පල්ලේකැලේ දුම්බර බන්ධනාගාරයෙන් පළා යෑමට උත්සහා කළ රැඳවියෙකු බන්ධනාගාර නිලධාරියෙකු විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා මියගොස් තිබේ.
මෙම වෙඩි තැබීම පෙරේදා (01) පස්වරු 5.30 ට පමණ සිදුව ඇත. මියගිය පුද්ගලයා දුම්බර බන්ධනාාගරයේ B මුරකුටිය අසලින් පළා යෑමට උත්සහා කළ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරියා එය වලක්වා ගැනීම සඳහා වෙඩි තැබීම සිදුකර තිබෙන බව පොලීසිය කළ පරීක්ෂණවලදී මේ වනවිට අනාවරණය වී තිබේ.
මියගොස් ඇත්තේ ගලගෙදර පොහොලියද්දේ පදිංචි කුෂාන් නවෝද් ජයසිංහ නැමැති 27 හැවිරිදි අයෙකි. මොහු අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 7120 ක් සමඟ පසුගිය ඔක්තෝම්බර් මස 24 වැනි ගලගෙදර පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම මස 11 දින තෙක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි අයෙකි.
මියගිය පුද්ගලයා මෙයට පෙර අවස්ථා 08 කදී මත්ද්‍රව්‍ය ඇතුළු වීවධ වැරදි සම්බන්ධයෙන් ගලගෙදර, අලදෙණිය හා හතරලියද්ද පොලිස් ස්ථාන මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූ අයෙකු බව පොලීසිය පවසයි.
සිද්ධියෙන් පසු බන්ධනාගාරයේ ආරක්ෂාව සඳහා යුද හමුදාව කැඳවා තිබේ. මියගිය පුද්ගලයාගේ මළ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මහනුවර ජාතික රෝහලට යොමුකර ඇත.
