කන්ටේනර් 323 කමිටු වාර්තාව නැතිවෙලා නෑ! අවසන් තීන්දුව ලබාදෙන දිනය ගැන අධිකරණ ඇමති කියයි

ආන්දෝලනාත්මක කන්ටේනර් 323 සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත් කළ විශේෂ කමිටුවේ වාර්තාව අස්ථානගත වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාර සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් එහි අවසන් තීන්දුව සකස් කර ලබන සතිය අග වන විට වාර්තාව සම්පූර්ණ කර අවසන් කරන බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

කමිටු වාර්තාව අතුරුදහන් වී ඇති බවට පළවන වාර්තා ප්‍රතික්ෂේප කරමින් අමාත්‍යවරයා සඳහන් කළේ, කථානායකවරයා විසින් පත් කරන ලද මෙම කමිටුව හමුවේ සාක්ෂිකරුවන් දස දෙනෙකුගේ සාක්ෂි විභාග කර ඇති බවත් ඊට අදාළ සෑම ලේඛනයක්ම පාර්ලිමේන්තුවේ නිල වශයෙන් වාර්තාගතව සුරක්ෂිතව පවතින බවයි.

සාක්ෂි මෙහෙයවීමෙන් අනතුරුව ෆයිල් කවර 15කට අධික විශාල ලේඛන ප්‍රමාණයක් ගැඹුරින් පරිශීලනය කරමින් තීන්දුව ලිවීමට සිදුවූ බැවින් වාර්තාව සකස් කිරීමට අමතර කාලයක් ගතවූ බව අමාත්‍යවරයා සඳහන් කළා.

ඒ අනුව පාර්ලිමේන්තුවට දැනුම්දී කථානායකවරයාගේ අනුමැතිය ඇතිව කමිටු කාලසීමාව තවත් මාස තුනකින් දීර්ඝ කරගෙන ඇති අතර එම නිල කාලය අවසන් වන්නේ එළඹෙන දෙසැම්බර් 21 වැනිදා බව හර්ෂණ නානායක්කාර මහතා පවසනවා.

මේ වන විට තීන්දුව සම්පාදනය කර අවසන්ව යතුරුලියන අංශය වෙත යොමු කර ඇති බැවින් එළඹෙන සතිය අවසන් වන විට සම්පූර්ණ වාර්තාව නිම කිරීමට හැකි බවද අමාත්‍යවරයා සඳහන් කළා.

කමිටු විමර්ශන පැවැත්වෙන සමයේ පවා විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත වැරදි තොරතුරු නිකුත් කළ බව පැවසූ අමාත්‍යවරයා, පෙන්වාදෙන්නේ මෙවැනි අසත්‍ය ප්‍රචාර පිටුපස ඔවුන් සිටිය හැකි බවට සැක පළ වන බවයි.

කෙසේවෙතත් විවෘත පාර්ලිමේන්තුව තුළ නිසි නීතිමය ක්‍රියාපටිපාටියට අනුව කාලය දීර්ඝ කරගෙන කටයුතු කරන බැවින් නියමිත දෙසැම්බර් 21 දිනට පෙර අදාළ අවසන් වාර්තාව සහ තීන්දුව සභාගත කිරීමට පියවර ගන්නා බවත් කිසිදු ලේඛනයක් අස්ථානගත වී නොමැති බවට ජනතාවට සහතික වන බවත් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළා.

Author

Leave a Reply

Related Posts