හිමාලය හිසමතට කඩාවැටීමට හේතුව දේශගුණ අර්බුදයද? නේපාල් මහා ගංවතුරට හේතුව ගැන දැනට දන්නා දේවල්

නේපාල්–ටිබෙට් දේශසීමාවේ කඳු අතරින් පසුගියදා ආ මහා ගංවතුර ඔබ දකින්නට ඇත. මේ වෙද්දී සමාජ මාධ්‍යවල බොහෝ වීඩියෝ යනාදිය හුවමාරු වෙයි.

ඒ ගංවතුරේ තිබුණේ ජලය පමණක් නොවීය. අයිස්, පාෂාණ, මඩ, වැලි, ගස් සහ ගොඩනැගිලි කොටස් මිශ්‍ර වූ වේගවත් විනාශකාරී රැල්ලක් අපට දිස්විය.

එම රැල්ලට හසු වූ ගම්මාන සම්පූර්ණයෙන්ම මැකී ගියේය. මාර්ග, පාලම්, ජලවිදුලි බලාගාර සහ වෙළෙඳපොළවල් ගඟ සමඟ ගසාගෙන ගියේය.

නේපාල් රජයේ අගෝස්තු 27 පෙරවරු සංඛ්‍යාලේඛන අනුව නේපාල් භූමියෙන් පුද්ගලයන් 165 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ. තවත් 826 දෙනෙක් අතුරුදන්ව සිටිති. තුවාල ලැබූ සංඛ්‍යාව අවම වශයෙන් 73කි.

අතුරුදන්වූවන් අතර සංචාරකයන් 579 දෙනෙක් සිටිති. ඔවුන්ගෙන් 466 දෙනෙක් විදේශිකයෝය. නේපාල් යුද හමුදා සාමාජිකයන් 44ක්, පොලිස් නිලධාරීන් 28ක් සහ සන්නද්ධ පොලිස් බලකා සාමාජිකයන් 13ක්ද අතුරුදන් ලැයිස්තුවේ සිටිති.

චීනයේ ටිබෙට් ප්‍රදේශයෙන් තවත් මරණ තුනක් සහ අතුරුදන්වීම් 558ක් වාර්තා වී තිබේ.

ඒ අනුව දෙපසම එකතු කළ විට තහවුරු වූ මරණ සංඛ්‍යාව අවම වශයෙන් 168කි. අතුරුදන් සංඛ්‍යාව 1,300 ඉක්මවයි.

මඩ තට්ටු යට, ගංගා ඉවුරුවල සහ පහළ ප්‍රදේශවල සිරුරු සෙවීම දිගටම සිදුවන බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යනු ඇතැයි නේපාල් පොලිසිය පවසයි. අතුරුදන්වූවන් ප්‍රමාණයද බොහෝ වැඩි වනු ඇත.

විනාශයට පත්වූ ප්‍රදේශය

විපත ආරම්භ වී ඇත්තේ නේපාල් සහ චීනය පාලනය කරන ටිබෙට් ප්‍රදේශය අතර පිහිටි අතිශය කඳුකර දේශසීමාවකිනි.

අයිස් සහ පාෂාණ කඩා වැටුණු ස්ථානය Rasuwagadhi දේශසීමා පිවිසුමට කිලෝමීටර් 20ක් පමණ ඊසාන දෙසින්, Lhende Khola ගංගා නිම්නය ආසන්නයේ පිහිටා තිබේ.

මෙය මුහුදු මට්ටමේ සිට මීටර් 5,000කට වැඩි උසකින් යුත් ග්ලැසියර, හිම, ස්ථිරව මිදුණු පස් හෙවත් permafrost සහ දැඩි බෑවුම් සහිත භූමි ප්‍රදේශයකි. කඳු අතර ගංගා ගලා යන්නේ ගැඹුරු සහ පටු දුර්ග හරහාය.

එවැනි නිම්නයකට එකවර විශාල ජල–මඩ–පාෂාණ ප්‍රමාණයක් ඇතුළු වූ විට එය දෙපසට පැතිරෙන්නේ නැත. පටු දුර්ගය තුළ සිරවී වේගය සහ උස වැඩි කරගනිමින් පහළට ගමන් කරයි.

ගංවතුරෙන් වැඩිම හානිය සිදුවූ Rasuwa දිස්ත්‍රික්කයේ ජනගහනය 50,000කට ආසන්නය. එය Kathmandu සහ Lhasa සම්බන්ධ කරන පැරණි වෙළෙඳ හා සංචාරක මාර්ගයේ කොටසකි. Kailash Mansarovar වන්දනාවේ යන හින්දු සහ බෞද්ධ වන්දනාකරුවන් විශාල පිරිසක්ද මේ මාර්ගය භාවිත කරති.

ගංවතුර ඇති වූ දිනයේ විදේශීය සංචාරකයන් සහ වන්දනාකරුවන් විශාල පිරිසක් ප්‍රදේශයේ රැඳී සිටීම අතුරුදන්වූවන්ගේ සංඛ්‍යාව ඉහළ යෑමට හේතුවක් වී තිබේ.

Rasuwa සිට පහළට Nuwakot, Dhading, Gorkha, Chitwan සහ Nawalparasi දක්වා ගංගා ඉවුරු ආශ්‍රිත ප්‍රදේශ විනාශයට පත්ව ඇත. Timure, Syabrubesi, Betrawati, Trishuli Bazaar සහ Malekhu ඇතුළු ජනාවාස සහ වෙළෙඳ මධ්‍යස්ථාන දැඩි ලෙස බලපෑමට ලක්ව තිබේ.

පාලම්, මාර්ග සහ විදුලිබල පද්ධතියට සිදුවූ හානිය

නේපාල් මාර්ග දෙපාර්තමේන්තුවේ මූලික ගණනය අනුව අවම වශයෙන් පාලම් 19ක් සහ මාර්ග කිලෝමීටර් 40ක් විනාශ වී හෝ බරපතළ ලෙස හානි වී තිබේ.

Trishuli Bazaar ප්‍රදේශයේ පමණක් නිවාස 60කට ආසන්න සංඛ්‍යාවක් ගසාගෙන ගොස් ඇති බව ප්‍රාදේශීය වාර්තා සඳහන් කරයි.පාසල්, වෙළෙඳසල්, රථවාහන, රේගු පහසුකම් සහ බැංකු ශාඛාද විනාශ වී තිබේ. Rasuwa ප්‍රදේශයේ වාණිජ බැංකු ශාඛා නවයක් ගංවතුරට ගසාගෙන ගොස් ඇත.

නේපාල් බලශක්ති අමාත්‍යාංශය අනුව Trishuli ගංගා ද්‍රෝණියේ ක්‍රියාත්මක විදුලි උත්පාදන මධ්‍යස්ථාන 12ක් අක්‍රිය වී තිබේ. එමඟින් මෙගාවොට් 431.1ක උත්පාදන ධාරිතාවක් ජාතික පද්ධතියෙන් තාවකාලිකව ඉවත් වී ඇත. ඉදිකරමින් තිබූ ජලවිදුලි ව්‍යාපෘති 15කටද හානි වී තිබේ. ඒවායේ සැලසුම්ගත සමස්ත ධාරිතාව මෙගාවොට් 470ක් පමණය.

Rasuwagadhi, Chilime, Trishuli 3A සහ Trishuli 3B ඇතුළු බලාගාර සහ උපපොළවල් හානියට පත්වීම නිසා Rasuwaහි විදුලි සැපයුම සම්පූර්ණයෙන්මත්, අවට දිස්ත්‍රික්ක කිහිපයක සැපයුම අර්ධ වශයෙන්ත් බිඳ වැටී තිබේ.

භෞතික යටිතල පහසුකම්වලට පමණක් සිදුවූ හානිය නේපාල් රුපියල් බිලියන 200කට ආසන්න විය හැකි බව එරට භෞතික යටිතල පහසුකම් අමාත්‍යවරයාගේ මූලික ඇස්තමේන්තුවයි.

කෘෂිකාර්මික ඉඩම්, පවුල්වල නිවාස සහ ජීවනෝපාය, සංචාරක ආදායම, ව්‍යාපාර, විදුලි උත්පාදනය සහ දේශසීමා වෙළෙඳාමට සිදුවූ සමස්ත පාඩුව තක්සේරු කිරීමට තවත් කාලයක් ගතවනු ඇත.

ඇත්තටම ගංවතුර ඇතිවුණේ කොහොමද?

දැනට ලැබී ඇති ප්‍රබලම විද්‍යාත්මක පැහැදිලි කිරීම අනුව, විශාල ග්ලැසියර කොටසක් සමඟ පාෂාණ තට්ටුවක් කන්දෙන් කඩා වැටීම විපත ආරම්භ කළේය.

මෙය ice-rock avalanche එකකි.

චන්ද්‍රිකා ඡායාරූප පරීක්ෂා කළ විද්‍යාඥයන්ට අනුව, මීටර් 5,200ක් පමණ උසක තිබූ ග්ලැසියරයේ පහළ කොටසක් කැඩී මීටර් 1,200ක් පමණ පහළ නිම්නයට වැටී තිබේ.

එවැනි උසකින් පහළට වැටෙන අයිස් සහ පාෂාණ ස්කන්ධයක ශක්තිය අතිවිශාලය.

එය නිම්නයේ පස්, ගල් සහ මෝසම් සමයේදී ජලයෙන් පිරී තිබූ අවසාදිතද තමන් සමඟ ඇදගෙන ගියේය.

වැටීමේ බලයෙන් අයිස් කොටසක් කුඩු වී ජලය සහ අයිස් මිශ්‍ර තරලයක් බවට පත්වන්නටද ඇත.

එම මහා ස්කන්ධය Lhende Khola ගංගාව තාවකාලිකව අවහිර කළ බව නේපාල් ගංවතුර පුරෝකථන අංශයේ තාක්ෂණික වාර්තාව කියයි.

එමඟින් කෙටි කාලීන ස්වාභාවික ජලාශයක් නිර්මාණය විය.

එහි පීඩනයට අයිස්, මඩ සහ පාෂාණවලින් හැදුණු අවහිරය බිඳී ගිය විට, එකවර පහළට මුදාහැරුණු ජලය මඩ සහ විශාල ගල් කැට සමඟ විනාශකාරී රැල්ලක් බවට පත්විය.

ඒ නිසා මෙය අප එදිනෙදා කතා කරන ජලය වැඩි වී ගලන ගංවතුරක් නොවේ. පාෂාණ මුසු වූ නාය යෑමක් බදු ගලා යෑමකි. එවැන්නක් සාමාන්‍ය ජල කදකට වඩා ඝන වන අතර බරින්ද වැඩිය. සාමාන්‍ය ගංවතුරක් මනුෂ්‍ය ඉදිකිරීම් හරහා ගලා ගොස් දේපළවලට සාපේක්ෂව අඩු හානියක් සිදු කරනු ඇත. එහෙත් මෙවැන්නක් සම්පූර්ණයෙන්ම තිබුණු තත්වය වෙනස් කරයි. ඇත්ත වශයෙන්ම දිඨ්වා සුළි කුණාටුව සමග ලංකාවේ ඇති වූ බොහෝ නායයෑම්ද මෙවැනි පාෂාණ සහ ජලය ගලායෑම තුළින් ඇති වූ ඒවාය.

මෙවැන්නකට ගොඩනැගිලිවල පාදම කඩා දැමිය හැකිය. පාලම් උදුරා දැමිය හැකිය. වාහන සහ විශාල පාෂාණ පවා පහළට රැගෙන යා හැකිය.

Galchhi ප්‍රදේශයේ ගඟේ ජල මට්ටම මිනිත්තු 30ක් ඇතුළත මීටර් නවයකින් පමණ ඉහළ ගොස් තිබූ බව වාර්තා විය.

භූමිකම්පනයක් මේ විපත ඇති කළාද?

මුලින්ම එසේ සැක කෙරිණි.

අගෝස්තු 26 පෙරවරු 8.37ට නේපාල්–චීන දේශසීමාව ආසන්නයෙන් රික්ටර් පරිමාණ 4.4ක භූමිකම්පනයක් සිදුවූ බව ඇමෙරිකානු භූවිද්‍යා සමීක්ෂණ ආයතනය—USGS—වාර්තා කළේය. ඒ නිසා පළමු නිල වාර්තාවලින් කියැවුණේ භූමිකම්පනය ග්ලැසියරය කඩා වැටීමට හේතු වූ බවය. එහෙත් USGS පසුව එය නිවැරදි කළේය.

එහි නව විග්‍රහය අනුව එම ස්ථානයේ භූගර්භ තැටි චලනයකින් ඇති වූ භූමිකම්පනයක් සිදුවී නැත.

කඩා වැටුණු අයිස් සහ පාෂාණ ස්කන්ධයේ බලය පොළොව හරහා ගමන් කර භූකම්පන සංඥාවක් නිර්මාණය කර තිබේ. එම සංඥාව රික්ටර් පරිමාණ 5.2ක පමණ සිදුවීමකට සමාන විය. එනම් භූමිකම්පනය ග්ලැසියරය කඩා දැමූ බව නොව, ග්ලැසියරය සහ කන්ද කඩා වැටීම භූමිකම්පනයක් වැනි සංඥාවක් ඇති කළ බවය.

මෙය ග්ලැසියර විලක් පිපිරීමක්ද?

දැනට ඇති සාක්ෂි අනුව මෙය සාම්ප්‍රදායික glacial lake outburst flood හෙවත් GLOF එකක් ලෙස හැඳින්වීම නිවැරදි නොවිය හැකිය.

ග්ලැසියර දියවීමෙන් සෑදෙන විශාල විලක ස්වාභාවික බැම්ම බිඳී යෑම සාමාන්‍ය GLOF සිදුවීමකි.

එහෙත් මෙම ගංවතුර ගමන් කළ මාර්ගයට ඉහළින් එවැනි විශාල පෙර පැවති ග්ලැසියර විලක් නොපෙනෙන බව චන්ද්‍රිකා ඡායාරූප පරීක්ෂා කළ විද්‍යාඥයන් පවසති.

මෙහිදී සිදුවන්නට ඇත්තේ අයිස්–පාෂාණ නාය යෑමෙන් ගඟ හදිසියේ අවහිර වීමත්, එයින් නිර්මාණය වූ තාවකාලික ජලාශය ඉක්මනින් බිඳී යෑමත්ය.

ඒ නිසා “ග්ලැසියරයක් කඩා වැටීමෙන් ඇති වූ, තාවකාලික ස්වාභාවික බැම්මක් බිඳී නිර්මාණය වූ ගංවතුරක්” යන විස්තරය දැනට වඩාත් ගැළපේ.

ගෝලීය උෂ්ණත්වය සමඟ ඇති සම්බන්ධය

මෙම එක් ග්ලැසියර කඩා වැටීම “දේශගුණ විපර්යාස නිසාම සිදුවූවා” යැයි තවමත් නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකිය. කෙසේ වෙතත් එම අනුමානය ලොවපුරා විද්වතුන් ගණනාවක් මතු කර තිබේ. එවැන්නක් විද්‍යාත්මකව තහවුරු කිරීමට ග්ලැසියරයේ දිගුකාලීන වෙනස්වීම්, සිද්ධියට පෙර උෂ්ණත්වය, අයිස් යට ජලය, පාෂාණවල ස්ථාවරත්වය සහ අවට මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳ සවිස්තර විමර්ශනයක් අවශ්‍යය.

සිද්ධියට පෙර පැය 24 තුළ ප්‍රදේශයේ හිම විශාල ප්‍රමාණයක් දියවී තිබූ බව Planet Labs චන්ද්‍රිකා ඡායාරූපවලින් පෙනී යන බව භූවිද්‍යාඥ Daniel Shugar පවසයි.

උණුසුම ඉහළ යන විට හිම සහ ග්ලැසියර මතුපිට දියවීම වැඩිවේ.

එම ජලය අයිස්වල සහ පාෂාණවල ඉරිතැලීම් තුළට ඇතුළු වෙයි. එය අයිස් සහ පාෂාණ අතර ඇති බැඳීම දුර්වල කළ හැකිය.

ග්ලැසියර පසුබැසීමෙන් කඳු බෑවුම්වලට ලැබුණු භෞතික ආධාරයද අහිමි වේ.

ඉහළ කඳුවල පස් සහ පාෂාණ එකට බැඳ තබන permafrost දියවීම තවත් අවදානමකි. ශීත කළ බදාමයක් මෙන් පාෂාණ රඳවාගෙන සිටි අයිස් දියවූ විට විශාල පාෂාණ කොටස් චලනය වීමට පටන් ගනී.

මේවා සියල්ල අයිස්–පාෂාණ නායයෑම් සඳහා වඩා හිතකර පරිසරයක් නිර්මාණය කරයි.

Hindu Kush Himalaya කලාපයේ ග්ලැසියර අයිස් අහිමි වීමේ වේගය 2000 වසරෙන් පසු දෙගුණ වී ඇති බව 2026දී නිකුත් කළ ICIMOD වාර්තාව පෙන්වා දෙයි.

1990 සිට 2020 දක්වා එම කලාපයේ ග්ලැසියර ප්‍රදේශයෙන් සියයට 12ක් සහ ඇස්තමේන්තුගත අයිස් සංචිතයෙන් සියයට නවයක් අහිමි වී තිබේ. 1975 සිට ඇතැම් ස්ථානවල අයිස් ඝනකම මීටර් 27ක් දක්වා අඩුවී ඇත.

වර්තමාන විමෝචන මාර්ගය දිගටම පැවතුණහොත් සියවස අවසානය වන විට Hindu Kush Himalaya කලාපයේ වර්තමාන ග්ලැසියර පරිමාවෙන් සියයට 80ක් දක්වා අහිමි විය හැකි බව ICIMOD අනතුරු අඟවයි.

එමඟින් ග්ලැසියර විල් පිපිරීම් පමණක් නොව, නායයෑම්, අයිස් කඩා වැටීම්, හදිසි ගංවතුර සහ පසුකාලීන ජල හිඟයද වැඩි විය හැකිය.

ඒ අනුව මෙම විපතේ නිශ්චිත ප්‍රේරකය තවමත් විමර්ශනය යටතේ තිබුණත්, එය සිදුවූ කඳුකර පද්ධතිය මිනිසා විසින් ඇති කළ ගෝලීය උෂ්ණත්වය හේතුවෙන් වේගයෙන් අස්ථාවර වෙමින් පවතින බවට සැකයක් නැත.

ඉදිකිරීම් මෙයට හේතු වුණාද?

මෙය තවමත් විවෘත ප්‍රශ්නයකි.

Rasuwa සහ Trishuli ගංගා මාර්ගය පුරා ජලවිදුලි බලාගාර, මාර්ග, පාලම්, විදුලි සම්ප්‍රේෂණ පද්ධති සහ දේශසීමා වෙළෙඳ පහසුකම් විශාල සංඛ්‍යාවක් ඉදිකර තිබේ.

කඳු කපා මාර්ග ඉදිකිරීම, ගල් පිපිරවීම, නිසි ලෙස පස් ඉවත් නොකිරීම සහ බෑවුම්වල ස්වාභාවික ජලවහනය වෙනස් කිරීම සාමාන්‍යයෙන් නායයෑම් අවදානම වැඩි කළ හැකිය.

Daniel Shugar ඇතුළු විද්‍යාඥයන් ඉදිකිරීම්ද පරීක්ෂා කළ යුතු සාධකයක් බව සඳහන් කර තිබේ.

සංවර්ධනය යනු මෙගාවොට්, පාලම් සහ වෙළෙඳ මාර්ග ගණන වැඩි කිරීම පමණක් නම් මෙවැනි විනාශයන් නැවත සිදුවනු ඇත.

සංවර්ධනයට පෙර අවදානම මැනීම, ග්ලැසියර නිරීක්ෂණය, දේශසීමා අතර දත්ත හුවමාරුව, ආරක්ෂිත ඉඩම් භාවිතය සහ ජනතාවට කල්තියා අනතුරු ඇඟවීමත් එහි කොටසක් විය යුතුය.

ජලය ඉන්දියාවට ගියේ කොහොමද?

මෙම ගංවතුර ජාතික දේශසීමාවකින් නතර වූයේ නැත.

Lhende Khola ප්‍රදේශයෙන් ආරම්භ වූ රැල්ල Bhote Koshi ගඟට ඇතුළු විය.

එතැනින් එය Trishuli ගඟ ඔස්සේ නේපාල්හි මධ්‍යම ප්‍රදේශ හරහා පහළට ගියේය.

Trishuli ගඟ Devghatහිදී Kali Gandaki සමඟ එක්ව Narayani ගඟ නිර්මාණය කරයි.

Narayani ගඟ නේපාල්හි Terai තැනිතලාව හරහා ගොස් Triveni–Valmikinagar ආසන්නයෙන් ඉන්දියාවට ඇතුළු වේ. ඉන්දියාවේදී එය Gandak ගඟ ලෙස හැඳින්වේ.

Gandak ගඟ Uttar Pradesh සහ Bihar ප්‍රදේශ හරහා ගොස් Sonpur සහ Hajipur ආසන්නයෙන් ගංගා නදියට එක්වේ.

නේපාල් ගංවතුර පුරෝකථන අංශයට අනුව අමතර ජලය ඝන මීටර් මිලියන 20ක් පමණ Devghat හරහා ගමන් කර තිබේ.

ගංවතුර පෙරවරු 10.28ට Galchhi වෙතත්, පස්වරු එකට Muglin වෙතත්, පස්වරු 3.20ට Narayani–Devghat ප්‍රදේශයටත් ළඟා විය.

Devghat ජල මට්ටම පස්වරු හතරට මීටර් 6.57ක උපරිමයකට පැමිණ පස්වරු 6.30 වන විට පහළ යෑම ආරම්භ කර තිබුණි.

ඉන්දියාවේ Bihar ප්‍රාන්තයේ Valmikinagar Gandak බැරැජ් දොරටු 36ම විවෘත කර ජලය පහළට මුදාහැරීමට බලධාරීන් කටයුතු කළහ. අගෝස්තු 26 රාත්‍රී 11 වන විට එහි ජල මුදාහැරීම තත්පරයට ඝන අඩි 150,000ක් පමණ වී තිබිණි.

ඒ වන විට ප්‍රවාහය පහළ යනු ඇතැයි නිලධාරීන් අපේක්ෂා කළද, ගංගා ඉවුරු ආශ්‍රිත ප්‍රදේශ පැය 24 පුරා නිරීක්ෂණය කෙරිණි.

Bihar සහ Uttar Pradesh ප්‍රාන්තවල අවදානම් ප්‍රදේශවල ජනතාව ඉවත් කිරීමට සහ හදිසි සහාය ලබාදීමට පියවර ගෙන තිබේ. ඉන්දීය ජාතික ආපදා ප්‍රතිචාර බලකායද සීරුවෙන් තබා ඇත.

කෙසේ වෙතත්, ඉන්දීය මධ්‍යම ජල කොමිසම අගෝස්තු 26 රාත්‍රියේදී කියා සිටියේ නේපාල් පැත්තේ ජල මට්ටම් පහළ යමින් තිබෙන බැවින් ඉන්දියාවේ “භීතියට පත්විය යුතු තත්ත්වයක්” ඒ වන විට නොතිබූ බවය.

අනතුරු ඇඟවීම් තිබුණත් මුල් ප්‍රදේශයට කාලය නොතිබුණි

ගංවතුර පිළිබඳ මුල් තොරතුර ලැබීමෙන් පසු නේපාල් බලධාරීන් Rasuwa, Nuwakot, Dhading සහ Chitwan ප්‍රදේශවලට කෙටි පණිවුඩ 679,295ක් යවා තිබේ.

එම අනතුරු ඇඟවීම් පහළ ප්‍රදේශවල බොහෝ ජීවිත බේරාගැනීමට උපකාරී වූ බව තාක්ෂණික වාර්තාව සඳහන් කරයි.

එහෙත් මූලාශ්‍රයට ආසන්න Timure සහ Syabrubesi වැනි ප්‍රදේශවලට ආරක්ෂා වීමට ලැබී තිබුණේ මිනිත්තු කිහිපයක් පමණි.

පෙරවරු 8.40ට Syabrubesi මිනුම් මධ්‍යස්ථානයේ ජල මට්ටම මීටර් 1.62ක් පමණක් විය. මිනිත්තු දහයකට පසු එහි දත්ත සම්ප්‍රේෂණය නතර විය. ගංවතුර මිනුම් මධ්‍යස්ථානයද ගසාගෙන ගොස් තිබිණි.

සමස්තයක් ලෙස ස්වයංක්‍රීය ජල මිනුම් මධ්‍යස්ථාන හතරක් විනාශ වී ඇත.

ග්ලැසියර පිළිබඳ ප්‍රමාණවත් දත්ත නොමැතිව, දේශසීමා දෙපස නිලධාරීන් අතර ක්ෂණික අනතුරු ඇඟවීමේ පද්ධතියක් නොමැතිව සහ අවදානම් මාර්ගයේ ජනාවාස වර්ධනය වෙද්දී, අනතුර හඳුනාගන්නේ එය ගමක් මතට කඩා වැටීමෙන් පසුවය.

මෙය “ස්වාභාවික” විපතක් පමණක් නොවේ

කන්ද කඩා වැටීම ස්වාභාවික භූවිද්‍යාත්මක ක්‍රියාවලියක් විය හැකිය. එහෙත් අයිස් වේගයෙන් දියකරන උණුසුම ස්වාභාවික නොවේ. එය විශාල වශයෙන් මිනිසාගේ ගල් අඟුරු, තෙල් සහ ගෑස් දහනයෙන් ඇති කළ අර්බුදයකි. අවදානම් බෑවුම් සහ ගංගා ඉවුරු මත පාලනයකින් තොරව යටිතල පහසුකම් ගොඩනැගීමද ස්වාභාවික නොවේ.

ග්ලැසියර නිරීක්ෂණයට, කල්තියා අනතුරු ඇඟවීමට සහ ආරක්ෂිත ජනාවාස සැලසුම් කිරීමට ප්‍රමාණවත් මුදල් නොයෙදීමද දේශපාලන අසාර්ථකත්වයකි. නේපාල් වැනි රටවල් ධනවත් කාර්මික රටවලට වඩා බෙහෙවින් අඩු කාබන් ප්‍රමාණයක් මුදාහැර තිබියදී, උණුසුම් වන කඳුකරයේ ජීවිත, නිවාස සහ යටිතල පහසුකම් අහිමි කරගනිමින් සිටී.

පොසිල ඉන්ධන භාවිතය වේගයෙන් අඩු කිරීම, අවදානම් රටවලට දේශගුණ අනුවර්තන මුදල් ලබාදීම, සිදුවූ හානි වෙනුවෙන් loss-and-damage මූල්‍ය පහසුකම් සැපයීම සහ චීනය–නේපාල්–ඉන්දියාව අතර ඒකාබද්ධ ග්ලැසියර හා ගංගා අනතුරු ඇඟවීමේ පද්ධතියක් ගොඩනැගීම අවශ්‍යය.

විද්‍යාත්මකව මෙම ගංවතුරට අවසන් හේතු තහවුරු වීමට ටික දවසක් ගත වනු ඇත. එහෙත් දැනට ස්ථාවරව කිව හැකි දෙයක් ඇත.

උණුසුම් වන ලෝකයක හිමාලය තවදුරටත් ස්ථාවර අයිස් කන්දක් නොවේ. එය දියවෙන, ඉරිතැලෙන සහ අවස්ථාවකදී සම්පූර්ණ නිම්නයක් මතට කඩා වැටිය හැකි වෙනස් වන භූ පද්ධතියකි.

එහි බර ගෙවන්නේ අර්බුදය නිර්මාණය කළ අය නොව, බොහෝවිට එයට අඩුවෙන්ම දායක වූ කඳුකර සහ පහළ ගංගා ප්‍රජාවන්ය.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading