත පීඩනයට ලක් වෙනවා. ඉතින්, ඒ වගේ සමාජ ප්‍රශ්න මේක පිටිපස්සේ ඇති. අපි නොදන්න ලොකු කතාවක් ඇති. දැනට ඒවා අපි දන්නේ නැතිවුණත් අපට කොල්ලාව වීරයෙක් කරන වෙලාවේ ඔය වගේ කාරණා ගැන හොයලා බලන්න පුලුවන් නම් හොදයි කියලා මම හිතනවා.
මේ පිරිමි ආදරයද?
මේවා පිරිමිකමේ සාක්ෂි ලෙස පෙන්වනවා නම්, මේක පිරිමියෙකුගේ ආදරය කියලා පෙන්වනවා නම් අන්න එහෙම හිතන පිරිමින්ව ප්‍රශ්න කරන්න ඕනේ.
ආදරය කියන්නේ කෙනකු අයිති කරගැනීම නෙවෙයි. ආදරය වෙනුවෙන් කැපකිරිම් කරන්න බැරි නම් ආදරය වැඩක් නෑ. ඒක පිරිමින්ටත් අදාලයි, ගැහැණුන්ටත් අදාලයි. හැමෝටම ආදරය වෙනුවෙන් කැපකිරීම් කරන්න වෙනවා.
ආදරය කියන්නේ කෙනකුගේ අධ්‍යාපනය, සෞඛ්‍යය සහ ආරක්ෂාව අවදානමට දමා තමන් සමඟ තබාගැනීමම නෙවෙයි.
තමන් ආදරය කරන කෙනා දරුවෙක් නම්, ඇයගේ ආරක්ෂාව ගැන වැඩිහිටියාට විශේෂ වගකීමක් තියෙනවා.
ඒ නිසා “පිරිමියෙක් වුණා නම් මේ වගේ වෙන්න ඕනෑ” කියලා සමහරුන් දාලා තියෙන අදහස හරිම භයානකයි. එහෙම දාන අයගේ වටේට ඉන්න ගැහැණු අය පව්.
ඒ නිසා මේක අපේ සමාජයේ පිරිමිකම, ආදරය, ලිංගිකත්වය සහ ළමා ආරක්ෂාව ගැන පවතින ආකල්ප පිළිබඳ ප්‍රශ්නයක්.
දැරියටත් දරුවාටත් දැන් මොකද වෙන්නේ?
මෙම දැරියට අවශ්‍ය වන්නේ වෛද්‍ය ප්‍රතිකාර පමණක් නෙවෙයි. ඇයට මානසික සෞඛ්‍ය සහාය, ආරක්ෂිත ජීවන තත්ත්වයක්, නැවත අධ්‍යාපනයට ප්රවේශවීමේ අවස්ථා සහ ඇගේ අනාගතය පිළිබඳ තීරණවලදී ඇගේ හඬට ඉඩක් අවශ්‍යයි.
දැරිය මේ වන විට මවක වුණත්, ඇය තවමත් ළමයෙක්.
එහෙත් ඇය මවක වූ නිසාම ඇයට තම දරුවා සමඟ ඇති සම්බන්ධතාව අහිමි විය යුතු බවත් එයින් අදහස් වෙන්නේ නැහැ.
දැරියගේත් බිළිඳියගේත් ආරක්ෂාව, සෞඛ්‍යය සහ යහපත සලකා බලා ඔවුන්ට අවශ්‍ය රැකවරණය සකස් කිරීම වැදගත්.
එමෙන්ම දැරියගේ හෝ බිළිඳියගේ මුහුණ, නම, නිශ්චිත පදිංචිය සහ ඔවුන් හඳුනාගත හැකි වෙනත් තොරතුරු මාධ්‍යවලින් ප්‍රචාරය කිරීමෙන් වැළකිය යුතුයි.
ජාතික ළමා ආරක්ෂණ අධිකාරියේ මාධ්‍ය මාර්ගෝපදේශවලත් ළමා අපයෝජනවල වින්දිතයන් හඳුනාගත හැකි තොරතුරු සහ ඡායාරූප ප්‍රසිද්ධ නොකිරීමේ වැදගත්කම අවධාරණය කර තිබෙනවා.
ළමයකුගේ ආරක්ෂාව ගැන ප්‍රවෘත්තියක් කරන අතරේම එම ළමයා තවත් වතාවක් සමාජයේ අවධානයට සහ අපහසුතාවට පත් කිරීම සාධාරණ නැහැ. ඒ නිසා ඉස්සරහට හැම ටීවී එකම, පත්තරේම, යූටියුබ් එකම, ෆේස්බුක් පිටුවම මේ ගමට ගිහිල්ලා මේ ළමයා කවුද කියන එක එළිවෙන විදියට ෆොටෝ සහ වීඩියෝ දාන්න පටන්ගන්න කලින්ම කියන්න ඕනෑ දෙයක් තියෙනවා.
එපා!
(- ෆාතිමා සුමෙයිහා.)
