දේශගුණ අර්බුදයෙන් දියේ ගිලීමෙන් රාජකීය පෙන්ගුයින්ලා රතු ලැයිස්තුවට!

දේශගුණික අර්බුදය නිසා මුහුදු අයිස් දියවෙලා රාජකීය පෙන්ගුයින් පැටවුන් විශාල වශයෙන් දියේ ගිලී මියයාමේ සිද්ධිය පදනම් කරගෙන, සොබාදහම සංරක්ෂණය සඳහා වන ජාත්‍යන්තර සංගමය (IUCN) විසින් මේ සත්ව විශේෂය වඳවීමේ තර්ජනයට ලක්ව ඇති බව දැන් නිල වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා.

රාජකීය පෙන්ගුවින් සතුන් වසරකට මාස නවයක්ම තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්නට වෙරළට සම්බන්ධ වී තිබෙන ස්ථාවර මුහුදු අයිස් තට්ටු (Fast ice) මත යැපෙනවා.

පෙන්ගුවින් පැටවුන් බිහිවෙන්නෙත්, උන්ගේ සිරුරට ජලයට ඔරොත්තු දෙන පිහාටු ලැබෙනකම් හැදී වැඩෙන්නෙත් මේ අයිස් මතයි. ඒ වගේම වැඩුණු පෙන්ගුවින් සතුන්ගේ පිහාටු හැලී අලුත් පිහාටු එන කාලයට (Moult) ආරක්ෂිතව ඉන්නත් මේ අයිස් තට්ටු අත්‍යවශ්‍ය වෙනවා.

නමුත් 2016 අවුරුද්දේ ඉඳලා ගෝලීය උණුසුම වැඩිවීම නිසා ඇන්ටාක්ටිකාවේ මුහුදු අයිස් වාර්තාගත විදිහට අඩු වෙලා තියෙනවා. මේ අයිස් තට්ටු නියමිත කාලයට කලින් කැඩී බිඳී ගියහම, මුළු පෙන්ගුවින් ජනපදම සාගරයට ඇද වැටෙනවා. එහිදී පීනන්න බැරි පැටවුන් දියේ ගිලී මියයනවා. යම් හෙයකින් පැටවුන් කිහිපදෙනෙක් බේරුණත්, ඔවුන්ගේ සිරුරු තෙමෙන නිසා දැඩි සීතලට ඔරොත්තු දීගන්න බැරිව මියයනවා.

2022 වසරේදී බෙලින්ෂවුසන් (Bellingshausen) මුහුදේ තිබුණු ප්‍රධාන පෙන්ගුවින් බෝවන ස්ථාන පහෙන් හතරක්ම විනාශ වුණා. එහිදී පැටවුන් දහස් ගණනක් මියගියා.

2016 වසරේදී වෙඩෙල් (Weddell) මුහුදේ තිබුණු තවත් විශාල ජනපදයක් මේ විදිහටම විනාශ වුණා.

2009 ඉඳලා 2018 දක්වා කාලය ඇතුළත මේ සතුන්ගේ ගහනය 10% කින් විතර අඩු වෙලා තියෙනවා. දැනට ඉතිරි වෙලා ඉන්නේ වැඩුණු සතුන් 595,000 ක් විතරයි.

IUCN ආයතනය පුරෝකථනය කරන්නේ මේ අයිස් දියවීම දිගටම සිද්ධ වුණොත් 2080 වෙනකොට අධිරාජ්‍ය පෙන්ගුවින් ගහනයෙන් අඩක්ම විනාශ වෙයි කියලා. මේ හේතුව නිසා ඔවුන්ව “අවදානමට ලක්විය හැකි” (Near threatened) මට්ටමේ ඉඳලා “වඳවීමේ තර්ජනයට ලක්වූ” (Endangered) කියන දරුණු ගණයට ඇතුළත් කරලා තියෙනවා.

පෙන්ගුවින් සතුන්ට විතරක් නෙවෙයි, ඇන්ටාක්ටික් ලොම් සහිත සිල් (Antarctic fur seal) සතුන්ටත් මේ දේශගුණික විපර්යාසය තදින්ම බලපාලා තියෙනවා. උන් ආහාරයට ගන්නා ‘ක්‍රිල්’ (Krill) නමැති කුඩා සතුන් හිඟ වීම නිසා 2000 වසරේ ඉඳලා සිල් සතුන්ගේ ගහනයත් අඩක් වෙලා තියෙනවා. ඒ නිසා සිල් සතුන්වත් දැන් “වඳවීමේ තර්ජනයට ලක්වූ” සතුන් ලෙස නම් කරලා තියෙනවා.

බර්ඩ්ලයිෆ් ඉන්ටර්නැෂනල් (BirdLife International) ආයතනයේ ප්‍රධානී මාර්ටින් හාපර් පවසන්නේ මෙය ලෝකයට දෙන බරපතල අනතුරු ඇඟවීමක් බවයි. දේශගුණික විපර්යාස නිසා සතුන් වඳවීම වේගවත් වෙලා තියෙන නිසා, රජයන් වහාම මැදිහත් වෙලා කාබන් විමෝචනය අඩු කරන්න පියවර ගන්න ඕනෙ කියලා ඔහු පවසනවා.

සාගර පරිසර විද්‍යාඥ ආචාර්ය පිලිප් ට්‍රැතන් පෙන්වා දෙන්නේ පෙන්ගුවින් සතුන් කියන්නේ ලෝකයේ සිදුවන විනාශකාරී වෙනස්කම් ගැන අපට පණිවිඩය කලින්ම දෙන “කසකරුවන්” වැනි පිරිසක් බවයි. හරිතාගාර වායු පාලනය කරන්න අපේ අසමත්කම ඔවුන්ගේ මේ විනාශයෙන් මනාව පැහැදිලි වෙනවා. තවත් විද්‍යාඥයින් පිරිසක් පවසන්නේ මේ අහිංසක පැටවුන් විශාල වශයෙන් මියයාම දරාගන්න බැරි තරම් කණගාටුදායක තත්ත්වයක් බවයි.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading