වීසා රහිතව දින 30ක් තායිලන්තයේ රැඳී සිටීමට යළි අවස්ථාව

ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන් සඳහා වීසා රහිතව තායිලන්තයේ රැඳී සිටීමට අවස්ථාව සලසන ද්විපාර්ශ්වික ගිවිසුම් කෙටුම්පතට එරට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

මෙම ගිවිසුම යටතේ දෙරටේ සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට එක් සංචාරයකදී දින 30කට නොවැඩි කාලයක් අනෙක් රට තුළ වීසා බලපත්‍රයකින් තොරව රැඳී සිටීමට, ඇතුළුවීමට, පිටවීමට සහ සංක්‍රමණය වීමට අවස්ථාව හිමිවේ.

කෙසේ වෙතත්, ඕනෑම දින 180ක කාලසීමාවක් තුළ අනෙක් රටෙහි රැඳී සිටිය හැකි උපරිම කාලය දින 90කට සීමා කර තිබේ.

එමෙන්ම, දින 30කට වැඩි කාලයක් රැඳී සිටීමට, රැකියාවක නිරත වීමට හෝ අධ්‍යාපන කටයුතු සඳහා පැමිණීමට අපේක්ෂා කරන පුද්ගලයින් අදාළ වීසා බලපත්‍රය පූර්වයෙන් ලබාගත යුතු බව ගිවිසුමේ සඳහන් බව ද වාර්තා වේ.

මෙම ගිවිසුම බලාත්මක වීම සඳහා දෙපාර්ශ්වයම අවශ්‍ය අභ්‍යන්තර ක්‍රියාපටිපාටි සම්පූර්ණ කර ඇති බවට රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ අවසන් ලිඛිත දැනුම්දීම හුවමාරු කරගත යුතු අතර, එම දැනුම්දීම ලැබී දින 60කට පසුව ගිවිසුම ක්‍රියාත්මක වනු ඇත.

කෙසේ වෙතත්, මහජන සාමය, සෞඛ්‍යය හෝ ජාතික ආරක්ෂාව සම්බන්ධ විශේෂිත හේතු මත ඕනෑම පාර්ශ්වයකට ගිවිසුම තාවකාලිකව අත්හිටුවීමට හෝ අවලංගු කිරීමට ද ප්‍රතිපාදන සලසා තිබේ.

මේ අතර විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍යාංශයේ වැය ශීර්ෂය පිළිබඳ විවාදයට එක්වෙමින් විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් අද (නොවැම්බර් 23) ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකික සංචාරකයින්ට වීසා රහිතව දින 30ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමට යළි අවස්ථාව ලබාදීම සඳහා වන ගිවිසුමට ඊයේ (22) අත්සන් කළ බවයි.

ඒ අනුව, 2027 ජනවාරි මැද භාගයේ සිට ශ්‍රී ලාංකික සංචාරකයින්ට වීසා ලබාගැනීමකින් තොරව දින 30ක කාලයක් තායිලන්තයේ රැඳී සිටීමේ අවස්ථාව හිමිවනු ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Author

Leave a Reply

Related Posts