හර්ෂගේ ‘ඩබල් ගේම්’ එක ගැන රාඝවන්ගෙන් ප්‍රශ්නයක් “ජනාධිපති එක්ක ගනුදෙනුවක් තියෙනවද?”

මුදල් කාරක සභාවේදී මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාගෙන් අවශ්‍ය ප්‍රශ්න නිසි පරිදි යොමු නොකර මඟහැර යන්නේ ජනාධිපතිවරයා සමඟ ඇති කරගත් යම් ගනුදෙනුවක් හෝ ‘ඩීල්’ එකක් නිසාදැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේන් රාඝවන් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා මහතාගෙන් ප්‍රශ්න කර තිබෙනවා,

ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දැක්වූ සුරේන් රාඝවන් මහතා සඳහන් කළේ, ජනවාරි මාසයේදී 2.9%ක්ව පැවති ශ්‍රී ලංකාවේ උද්ධමනය ඔක්තෝබර් මාසය අවසන් වන විට 8.7% දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එවැනි තත්ත්වයකදී ආර්ථික කළමනාකරණය සහ උද්ධමන පාලනය සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රශ්න කිරීම් සිදු විය යුතු බව ඔහු පෙන්වාදෙනවා.

මහ බැංකුව ස්වාධීන කිරීම සඳහා ගෙන ආ පනතේ ප්‍රතිපාදන පිළිබඳව පැවසූ සුරේන් රාඝවන් මහතා, උද්ධමන ඉලක්කය 7% සීමාව ඉක්මවා ගිය අවස්ථාවක එය ඉහළ ගියේ ඇයිද යන්නත් එය යළි අඩු කර ගන්නේ කෙසේද යන්නත් මහ බැංකු අධිපතිවරයා පාර්ලිමේන්තුවට පැහැදිලි කළ යුතු බව පවසනවා.

එමෙන්ම ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාව ඕස්ට්‍රේලියාවේ සිට මෙරටට ගෙන්වා ගැනීම සඳහා තමන්ද මැදිහත් වී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කරුණු දැක්වූ බව සඳහන් කළ සුරේන් රාඝවන් මහතා, තමන් අදටත් එතුමාගේ මිත්‍රයෙකු වුවද වැරදි සිදුවන අවස්ථාවලදී ඇස් කන් වසාගෙන සිටිය නොහැකි බව අවධාරණය කළා.

එහිදී හර්ෂ ද සිල්වා මහතාට සෘජුවම අදහස් දක්වමින් සුරේන් රාඝවන් මහතා පැවසුවේ, මහ බැංකුව සහ බැංකුකරණය පිළිබඳව නොදන්නා අයෙකු මෙන් කටයුතු නොකරන ලෙසයි.

තමන් සහ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කාරක සභාවේ සිටි කාලවකවානුවේදී හර්ෂ ද සිල්වා මහතාටත් වඩා වැඩි ප්‍රශ්න ප්‍රමාණයක් ඉදිරිපත් කළ බව ඔහු සඳහන් කළා.

ප්‍රශ්න යොමු කළ යුතු මොහොතේදී එය මඟහැර යන්නේ ඇයිදැයි විමසූ සුරේන් රාඝවන් මහතා, ජනාධිපතිවරයා සමඟ පවතින යම් ගනුදෙනුවක් හෝ එකඟතාවක් මත මෙලෙස කටයුතු කරන්නේදැයි වැඩිදුරටත් ප්‍රශ්න කළා.

එමෙන්ම ඩීල් දමමින් සහ ගනුදෙනු කරමින් රටේ ජනතාව අතරමං නොකරන ලෙසද ඔහු වැඩිදුරටත් ඉල්ලා සිටියා.

Author

Leave a Reply

Related Posts