අනිවාර්ය හිජාබ නීතිය උල්ලංඝනය කරමින් ප්‍රසිද්ධ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම හේතුවෙන් 29 හැවිරිදි පරස්තූ අහ්මදී සහ ඇයගේ සංගීත කණ්ඩායමේ සාමාජිකයන් තිදෙනෙකුට හා නිෂ්පාදකවරයෙකුට ඉරාන බලධාරීන් විසින් කස පහර 74 බැගින් ලබාදී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.
2024 වසරේ දෙසැම්බර් මාසයේදී අහ්මදී විසින් අත් රහිත ඇඳුමකින් සැරසී පැවැත්වූ සංගීත ප්‍රසංගයක් සජීවීව අන්තර්ජාලය ඔස්සේ විකාශය කර තිබූ අතර, ඉරාන නීතිය යටතේ කාන්තාවන්ට ප්‍රසිද්ධියේ සංගීත ප්‍රසංග පැවැත්වීම සහ හිජාබය නොමැතිව පෙනී සිටීම තහනම් වේ.
මෙම සිදුවීමට අදාළව පසුගිය ජුනි මාසයේදී කොම් නගරයේ අපරාධ අධිකරණයක් විසින් අහ්මදී ඇතුළු පුද්ගලයන් නවදෙනෙකුට එරෙහිව ‘මහජන විනීතභාවයට හානි කිරීම’ සහ ‘අසභ්‍ය හා නොහොබිනා දර්ශන ප්‍රචාරය කිරීම’ යන චෝදනා යටතේ වරදකරුවන් බවට තීන්දු කර ඇත. කෙසේ වෙතත්, විත්තිකරුවන් එම චෝදනා ප්‍රතික්ෂේප කර තිබේ.
කස පහර 74 බැගින් ලබාදීමට අමතරව, ඔවුන්ට වසර දෙකක කාලයක් සඳහා ශ්‍රව්‍ය දෘශ්‍ය ක්ෂේත්රයේ කටයුතු කිරීම සහ රටින් පිටවීම ද තහනම් කර ඇති බව ද සඳහන් වේ.
මේ අතර, එම තීන්දුවට එරෙහිව ඉදිරිපත් කළ අභියාචනය ද පසුගිය සැප්තැම්බර් මාසයේදී කොම් නගරයේ අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරමින් මුල් දඬුවම තහවුරු කර තිබේ.
අදාළ දඬුවම සම්බන්ධයෙන් ඉරාන කලාකරුවන් සහ මානව හිමිකම් ක්‍රියාකාරීන් රැසක් විරෝධය පළ කර ඇති අතර, කස පහර ලබාදීම කෲර සහ අමානුෂික දඬුවමක් බවත් එය වධහිංසාවට එරෙහි ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කිරීමක් බවත් ඔවුන් පෙන්වා දී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරානයේ මානව හිමිකම් මධ්‍යස්ථානයේ (CHRI) උපදේශන අධ්යක්ෂ බහර් ඝන්දාරි ප්‍රකාශ කර ඇත්තේ තමන් කැමති ආකාරයට ගීත ගායනා කිරීම සහ ඇඳුම් ඇඳීම හේතුවෙන් කාන්තාවකට දඬුවම් කිරීම ඇයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවයි.
2022 වසරේදී මහ්සා අමිනි නමැති 22 හැවිරිදි කුර්දි ජාතික තරුණිය හිජාබය නිසි පරිදි නොපැළඳීමේ චෝදනාව මත ටෙහෙරාන් නුවරදී අත්අඩංගුවට ගැනීමෙන් පසුව පොලිස් භාරයේදී මියයාමත් සමඟ ඉරානය පුරා දැවැන්ත විරෝධතා මාලාවක් ද ආරම්භ විය.
එම විරෝධතාවලදී කාන්තාවන් සිය හිජාබ ගිනි තබමින් සහ ඒවා අහසට ඔසවමින් ඉරාන පාලන ක්‍රමයට එරෙහිව විරෝධය පළ කළ අතර, ආරක්ෂක අංශ විසින් සිදුකළ මර්දනකාරී ක්‍රියාමාර්ග හමුවේ සිය ගණනක් පුද්ගලයන් මියගිය බව වාර්තා වී තිබේ.
එතැන් සිට කාන්තාවන් සහ ගැහැනු ළමුන් විශාල පිරිසක් ප්‍රසිද්ධ ස්ථානවල හිජාබය නොපැළඳ සිටීමට කටයුතු කර ඇති අතර, ඊට ප්‍රතිචාර වශයෙන් බලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීම්, අනතුරු ඇඟවීම් සහ ව්‍යාපාරික ස්ථාන වසා දැමීම් ඇතුළු ක්‍රියාමාර්ග ගෙන තිබේ.
