ශ්‍රී ලාංකික දේශක ජෙරම් ප්‍රනාන්දු විසින් තමන්ගේ ආධ්‍යාත්මික පියා සහ ආගමික උපදේශකයා ලෙස ප්‍රසිද්ධියේ හඳුන්වා ඇති සිම්බාබ්වේ ප්‍රකට දේශක Uebert Angel අශෝභන ලිංගික අතවර සහ සොඩොමි සම්බන්ධ චෝදනා මත එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සිම්බාබ්වේ ජනරජ පොලිසිය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ, ඊයේ (22) දින මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.
Uebert Mudzanire යන සැබෑ නමින් හඳුන්වන ඔහු අත්අඩංගුවට ගත් බව ජාතික පොලිස් ප්‍රකාශක කොමසාරිස් තහවුරු කර තිබෙනවා.
පොලිසිය සිය නිවේදනයේ සඳහන් කර ඇත්තේ අශෝභන ලිංගික අතවර සහ සොඩොමි සම්බන්ධ චෝදනා මත Uebert Angel අත්අඩංගුවට ගත් බවත් ඒ සම්බන්ධ වැඩිදුර තොරතුරු ඉදිරියේදී අනාවරණය කරන බවයි.
විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ, හරාරේ නගරයේ පිහිටි Hippodrome ප්‍රදේශයේ පැවැති දේව මෙහෙයක් අතරතුර මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි.
එමෙන්ම සන්නද්ධ පොලිස් නිලධාරීන් පිරිසක් දේව මෙහෙය පැවැති ස්ථානයට ඇතුළුවී ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවට ඇසින් දුටු පුද්ගලයන්ගේ ප්‍රකාශද පළවී ඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටටත් වාර්තා කළා.
සිම්බාබ්වේහි ප්‍රසිද්ධ ආගමික චරිතයක් වන Uebert Angel, Spirit Embassy නමැති ආගමික සංවිධානයේ නිර්මාතෘවරයා වන අතර එම සංවිධානය GoodNews Church ලෙසද හඳුන්වනු ලබනවා.
ඔහු ආගමික කටයුතුවලට අමතරව රාජ්‍ය තාන්ත්‍රික තනතුරක්ද හොබවා තිබෙනවා.
2021 වසරේදී සිම්බාබ්වේ ජනාධිපති Emmerson Mnangagwa විසින් ඔහු ඇමරිකානු මහාද්වීපය සහ යුරෝපය සඳහා ජනාධිපති විශේෂ නියෝජිත සහ Ambassador-at-Large තනතුරට පත්කර තිබුණා.
මෙම සිදුවීම ශ්‍රී ලංකාවේද විශේෂ අවධානයකට ලක්වීමට, Uebert Angel සහ දේශක ජෙරම් ප්‍රනාන්දු අතර පවතින සමීප සම්බන්ධතාව ප්‍රධාන හේතුවක් වනවා.
ජෙරම් ප්‍රනාන්දු මීට පෙර අවස්ථා කිහිපයකදීම Angel තමන්ගේ ආගමික ගමන්මඟට විශාල බලපෑමක් කළ පුද්ගලයෙකු බව ප්‍රකාශ කර තිබුණා.
එමෙන්ම තමන් අනාගතවක්තෘවරයෙකු ලෙස හඳුන්වා ගැනීමට අවශ්‍ය දිරිගැන්වීම ලබාදුන්නේද ඔහු බව ප්‍රනාන්දු මීට පෙර සම්මුඛ සාකච්ඡාවලදී සඳහන් කර තිබුණා.
මේ අතර Daily Mirror පුවත්පත සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදීද ජෙරම් ප්‍රනාන්දු මෙම සම්බන්ධතාව පිළිබඳ අදහස් පළ කළා.
ජෙරම් ප්‍රනාන්දුගේ දියණිය සහ Uebert Angel ගේ පුත්‍රයා අතර සිදුවූ විවාහ ගිවිස ගැනීමද එම සාකච්ඡාවේදී විශේෂයෙන් අවධානයට ලක්වූ කරුණක් වී තිබුණා.
ඒ සම්බන්ධයෙන් විමසූ අවස්ථාවේදී ප්‍රනාන්දු සඳහන් කර තිබුණේ තමන් සහ Angel යන දෙදෙනාම පියවරුන් ලෙස මෙම විවාහ සම්බන්ධතාවයට එකඟ වූ බවත් එය දරුවන් දෙදෙනාගේද කැමැත්ත මත සිදුවූවක් බවයි.
මේ අතර iHarare වෙබ් අඩවිය අද (23) දින පළ කළ වාර්තාවකින් සඳහන් කර ඇත්තේ, මීට පෙර සිදුවූ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කාන්තාවක් විසින් ඉදිරිපත් කළ අශෝභන ලිංගික අතවර පැමිණිල්ලක් 2026 අගෝස්තු මාසයේදී දිවුරුම් ප්‍රකාශයක් මගින් ඉල්ලා අස්කරගෙන ඇති බවයි.
කෙසේ වෙතත් එම පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන තිබුණද අදාළ සිද්ධිය සම්බන්ධ නඩු කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමට සිම්බාබ්වේ ජාතික අභිචෝදක අධිකාරිය අදහස් කරන බව එම වෙබ් අඩවිය වාර්තා කළා.
එමෙන්ම අත්අඩංගුවට ගැනීමෙන් පසුව Uebert Angel වෙනුවෙන් නීතිඥ මහාචාර්ය Lovemore Madhuku ඇතුළු සිව්දෙනෙකුගෙන් යුත් නීතිඥ කණ්ඩායමක් පත්කර ඇති බවද එම වාර්තාවේ සඳහන්.
එම අවස්ථාව වන විට සොඩොමි සම්බන්ධයෙන් විධිමත් චෝදනාවක් ගොනු කර නොතිබූ බවද එම මාධ්‍ය වාර්තාව පෙන්වාදෙනවා.
කෙසේවෙතත් Uebert Angel අත්අඩංගුවට ගැනීමෙන් පසු දකුණු අප්‍රිකානු කලාපයේ ප්‍රසිද්ධ දේශකයෙකු වන Shepherd Bushiri ද මේ සම්බන්ධයෙන් ප්‍රතිචාර දක්වා තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, Angelට එරෙහි චෝදනා දේශපාලන බලපෑම්වලින් තොරව සාධාරණව විමර්ශනය කළ යුතු බවට ඔහු ඉල්ලා ඇති බවයි.
එමෙන්ම චෝදනා එල්ලවූ පමණින් කිසිවෙකු වරදකරුවෙකු ලෙස සැලකිය නොහැකි බවත් අධිකරණය හමුවේ සාධාරණ විභාගයකට මුහුණදීමට සෑම පුද්ගලයෙකුටම අවස්ථාව තිබිය යුතු බවත් ඔහු අවධාරණය කර තිබෙනවා
