මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධානවලට පටහැනිව කටයුතු නොකිරීම හේතුවෙන් ආයතන දෙකකට පරිපාලනමය දණ්ඩන පනවන ලද බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.
ඒ අනුව කොමර්ෂල් ක්‍රෙඩිට් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනයට රුපියල් ලක්ෂ 30ක පරිපාලන දණ්ඩනයක් පනවා ඇති අතර ඒ නව ව්‍යාපාරික සම්බන්ධතාවක් ආරම්භ කිරීමට පෙර කිසියම් ගනුදෙනුකරුවකු එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩල යෝජනා යටතේ නිකුත් කරන ලද නම්කරන ලද ලැයිස්තුවක ඇතුළත් නොවන බව ඵලදායි ලෙස සත්‍යාපනය කිරීමට අපොහොසත් වීම, එවැනි නම්කරන ලද පුද්ගලයකු සමඟ ව්‍යාපාරික සබඳතා පවත්වාගෙන යෑම සහ ඒ සම්බන්ධයෙන් අති විශේෂ ගැසට් පත්‍රවල ප්‍රකාශයට පත්කරන ලද නම්, තැනැත්තන්, කණ්ඩායම් හා ආයතනවල ලැයිස්තු සමාගම් පද්ධතියේ යාවත්කාලීන නොකිරීම යන කරුණු හේතුවෙනි.
එමෙන්ම නිව් නටාෂා ප්‍රයිවට් ලිමිටඩ් ආයතනයටද රුපියල් ලක්ෂ 3ක දණ්ඩනයක් පනවා ඇති අතර ඒ රුපියල් ලක්ෂ 2ක් හෝ එයට සමාන විදේශ මුදල්වලින් වූ මුදල් ප්‍රමාණයක් ඉක්මවන ගනුදෙනු සඳහා ව්‍යාපාරික සම්බන්ධතාවයන් ස්ථාපනය කිරීමේදී ගනුදෙනුවේ අරමුණ, ඉපයීම්වල ප්රභවය, දුරකතන අංකය, විද්‍යුත් තැපැල් ලිපිනය, රැකියාව හා දේශපාලන වශයෙන් අනාවරණය වූ තැනැත්තකුද යන වග ආදී අනිවාර්ය තොරතුරු ලබා ගැනීමට අපොහොසත් වීම, සමාගමට අදාළව මුදල් විශුද්ධිකරණය හා ත්‍රස්තවාදවට අරමුදල් සැපයීම සම්බන්ධයෙන් අවදානම් තක්සේරුවක් කිරීමට අපොහොසත් වීම හා එක්සත් ජාතීන්ගේ පනතට අනුකූලව නිකුත් කරන ලද කිසියම් නම් කරන ලද තැනැත්තන්, ආයතන හෝ කණ්ඩායම්වල ලැයිස්තුවලට එරෙහිව නව ව්‍යාපාරික සම්බන්ධතාවයක් ආරම්භ කිරීමේදී ගනුදෙනුකරුවන් සත්‍යාපනය කිරීමට අපොහොසත් වීම හේතුවෙනි.
ශ්‍රී ලංකාවේ මුදල් විශුදධිකරණය වැළැක්වීමේ සහ ත්රස්තවාදයට මුදල් සැපයීම මැඩපැවැත්වීමේ නියාමන ආයතනය ලෙස ශ්‍රි ලංකා මූල්‍ය බුද්ධි ඒකකය විසින් කරන ලද වාර්තාකරණය හේතුවෙන් එම දණ්ඩන නිකුත් කළ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
