ලාල් විජේනායක මහතාගේ අවසන් කටයුතු මහයියාවේදී

මෙරට වාමාංශික දේශපාලනයේ ප්‍රබල චරිතයක් වූ අධිනීතීඥ ලාල් විජේනායක මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් මහනුවර පෞද්ගලික රෝහලකට ඊයේ (31) පස්වරුවේ ඇතුළත් කිරීමෙන් පසු ඒ මහතා මියගොස් තිබෙන අතර මහජන ගෞරවය සඳහා දේහය මහනුවර ජාතික රෝහල අසල පෞද්ගලික මල්ශාලාවක තැන්පත් කර ඇත.

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජිකයෙකු මෙන්ම ප්‍රවීණ වාමාංශික දේශපාලනඥයෙකු වූ අධිනීතිඥ ලාල් විජේනායක මහතා මියයන විට 86 වැනි වියේ පසුවිය.

ඒ මහතා දීර්ඝ කාලයක් ලංකා සමසමාජ පක්ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයෙකු ලෙස කටයුතු කළේය. පසුව එම පක්ෂයෙන් ඉවත්ව එක්සත් වාමාංශික පෙරමුණ ගොඩනැගීමට ද මූලිකත්වය ගත්තේය.යහ පාලන ආණ්ඩුව බිහි කිරීම සඳහා හෙතෙම ක්‍රියාකාරීව කටයුතු කළේය.

එම රජයේ සමයේ නව ව්‍යවස්ථාවක් පිහිටුවීම සඳහා මහජන අදහස් ලබා ගැනීම සඳහා පත්කළ කමිටුවේ සභාපතීත්වය දරමින් ඒ මහතා රටවටා යමින් ජනතාව හමුවී මහජන අදහස් හා යෝජනා ලබා ගනිමින් ඒ සඳහා ක්‍රියාකාරී දායකත්වයක් ලබා දුන්නේය.

ජාතික ජනබලවේගය පිහිටුම සඳහා ක්‍රියාකාරී දායකත්වයක් ලබා දෙමින් දේශපාලන රැස්වීම් වලට කථිකයෙකු ලෙස ඒ මහතා දායකත්වය ලබා දෙමින් රට වටා ගමන් ගත්තේය.

මහනුවර ධර්මරාජ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ සහ ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ ද අධ්‍යාපනය ලබා නීතිඥවරයෙකු ලෙස වෘත්තීය ජීවිතයට එක් විය.

එමෙන්ම පළමු මධ්‍යම පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු ලෙසද විජේනායක මහතා කටයුතු කළේය. ලාල් විජේනායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට (02) පස්වරුවේ මහනුවර මහයියාව ආදාහනාගාරයේදී සිදු කිරීමට නියමිතය.

Author

Leave a Reply

Related Posts