මාධ්‍ය නියාමන යාන්ත්‍රණ අවශ්‍ය නැතැයි සිතීම සම්පූර්ණ වැරදි කතාවක් – කෞශල්‍යා ආරියරත්න

ජනමාධ්‍යවේදීන් තම අයිතිවාසිකම් භාවිත කළ යුතු වුවද, ඒවා ආචාර ධර්ම සහ මූලික නීතියට යටත් විය යුතු බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍යවරිය ආචාර්ය කෞෂල්‍යා ආරියරත්න අද (25) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළාය. පාර්ලිමේන්තුව අමතමින් ඇය සඳහන් කළේ, කිසියම් ජනමාධ්‍යවේදියෙකු තමන්ට නියාමන යාන්ත්‍රණ අදාළ නොවන බවත් ඒවා කිසිවක් අවශ්‍ය නොවන බවත් සිතන්නේ නම් එය සම්පූර්ණ වැරදි අදහසක් බවය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් භාෂණය සහ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ පරම අයිතියක් ලබා දී තිබුණද, ඊට අදාළ සීමාවන් කිහිපයක්ද ව්‍යවස්ථාවෙන්ම පනවා ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරිය පෙන්වා දුන්නාය. ඒ අනුව ජනමාධ්‍යවේදීන්ට විශේෂිත වගකීමක් පැවරෙන බව ඇය සඳහන් කළාය.

සාමූහික නියාමන ක්‍රමවේදයක් සකස් කිරීම සම්බන්ධයෙන් රජය මේ දිනවල මහජන උපදේශන පවත්වාගෙන යන බවත්, ඒ සඳහා සුදුසු යාන්ත්‍රණයක් සොයා ගත යුතු බවත් ඇය ප්‍රකාශ කළාය.

ජනමාධ්‍යවේදීන්ට නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට සහ සිය වෘත්තීය කටයුතු කරගෙන යාමට අවශ්‍ය සියලු දේශපාලනික නිදහස වත්මන් රජය විසින් ලබා දී ඇති බව ආචාර්ය කෞශල්‍යා ආරියරත්න පැවසුවාය.

පසුගිය දශක ගණනාව තුළ මෙරට ජනමාධ්‍යවේදීන් මුහුණ දුන් දුෂ්කරතා, ‘සුදු වෑන්’ පැහැරගැනීම් සහ ජීවිතාරක්ෂාව පතා රට හැර යාමට සිදු වූ අඳුරු අතීතය සිහිපත් කළ ඇය, ඇතැම් මාධ්‍යවේදීන්ට තවමත් විදේශගතව සිට ලිවීමට සිදුව ඇති බවද පෙන්වා දුන්නාය. වත්මන් ආණ්ඩුව යටතේ භාෂණයේ හා ප්‍රකාශනයේ නිදහස සුරක්ෂිත වී ඇති බව ජනමාධ්‍ය සමාජයටත් සමස්ත මහජනතාවටත් නැවත නැවතත් අවධාරණය කරන බව ඇය වැඩිදුරටත් කියා සිටියාය.

මං හිතන්නේ ජනමාධ්‍ය කිව්වහම භාෂණය සහ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ පරම අයිතියක් අපිට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් තිබෙනවා. හැබැයි ඒකත් එක්ක මතක තියාගන්න ඕනේ ඒ සම්බන්ධව තියෙන සීමාවල් ටිකකුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අපිට ලබා දීලා තියෙනවා. ඒ නිසා ජනමාධ්‍යවේදීන්ගේ විශේෂිත වගකීමක් තියෙනවා නියෝජ්‍ය කථානායකතුමනි, තමන්ගේ අයිතිවාසිකම පාවිච්චි කරන්න ඕනේ.

හැබැයි ආචාර ධර්ම සහ මූලික නීතියට යටත් විය යුතුයි. ඒ නිසා කවුරුහරි ජනමාධ්‍යවේදියෙකු හිතනවා නම් අපිට අදාළ නැහැ, අපිට නියාමන යාන්ත්‍රණයන් මුකුත් අවශ්‍ය නැහැ කියලා, ඒක සම්පූර්ණ වැරදි කතාවක්. හැබැයි ඒ නියාමනය කොහොමද සිද්ධ වෙන්නේ? සාමූහිකව සිද්ධ වෙන්නේ කොහොමද කියන එක ගැන අපි මේ දිනවල මහජන උපදේශන පවත්වාගෙන යනවා. අපි ඒ පිළිබඳ යාන්ත්‍රණයක් සොයා ගත යුතුයි. නමුත් කෙසේ වෙතත් අපි ජනමාධ්‍යවේදීන්ට කතා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න, නිදහසේ වැඩ කරගෙන යන්න අවශ්‍ය සියලු දේශපාලනික නිදහස ලබා දීලා තියෙනවා.

මං හිතන්නේ ගරු නියෝජ්‍ය කථානායකතුමනි, මේ අවස්ථාවේ අපි වැඩිම මොහොත් වැඩිම අවධානයක් යොමු කළ යුත්තේ, අවධාරණයක් කළ යුත්තේ අප අන්න ඒ නිදහස ගැන. ඒ අයිතිය සුරක්ෂිත වීම ගැන. අපි අවශ්‍ය නැහැ මතක් කරන්න පහුගිය කාලවල් වල දශක ගාණක් ජනමාධ්‍යවේදීන් මොන වගේ ජීවිතවලටද මුහුණ දුන්නේ කියලා, මොන වගේ බලපෑම් වලටද ලක් වුණේ කියලා, සුදු වෑන් වලින් අරන් ගියේ කොහොමද කියලා, රට හැර ගියේ කොහොමද කියලා, සමහරු තවමත් ලියන්නේ රට ඉඳගෙන ලංකාවේ ඉන්න බැරුව. ඒ නිසා මං හිතන්නේ අන්න ඒක අපි නැවත නැවතත් අවධාරණය කරමින් මතක් කරලා දෙන්න කැමතියි අපගේ ජනමාධ්‍ය සමාජයටත්, අපගේ මහජනතාවටත් මේ භාෂණය සහ ප්‍රකාශනයේ නිදහසේ සුරක්ෂිත වීම ගැන මේ ආණ්ඩුවෙන්.

Author

Leave a Reply

Related Posts