ට්‍රම්ප් ආටෙමස් 2 ගගනගාමීන්ව අමතා සුභ පැතූ හැටි! මැද්දේදී ට්‍රම්ප්ව ඇහෙන්නැතිව ගිය හැටි!

සඳුදා දිනයේදී ආර්ටෙමස් 2 කණ්ඩායම සඳේ නොපෙනෙන පැත්ත (far side) ගැන පැය ගණනාවක නිරීක්ෂණ කටයුතු ඉවර කළාට පස්සේ, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔවුන්ට දුරකථනයෙන් කතා කරලා මේ ඓතිහාසික ජයග්‍රහණය ගැන සුබ පතන්න කටයුතු කළා.

“ආර්ටෙමස් 2 කණ්ඩායමට මගේ ආයුබෝවන්. අද ඔබ ඉතිහාසය වෙනස් කරලා මුළු ඇමෙරිකාවම ඇත්තටම ආඩම්බරයට පත් කළා, ඒක ඉහළ ආඩම්බරයක්,” ට්‍රම්ප් මෙහෙම කිව්වා. නාසා ප්‍රධානී ජැරඩ් අයිසැක්මන් එම අවස්ථාවට සහභාගී වී සිටියා. “ඔබ මේ කරන දේ වගේ දෙයක් මීට කලින් කවුරුවත් කරලා නැහැ. මේක ඇත්තටම සුවිශේෂී අවස්ථාවක්.” යනුවෙන් ජනාධිපතිවරයා පැවසුවා.

නාසා ගගනගාමීන් වන රීඩ් වයිස්මන්, වික්ටර් ග්ලෝවර්, ක්‍රිස්ටිනා කොක් සහ කැනේඩියානු අභ්‍යවකාශ ඒජන්සියේ ජෙරමි හැන්සන් ඇතුළු මේ කණ්ඩායම, 1970 ඇපලෝ 13 වාර්තාව බිඳ දමමින් පෘථිවියේ ඉඳලා වැඩිම දුරක් ගිය මනුෂ්‍යයන් විදියට සඳුදා දින වාර්තාවක් පිහිටුවුවා. නාසා ආයතනයට අනුව ඒ මොහොතේ ඔවුන් පෘථිවියේ ඉඳලා සැතපුම් 252,756 ක් (කිලෝමීටර් 406,771 ක්) ඈතින් හිටියා. ඒ වගේම සඳ හිරු ඉදිරියෙන් ගමන් කරන සූර්යග්‍රහණයක් නිරීක්ෂණය කරන්නත් මේ කණ්ඩායමට අවස්ථාව ලැබුණා.

එයින් පසු පෘථිවිය සමග සම්බන්ධතා අහිමි වී විනාඩි 40ක් ගත කල ඔවුන් යළි සම්බන්ධ වූ මොහොතේ තමයි ජනාධිපතිවරයා මෙලෙස ඇමතුවේ. එම ඇමතුමේදී ජනාධිපතිවරයා ‘මනුෂ්‍ය වර්ගයා‘ වෙනුවට ‘ඇමෙරිකාව‘ යන්න මුල් කරගනිමින් කතා කිරීම විශේෂ ලක්ෂණයක්. ඇමෙරිකානු අභ්‍යවකාශ මෙහෙයුම් ‘ඇමෙරිකන්‘ ජයග්‍රහණ වෙනුවට ‘මනුෂ්‍ය වර්ගයාගේ‘ ජයග්‍රහණ ලෙස ඉස්මතු කිරීමට ඇමෙරිකාව ලොකු උනන්දුවක් දක්වන නිසා මෙය විශේෂයි.

ට්‍රම්ප් ගගනගාමීන්ගෙන් ඔවුන් දුටු විශේෂ දේවල් විමසුවා. රීඩ් වයිස්මන් කීවේ සදේ අදුරු පැත්ත මුල්ම වතාවට ඇස්වලින් දැකීම සුවිශේෂී දසුනක් බව.

ජනාධිපති ට්‍රම්ප් ගගනගාමීන් එක්ක මෙහෙම සුහදව කතා කළත්, අනෙක් පැත්තෙන් 2027 මූල්‍ය වර්ෂය වෙනුවෙන් ඉදිරිපත් කරලා තියෙන අයවැය යෝජනාවලින් නාසා ආයතනයේ මුළු අරමුදලෙන් හතරෙන් එකක්ම කපන්න වයිට් හවුස් එක සූදානම් වෙනවා. ඒ වගේම නාසා හි විද්‍යාත්මක පර්යේෂණ අයවැය හරි අඩකින්ම කපා හරින්නත් එහි යෝජනා වෙලා තියෙනවා. මේ සැලසුම නීතියක් වුණොත්, උද්ධමනයත් එක්ක බලද්දී 1961න් පස්සේ නාසා එකට ලැබෙන අඩුම අයවැය මේක වෙනවා කියලා තමයි ගණන් බලා තියෙන්නේ. (2026 අයවැය යෝජනාවලදීත් මේ වගේම දරුණු කප්පාදුවක් කරන්න හැදුවත්, කොංග්‍රසයේ පක්ෂ දෙකේම විරෝධය නිසා ඒක නතර වුණා.)

අභ්‍යවකාශ ගවේෂණය වෙනුවෙන් පෙනී ඉන්න අය මේ අයවැය කප්පාදුව දැඩි ලෙස විවේචනය කරනවා. ප්ලැනටරි සොසයිටි (Planetary Society) එකේ කේසි ඩ්‍රයර් ‘Nature’ පුවත් සේවයට කිව්වේ, මේ අයවැය යෝජනාව නාසා ආයතනයේ විද්‍යා අංශයේ පැවැත්මට එල්ල වුණු “වඳ වී යාමේ මට්ටමේ තර්ජනයක්” (extinction-level event) කියලයි. “මේ හරහා ලෝකයේ අභ්‍යවකාශ ගවේෂණයේ පෙරමුණ ගන්නා නාසා ආයතනයේ හැකියාව සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා,” ඔහු වැඩිදුරටත් කිව්වා.

හැබැයි නාසා ප්‍රධානී අයිසැක්මන් මීට කලින් ප්‍රකාශ කරලා තිබුණේ ජනාධිපතිවරයාගේ මූල්‍ය ප්‍රතිපත්තිවලට තමන් දැඩිව සහය දෙනවා කියලයි. රටේ බලාපොරොත්තු ඉටු කරන්න මේ මුදල ප්‍රමාණවත් කියලා ඔහු විශ්වාස කරනවා.

මේ දුරකථන සංවාදය අතරතුර මැද හරියේදී පොඩි අපහසුතාවක් මතු වුණා. විනාඩියක් විතර යනකල් ගගනගාමීන් හෝ ට්‍රම්ප් කතා කළේ නැහැ. අන්තිමේදී ගගනගාමීන් “සන්නිවේදනය පරීක්ෂා කිරීමක්” (comms check) අවශ්‍යද කියලා ඇහුවා. ට්‍රම්ප්ට පෙර අයිසැක්මන් එකවරම ‘මමනම් තවම රැදිලා ඉන්නවා‘ කීවා. ට්‍රම්ප්ගෙන් නිහඩතාවක් අස්සේ අයිසැක්මන් ‘මමනම් ඉන්නවා‘ කියද්දී යානයේ සිටි අය මෙන්ම මෙහෙයුම් මධ්‍යස්ථානයේ සිටි එයත් එක්වර සිනහවුණා. නාසා එකට ඉලක්ක දුන්නාට නාසා එක්ක ඇත්තටම ට්‍රම්ප් රැදිලා ඉන්නවාද කියන එක විශ්වාස නෑ. නාසා විද්‍යාඥයන්ටත් විශ්වාස නෑ. එවැනි පසුබිමක ට්‍රම්ප්ගේ සද්දය ඇහෙන්නැතුව ගිය වෙලේ, ‘මමනම් ඉන්නවා‘ යැයි නාසා ප්‍රධානියා ප්‍රකාශ කිරීම සුවිශේෂීයි. මොකද රීඩ් වයිස්මන් ට්‍රම්ප් හා කතා කළ මොහොතේත් ඉස්මතු කළේ තමන් ‘අයිසැක්මන්ගේ නායකත්වය‘ විශ්වාස කරන බවයි.

“මම ඔබව ඕවල් ඔෆිස් එකේදී හමුවෙන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම සාමාන්‍යයෙන් අත්සන් ඉල්ලන කෙනෙක් නෙවෙයි, හැබැයි ඔබෙන් වෙනුවෙන් මම අත්සනක් (ඔටෝග්‍රාෆ්) ඉල්ලනවා, මොකද ඔබ ඒකට සුදුසුයි,” කියලයි ජනාධිපතිවරයා සිය කතාව අවසන් කළේ.

Author

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading