කඩවත ප්රදේශයේදී පොලිස් අණ නොතකා ධාවනය කිරීමේදී වෙඩි ප්රහාරයට ලක්වූ ත්රීරෝද රථය පැදවීම සඳහා 16 හැවිරිදි බාලවයස්කාර දරුවාට ඉඩප්රස්තාව ලබාදුන් පාර්ශ්වයන්ට එරෙහිව මෝටර් වාහන පනත යටතේ නඩු පවරන බව පොලිස් මාධ්ය ප්රකාශක එෆ් යු වුට්ලර් මහතා පවසනවා.
අද(01) පැවති මාධ්ය හමුවකදී පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කළේ, මෝටර් වාහන නීතියට අනුව රියදුරු බලපත්රයක් නොමැති හෝ බාලවයස්කාර පුද්ගලයෙකුට වාහනයක් පැදවීමට අවස්ථාව සලසා දීම බරපතළ වරදක් බවයි.
ඒ අනුව අදාළ ත්රීරෝද රථයේ හිමිකරු ඇතුළු ඊට වගකිවයුත්තන්ට එරෙහිව මෝටර් වාහන පනතේ 123 වන වගන්තිය යටතේ නීතිමය පියවර ගන්නා බව ඔහු අවධාරණය කළා.
මේ අතර කඩවත සිදුවීමෙන් පසු තුවාල ලැබූ දරුවාගේ මව විසින් මාධ්ය හමුවේ සිදුකළ ප්රකාශයක් පිළිබඳවද පොලිස් මාධ්ය ප්රකාශකවරයා මෙහිදී අදහස් පළ කළා.
එහිදි ඔහු සඳහන් කළේ, පොලිස් නිලධාරීන් විසින් එම ස්ථානයට මත්ද්රව්ය දැමූ බවට ඇය කළ ප්රකාශය සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ අසත්ය ප්රකාශයක් බවත් මෙවැනි තහවුරු නොකළ ප්රකාශ සමාජගත කිරීමෙන් ජනතාව කුපිත වීම සහ අනවශ්ය නොසන්සුන්තාවන් නිර්මාණය විය හැකි බවයි.
එමෙන්ම නීතිවිරෝධී ගිනිඅවි සංසරණය වීම වැළැක්වීම, මත්ද්රව්ය ප්රවාහනය නැවැත්වීම මෙන්ම සංවිධානාත්මක අපරාධකරුවන් සහ වෙඩික්කරුවන් අත්අඩංගුවට ගැනීම වෙනුවෙන් දිවයින පුරා සෝදිසි මෙහෙයුම් සහ හදිසි පරීක්ෂා කිරීම් තීව්ර කර ඇති බව පොලිස් මාධ්ය ප්රකාශකවරයා සඳහන් කලා.
එවන් පසුබිමක නිල ඇඳුමින් සිටින පොලිස් නිලධාරියෙකු වාහනයක් නතර කිරීමට සංඥා කළ විට ඊට අවනත වීම මෝටර් රථ, යතුරුපැදි මෙන්ම ත්රීරෝද රථ ඇතුළු සියලුම රියදුරන්ගේ නීතිමය වගකීමක් බව ඔහු පෙන්වා දුන්නා.
මෙවැනි හදිසි පරීක්ෂාවලදී මහජනතාවට සුළු අපහසුතාවක් ඇති විය හැකි වුවද එය සිදුකරන්නේ රටේ සහ ජනතාවගේම ආරක්ෂාව වෙනුවෙන් බැවින් ඊට සහය දක්වන ලෙසත් වගකිවයුතු වැඩිහිටියන් ලෙස නීතියට ගරු කරන ලෙසත් එෆ් යූ වුට්ලර් මහතා වැඩිදුරටත් සඳහන් කළා.
