RMV, ආගම විගමන ඇතුළු ප්‍රධාන රාජ්‍ය ආයතන මත්ද්‍රව්‍ය උවදුරට යටවෙලා!රාජ්‍යයම කඩාවැටීමේ අවදානමක් ගැන ජනපති කියයි

මත්ද්‍රව්‍ය ජාලය තව දශකයක් හෝ දෙකක් ක්‍රියාත්මක වුවහොත් මෙරට මුළු රාජ්‍ය යාන්ත්‍රණයම බිඳවැටී සමස්ත සමාජ දේහයම කඩා වැටෙන බව ජනාධිපතිවරයා අනතුරු අඟවා තිබෙනවා.

අද පැවති මිලාද් -උන් නබි ජාතික සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

රටම බිය වද්දමින් ගම් නියම්ගම් කරා පැතිර යන මත්ද්‍රව්‍ය සහ ඒ හරහා ගොඩනැගුණු අපරාධ රාජ්‍යය විසින් පාසල් දරුවන්, යෞවනයන්, රාජ්‍ය සේවයේ වැදගත් නිලධාරීන් මෙන්ම පොලීසියේ වැදගත් ස්ථානද ගිලගනිමින් සිටින බවත් එමගින් රට සහ අනාගත පරපුර පිළිබඳව ඉතා බියජනක චිත්‍රයක් නිර්මාණය කර ඇති බවත් ජනාධිපතිවරයා එහිදී පැවසුවා.

ජනාධිපතිවරයා පවසන්නේ, මත්ද්‍රව්‍ය ජාවාරම හරහා උපයාගන්නා අතිවිශාල අයුතු ධනය රිසි සේ භාවිත කරමින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව, පොලීසිය සහ රේගුව ආදී ප්‍රධාන රාජ්‍ය ආයතන ගණනාවක ඇතැම් අංශ පවා මෙම ජාලයට නතු කරගෙන ඇති බවයි.

මෙම ව්‍යසනයෙන් රට මුදාගැනීම සඳහා ආණ්ඩුවක් ලෙස දැඩි තීරණයක් ගෙන ඇති බව ප්‍රකාශ කළ ජනාධිපතිවරයා, සහතික වශයෙන්ම මත්ද්‍රව්‍ය රකුසාත් ඒ හා බැඳුණු සන්නද්ධ නීතිවිරෝධී සංවිධානත් මුළුමනින්ම මුලිනුපුටා දමන බව අවධාරණය කළා.

මෙය වර්තමානයේ ජීවත්වන ජනතාව වෙනුවෙන් පමණක් නොව අනාගත දරුවන්ගේ සුරක්ෂිතභාවය වෙනුවෙන් අනිවාර්යයෙන්ම කළ යුත්තක් බවත් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන නිලධාරීන් සමඟ දිනපතා ගැඹුරු සාකච්ඡාවල නිරත වන බවත් ඔහු කියා සිටියා.

Author

Leave a Reply

Related Posts

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading