ඊශ්රායලයේ පැවති මහ මැතිවරණයේ අවසන් ප්රතිඵල අනුව ආසන 120කින් සමන්විත පාර්ලිමේන්තුවේ අග්රාමාත්ය බෙන්ජමින් නෙතන්යාහුගේ නායකත්වයෙන් යුත් දේශපාලන සන්ධානයට හිමිව ඇත්තේ ආසන 53ක් පමණි.
අද (ඔක්තෝබර් 30) අලුයම නිකුත් වූ අවසන් ඡන්ද ගණන් කිරීමේ ප්රතිඵල අනුව නෙතන්යාහුගේ සන්ධානයට එරෙහි විපක්ෂ කණ්ඩායමට ආසන 48ක් හිමිව ඇති අතර, අරාබි නායකත්වයෙන් යුත් දේශපාලන පක්ෂවලට ආසන 19ක් හිමිව තිබේ.
ඒ අනුව නව ආණ්ඩුවක් පිහිටුවීම සඳහා අවශ්ය ආසන 61ක බහුතර බලය කිසිදු ප්රධාන දේශපාලන කණ්ඩායමකට තනිව ලබාගැනීමට හැකි වී නොමැත.
මීට පෙර පැවති පාර්ලිමේන්තුවේදී නෙතන්යාහුගේ සන්ධානයට ආසන 68ක බලයක් හිමිව තිබූ අතර, නව ප්රතිඵල අනුව එම බලය සැලකිය යුතු ලෙස පහත වැටී තිබේ.
මේ අතර, මැතිවරණ ප්රතිඵල සම්බන්ධයෙන් නෙතන්යාහු පාර්ශ්වය මැතිවරණ වංචා සහ ඡන්ද සොරකම් පිළිබඳ චෝදනා ඉදිරිපත් කරමින් සිටින බව වාර්තා වේ. විශේෂයෙන් අරාබි පක්ෂ සම්බන්ධයෙන් එල්ල කර ඇති මෙම චෝදනාවලට තහවුරු කළ සාක්ෂි ඉදිරිපත් කර නොමැති බව ද සඳහන් වේ.
කෙසේ වෙතත්, ඊශ්රායල මැතිවරණ බලධාරීන් පෙන්වා දී ඇත්තේ ඡන්ද වංචා සම්බන්ධයෙන් පැතිර යන චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත බවයි.
මේ අතර, ප්රධාන විපක්ෂ කණ්ඩායම අරාබි පක්ෂ සමඟ එක්ව කටයුතු කළහොත් ආසන 61ක බහුතරය ඉක්මවා ගොස් නව ආණ්ඩුවක් පිහිටුවීමේ හැකියාව පවතී. එහෙත් අරාබි පක්ෂ සමඟ දේශපාලන සන්ධානයක් ගොඩනැඟීම සම්බන්ධයෙන් විපක්ෂය තුළ ද මතභේද පවතින බැවින් එය අභියෝගාත්මක ක්රියාවලියක් වනු ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.
නව ආණ්ඩුවක් පිහිටුවීමේ ක්රියාවලිය අවසන් වන තෙක් නෙතන්යාහු අග්රාමාත්ය ධුරයේ තවදුරටත් කටයුතු කරනු ඇත.
කෙසේ වෙතත්, ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වන සාකච්ඡා අසාර්ථක වුවහොත් ලබන වසරේ මුල් භාගයේදී යළිත් මහ මැතිවරණයක් පැවැත්වීමට සිදුවිය හැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
නෙතන්යාහුට බලය අහිමි වුවහොත් ඔහුට එරෙහිව දැනටමත් පවතින දූෂණ නඩු සම්බන්ධයෙන් දේශපාලන හා නීතිමය බලපෑම් තවදුරටත් ඉහළ යා හැකි බවට ද විදෙස් මාධ්ය වාර්තා කර තිබේ.
