කෝපි කඩයක කැෂියර්වරයකු ලෙස හෝ සේවය කර නොමැති පිරිසක් රටේ ජනාධිපති හා අමාත්‍ය ධුර දරමින් සිටින බවත්, ඔවුන්ට රටක් පාලනය කරන ආකාරය පිළිබඳ අවබෝධයක් නොමැති බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් ප්‍රකාශ කළේය.
අද (නොවැම්බර් 23) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය හේතුවෙන් රටේ සෑම අංශයකම පාහේ අයහපත් තත්ත්වයක් නිර්මාණය වී ඇති බවයි.
සාමාන්‍ය ජනතාවට තමන් උපයන ආදායමෙන් දරු පවුල නඩත්තු කිරීමට, ආහාරපාන ලබාදීමට සහ දෛනික අවශ්‍යතා සපුරා ගැනීමට පවා නොහැකි තත්ත්වයක් ආණ්ඩුව විසින් නිර්මාණය කර ඇති බවටද ඔහු චෝදනා කළේය.
එමෙන්ම, මෙම ආණ්ඩුව බලයට පත් කිරීම සඳහා විවිධ ආකාරයෙන් සහාය ලබාදුන් වෘත්තීය සංවිධාන සහ වෘත්තීය සමිති බොහොමයක් මේ වන විට ආණ්ඩුවට එරෙහිව දැවැන්ත විරෝධතා ගොඩනැඟීමට කටයුතු කරමින් සිටීම දෛවයේ සරදමක් බවද සාගර කාරියවසම් මහතා පැවසීය.
ජනතාවගේ නිදහස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පවා තහවුරු කර ඇති අත්හැරිය නොහැකි අයිතියක් බව පෙන්වා දුන් ඔහු, එම නිදහස ආරක්ෂා කිරීම සඳහා රටක පවතින ප්‍රධානතම මෙවලම නීතිය බව සඳහන් කළේය.
කෙසේ වෙතත්, නිදහසින් පසු මෙරට තුළ දිගින් දිගටම පැවති ප්රජාතන්ත්රවාදී වටිනාකම් වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව විසින් ජනතාවට අහිමි කරමින් සිටින බව නිරීක්ෂණය වන බවටද ඔහු චෝදනා කළේය.
නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා පිහිටුවා ඇති ප්‍රධාන ආයතන දෙකක් වන අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව සහ පොලිසිය මේ වන විට ආණ්ඩුවේ දැඩි ග්‍රහණයට නතු වී ඇති බවටද ඔහු චෝදනා කළේය.
ගල් අඟුරු ගනුදෙනුව හේතුවෙන් රුපියල් බිලියන 18කට වැඩි පාඩුවක් රටට සිදුව ඇති බව පාර්ලිමේන්තුවේදී පවා ප්‍රකාශ වී ඇති බව සඳහන් කළ සාගර කාරියවසම් මහතා, එය බදු ගෙවන ජනතාවගේ මුදල්වලට සිදුවූ විශාල හානියක් බව පැවසීය.
එහෙත් එම ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව හෝ පොලිසිය ප්‍රමාණවත් විමර්ශනයක් සිදුකරන බවක් පෙනෙන්නට නොමැති බවද ඔහු සඳහන් කළේය.
එසේම, රටට විශාල හානියක් සිදුකළ බවට චෝදනා එල්ල වී ඇති රතු ලේබල් සහිත බහාලුම් 323ක් පරීක්ෂාවකින් තොරව නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට සහ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි රැසක් ලැබී තිබුණද, ඒ සම්බන්ධයෙන් නිසි විමර්ශන සිදුවන බවක් දක්නට නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය.
මැතිවරණයට පෙර ගමේ ජනතාවගේ කෙසෙල් කැන පවා තමන්ට ජීවත්වීම සඳහා අවශ්‍ය බව පැවසූ ඇතැම් අමාත්‍යවරුන් අද වන විට විශාල මන්දිර ඉදිකරමින් සිටින බවටද ඔහු චෝදනා කළේය.
තවත් පසෙකින් ඇතැම් නගරාධිපතිවරුන් තම ප්‍රදේශයේ ජනතාවගෙන් ප්‍රසිද්ධියේ අල්ලස් ඉල්ලා සිටින බවට චෝදනා එල්ල වන බවත්, ඒ සම්බන්ධයෙන් ලැබෙන පැමිණිලි පිළිබඳවද නිසි විමර්ශන සිදුවන බවක් පෙනෙන්නට නොමැති බවත් ඔහු පැවසීය.
ඒ අනුව, වත්මන් තත්ත්වය තුළ නීතිය ක්‍රියාත්මක කරන ආයතන ආණ්ඩු පක්ෂයට එක් ආකාරයකටත්, විරුද්ධ පක්ෂයට තවත් ආකාරයකටත් සලකන තත්ත්වයක් නිර්මාණය වී ඇති බව සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ වත්මන් ආණ්ඩුවේ ක්‍රියාකලාපය දෙස බැලීමේදී වසර ගණනාවක් තිස්සේ උපයා ගැනීමට නොහැකි වූ මුදල් කඩිනමින් රැස්කර ගැනීමට උත්සාහ කරන පිරිසක් පමණක් එහි සිටින බව පෙනෙන බවයි.
රටට ආදරයෙන් සහ රටේ අනාගතය වෙනුවෙන් කටයුතු කරන පිරිසක් වත්මන් ආණ්ඩුව තුළ සිටින බවක් පෙනෙන්නට නොමැති බවද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
