කොළඹ කිංස්බරි හෝටලයේ ආරක්ෂිත සීසීටීවී දර්ශන පෞද්ගලිකත්ව ප්රතිපත්තිය උල්ලංඝනය කරමින් හා විකෘති කර අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් වහාම සමාව අයැද එම වීඩියෝ ඉවත් නොකළහොත් රුපියල් කෝටි 10ක වන්දි ඉල්ලා නඩු පවරන බව හිටපු අමාත්ය සරත් වීරසේකර මහතා එම හෝටල් පාලනාධිකාරිය වෙත සිය නීතිඥවරුන් මාර්ගයෙන් එන්තරවාසයක් යොමු කර තිබෙනවා.
තමාගේ පෞද්ගලිකත්වයට අයුක්ති සහගත ලෙස ඇඟිලි ගැසීම, අපහාස කිරීම සහ කීර්තිනාමයට බරපතළ හානි සිදුකිරීම සම්බන්ධයෙන් මෙම නොතීසිය නිකුත් කර ඇති අතර දින 7ක් ඇතුළත ඊට අදාළ ඉල්ලීම් ඉටු කිරීමට හෝටල් පාලනාධිකාරිය අපොහොසත් වුවහොත් අධිකරණ ක්රියාමාර්ග ගැනීමට අමතරව පොලීසිය, අන්තර්ජාල ආරක්ෂණ කොමිෂන් සභාව සහ ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වෙත නිල පැමිණිලි සිදුකරන බවද එම එන්තරවාසියෙහි සඳහන්.
සරත් වීරසේකර මහතා වෙනුවෙන් පෙනී සිටින නීතිඥ සමාගම පෙන්වා දෙන්නේ, පසුගිය ඔක්තෝබර් 24 වන දින ඒ මහතා අදාළ හෝටලයට පැමිණි අවස්ථාවේ පටිගත වූ සීසීටීවී දර්ශන සංස්කරණය කර ඔහු සහ බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් එකම හෝටල් කාමරයකට එකම හෝ ආසන්න වේලාවක ඇතුළු වූ බවට සමාජය නොමඟ යන අයුරින් අන්තර්ජාලයට මුදාහැර ඇති බවයි.
හෝටලය සතු පාලනයේ පැවති මෙම දර්ශන අමුත්තන්ගේ පෞද්ගලිකත්ව ප්රතිපත්තීන්ට පටහැනිව හා තම සේවාදායකයාගේ පූර්ණ එකඟතාවකින් තොරව ඇතැම් ෆේස්බුක් පිටු සහ යූටියුබ් නාලිකා වෙත නිකුත් කර ඇති බවටත් හෝටල් පාලනාධිකාරියද ඊට හවුල්වී ඇති බවටත් එන්තරවාසිය මඟින් චෝදනා එල්ල කළා.
මේ හරහා තමන් දැඩි මානසික පීඩාවකට හිරිහැරයකට මෙන්ම අපහාසයකට ලක්ව ඇති බැවින් දින හතක් ඇතුළත ඊට මුල්වූවන් අනාවරණය කර ලිඛිතව කණගාටුව පළ කර ප්රසිද්ධියේ සමාව අයැද සියලු වීඩියෝ දර්ශන අන්තර්ජාලයෙන් ඉවත් කරන ලෙස ඉල්ලා තිබෙනවා.
මේ සම්බන්ධයෙන් මාධ්ය හමුවේ අදහස් දක්වමින් සරත් වීරසේකර මහතා සඳහන් කළේ, අදාළ භික්ෂූන් වහන්සේ හෝටලයට වැඩම කළේ එක් දිනක බවත් උන්වහන්සේගේ සුවදුක් බැලීමට තමන් හෝටලයට ගියේ ඊළඟ දිනයේ බවයි.
දින ගණනාවක් පැවති පාද චාරිකාවේදී මහා වර්ෂාවේ තෙමි වැඩම කළ හිමිවරුන්ගේ පාද පැලී තුවාල වී ඇතැම් හිමිවරුන්ට ඩෙංගු වැළඳී සිටියදී තමන් වෛද්යවරුන් කැටුව ගොස් නිට්ටඹුවේදී මෙන්ම රෝහල්වලදීද ඇප උපස්ථාන කළ බව ඔහු පැවසුවා..
එමෙන්ම දායකයෙකු විසින් වෙන්කර දුන් හෝටල් කාමරයක උණ රෝගී තත්ත්වයෙන් වැඩසිටි භික්ෂුවක් බැලීමට තමන් ගියේ ශ්රද්ධා පෙරදැරිව උපස්ථානයක් ලෙස බව පැවසූ සරත් වීරසේකර මහතා, භික්ෂුවක් වැඩසිටින්නේ හෝටලයකද, පන්සලකද, ගල් ගුහාවකද, ගෙදරකද නැතහොත් ගසක් යටද යන්න තමන්ට අදාළ නොවන බවත් සඳහන් කළා.
දින ගණනාවක් තෙමි තෙමී ගිය හිමිවරුන්ට කුඩයක් හෝ ගිලන්පස උණු කෝපි කෝප්පයක් ලබා නොදුන් සුවදුක් නොබැලූ ඇතැම් පිරිස් අද අරහත් ධජයට නිග්රහ කළා යැයි කියමින් සමාජ මාධ්ය හරහා පහත් ලෙස අපහාස කිරීම පිළිකුල් සහගත බවද ඔහු වැඩිදුරටත් කියා සියා.
පාගමනේ යෙදුණු බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් කොළඹ කිංස්බරි තරු පහේ හෝටලයේ කාමරයක නවාතැන් ගැනීම සහ සරත් වීරසේකර මහතා එම පරිශ්රයට පැමිණීම දැක්වෙන සීසීටීවී ආරක්ෂිත දර්ශන පසුගිය දිනවල සමාජ මාධ්ය ඔස්සේ සීඝ්රයෙන් සංසරණය වෙමින් මහත් ආන්දෝලනයක් ඇති කළා.
එමෙන්ම මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පූජ්ය තිත්තගල්ලේ ආනන්දසිරි හිමියන්, බුදුරජාණන් වහන්සේ යනු හිඟන්නෙකු නොව රජ කෙනෙකු මහණ වූ උත්තමයෙකු බැවින් භික්ෂූන් වහන්සේ නමකට රන් පුටුවක හෝ තරු පහේ හෝටල් කාමරයක වැඩසිටීමේ ශාසනික සම්ප්රදායක් උරුමව පවතින බවත්, දායකයෙකු පූජා කළ හෝටල් කාමරයක වැඩසිටීම අරුමයක් නොවන බව ප්රකාශ කර තිබුණා.
