අපි සාගර පතුලෙන් යම් කොටසක් සිතියම් ගත කරලා ඉවරයි. අවුරුදු දහස් ගණනකට කලින් වඳවෙලා ගිය සතුන්ගේ DNA පවා නිවැරදිව නිසාරණය කරන්න අපිට පුළුවන්. ඒ විතරක් නෙවෙයි, පෘථිවියේ දුර බැහැර ප්‍රදේශයක හටගන්නා දූවිලි කුණාටුවක් ගැන වුණත් කල් තබා පුරෝකථනය කරන්න තරම් අද වන විට තාක්ෂණය දියුණුයි. හැබැයි “ඊයේ රෑ මම ඩෙස්ටිනේෂන් එකට යන ෆ්ලයිට් එක මිස් වුණා කියලා හීනෙන් දැක්කේ ඇයි?” කියලා නින්ද පිළිබඳ පර්යේෂකයෙකුගෙන් ඇහුවොත්, නොයෙකුත් මතවාද කීපයක් කියවනවා ඇරෙන්න පැහැදිලි එක උත්තරයක් දෙන්න එයාට බැරි වෙයි.
සිහින කියන්නේ නූතන විද්‍යාවේ තියෙන අමුතුම ආකාරයේ “නොපැහැදිලි ප්‍රදේශයක්” (Blind spot). ඒ පර්යේෂණ නොකරන නිසා නෙවෙයි, වෙන කෙනෙකුගේ නොදැනුවත් මනස ඇතුළේ විතරක් සිද්ධ වෙන අත්දැකීමක් ගැන අධ්‍යයනය කරන එක ඇත්තටම හරිම අමාරු වැඩක් නිසා. විසිවෙනි සියවසේ වැඩි කාලයක් තිස්සේ විද්‍යාඥයන් හිතුවේ සිහින කියන්නේ නිකන්ම නිකන් “නියුරෝනවල ශබ්දය” (Neural noise) කියලයි. ඒ කියන්නේ, රෑට ක්‍රියාකාරී වෙන මොළයෙන් පිටවෙන කිසිම තේරුමක් නැති රැල්ලක් විතරයි කියලා.
හැබැයි ඒ මතයේ ලොකු හිඩැස් තියෙනවා. සිහින කියන්නේ කිසිම තේරුමක් නැති දෙයක් නම්, මොළය විසින් අපි හීන දකින සෑම අවස්ථාවකම අපේ පේශි අක්‍රිය කරලා (Paralyze) තබන්නේ ඇයි? මොළය තමන්ගේ ශක්තිය සහ ඔක්සිජන් වැඩිපුර වැය කරමින් REM (Rapid Eye Movement) කියන නින්දේ අවස්ථාව පවත්වාගෙන යන්නේ ඇයි? ඒ වගේම, බඩේ ඉන්න කලලයකට කිසිම බාහිර ජීවිත අත්දැකීමක් නැතුවත් REM නින්ද ඇතිවෙන්නේ ඇයි?
මෙතැනදී ඊට වඩා සංවිධානාත්මක යමක් සිද්ධ වෙන බව පැහැදිලියි. ස්නායු විද්‍යාව දිහා බැලුවාම, සිහින කියන්නේ නිකන්ම නිකන් “නොයිස්” එකක් නෙවෙයි. ප්‍රසිද්ධ ස්නායු විද්‍යාඥ ජෝන් ඇලන් හොබ්සන් (J. Allan Hobson) විසින් ඉදිරිපත් කරන ලද උත්තේජක-සංස්ලේෂණ න්‍යාය සහ පර්යේෂක ජී. විලියම් ඩොම්හෝෆ් (G. William Domhoff) ගේ ස්නායු සංජානන න්‍යාය පෙන්වා දෙන පරිදි, සිහිනයක් යනු ක්‍රමයෙන් ගොඩනැගෙන, කතාවක් බවට පත්වෙන ස්තරාන්විත ක්‍රියාවලියක්. මෙය දැඩි ලෙස වෙන්කළ වෛද්‍ය විද්‍යාත්මක වර්ගීකරණයක් නොවුණත්, මොළයේ විවිධ කොටස්වල ක්‍රියාකාරීත්වය පදනම් කරගනිමින් සිහින ඇතිවන ප්‍රධාන ස්තර 5ක් ලෙස; පළමුව මොළයේ කඳ (Brainstem) හරහා අහඹු විදුලි සංඥා උත්පාදනය වීමත්, දෙවනුව ලිම්බික් පද්ධතිය හරහා හැඟීම් සහ මතක එකතු වීමත්, තෙවනුව දෘශ්‍ය බාහිකයෙන් සජීවී ප්‍රතිරූප නිර්මාණය වීමත්, සිව්වනුව පෙර ඉදිරි බාහිකය මගින් ඒවා අඛණ්ඩ කතාවක් (Narrative) ලෙස හැඩගැසීමත්, අවසානයේ මේ සියල්ල එකතු වී සම්පූර්ණ සිහිනයක් ලෙස මනස තුළ ක්‍රියාත්මක වන සංකීර්ණ ජීව විද්‍යාත්මක සහ මානසික ක්‍රියාවලියක් ලෙස හැඳින්විය හැක.
1 වන ස්තරය;
සිහිනයකට පැහැදිලි කතාවක් හෝ අන්තර්ගතයක් ලැබෙන්න කලින්, අපි හැමෝම වගේ Hypnagogia කියන අන්තර්-අවස්ථාව පසුකරනවා. ඒ කියන්නේ අවදියෙන් සිට නින්දට යන අතරමැදි අවස්ථාවයි. මෙතැනදී මොළය තවම සිදුවීම් මවන්නේ නැහැ. ඒ වෙනුවට මවන්නේ විවිධ රටා.
1920 ගණන්වලදී මනෝවිද්‍යාඥ “හයින්රිච් ක්ලූවර්” (Heinrich Klüver) කරපු පර්යේෂණවලදී හෙළිවුණා, මිනිසුන් නින්දට වැටෙන මොහොතේදී ජාලාකාර, මකුළු දැල්, උමං සහ සර්පිලාකාර කියන ප්‍රධාන ජ්‍යාමිතික හැඩතල හතර නිතර දකින බව. “Form Constants” කියල තමයි එයා මේවට කිව්වේ.
මොළය නින්දට යද්දී මෙහෙම ජ්‍යාමිතික හැඩතල මවන්නේ ඇයි? ස්නායු විද්‍යාඥයන් වන “ඩේවිඩ් ඊගල්මන්” සහ “ඩොන් වෝන්” ඉදිරිපත් කරන්නේ “ආරක්ෂිත සක්‍රියකරණ න්‍යාය” (Defensive activation theory) යි. රාත්‍රියට සම්පූර්ණයෙන්ම අඳුරු වන එකම සංවේදී ඉන්ද්‍රිය වන්නේ ඇසයි. ඒ නිසා දෘශ්‍ය බාහිරිකයට (Visual cortex) හිමි භූමිය අනෙක් සංවේදනයන් විසින් අත්පත් කරගැනීමේ අවදානමක් තියෙනවා. නින්දේදී, විශේෂයෙන්ම REM නින්දේදී, දෘශ්‍ය බාහිරිකය නොනවත්වා ක්‍රියාත්මක කරවන්නේ ඒ භූමිය අහිමි වීම වළක්වන්නයි. මෙය තවමත් තහවුරු කළ නොහැකි වුවත් ඉතා කුතුහලය දනවන මතයක්.
2 වන ස්තරය;
ජ්‍යාමිතික රටාවලින් පස්සේ සිහිනයට පසුබිමක් හැදෙන්න පටන් ගන්නවා. හැබැයි මේ පරිසරය හරිම හිස්. අපි “සිහින ලෝකය” කියලා කියන්නේ මෙන්න මේ අවස්ථාවට. හුරුපුරුදු, ඒත් අමුතු අනුපාතවලින් පිරුණු, වටපිටාව හිස් ස්ථාන.
මේ හිස්බව පුරවන්නේ වෙන කිසිවක් නෙවෙයි, අපේ අමු ඡන්දය හෙවත් අමු හැඟීම් (Raw emotion). මේ අවස්ථාවේදී මොළයේ Amygdala (හැඟීම් පාලනය කරන කොටස) දැඩි ලෙස සක්‍රිය වන බව ස්කෑන් පරීක්ෂණවලින් පෙනී ගොස් තිබෙනවා. තාම කතාවක් නැහැ, චරිත නැහැ, තියෙන්නේ බය, ආශාව, එහෙමත් නැත්නම් නොසන්සුන්කම වගේ අමු හැඟීම් විතරයි.
3 වන ස්තරය;
ඊළඟ ස්තරයේදී තමයි සිහිනයකට සැබෑ කතා තේමාවක් ලැබෙන්නේ. හැබැයි ඒ කතාව දිවෙන්නේ සැබෑ ලෝකයේ තර්කයට නෙවෙයි, හැඟීම්වල තර්කයට අනුවයි.
ලෝකය පුරා කෙරුණු සමීක්ෂණවලට අනුව, සංස්කෘතීන් සහ වයස් සීමා වෙනස් වුණත් මිනිසුන් දකින හීනවල ලොකු සමානකමක් තියෙනවා. කවුරුහරි පස්සෙන් එලවනවා, උසක ඉදන් වැටෙනවා, විභාගයකට හෝ ගමනකට පරක්කු වෙනවා, දත් ගැලවී යනවා වගේ තේමාවන් ඒ අතරින් ප්‍රධානයි. විශේෂයෙන්ම “ගමනක් යන්න හදද්දී වෙන බාධාවන්” (උදාහරණයකට වෙනස් වෙන ගේට්ටු, අල්ලගන්න බැරි වෙන ෆ්ලයිට් එක) වගේ හීන, අපේ එදිනෙදා ජීවිතයේ තියෙන බිය සහ ආතතිය එක්ක සෘජුවම සම්බන්ධයි.
මනෝවිද්‍යාඥ “ඇන්ටි රෙවොන්සුවෝගේ” “තර්ජන අනුකරණ න්‍යාය” (Threat simulation theory) මගින් කියවෙන්නේ, මොළය විසින් සිහින භාවිත කරන්නේ සැබෑ ලෝකයේදී මුහුණ දීමට සිදුවන අනතුරු සඳහා පෙර පුහුණුවීම් (Rehearsal) වන බවයි.
4 වන ස්තරය;
යම් අවස්ථාවකදී සිහිනය ඔබට වෙනස්ම අත්දැකීමක් දෙනවා. ඒ කියන්නේ, “මේක මම මවන එකක්” නෙවෙයි, “මට වෙන දෙයක්” කියන හැඟීම එනවා. චරිත නිතර නිතර එනවා, ස්ථාන හරිම තාත්විකයි. ලෝකයේ වැඩිම දෙනෙක් දකින “කවුරුහරි පස්සෙන් එළවනවා” කියන හීනය එන්නේ මේ ස්තරයේදීයි.
මෙතැනදී ස්නායු විද්‍යාඥයන් කොටස් දෙකක් දකිනවා:
1. පුද්ගලික ස්තරය: ඔබේ මතකයන් සහ දැනට තියෙන ප්‍රශ්න.
2. පරිණාමීය ස්තරය: සතුන්ගෙන් බේරීමට දිවීම, උගුල්වලට හසුවීම වැනි අපේ ආදිතම ජානවලින් එන බය.
පස්සෙන් එළවන කෙනාගේ මුහුණ ඔබේ සැබෑ ජීවිතයේ කෙනෙකුගේ වෙන්න පුළුවන්, හැබැයි ඒ එන භීතිය අපේ පරිණාමීය ජානවලින් එන universal දෙයක්.
5 වන ස්තරය;
සිහින ලෝකයේ ගැඹුරුම සහ දුර්ලභම ස්තරය තමයි මේ. ඒ කියන්නේ තමන් ඉන්නේ හීනයක් ඇතුළේ බව තමන්ටම තේරෙන අවස්ථාව (Lucid dreaming).
මේ වෙලාවේදී මොළයේ ස්වයං-විවේචනය සහ තර්කනය පාලනය කරන Dorsolateral prefrontal cortex කොටස නැවත සක්‍රිය වෙනවා. සාමාන්‍යයෙන් හීන දකිද්දී මේ කොටස අක්‍රියයි (ඒ නිසයි හීනෙදී කොච්චර අමුතු දේවල් වුණත් අපිට ඒ වෙලාවට විකාරයක් කියලා හිතෙන්නේ නැත්තේ). හැබැයි lucid dreaming වලදී මේ කොටස ක්‍රියාත්මක වෙනවා.
මේ ස්තරයේදී අමුතු අත්දැකීම් දෙකක් වෙන්න පුළුවන්:
1. හීනේ ඉන්න චරිතයකට “උඹ හීනයක් විතරයි” කියලා කියන්න යාම: මෙවැනි වෙලාවලදී ඒ චරිත ඉතා අමුතු හෝ සැර විදිහට ප්‍රතිචාර දක්වන්න පුළුවන්.
2. තට්ටු හීන (Nested Dreams / False Awakening): තමන් ඇහැරුණා කියලා හීනෙන් හිතලා, උදේ වැඩට ලෑස්ති වෙනවා. හැබැයි මොකක්හරි අමුත්තක් (උදාහරණයකට කණ්නාඩියෙන් පෙනෙන වෙනස් රූපයක්) දැකලා ආපහු ඇහැරෙනවා. හැබැයි ඒ ඇහැරෙන්නෙත් තවත් හීනයකට! මේ වගේ ලූප් එකක් කීපපාරක් වෙන්න පුළුවන්.
මේ ස්තර 5 දිහා බැලුවාම එක දෙයක් පැහැදිලියි: දෘශ්‍ය බාහිරිකයේ ජ්‍යාමිතික රටාවලින් පටන් අරන්, Amygdala එකෙන් එන හැඟීම්, ඊටපස්සේ ගොඩනැගෙන කතා තේමාවන්, සහ අවසානයේ සක්‍රිය වන තර්කනය. මේ හැමදේම පිටුපස නිශ්චිත මොළයේ ක්‍රියාකාරීත්වයක් තියෙනවා.
අපිට තවම විසඳගන්න බැරි වුණේ, මොළය ඇයි මේ විදිහට සංවිධානය වෙන්නේ? කියන එක සහ ලෝකයේ දෙකෙළවරක ඉන්න දෙන්නෙක් එකම විදිහට හීන දකින්නේ ඇයි? කියන එක විතරයි.
ඔබටත් ඔබේ හීන ගැන සෙවීමක් කරන්න ඕනේ නම්, ඇඳ ළඟින් කොළයක් සහ පෑනක් තියාගන්න. උදේ ඇහැරුණු ගමන් මතක තියෙන දේවල් සටහන් කරගන්න. සති කීපයකින් ඔබට ඔබේ හීනවල රටාව තේරුම් ගන්න පුළුවන් වෙයි. හැබැයි එකම බියකරු හීනය නිතර නිතර ඇවිත් ඔබේ නින්දට බාධා කරනවා නම්, ඒක තනිවම විඳදරාගන්නේ නැතුව වෛද්‍යවරයකු හමුවීම තමයි නුවණට හුරු!
මොකද, විද්‍යාව එක දෙයක් පැහැදිලිවම කියනවා. හැමදාම රෑට ඔබේ ඇස් පියවෙද්දී සිද්ධවෙන්නේ නිකන්ම නිකන් අන්ධකාරයක් (හෝ හිස්බවක්) නෙවෙයි. ඊට වඩා හරිම අපූරු, සංකීර්ණ සිතියමක් එතැන නිර්මාණය වෙනවා!
