මිනිසුන් සහිත අභ්‍යවකාශ චාරිකා සඳහා සුදුසු යානයක් නිර්මාණය කිරීමට SpaceX සමාගම දරන උත්සාහයේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, ඔවුන්ගේ දැවැන්ත රොකට්ටුව වන ‘ස්ටාර්ෂිප්’ (Starship) සෙනසුරාදා දිනයේදී ටෙක්සාස් හි පිහිටි සිය දියත් කිරීමේ කුළුණ වෙත සාර්ථකව ආපසු පැමිණියේය.
අඩි 171ක් (මීටර් 52ක්) දිගැති උණ්ඩයක හැඩයෙන් යුත් යානයේ ඉහළ අදියර, කුළුණේ ඇති යෝධ යාන්ත්‍රික අඬු අතරට ආරක්ෂිතව ගොඩබැස්සවීමට හැකි විය. ඒ හරහා පෘථිවිය වටා 14 වතාවක් කක්ෂගත වෙමින් ගත කළ පැය 22 ක මෙහෙයුම අවසන් විය.
ස්ටාර්ෂිප් යානයේ මෙම 15 වැනි පරීක්ෂණ පියාසැරිය සැලසුම් කර තිබුණේ ඓතිහාසික “ද්විත්ව ග්‍රහණය කර ගැනීමේ” (double-catch) මෙහෙයුමක් ලෙසිනි. එහි අරමුණ වූයේ පෙර පරීක්ෂණවලදී මෙන් රොකට්ටුවේ කොටස් මුහුදට වැටෙන්නට ඉඩ හැර ඒවා ගොඩගන්නවා වෙනුවට, රොකට්ටුවේ සියලුම කොටස් කිසිදු හානියකින් තොරව දියත් කළ ස්ථානයටම ආපසු ගෙන ඒමයි.
මෙම දැවැන්ත අභ්‍යවකාශ යානය ප්‍රධාන කොටස් දෙකකින් සමන්විත වේ. යානය කක්ෂගත කිරීම සඳහා බලය සපයන රැප්ටර් (Raptor) එන්ජින්වලින් සමන්විත ‘සුපර් හෙවි’ (Super Heavy) නම් පහළ බූස්ටරය සහ ‘ස්ටාර්ෂිප්’ ලෙසම හැඳින්වෙන ඉහළ අදියර එම කොටස් දෙකයි.
එහෙත් ඔවුන්ගේ එම ද්විත්ව ග්‍රහණයේ අපේක්ෂාවන් සිකුරාදා දිනයේදී සුනුවිසුනු වී ගියේය. ඒ, යානය ගුවන්ගත වී මිනිත්තු කිහිපයකට පසු පහළ බූස්ටරය එහි නියමිත ගමන් පථයෙන් වෙනස් වී මෙක්සිකෝ බොක්ක (Gulf of Mexico) ප්‍රදේශයට ඉහළින් පුපුරා යාමත් සමඟිනි.
මෙම ග්‍රහණය කර ගැනීම නතර කිරීමේ (no-go) තීරණය ගනු ලැබුවේ යානයේ මඟපෙන්වීමේ, යාත්‍රා කිරීමේ සහ පාලනය කිරීමේ (GNC) පද්ධතිය විසිනි.
“එය ක්‍රියාත්මක වූයේ ඊට පැවරී තිබූ රාජකාරියට අනුවයි. මූලිකවම, ග්‍රහණය කර ගැනීමේ ක්‍රියාවලියක් ඉදිරියට ගෙන යාමට නම් බූස්ටරය තිබිය යුතු නිසි ස්ථානයේ එය නොතිබූ බව පද්ධතිය විසින් හඳුනා ගත්තා,” යැයි SpaceX ප්‍රකාශක ඩෑන් හුවොට් සෙනසුරාදා අලුයම පැවසීය. SpaceX ප්‍රධාන විධායක නිලධාරී ඉලෝන් මස්ක්ට අනුව, බූස්ටරයේ “ඉන්ධන මට්ටම ද තරමක් අඩුවෙන්” පැවතුණි.
මෙවැනි පසුබෑමක් තිබුණද, සමාගම විසින් තම රොකට්ටුවක ඉහළ අදියර සාර්ථකව ග්‍රහණය කර ගත් පළමු අවස්ථාව මෙය වන බැවින්, මෙම සතියේ පරීක්ෂණ පියාසැරිය SpaceX සමාගමට සුවිශේෂී ජයග්‍රහණයක් විය.
එමෙන්ම ස්ටාර්ෂිප් යානයක් පෘථිවි කක්ෂයට ඇතුළු වූයේ ද දෙවැනි වතාවටය.
මිනිසුන් නැවතත් සඳ මතුපිටට ගෙන යාමේ නාසා (Nasa) ආයතනයේ සැලසුමට අදාළ 2028 ඉලක්කය ළං වෙමින් පවතින පසුබිමක මෙය සිදු වී තිබේ. එම මෙහෙයුම සඳහා නාසා ආයතනය මේ වන විටත් SpaceX සමාගම සහ ජෙෆ් බෙසෝස්ගේ (Jeff Bezos) බ්ලූ ඔරිජින් (Blue Origin) සමාගම සමඟ ගිවිසුම්ගත වී ඇත.
15 වැනි පියාසැරිය අගය කරමින් නාසා පරිපාලක ජැරඩ් අයිසැක්මන් X හි මෙලෙස සටහන් කර තිබුණි: “දිනෙන් දින ඔවුන් පිළිබඳ විශ්වාස කරන්නන්ගේ සංඛ්‍යාව වැඩි වෙමින් පවතිනවා… අපි [සඳට] තවත් එක් පියවරක් සමීප වෙලා.” අයිසැක්මන් යනු මස්ක්ගේ සමීපතමයෙකු වන අතර, ඔහුව නාසා ආයතනයේ ප්‍රධානියා ලෙස පත් කරන ලෙස ඩොනල්ඩ් ට්‍රම්ප්ට උපදෙස් ලබා දුන්නේ ද මස්ක් විසිනි.
මෑතකදී පැවති ආදායම් පිළිබඳ සාකච්ඡාවකදී මස්ක් සඳහන් කළේ, සිය ස්ටාර්ෂිප් පරීක්ෂණ පියාසැරි සංඛ්‍යාව සතියකට වරක් සහ ඉන්පසුව සතියකට දෙවරක් දක්වා වැඩි කිරීමට SpaceX සමාගම සැලසුම් කර ඇති බවයි. සාමාන්‍ය ගුවන් යානා මෙන් ගුවන්ගත වීමටත්, ගොඩබෑමටත් හැකි වන පරිදි ස්ටාර්ෂිප් යානය ඉතා ඉක්මනින් නැවත භාවිත කළ හැකි මට්ටමකට ගෙන ඒමට ඔහු උත්සාහ කරයි. අභ්‍යවකාශ චාරිකා සඳහා වැය වන අතිමහත් පිරිවැය අවම කර ගැනීමේ ප්‍රායෝගික විසඳුමක් ලෙස රොකට්ටුවේ මෙම ‘නැවත භාවිත කිරීමේ හැකියාව’ ඔහු පෙන්වා දී තිබේ.
තවත් වරක් මිනිසෙකු සඳ මතට ගොඩබැස්සවීමේ අරමුණින් ඔබ්බට යමින්, මිනිසුන් අඟහරු ග්‍රහයා වෙත ගෙන යාමේ දැවැන්ත සැලසුමක් ද මස්ක් විසින් ඉදිරිපත් කර ඇත.
ස්ටාර්ෂිප් යානයේ මෙම දියුණුව මස්ක්ගේ චන්ද්‍රිකා අන්තර්ජාල අධිරාජ්‍යය පුළුල් කිරීමට ද මහත් සේ උපකාරී වී තිබේ. මෙම නවතම පියාසැරියේදී යානය මඟින් Starlink V3 (ස්ටාර්ලින්ක් V3) චන්ද්‍රිකා 26ක් සාර්ථකව කක්ෂගත කරන ලදී.
(ගාඩියන් ලිපියක පරිවර්තනයකි.)
