මියයෑමක් සම්බන්ධයෙන් කොබෙයිගනේ පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්

කොබෙයිගනේ පොලිසිය භාරයේ සිටියදී රෝහල්ගත කිරීමෙන් අනතුරුව මියගිය සැකකරුගේ සිද්ධිය සම්බන්ධයෙන් එම පොලිස් ස්ථානයේ සේවය කරන පොලිස් සැරයන්වරුන් දෙදෙනෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර තිබේ.

රාජකාරිය පැහැර හැරීමේ චෝදනාව මත අදාළ නිලධාරීන්ට එරෙහිව මෙම විනය ක්‍රියාමාර්ගය ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කර ඇත.

පසුගිය ඔක්තෝබර් 25 වැනිදා දහවල් කොබෙයිගනේ, බැද්දේගම ප්‍රදේශයේදී සොරකම් කිහිපයකට සම්බන්ධ බවට සැක කෙරෙන මෙම පුද්ගලයා ප්‍රදේශවාසීන් විසින් අල්ලා කොබෙයිගනේ පොලිසියට භාරදී තිබේ.

අනතුරුව දින දෙකක පමණ කාලයක් පොලිස් අත්අඩංගුවේ පසුවූ එම සැකකරු ඔක්තෝබර් 27 වැනිදා රාත්‍රියේ නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

මෙම මරණයත් සමඟ සැකකරු අල්ලා පොලිසියට භාරදුන් ප්‍රදේශවාසීන් පස්දෙනෙකු කොබෙයිගනේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

කෙසේ වෙතත්, අත්අඩංගුවට ගත් පුද්ගලයන්ගේ ඥාතීන් චෝදනා කරන්නේ සැකකරු අල්ලා ගසක බැඳ පැයක් ගතවීමටත් පෙර පොලිසිය දැනුවත් කර ඔහු නිරුපද්‍රිතව පොලිසියට භාරදුන් බවයි.

සැකකරුට කිසියම් පහරදීමක් සිදුවී තිබුණේ නම්, ඔහු මියයාමට පෙර රෝහල්ගත කිරීමට පොලිසිය පියවර ගත යුතුව තිබූ බව ද ඔවුහු පෙන්වා දෙති.

මේ අතර, අත්අඩංගුවට ගත් ප්‍රදේශවාසීන් පස්දෙනා මෙතෙක් මුදාහැර නොමැති අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කර ඇත.

Author

Leave a Reply

Related Posts