වර්තමානයේ බෞද්ධ සමාජය තුළ පවතින ගැටළු සම්බන්ධව වීඩියෝවක් නිකුත් කරමින් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රකාශ කරන්නේ බුදුන් වහන්සේගේ කාලයේ සිටම භික්ෂු සමාජය තුළ විනය සම්බන්ධ ගැටලු මතු වූ අවස්ථාවලදී ප්‍රධාන භික්ෂූන් වහන්සේලා එක්ව සති ගණනාවක් සාකච්ඡා කර ඒවාට අදාළ නීති රීති සහ විනය ක්‍රියාමාර්ග සකස් කළ බවත්, වර්තමානයේ විනය පිටකය ඇතුළු බෞද්ධ විනය මූලධර්ම නිසි පරිදි ක්‍රියාත්මක නොවන තත්ත්වයක් පවතින බවත්ය.
මෑත කාලයේ භික්ෂූන් වහන්සේලා කිහිප නමක් මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වී අත්අඩංගුවට පත්වීමේ සිදුවීම් වාර්තා වී ඇති බවත්, බෞද්ධ සිද්ධස්ථාන අටක නායකත්වය දරන හිමිනමක් විසින් වසර දෙකක කාලයක් පුරා කුඩා දැරියක් ලිංගික අපයෝජනයට ලක් කර ඇති බවට වාර්තා වීම තමන් දැඩි මවිතයට පත් කළ බවත් ඇය ප්‍රකාශ කරයි.
මෙවැනි බරපතළ සිදුවීමක් සම්බන්ධයෙන් එකදු දේශපාලන හෝ ආගමික නායකයකු ප්‍රසිද්ධියේ අදහස් දැක්වීමට ඉදිරිපත් නොවීම කනගාටුවට කරුණක් බව ද ඇය සඳහන් කරයි.
ආගමික නායකයන් හෝ දේශපාලන නායකයන් ඇතුළු ඕනෑම ක්ෂේත්රයක නායකත්වය දරන පුද්ගලයන් යනු ජනතාවට මඟපෙන්වීමක් සහ නායකත්වයක් ලබා දිය යුතු පිරිසක් බව පෙන්වා දෙන ඇය, මෙවැනි සිදුවීම් රටේ සංස්කෘතියට මෙන්ම සමස්ත සමාජ පැවැත්මට ද බරපතළ තර්ජනයක් බව පවසයි.
මෙම තත්ත්වය පිළිබඳව සෑහෙන කාලයක් අවධානයෙන් සිටි තමන්, ජ්‍යෙෂ්ඨ පුරවැසියකු ලෙස මේ සම්බන්ධයෙන් අදහස් පළ කළ යුතු බවට තීරණය කළ බව ද ඇය පවසයි.
ඉදිරියේදී මෙවැනි සිදුවීම් ඇති වීම වැළැක්වීම සඳහා නායක ස්වාමීන් වහන්සේලා මැදිහත් විය යුතු බවට යෝජනා කරමින්, ඒ සඳහා ඉදිරිපත් වන ලෙස තමන් උන්වහන්සේලාට ගෞරවයෙන් ආරාධනා කළ බව ද ඇය සඳහන් කරයි.
මෙවැනි තත්ත්වයක් තුළ බුද්ධ ශාසනයේ විනය සහ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා තමන් ඉදිරිපත් කළ යෝජනාවට නායක ස්වාමීන් වහන්සේලා සිව් නමම ඉතා කැමැත්තෙන් එකඟ වූ බව ද ඇය ප්‍රකාශ කරයි.
ඒ අනුව, මෙරට සිවිල් බෞද්ධ නායකයන් පිරිසක් ද එක්කර ගනිමින් මෙම කටයුත්ත සංවිධානය කළ හැකි බවට තමන් යෝජනා කළ බව ද හිටපු ජනාධිපතිනිය සඳහන් කරයි.
බුද්ධ ශාසනය ශෝධනය කරමින් එයට හිමි විය යුතු ගෞරවය යළි ලබා දී නව පුනර්ජීවනයක් ඇති කිරීම සඳහා සියලු දෙනාම මෙම වැඩපිළිවෙළට සම්බන්ධ වන ලෙස ද ඇය ආරාධනා කර සිටී.
ප්රජාතන්ත්රවාදය යනු ප්‍රජාව විසින් පාලනය කරනු ලබන දේශයක් බව පෙන්වා දෙන ඇය, ආණ්ඩුවලට පමණක් චෝදනා කරමින් නොසිට රට තුළ මෙවැනි සමාජ ගැටලු මතු වන අවස්ථාවලදී ඒවා නිවැරදි කර ගැනීම සඳහා විශේෂයෙන් බෞද්ධ ගිහියන් ඉදිරිපත් වී සාකච්ඡා කළ යුතු බව වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.
